Days of heaven (1978)

Written by

1978 අවුරුද්දේ, ටෙරන්ස් මලික් ගේ Days of heaven මුල්වරට තිරගත වෙන මොහොත වෙනතුරුම රූපමය සෞන්දර්ය අතින් ඊට සමාන වෙනත් චිත්‍රපටයක් තිරගත නොවී තියෙන්න ඇති. ඉන්පස්සෙත් ඊට සම කරන්න පුලුවන් “ස්වර්ගීය” සිනමා අත්දැකීමක් තියන චිත්‍රපටයක් නිර්මාණය වුණානම් සෑහෙන කලාතුරකින් වෙන්න ඇති. Days of heaven සැලකෙන්නෙ එදාමෙදාතුර නිර්මාණය වුණු සුන්දරතම රූප රාමු ඇතුළත් චිත්‍රපට කීපය අතරට. ඇමරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයේ කෙළවරක් නොපෙනන මහ සාගරය තරම් සුවිසාල තැනිතලා බිම්, ඒ මැද රන්වන් පාටින් බබලන තිරිඟු වගාකළ කෙත් වතු, තැනිබිම් වල ඇවිද යන මුවන්, බයිසන් ගවයින්, අසීමිත අහස, පියාඹා යන කුරුළු රෑන්, 1900 මුල් යුගයේ ඇමරිකානු කම්කරුවන්ගේ ජීවන රටාව. චිත්‍රපටය පුරා දැකගන්න ලැබෙන අසමසම රූපාවලිය සමන්විත වෙන්නෙ මෙන්න මේ දේවල්වලින්.


Days of heaven ඇමරිකානු සිනමාකරු ටෙරන්ස් මලික් ගේ දෙවන සිනමා නිර්මාණය. මලික් සිනමාවට ප්‍රවේශය ලබන්නෙ 1973 දි Badlands තිර රචනාකර අධ්‍යක්ෂණය කිරීමෙන්. ඉන්පසව ඔහු නිර්මාණය කරන Days of heaven 1976 දි රූගත කිරීම් අවසන් කළත් චිත්‍රපටය සංස්කරණය වෙනුවෙන් ඔහුට අවුරුදු දෙකක්ම වැය කරන්න සිදුවෙනව. 1978 Days of heaven වලින් පසුව පැරීසිය බලා යන ටෙරන්ස් මලික් ගැන 90 දශකය වනතුරුම තොරතුරක් ලැබෙන්නෙ නෑ. ඔහු සිනමාවෙන් ඈත්ව, අප්‍රසිද්ධව තමන්ගෙ පෙම්වතිය සමඟ පැරීසියෙ දිවිගෙවූ බවයි කියවෙන්නෙ. නැවතත් ටෙරන්ස් මලික් නම සිනමා ඉතිහාසයෙ සටහන් වෙන්නෙ 1998 වර්ෂයෙන්. ඒ සිනමා රසිකයන් අතර නොමඳව ජනප්‍රියත්වයක් ලැබුව Thin red line චිත්‍රපටයෙන්. Thin red line යුද්ධය පසුබිම් කරගත් චිත්‍රපටයක්. ඔහු මෙය නිර්මාණය කරන්නෙ නවකතාවක් ඇසුරු කරගෙන. නවකතාවක් ඉතාම සාර්ථකව සිනමාවට නැඟුණු එක් අවස්ථාවක් විදිහටයි Thin red line ඉතිහාසගත වෙන්නෙ. ටෙරන්ස් මලික් හාවඩ් සරසවියෙ දර්ශනවාදය පිලිබඳ උපාධිධාරියෙක්. ජර්මන් දාර්ශනික හෛඩැගර් ගේ ග්‍රන්ථ ඉංග්‍රීසි බසට පරිවර්තනය කල පරිවර්තකයෙක්. ටෙරන්ස් මලික් ගේ සිනමාව අපිට හඳුනාගන්න පුලුවන් මේ පසුබිම හරහා.


Days of heaven චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ 1916 යුගයේ ඇමරිකාව. ඉක්මනින් කේන්තිගන්න කලහකාරී කම්කරුවෙක් වුණ බිල්, (Richard Gere) බිල්ගෙ බාල සහෝදරිය ලින්ඩා, (Linda Manz) බිල් ගේ ප්‍රේමවතිය ඇබී (Brooke Adams) සහ ඉඩම් හිමි ධනවතෙක් නමුත් හුදෙකලාවේ ජීවිතය ගෙවන තරුණයෙක් (Sam Shepard) මේ අය තමයි කතාවේ ප්‍රධාන චරිත බවට පත්වෙන්නෙ. මේ කතාව අපිට කියන්නෙ බාල සහෝදරිය ලින්ඩා. බැලූ බැල්මට ඉතාම සරල තුන්කොන් ප්‍රේමාන්දරයක් මිස චිත්‍රපටයෙ වැඩි යමක් දකින්න නැහැ. ප්‍රේම පුවතක තියෙන රොමාන්තික උත්කර්ෂය ටෙරන්ස් මලික් මේ චිත්‍රපටයෙ භාවිත කරන්නෙ ඉතාම අවමයෙන්. ඊට හේතුව මම හිතනව චිත්‍රපටය අපි දකින්නෙ කුඩා දැරියකගෙ ඇහින් වීම. වැඩිහිටියන්ගේ ලෝකය ළමා ඇසින් දකින ඇයට මඟ හැරෙන සහ ඇයට නොවැටහෙන දේ බොහොමයි. මම හිතනව කතාවේ මතුපිට සරල බවට හේතුව එය දකින්න ලැබෙන දෘෂ්ටිකෝණය නිසා බව. නමුත් නාට්‍යමය ගුණයට ඉහළින් චිත්‍රපටයෙ කැපීපෙනෙන්නෙ එහි රූප සෞන්දර්යය. හැම කුඩා දර්ශනයක්ම ඉතාම සුන්දරත්වයකින් නිර්මාණය කරන්න අද්‍යක්ෂවරයා සෑහෙන වෙහෙසිල තියෙනව. මෙතනදි අමතක කරන්න බැරිම චරිතය චිත්‍රපටයෙ cinematography අංශය භාරව කටයුතු කල Néstor Almendros. ඔහුගේ මේ විශිෂ්ට සිනමාකරණය ඒ අවුරුද්දේ ඔස්කාර් සම්මාන උළලේ පවා ඇගයීමට ලක්වුණා. ඒවගේම සිනමාකරණයට නොදෙවනි Ennio Morricone ගේ පසුබිම් සංගීතය ඒ ඒ අවස්ථාවන්වල හැඟීම් මතු කරන ආකාරයට ‍යොදාගෙන තිබෙනව. මෙහි බිල් ගේ චරිතය සඳහා තෝරාගත් සුප්‍රකට රංගධරයින් වන ඩස්ටින්  හොෆ්මන් සහ අල් පචිනෝ දෙදෙනාම එය ප්‍රතික්ෂේප කරතිබෙනව. ජෝන් ට්‍රැවල්ටා එය බාරගැනීමට කැමැත්ත පළකලත් ඔහු ඒවනවිට රූපවාහිනි නාලිකාවක් සමඟ ගිවිසුමකට එළැඹ සිටි නිසා ඒ අවස්ථාව ඔහුට ලැබෙන්නෙ නෑ. ඉන්පසුවයි රිචඩ් ගියර් මේ චරිතයට තෝරාගැනෙන්නෙ. රිචඩ් ගේ අතිශ්‍ය කඩවසම් තරුණ රූපකාය වගේම ඔහුගේ රංගනය ඒ චරිතය වෙනුවෙන් කොයිතරම් ගැලපෙනවද කියන කාරණය චිත්‍රපටය නරඹන ඔබටම තීරණය කරන්න පුලුවන්. Days of heaven චිත්‍රපටය ආදායම් අතින් අසාර්ථක එකක් බවට පත්වෙනව. නමුත් චිත්‍රපට විචාරකයින් සහ කලාත්මක සිනමාව අගය කරන ප්‍රේක්ෂක ප්‍රජාව අතින් පැසසුමට ලක්වෙන Days of heaven චිත්‍රපටයට සිනමා ඉතිහාසය ඇතුළෙ හිමිවෙන තැන අද්විතීය සහ අසමසම එකක් බව කිවයුතුමයි.


කලින් සඳහන් කල ආකාරයට විස්තරාත්මකව බවින් අඩුව කතාව කීමේ ස්වභාවය නිසා මේ චිත්‍රපටයෙන් කියවෙන්නෙ මොනවගේ දෙයක්ද කියන කාරණය සෑහෙන මතභේදයට ලක්වුණු යමක්. මුදලත්, පරිභෝජනයත් මුල්කරගත් ධනේෂ්වර ඇමරිකානු ජීවනරටාවේ මුල් යුගය එයින් නිරූපිත බව ඔබට කියන්න පුලුවන්. ශ්‍රමය වගුරුවා වැඩ කරන පීඩිත කම්කරු පන්තියත් ඔවුන් ගේ ශ්‍රමය සූරාගෙන එය මුදලට හරවාගෙන සැපසම්පත් භුක්ති විඳින ධනපති පන්තියත් අතර සදාකාලික අරගලය එයින් නිරූපිත බව ඔබට කියන්න පුලුවන්. කොයිතරම් දේපල වස්තුව තිබුණත් ආදරය අහිමි ජීවිතයක ඉතිරි වෙන හිස්කම එයින් නිරූපිත බව කියන්න පුලුවන්. නැත්නම් එය යෞවනය දොරකඩ ඉන්නා දැරියක් ලෝකය දකින ආකාරය සහ ඇගේ ජීවන චාරිකාවෙන් කොටසක් බවත් කියන්න පුලුවන්. ටෙරනස් මලික් තමන්ගෙ දාර්ශනික ආභාසය සිනමාවට ගේන්නෙ මේ ආකාරයටයි. එනම් තනි රේඛීය කතා පුවතක් පැවසීමෙන් එහා, එක විට අරුත් කීපයක් ජනනය වන,  දර්ශනවාදයෙන් කරන ආකාරයටම නැවත නැවතත් අන්තර්ගතය පිළිබඳ ප්‍රශ්නකල හැකි සහ එකිනෙකට වෙනස් එළඹුම් ගණනකින් පිවිසිය හැකි සිනමාපට නිර්මාණය කිරීමයි. ඔහුගේ Tree of life(2011) චිත්‍රපටයෙ මේ ගුණාංගය හොඳින්ම දැකගත හැකියි. නමුත් ඔහුගේ චිත්‍රපටවල අනන්‍ය වුණු වචනයෙන් විස්තර කළ නොහැකි කාව්‍යමය සුන්දරත්වය ඔහුව සුවිශේෂ සිනමාකරුවෙක් බවට පත්කර තිබෙනව.


කරුණු කාරණා කොහොම වුණත් Days of heaven නම් මේ ස්වර්ගීය සිනමා අත්දැකීම කෙනෙක් ජීවිතය ඇතුලෙ වරක් හෝ විඳගතයුතු එකක් බව කියන්නම්.

සටහන – හසාන් රන්දික ඩයස් 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares