සමිත හිමි සහ සැඟවුණු යමක්

Written by

බද්දේගම සමිත හිමිගේ අපවත් වීම සැල වූ විට ,බොහෝ දෙනෙක් දන්නා තොරතුරුවලට එහා ගිය නොදන්නා යමක් උන්වහන්සේගේ ජීවිතයේ එක්තරා කාලවකවානුවක් තුල සැඟව තිබූ බව ලියා තබන්නට සිතුනි.සමිත හිමි පැරණි සම සමාජ පාක්ෂිකයෙකු හා කලක් එහි මන්ත්‍රීවරයෙකු වුවද බද්දේගමදී විශේෂයෙන් සන්දරවලදී දේශපාලනයකින් තොරව සියලුදෙනාටම උපකාර කිරීමට පුරුදුවී සිටියහ.

තරුණ වියේ පටන්ම සම සමාජ ක්‍රියාකාරිකයෙකු වූ සමිත හිමියෝ මුල පටන්ම ජ වි පෙ සමග විරුද්ධවාදී ප්‍රතිපත්තියක සිටියත් ආණ්ඩුව තරුණයන් සොය සොයා මරද්දී ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට නොවලහා ඉදිරිපත් වූහ.ඒ 1989 වසරේ අග බාගයයි. ලාංකීය ඉතිහාසයේ කළු පැල්ලමක් පමණක් නොව ලේ පැල්ලමක් සනිටුහන් කල දැවැන්ත රාජ්‍ය භීෂණය කුණාටුවක් වී ගම් දනවු හරහා හමා යන්නට විය.ඒ කුණාටුව බද්දේගමට ඇදී එද්දී ඓතිහාසික හැඩිදෙමළකන්ද දුටුගැමුණු රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ලෙස වැඩ සිටියේ ගනේගම සරණංකර හිමිය.

එකල ප්‍රේමදාස – රන්ජන් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජ වි පෙ දේශපාලනයට මැදිහත් වූවාද නැද්ද යන කාරණය පිළිබඳවවත් නොසලකා අතට අහුවෙන ඕනෑම තරුණයෙක් තරුණියක් ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීම ගැන උන්වහන්සේ බලවත් ලෙසින් කම්පාවට පත් වූහ. ගමේ, පන්සලේ පොදු කටයුතුවලට මූලිකත්වය ගෙන එකාවන්ව කටයුතු කල ඒ බොහොමයක් දෙනා දහම්පාසල් ආවේ ගනේගම සරනකර හිමි ළඟටය. එහෙව් දරුවන් බල්ලන් බළලුන් සේ මහ මඟ මරා දැමෙද්දී, රැකවරණය පතා පන්සල් භූමියට එන සියලු දෙනාට තම දිවි නොතකා ආරක්ෂාව සපයන්නට මේ සරනංකර හිමි මෙන්ම උන්වහන්සේගේ ශිෂ්‍ය හිමි නමක් වුනු බද්දේගම සමිත හිමියන් ක්‍රියා කලහ. මේ කාලයේ සමිත හිමි විශ්ව විද්‍යාලයෙන් පිටවී බද්දේගම පන්සලේ පිරිවෙන් ගුරුවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියහ.

ලොකු හාමුදුරුවන්ට අනුව යමින් ජීවිතාවදානම තිබූ බොහෝ පිරිසකට රැකවරණය දීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කරන්නට උන්වහන්සේට හැකිවිය.වරක් ස්වීඩන් තානාපති කාර්‍යාලයට ගිය සමිත හිමි තරුණයින් පිරිසකගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් උපකාර ඉල්ලීය.මේ වෙනුවෙන් ඔවුනට කල හැකි යමක් නැති බව පැවසූ තානාපති නිළධාරීන් එරටේ රාජ්‍ය නොවන ආයතනයක විස්තර උන්වහන්සේ අතට පත් කලේය .එම ස්වීඩන් රාජ්‍ය නොවන ආයතනය විසින් තායිලන්තයේ තවත් එවැනිම වූ සංවිධානයක් හඳුන්වා දුන් අතර යම් ආධාර මුදලක්ද එවමින් උපදෙස් දුන්නේ හැකි ඉක්මනින් ඒ පිරිස තායිලන්තය හා පිලිපීනය වෙත පිටත් කර යවන ලෙසටය. මේ තරුණ පිරිස වරින්වර සිය රථයෙන් කොළඹ රැගෙන යමින් එමින් ගුවන් ගමන් බලපත්‍ර ආදිය සකසා දෙන්නට උන්වහන්සේ සමත් වූහ.කෙටි කාලයක් ඇතුලත තායිලන්තයට පිටත් කර යැවූ ඒ පිරිස වර්ථමානයේ ලෝකයේ විවිධ රටවල නිරුපද්‍රිතව වාසය කරයි.

මේ පිරිසේ ජීවිත අවදානම කොතරම්ද කියනවානම් වරක් සමිත හිමියන් රටින් පිට කිරීමට ගෙනා බද්දේගම ජාගොඩ නම් ජ වි පෙ සාමාජිකයෙකු ගුවන් යානය තුලට යන්නට විනාඩි කිහිපයක් තිබියදී රහස් පොලිසිය අත්අඩංගුවට ගෙන මරා දැමුවේය.කෙසේ නමුත් සමිත හිමියන්ගේ උපකාරයෙන් ජීවිත බේරාගත් ඇතැම් දෙනෙකුට ඒ කෘතගුණය පසු කලෙක අමතකව ගොස් ඇති බවද කනගාටුවෙන් වුවද සඳහන් කල යුතුය. ඊට හේතූන් ලෙස ඇතැම් දෙනා තර්ක කරන්නේ දුසිම් ගණනක තරුණ ජීවිත බේරා ගැනීමට මැදිහත් වීමේදී සමිත හිමියන් විසින් ස්වීඩන් රාජ්‍ය නොවන ආයතනයකින් මුදල් ලබා ගත් බවය. මේ කතාකරන්නේ බද්දේගම සමිත හිමිගේ මෑත කාලීන දේශපාලන භාවිතාව ගැන නොවේ. සමිත හිමිගේ දේශපාලනයත් මතවාදයත් සාධාරණීකරණය කරන්නට නොහැකි බව අමුතුවෙන් කිව යුතුද නොවේ.

එහෙත් අතීතයේ එක්තරා දවසක ශිෂ්‍ය මර්ධනය සඳහා කැළණි විශ්වවිද්‍යාලයට ජේ ආර් එවූ ක්‍රිස්ටෝපර් නමැති මැරයාට මරණීය ප්‍රහාර එල්ල කරන්නට තරම් උන්වහන්සේ තුල තිබූ අදීන නිර්භීත බවත් සහෝදර ශිෂ්‍ය ප්‍රජාව කෙරෙහි තිබූ දැඩි බැඳීමත් අමතක කරන්නට නොහැකිය.ඒ වාගේම ක්‍රිස්ටෝපර්ගේ අවමඟුලට ගිය ජේ ආර් විසින් ක්‍රිස්ටෝපර් “ජාතික වීරයෙක්“ ලෙසට සඳහන් කර බවුතීස්ම කිරීමද අපට කිසිදා අමතක නොවේ.විශ්වවිද්‍යාලය තුල සමසමාජ පක්ෂයේ සිසු ක්‍රියාකාරිකයෙකු ලෙස විවිධ දේශපාලන කටයුතුවල නිරත වූ පළපුරුද්දත් ,ඒ මඟින් නිර්මාණය වී තිබූ රැඩිකල් චරිත ස්වභාවයත්, ස්වකීය ගුරු හිමියන් වූ ගනේගම සරනංකර ලොකු හාමුදුරුවන්ගේ පරමාදර්ශී ජීවිතයත් ආදිය මෙසේ මරණය උරුම මිනිසුන් උදෙසා පෙනී සිටීමේ උත්කෘෂ්ටත්වය සමිත හිමි තුලින් ඉස්මතු කරලීම සඳහා ඒ මොහොතේ බලපෑම් කරන්නට ඇත. පොදු යහපත් ක්‍රියාවක වටිනාකම ඒ ක්‍රියාව කරන්නට යෙදුනු නිශ්චිත මොහොතේ පවතින්නා වූ සමාජ දේශපාලන හැඩයේ තීව්‍රතාවය මත වෙනස් වේ. 1989 වැනි අවපැහැති යුගයක සමිත හිමියන් දියත් කලා වූ ජීවිත සුරැකීමේ මෙහෙයුම වචනාර්ථයෙන්ම ප්‍රශංසනීයය.ඒ වෙනුවෙන් මියගිය සහ ජීවත්වෙන සියලු සහෝදර සහෝදරියන් වෙනුවෙන් අපගේ ප්‍රණාමය පුද කරසිටිමු !!

සටහන

ගාමිණි මුතුකුමාරණ

127You, Nandana Weerarathne, Chandana Kularathne and 124 others12 comments34 shares

Sad

SadCommentShare

Article Categories:
දේශීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares