වෘකයන් අතර නග්නව සිටි දරුවා.

Written by

බෲනෝ ආපිට්ස් නාක්ට් උන්ටර් වුල්ෆන් නම් කෘතිය එළිදැක්වූයේ් 1958 වසරේය.ඔහු එම නවකතාවට පාදක කර ගත්තේ සත්‍ය සිදුවීමකි.නවකතාව පාදක කර ගනිමින් ෆ‍්‍රෑන්ක් බේයර් නම් නැගෙනහිර ජර්මානු චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා සිනමාපටයක්ද නිර්මාණය කළේය. ‘වෘකයන් අතර නග්නව’ නමින් සිරිල්. සී පෙරේරා මහතා සිංහල බසට නැඟුවේ එම කෘතියයි.


නාක් උන්ටර් වුල්ෆන් කෘතියේ එන චරිතයට පාදක වූ දරුවා මේ වන විට 80හැවිරිදි වියේ පසුවෙයි. ඔහු ස්ටෙෆාන් ජර්සි ස්වෙයිග් ය.බෲනෝ ආපිට්ස්ගේ කෘතියට විශාල පාඨක අවධානයක් ඇතිවිය. එය භාෂා ගණනාවකට පරිවර්තනය වූ අතර ස්ටෙෆාන්ටද එය කියවන්නට ලැබිණි. ඔහු බෲනෝ ආපිට්ස් සොයා පැමිණ, නාක් උන්ටර් වුල්ෆන් කෘතියේ කියැවෙන දරුවා තමා බැව් ප‍්‍රකාශ කළේය. දෙදෙනාගේම පැරණි මතකයන් අලූත් වූ අතර එම හමුව ඉතා සංවේදී අවස්ථාවක් වූයේය. ඒ වන විට තරුණ වියේ පසුවූ ස්ටෙෆාන් තම දරුවකු ලෙස හදාවඩා ගැනීමට බෲනෝ කැමැත්ත පළ කළද ස්ටෙෆාන් කාරුණිකව එය ප‍්‍රතික්ෂේප කළේ ඔහුගේ පියා ඒ වන විට ජීවතුන් අතර සිටි හෙයිනි.

ස්ටෙෆාන් ජර්සි ස්වෙයිග්ගේ පියා වෛද්‍යවරයකු විය. පෝලන්තයේ සියලූ යුදෙවුවන් ගොටෝ ගත කිරීම ආරම්භ වීමත් සමඟ ස්වෙයිග් පවුලටද ක‍්‍රැකෝව් ගෙටෝවේ පදිංචියට යාමට සිදු විය. ස්ටෙෆාන් උපත ලැබුවේ එම කඳවුරේදීය. ස්ටෙෆාන්ගේ පියා දොස්තර සකරියාස් ස්වෙයිග් වූ අතර මව හෙලේනා ස්වෙග් වූවාය. ඔහුට එක් සොහොයුරික විය. ඇය සිල්වියාය.1944දී ක‍්‍රැකෝව් ගෙටෝවේ සිටි ස්වෙයිග් පවුල එකිනෙකාගෙන් වෙන්කරන ලද්දේය. ස්ටෙෆාන් ඔහුගේ පියා වූ සකරියාස් සමග බුහන්වල්ඞ් කඳවුර වෙත පිටුවහල් කෙරුණු අතර මව සහ සොහොයුරිය අවුෂ්විට්ස් කරවුරට යවන ලදහ. එහිදී ඔවුන් දෙදෙනා ඝාතනය කෙරිණි. බුහන්වල්ඞ් කඳවුරට පැමිණෙන විට ස්ටෙෆාන්ගේ වයස අවුරුදු 3කි. කුඩා දරුවා අත්අඩංගුවට ගැනුණේ පෝලන්ත යුදෙවු දේශපාලන සිරකරුවකු ලෙසිනි. ඔහුගේ සිරකරු අංකය 67509 විය.ස්ටෙෆාන්ගේ ජිවිතය ගලවා ගැනීමට උපකාරී වූ සිරකරුවන් දෙදෙනා වූයේ විලී බ්ලෙයිෂර් සහ රොබට් සීවට්ය. යුද්ධයේ අවසන් කාලයේ සිරකරුවන් අවුෂ්විට්ස් කඳවුර වෙත පිටුවහල් කිරීමට නට්සීහු පියවර ගත්හ. එලෙස පිටුවහල් කරන්නන්ගේ ලැයිස්තු දිනපතා සකස් කෙරිණි. එහි එක් ලැයිස්තුවක ස්ටෙෆාන්ගේ නමද විය. විලී සහ රොබට් කුඩා ස්ටෙෆාන් වෙනුවට 16 හැවිරිදි රුමෙනියානු දරුවකුගේ නම ලැයිස්තුවට ඇතුළත් කළහ. නාසි වෛද්‍යවරයකුගේ සහයෙන් කඳවුරු රෝහලේ ටයිපස් උණ රෝගීන් සඳහා වෙන්වූ වාට්ටුවේ කුඩා ස්ටෙෆාන් සඟවා තැබීමට ඔවුන් දෙදෙනා පියවර ගත්හ. ස්ටේෆාන්ගේ ජීවිතය ගැලවිණි.
බෲනෝ ආපිට්ස්ගේ නාක් උන්ටර් වුල්ෆන් නවකතාවේ හෝපල් සහ ක්‍රොපින්ස්කි ලෙසින් හැඳින්වෙන චරිත දෙක විලී බ්ලෙයිෂර් සහ රොබට් සීවට්ය. .දරුවා ගලවා ගැනීමට ගොස් නට්සීන් ගේ පහරකෑමට ලක්ව මියගිය පිපිෂ්ගේ සැබෑ චරිතය විලී බ්ලූම්ය.


කඳවුර නිදහස් කරගැනීමෙන් පසු කුඩා ස්ටෙෆාන් 1949 වන තෙක් පෝලන්තයේ, ස්විට්සර්ලන්තයේ සහ ප්රංශයේ ජීවත් විය. කුඩා දරුවකුට ඔරොත්තු නොදෙන තරමේ පීඩාවනට මුහුණ දුන් ස්ටෙෆාන් ඒ වන විට විවිධ රෝගාබාධවලට ලක්ව සිටියේය. ඔහුගේ පියා වූ දොස්තර සකරියාස්ද නිදහස ලබා සිටි බැවින් සුවය ලැබීමෙන් පසු දෙදෙනාම ඊශ‍්‍රායෙලය බලා ගියහ. සකරියාස්ට ඊශ‍්‍රායෙල මුදල් අමාත්‍යංශයේ ලිපිකරුවකු ලෙස රැකියාවක් ලැබිණි. ස්ටෙෆාන් උසස් අධ්‍යාපනය ලබා පසුව ඊශ‍්‍රායල් හමුදාවට එක් විය.

1964දී ඔහුට ජර්මනියේ බාබෙල්ස්බර්ග් චිත‍්‍රාගාරයෙන් සිනමා කැමරාකරණය හැදෑරීය අධ්‍යාපනයෙන් පසු ජර්මානු පාසල් ගුරුවරියක හා විවාහ විය. පසුව වියෙනාව බලා ගිය ඔහු සිනමා කැමරා ශිල්පියකු ලෙස වෘත්තියේ නියැලිනි. රැකියාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු නැවත ඊශ‍්‍රායෙලය බලා ගිය ඔහු දැනට ඊශ‍්‍රායෙලයේ ජීවත් වෙයි. ස්ටෙෆාන් ජර්සි ස්වෙයිග් ලොව පුරා ප‍්‍රචලිත වූයේ ‘‘බූහන්වල්ඞ් දරුවා’’ නමිනි.


‍මෙවැනි පුද්ගලයන් රැසකගේ කතා ප්‍රවෘත්ති මගේ ‘මරණයේ දොරටුව අබියස සිටි මිනිස්සු ‘ කෘතියෙහි ඇතුළත්ය. එය දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයකි.


– ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

Article Categories:
සාහිත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares