වික්ටෝරියානු සිංහල බුද්ධාගම

Written by

භික්ෂුවගේ උරුමය සහ constructivism learning theory.


බොහෝ දෙනෙක් ඉල්ලීමක් කළා මේ වික්ටෝරියානු සිංහල බුද්ධාගම කියන්නේ මොකක්ද කියලා විස්තරයක් ලියන්න කියලා. ඒ වගේම නිර්මාණාත්මක අධ්‍යාපන ක්‍රම වේදයක් ගැන අදහසක් තවත් තැනක සදහන් උණා. ඒ නිසා මේ දෙක එකට පටලවලා ලියන්න ඕනෑ කියලා හිතුවා. මේ දෙක එක්ක යන ලස්සන පොතක් ගැන හඳුන්වා දෙන්නත් එක්ක තමයි මේ සටහන. පොතේ නම  තමයි භික්ෂුවකගේ උරුමය. 


නිර්මාණාත්මක අධ්‍යාපනය කියන්නේ පවතින දැනුම් සම්භාරය පාවිච්චි කරලා, හැබැයි ඒ දැනුම ‘වන පොත්’ කරමින්  ඒකට කොටු වෙලා ඉන්නෙ නැතුව,  ඒ මත හිඳගෙන, ඒ ඒ මොහොතේ ඒ ඒ සංදර්භයට අනුගත වෙන විදිහට ප්‍රඥාපූර්වක සිතුවිලි මෙහෙයවලා නිර්මාණාත්මක අලුත් දෙයක් බිහි කිරීම. එවැනි අධ්‍යපනයක් නිදහස් මතධාරී චින්තනය ඔප් නංවනවා. ඒකට තමයි constructivism leaning කියලා දැං බටහිර අලුතෙන් හොයා ගෙන තියෙන්නේ. හැබැයි මේකම තමයි කාලාම සුත්‍රයේ තියෙන්නේ, අපි අහක දාලා හෝ වැරදි තැනින් අල්ලං හිටියට. මේකට විරුද්ධ පදය තමයි වනපොත් කිරීම.


බුදු දහමේ කාලාම සූත්‍රය දේශනා කළේ සිතීමේ හා විමසීමේ පූර්ණ නිදහස ලබා දීලා, පවතින දැනුම් සම්භාරය දෙස නිදහස්ව,  නිවහල්ව, සිහි නුවණ යොදවා විමසා, තර්ක කර, පරීක්ෂණ, නිරීක්ෂණ ආදී සියල්ල සිදුකර  සංදර්භයට ගැලපෙන  චින්තන රටාවන් බිහි කර ගැනීමට. දැනුම දැක්මක් කර ගන්නේ එහෙමයි. බුදු දහමේ මේ ක්‍රමයට මුල් තැන   දෙන්නේ  මේ ‘ආකෘතිවල සිරගත වීම’ කියන සංකල්පය බුදුන් වහන්සේ කෙලින්ම ප්‍රතික්ෂේප කළ නිසයි. මෙන්න මේ මත පදනම් වුණු බුදු දහමක් තමයි එකල සමාජයේ පැවතුණෙ.


වැඩ වසම් පාලන තන්ත්‍රයක් එදා පැවතුනද, මිනිසුන්ගේ චින්තනය ගල් ලෙන් වල හිර කිරීමට ඒ ක්‍රමයටත් බැරි උනේ මුල් බුදු සමයෙන් ලබාදීලා තිබුණු ඒ පන්නරය නිසයි. හැබයි විවිධාකාරයෙන් නවීකරණය වෙමින්  දහමට අනුගත සහ අනනුගත සංස්කෘතියක් පෝෂණය වෙලා තිබුණා. හැබැයි ඒ ක්‍රමානුකූල පරිවර්තනය conspiracy theory කියන දේශපාලන කූමන්ත්‍රනකාරී බල ව්‍යුහය පවත්වාගෙන යාමේ උපායකට හසුකිරීමෙන් පසුව තමයි මේ පරිවර්තනය ජාන විපරීතකරණය වෙලා වික්ටෝරියානු සිංහල බුද්ධාගම බිහි උණේ.

මොකද්ද මේ ‘වික්ටෝරියානු’ විශේෂණ පදය. ඒක තමයි ඉංග්‍රීසි ජාතිකයින් ඉර නොබසින අධිරාජ්‍යයක් පාලනය කරන්න පාවිච්චි කරපු ක්‍රිස්තියානි මූලධර්ම වලට සමාජය අනුගගත කර, ජනතාවගේ ආධ්‍යාත්මික නිදහස හිරකර, කොටුකර සිතීමේ හා විමසීමේ නිදහස සම්පූර්ණයෙන්ම අකා මකා දමා, මිෂනාරි අධ්‍යාපන ක්‍රමය මගින්, මිනිසුන්  ආධ්‍යාත්මික වහල් භාවයට පත්කරන ලද කල්ට්කරණ පාලන ක්‍රමය. සුද්දා තුවක්කුව අස්සේ බයිබලය ගහගෙන ගියේ ඒකට. මේක මිනිසුන් ගෙ චින්තනය හිර කිරීමට තමයි ඉද්ද ගැහුවා වගේ කෙලින්ම ඉලක්ක කරේ.  


බොහෝ රටවල මෙය කරන්න  ලෙහෙසි උණේ මුල් බැසගත් දහම් සංකල්ප එම රටවල නොතිබීම නිසයි. හැබැයි ලංකාවේ ඒක බොහොම අමාරු උණා. ඒ නිසා ඉංග්‍රීසින් කල්පනා කලා අර චින්තන නිදහස ලබා දුන්න බුදු දහම වික්ටෝරියානු කරලා දෙමුහුන් කරලා දාන්න. අන්න ඒකෙ ප්‍රතිඵලයක් ලෙස තමයි ඔය හයිබ්‍රිඩි ක්‍රමය බිහිවුණේ.  

ඉංග්‍රීසින්ට තිබුණු ප්‍රධානම අභියෝගය උනේ බුදු දහම සමග සිංහල ජනතාව ආධ්‍යාත්මිකව වෙලී සිටීම තුළ ගොඩනැගී තිබුණු ශක්තියයි. ඒ ශක්තිය තමුන්ගෙ අතට ගන්න යොදපු උපක්‍රමය තමයි අපටත් නොදැනී හින්සැරේම වික්ටෝරියානු ප්‍රතිපත්ති නීති රීති සේරම අපේ සරල සමාජයට රිංගවලා, වික්ටෝරියානු ආකෘතිය ඇතුලට අපේ බුදු දහමත් ගුලි කළේ. දේශපාලඥයින්ට පක්කලි කම් කිරීමේ උදාර පුන්‍ය කර්මය විනය නීතියක් බවට පත්කරලා දුන්නේ සුද්දා. පවාදීම කරල ඒක විනය නීති ගත ආඩම්බරයක් කර ගත්ත.  මේක කරපු ආකාරය හොඳින් විග්‍රහ කරනවා වල්පොල රාහුල හිමියන් විසින් රචිත භික්ෂූවකගේ උරුමය පොතේ. හොඳට කියවන්න ඒ පොත්. 16 වැනි පරිච්ඡේදයේ ඉඳලා අගට යනකල් ලියලා තියෙන්නේ මේකයි. හැබැයි මේ කෙරුවාවෙන් මට්ටු නොවුණ  කුඩාපොල වගේ හාමුදුරුවන්ව ඝාතනය කරලා දැම්මා.


ඊට පස්සේ මිෂනාරිවරු ගෙනල්ලා අර කැනඩාවේ රේසිඩෙන්ෂල් ඉස්කෝල වලටම සමානය ලොකු ඉස්කෝල හැදුවා වික්ටෝරියානු වහල්ලු බිහිකරන. ඒවා සිංහල බෞද්ධ කියලා නම් තිබුණට උගන්නපු දේවල් වලින් බිහිවුණේ වික්ටෝරියානු සිංහල බෞද්ධයො තමයි. මොකද ඒ තරම්ම මිෂනාරි ආගම් වලට මුල් තැන දීලා තිබුණා. 


අපට උරුම වෙලා තිබුණු අධ්‍යාපන ක්‍රමයෙන් දහම් ඈත්වෙලා ගිහින් ප්‍රශ්න කරන්න බැරි, තර්ක කරන්න බැරි, සාකච්ඡා කරන්න බැරි, නිති රීති පද්ධතියක් බවට පත්වුණු  චින්තනය ගල්ලෙන් ඇතුළට දාලා හිරකරපු සිංහල බෞද්ධ කියන එක තමයි වික්ටෝරියානු කියන විශේෂණ පදයෙන් විග්‍රහ වෙන්නේ.
භික්ෂුවකගේ උරුමය පොත්  ඇත්තටම ඉලක්ක කරේ භික්ෂුවට දේශපාලන කිරීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් කිරීමට තමයි. මෙන්න මෙතනදී තමයි අපි දේශපාලනය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න අවශ්‍යය වෙන්නේ සේරොටෝම කලින්. තමන්ගෙ බඩගෙඩි කරගෙන, ගිරිය පුප්පගෙන කෑ ගහන තක්කඩියන් ගෙ පව් හෝදන්න නූල් බඳින දේශපාලන මෙහෙවරක් ගැන නොවෙයි භික්ෂුවගේ උරුමය කතා කරේ. ඒ ගැන හොඳින් තේරුම් ගන්න පුළුවන් පොත් කියෙව්වාම.


මෙන්න මේකයි ඔය පොතේම එක කතන්දර ය. 
ප්‍රජාතන්ත්‍රවාදය කියන්න මානව දීන අලුගුත්තේරු බටහිර රටවල පැවති වැඩවසම් පාලන තන්ත්‍ර වලට එරෙහිව මානව අයිතිවාසිකම්, සමාජ සාධාරණත්වය සහතික කරන්න හදපු පාලන තන්ත්‍රයක්. ආසියාවේ සහ ලංකාවේ පවා මුල් බැස ගෙන තිබුණේ එයට සමාන වැඩවසම් පාලන ක්‍රම තමයි.

මුල් බුදු දහම කියන්නෙම  ඔන්න ඔය සමාජ සාධාරණත්වය සහතික කරන්ක බිහිකරපු චින්තන ක්‍රමයක්. හැබැයි ඒක උණත් ලංකාවේ වැඩවසම් පාලන ක්‍රම වලට අනුව විකෘති කරගෙන තමයි තිබුණේ. ඒවා කරලා තිබුණේ මහා සංස්කෘතිය. දුටුගැමුණු රජතුමා මිනිස්සුන් එකහමාරයි  මැරුවෙ කියලා සාධාරණීකරණය කළේ අන්න ඒ මහා සමාජ විකෘතිය ඇතුළෙ. 

 හැබැයි ඒ විකෘතිය ජනතාවගේ හෘද සාක්ෂියේ ඒවා සටහන් වෙලා තිබුණේ නෑ. ‘කුරා කූඹියෙකුට වත්’ සංකල්පය තමයි ජන හදවත් තුළ තිබුණු දහම. ‘ඒ අය දැනගෙන හිටියා දෙමළ උණත් මුස්ලිම් උණත් ප්‍රාණය ප්‍රාණයයි කියන එක. ඒවගේම මුල් බුදු සමයේ ක්‍රියාත්මක උණේ අන්න ඒ සමාජ සාධාරණත්වය, සහ ප්‍රජාතන්ත්‍රවාදය. අන්න ඒ දේශපාලනය කරන්න භික්ෂුවට අයිතියක් තියෙන බව සාදක සහිතව පෙන්නලා දුන්නා වල්පොල රාහුල හිමියන්. එතනින් තමයි පටන් ගන්න ඕනෑ.

ඒකට අනුව බිහිවුණු ප්‍රබෝධයක ප්‍රතිපල තිබුණා. ඒ අනුව බිහිවුණු මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ඇතුළු පරම්පරාවක් ලොකු මෙහෙවරක් කළත්, මිෂනාරි පාලන ක්‍රමය පුළුවන් උනා වික්ටෝරියානු සංකල්ප හරහා කරගෙන ගිය ආගමික දඩමීමාකරණය දිගටම කරගෙන යෑමට. මේක තමයි පහුගිය අවුරුදු හැත්තෑගානක කාල සීමාව තුලදීම සිදුවුණේ. මේ හයිබ්‍රිඩ් වෙලා තිබුණ එක ඒ කාලය තුළදී ජාන විකෘති තත්වයට පත් උනා විතරක් නොවෙයි ඇමරිකානු නව අධිරාජ්‍යය වාදී යුධ උපක්‍රම වලට බළල් අතක් බවටද පත් උනා. මේක තමයි ඇත්ත.


හැබැයි කාලාම සූත්‍රයේ සහ බුදු දහමේ සංකල්ප අරගෙන බටහිර ලෝකය අලුත් සංකල්ප සහ නියායන් නිර්මාණය කරනවා. එහෙම එකක් තමයි ඔය constructivism learning theory  කියන්නේ. අපි දැං අලුත් සංකල්ප විදිහට ඒවා අරගන්නවා. වික්ටෝරියානු නූල් දේශපාලඥයින් ගේ අත් වටේට, මාධ්‍යය කුකුල්ලන්ගේ පොර කුකුල් වටේට රවුම් රවුම් කැරකෙනවා. අලුතෙන්ම එන්නේ ඉන්දියානු බොලිවුඩ් මොඩ්වීම හරහා.


කෝකටත් මේ පොත ආපහු කියවන්න කාලය ඇවිත් තියෙනවා කියලා මට හිතෙනවා. ගොඩගේ ප්‍රකාශනයකි.

On line https://sinhalaebooksfree.blogspot.com/2013/10/blog-post_4534.html?m=1
 සුමනා විජේරත්න

Article Categories:
විශේෂාංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares