වර්තමාන බෝල්ටික් සාහිත්‍යයේ හැඩහුරුකම්

Written by

(බෝල්ටික් සාහිත්‍යයේ ප්‍රමාණිකයෙකු සමඟ කරන සංවාදයක්)
සිංහල කියවන පාඨකයන් වන අපට රුසියානු සාහිත්‍ය කෘති කි‍සිසේත්ම අරුමයක් නොවෙයි. බොහෝ සිංහල පාඨකයන් කියවීමට අත් පොත තබන්නේ රුසියනු සාහිත්‍යය හරහාය. එහෙත් බෝල්ටික් රටවල එනම් එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව යන රටවල සාහිත්‍ය කුමන අන්දමේ එකක් දැයි කිසිවෙකුත් විමසුවොත් එය අප එතරම් දන්නා කාරණයක් නොවෙන බව අපට එකවරම සිහිපත් වෙයි. බෝල්ටික් රාජ්‍යයන් වන එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව යන රටවල් සෝවියට්  සමූහාණ්ඩුවෙන් නිදහස ලබා ගත්තේ 1991 වසරේදීය. මේ, ඉන්පසු ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමයකට හුරු වුණු එම රටවල මේ වන විට සාහිත්‍යට කුමක් සිදු වි ඇද්දැයි විමසුමට ලක්කරන සංවාදයකි.  එම සංවාදයට එක් වන්නේ අවුරුදු පහලොවක පමණ කාලයක සිට බෝල්ටික් රටවල ඉතිහාසය, සංස්කෘතිය, සමාජය සහ සාහිත්‍යට අදාළ කෘතීන් එම රටවල භාෂාවලින් ඉංග්‍රීසියට පරිවර්තන කරන  ජේඩ් විල් නම් සාහිත්‍යවේදියාය. ඔහු 2018 වස‍රේ www.fivebooks.com නම් වෙබ් අඩවියේ රොමස් වීසලස් නම් ජනමාධ්‍යවේදීයා සමඟ බෝල්ටික් සාහිත්‍ය කෘති කිහිපයක් ඇසුරෙන් වර්තාමන බෝල්ටික් සාහිත්‍යයේ ප්‍රවණතා සහ සුවිශේෂි ලක්ෂණ සංවාදයට බඳුන් කරයි.


මෙම සංවාදයේ මාහැඟි විශේෂයත්වය නම්  ජේඩ් විල් නම් ‍බෝල්ටික් සාහිත්‍ය පිළිබඳ දැනුමැත්තා  බෝල්ටික් සාහිත්‍ය පිළිබඳ කාරණා මතු කිරීමට වැඩිමනත් ලෙස තෝරා ගන්නේ කලින් පැවති සෝවියට් සමුහාණ්ඩු පාලනයට එරෙහිව එම රටවල කලාව හරහා දියත් වුනු ආණ්ඩු විරෝධි ව්‍යාපාර පිළිබඳ ලියැවුනු සාහිත්‍ය කෘතීන්ය.නැතිනම් එම පාලනය විවේචනය කිරීමටත් ජනතාව එයට විරුද්ධව පෙළගැස්වීමට මෙහෙයවූ සාහිත්‍ය කෘතීන්ය. ඉතාමත් මර්ධනකාරී තත්වයන් තුළදී පවා සමාජය පිළිබඳ සවිඥානක කලාකරුවාට තම නිර්මාණශීලි මනස මෙහෙයවා ජනතාව නිදහස වෙනුවෙන් මෙහෙයවිය හැකි වන්නේ කෙසේද යන කාරණාව පිළිබඳ ඉඟි ද මෙම සංවාදය තුළින් අපට දැන ගත හැකිය.


 රොමස් –  මේ  2018 වසරේ බෝල්ටික් රාජ්‍යයන්  එනම් ලිතුවේනියාව, ලැට්වියාව සහ එස්තෝනියාව රුසියානු අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමේ ශතවර්ෂය සමරනවා. මේ මොහොතෙ එම රටවල ඇති සමකාලීන සාහිත්‍යය තුළ පොදු තේමා හෝ පොදු තානයන් දැකිය හැකිද?

ජේඩ්- මගෙන් නිතරම  ඉල්ලා සිටින්නේ මේ රටවල් තුනේ සාහිත්‍යයේ තියෙන සමානකම් පෙන්වා දෙන්න කියලා තමයි. ඒත් ඒ සාහිත්‍යයේ සමානකම් වලට වඩා මම වැඩිපුර දකින්නේ වෙනස්කම්.  ලැට්වියානු සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ මම සාහිත්‍ය ඒජන්තවරෙයකු ලෙස වැඩ කරන නිසා මම නිතරම පෙළඹෙන්නේ ලැට්වියානු සාහිත්‍යය, සුවිශේෂි වන්නේ සහ එය අනෙක් සාහිත්‍යයන් ගෙන් වෙනස් වන්නේ කෙසේදැයි සොයන්න.


ඔබ එසේ කිසියම් සමාන්තර ලක්ෂණයක් ගැන විමසූ නිසා මට කියන්න පුළුවනි, බෝල්ටික් සාහිත්‍යය තුළ මේ මෙහොතෙ සිදු වන  එක දෙයක් තමයි,  කිසියම් ආකාරයකින් සෝවියට් පාලනය පිරික්සුමකට ලක් කිරීමක්, විමසා බැලීමක් සිදුවීම, විශේෂයෙන් 1960 මුල් භාගයේ සිට අසූව දශකය දක්වා.  පසුගිය වසර 25 පුරා කාව්‍යය සහ ප්‍රබන්ධ හරහා එම සාහිත්‍යයික විමසා බැලීම කලින් කලට සිදු වුණා. වර්තමාන ජනතාව එම කාලවකවානුවට තවදුරටත් ගොඩාක් සමීප නැහැ, ඒ නිසා අපට එතරම් සමීප නැති ඉතිහාසය පිළිබඳ එකිනෙකට යන්තමින් වෙනස් යථාදෘෂ්ටීන් එම සාහිත්‍යයන් හරහා අපට ලබා ගත හැකියි.


-අපි ලැට්වියාවෙන් පටන් ගනිමු. ඔබ තෝරගෙන තියෙනවා මේ සංවාදයට  Soviet Milk නම් කෘතිය, එය ලැට්වියානු භාෂාවෙන් නම් කරලා තියෙන්නේ Mother’s Milk කියන අර්ථය හැඟවෙන ආකාරයෙන්. එය ඉතාම හොඳ උදාහරණයක් ඔබ ඔය කියන ප්‍රවණතාවට, එනම් සෝවියට් අතීතය පිළිබඳ නැවත සිතීමට, තේරුම් ගැනීමට උත්සාහ කිරීම. එම කෘතිය වර්තමානය වෙතට අතීතයේ අක්මුල් නිරාවරණය කරමින් ඇසෙන මවක සහ දියණියකගේ හඬවල කාව්‍යමය  ප්‍රත්‍යාවර්තනයක් ලෙස පාඨකයාට ඉදිරිපත් කොට තිබෙනවා. එම සාහිත්‍යය කෘතිය ලැට්වියාව තුළ පමණක් නොවෙයි, බෝල්ටික් කලාපයේම ජනප්‍රියත්වයට පත් වුණ නිර්මාණයක්. මෙම කලාපයේ මේ තරම් ජනතාවක් මේ කතාන්දරය සමඟ සමීප බවක් ඇති කර ගන්නේ කොහොමද?


ජේඩ්- එම කෘතිය මේ මෑතකදී එස්තෝනියාවෙත් ප්‍රකාශයට පත් වූනා,  දැනටමත් එම කෘතිය එස්තෝනියාවේ ඉහළින්ම ඇති පොත් දහයට ඇතුළත්. එය ඉතා විශාල ජයග්‍රහණයක්. තවමත් ජනතාව ඒ කෘතිය ගැන කතා බහ වෙනවා, තවමත් විචාර සහ ලිපි එම කෘතිය ගැන ලියැවෙනවා.බටහිර යුරෝපීය පාඨකයාට එම කෘතිය යනු, සෝවියට් අත්දැකීම එක මිටකට අරන් පෙන්වූ කෘතියක්. විශේෂයෙන්ම සෝවියට් හමුදා රැඳී සිටි අවසන් කාලවකවානුව පිළිබඳව. මට හිතෙන ආකාරයට මේ කතාන්දරය-  දුව සහ මව අතර  සබඳතාව කාටත් හුරු පුරුදු දෙයක්. මගේ අවබෝධය අනුව එය මේ කෘතියේ වැදගත් අංගයක්.


මෙම කෘතියේ සිදුවීම් පෙළ දිගහැරෙන්නේ වෛද්‍ය පර්යේෂිකාවක් සහ ඇයගේ දියණිය වටා. ඇය ලෙනින්ග්‍රාද්හි ටික කාලයක් ගත කොට කාරණා කිහිපයක් නිසා  නැවතත් ලැට්වියාවේ ගම්බද ප්‍රදේශයකට එනවා. තම මව ඒ ආකාරයෙන් හැසිරෙන්නේ ඇයි දැයි තේරුම්ගැනීමට නොහැකි තම දියණිය සමඟ ඒ මව එහි ජිවත්වෙනවා.මව් කෙනෙකු සතු සහජාශය තමන් වෙත ඇති බවක් මවට දැනෙන්නේ නැහැ. ඔවුන් දෙදෙනා හැත්තෑ අසුව දශක වල එකම නිවසේ ජීවත් වෙන අතර මව ජීවිකාව සපුරා ගැනීම සඳහා අති මහත් දුෂ්කරතාවක් විඳිනවා.  ඇය කිසියම් මානසික අවපීඩනයකින් පෙළෙන බව කිව හැකියි. නවකතාව පුරාම විටෙක දියණියගේ දෘෂ්ටි කෝණයෙන්- තරුණ පරම්පාරව‍ගේ දැක්ම- මෙන්ම මවගේ දෘෂ්ටිකෝණයෙන් ද නැවත නැවතත්  එම මව සහ දියණිය ගේ සබඳතාව පාඨකයා වෙතට රැගෙන එනවා.ඔවුන්ගේ එම සබඳතාව දිග හැරෙන්නේ සෝවියට් සමුහාණ්ඩු පාලන කාලය තුළ  වූ ඓතිහාසික තත්වයනට අදාළ සිදුවීම පෙළ ගැසෙද්දීයි.  මව කොමියුනිස්ට් විරෝධී කාන්තාවක්, ඇයගේ දියණිය ලොකු මහත් වන්නේ සෝවියට් බලය නරක දෙයක් යැයි ඇඟවෙන වටාපිටාවකයි. එහෙත් ඇය පාසල් යද්දී, වයසින් වැඩෙද්දී එහි ඇති නරකක් ඇය දකින්නේ නැහැ. ඇයට තම මවගේ සමහර  මතිමතාන්තර, ඇය රෙජීමය පිළිබඳ පවසන දේ හොඳින් වැටහෙන්නේ ඇයට තරමක් පරිණත වයසකට පැමිණි පසුයි.


මෙම ද්විධාකරණය කෘතිය පුරාම විහිදෙන්නක්. මව සහ දියණියගේ වෙනස් දෘෂ්ටින්  තුළින් කතාවේ පෙළ සකසන්න එම කෘතීයේ නිර්මාතෘවරිය වන නෝර් ඉක්ස්තේනා ඉතාමත් ශූර ලෙස සමත්කම් දක්වනවා. එම දෘෂ්ටින් දෙක එකිනෙකට ඉතාමත් වෙනස්. අපට මුලින්ම මුණ ගැසෙන්නේ මවගේ දෘෂ්ටිය, අප ඇයගේ හඬ තුළින් ඇයව විශ්වාස කිරිමට පෙළඹවෙනවා, නමුත් අප සෙමින් වටහා ගන්නවා අප සියල්ල දකින්නේ දියණියගේ දෑසින් කියන එක. ඉක්ස්තේනා ගේ ලිවීමේ හැකියාව අති විශිෂ්ඨයි.


-මේ කතාව තුළ ආච්චි සීයාලගේ මැදිහත් ‍වීමත් නිරූපණය වෙනවා. මම හිතන්නෙ මේ අප ඉදිරියට රැගෙන එන වෙනස් පරම්පරාවල විවිධ යථාදෘෂ්ටීන්,  නිදහස ලැබීමෙන් පසු ලැට්වියාව වැනි රටවල සමකාලීන සමාජයන් තම සමබර පැවැත්ම සඳහා කරන අරගලය කියා පාන්නක් කියලා. අප මේ වෙනස් පරම්පරාවල විවිධ දෘෂ්ටීන් හෝ නැතිනම්  අපගේ දේශප‍ාලන උරුමය පිළිබඳ වෙනස් තේරුම් ගැනීම්   සමඟ යහපත් සබඳතාවක්  ගොඬනඟා ගන්නේ කෙසේද? විශේෂයෙන්  සෝවියට මතවාදය ඔබ විස්තර කරන පරිදි එක පසෙකින් එය ගැලවීමක් ලෙස සැලකෙන අතර අනෙක් පැත්තෙන් එය සිරගතවිමක් හෝ වැඩකට නැති යමක් යමක් ලෙස සලකනු ලබනවා.


ජේඩ්- යුරෝපයේ නැඟෙනහිර කලාපයේ පරම්පරා අතර ඇති මෙම ආකල්පමය වෙනස පොදු ලක්ෂණයක්.  එසේම ලෝකය පුරාම මම හිතන්නේ පරම්පරාවල හිත‍ීමේ වෙනස්කම් දකින්නට පුළුවන්, මොකද ඒවා මත බලපැවැත්වෙන්නේ වෙනස් ඓතිහාසික තත්වයන් නිසා. සෝවියට් සමුහාණ්ඩුව බිඳ වැටෙන විට දරුණු ඓතිහාසික විසන්ධි වීමක් සිදු වෙනවා. දැන් වයස තිහේ පමණ වන මගේ මිතුරන් කියනවා  කොහොමද එයාලගේ දෙමව්පියන් අලුත් දේවලට බිය වෙන්නේ කියලා. ඒ දෙමව්පියන් කියන්නේ එක් මතවාදයක්  සමඟ පමණක් ලොකු මහත් වූවන්, පශ්චාද් යුධ දරුවන්.  අලුත් පරිසරයක් තුළ ඔවුන් බිය වෙනවා අලුත් දේවල් කරන්න. සෝවියට් පාලනය දැවැන්ත සමකාර බවක් පවත්වා ගත්තා. කාටවත් බැහැ පක්ෂය කියන දේ ට පිටින් දේවල් කරන්න, එහෙම කළොත් අන්තරාදායක ප්‍රථිඵල ලැබෙන්න පුළුවනි. ඒ නිසා යුද්ධයට පසු පරම්පරාවත් දෙවන ලෝක යුද්ධයට කලින් පරම්පරා‍වත් අතර පැහැදිලි වෙනස්කමක් තියෙන්නෙ ඒ නිසා. ඔවුන් ගොඩක්  දුක් වින්දා, ඒත් රාජ්‍ය පාලනය පිළිබඳ ඔවුන් දරන මතය හරිම වෙනස් එකක්.


වඩාත් සිත් ගන්නා සුළු දේ තමයි, ඔවුන්ගේ මුණුබරන්( 1980 න් පසු ඉපදුන අය) තුළ කැඩුණු බිඳුනු ආකල්ප නැහැ. ඔවුන්ගේ සිතීමේ රටාව බොහෝ විට  ඔවුන්ගේ ආච්චි සියාලගේ පරම්පරාවට සමානයි. ඉක්ස්තේනාගේ කෘතිය තුළ නින්නාද දෙන්නේ වර්තමාන බෝල්ටික් සමාජයේ එක් පැතිකඩක  සැකැස්ම ලෙස දැකිය හැකි, එනම් එම සමාජයේ මුණුබුරන්  තම දෙමවපියන්ට වඩා ඔවුන්‍ගේ ආච්චි සීයාගේ පරම්පරාවලට සමාන වීමේ සිදුවීමයි.
-එම අදහස බොහොම පහසුවෙන් අපගේ සංවාදය තුළ ලැට්වියානු ලේඛක යාන්ස් යුනෙව්ස් ‍ගේ කෘතිය  වෙත නැඹුරුවෙන්න අපව මෙහෙයවනවා. එම කෘතිය 90 දශකයේ තරුණ පරම්පරාව පිළිබඳ කෙරුණු නිර්මාණයක්. Doom 94. එම කෘතිය තුළ, සෝවියට් රෙජීමයේ සිට නව රෙජීමයට මාරු වීමේ දි සිදුවන වෙනස්කම් පෙන්වා දෙන්න, Heavy metal සංගිත ශෛලිය සහ Doom metal   වැනි සංගීත ශෛලීන්, දැකීම් මාත්‍රයන් වර්තනයට ලක්කරන ප්‍රිස්මයක් විදියට  යොදා ගැනෙනවා. නැ‍‍‍ඟෙහිර යුරෝපයෙත් පැරණි සෝවියට් සමූහාණ්ඩුව තුළත්  සංගීතය  නිතරම  ජනවිරෝධයේ මෙවලමක් සේම සංස්කෘතිකමය අපේක්ෂාවක් බවට පත් වුණා. යාන්ස් යුනෙව්ස් ‍ විසින් එම සමාජයේ සිදුවන වෙනස් කම් ගැන කතා  කරන්න, වාහකය ලෙස doom metal සංගීත ශෛලිය යොදා ගැනීම උත්ප්‍රාසජනකයි.


ජේඩ්- සංවත්සරයක් සමරන මේ වසරේ අසූව අනූව ගණන්වල ඉපදුණ සංගීතඥයන් සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡා  රැසක් මට දකින්න ලැබුණා.  ඔවුන්ව මට පේන්නේ ඉතා වැදගත් චරිත විදියට, මොකද ඔහු සංගීතඥයන්  වන නිසා පමණක් නොවෙයි, ඔවුන්ගේ සංගීත නිර්මාණ වලට නිවහල්බවත්, දේශපාලන නිදහසත් පිළිබඳ අදහස් කාවැද්දීමට තරම් ධෛර්යයක් ඔවුන් වෙත තිබුණු මිනිසුන් නිසා.ලිතුවේනියාවේ රොක් සංගීතය වාදනය කරන Antis  නම් සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් ගැන ඔබ අහලා ඇති. ඔවුන් තාමත් සංගීත සංදර්ශන පවත්වනවා.  කාලෙකට ඉහතදී ඔවුන් වෙත ඉතා තදබල ලෙස මාධ්‍යවල අවධානය යොමු වුණා. ජනතාව ඔවුන්ගේ සංදර්ශන නරඹන්න ආවේ බුරුතු පිටින්. ඒ එක්කම එතනට පොලීසියත් ආවා, ඒ ජන ගඟ විනාශාකාරී බලපෑමක් කියලා හිත‍ාගෙන වගේ. මෑතකදී How We Played the Revolution කියලා වාර්තා චිත්‍රපටියක් පවා නිෂ්පාදනය වුනා, ඒ කාලයේ ඒ සංගීත කණ්ඩායම  කළේ කුමක්ද, ඔවුන් කළ කාර්යය ඒ කාලයට අනුව කෙතරම් වැදගත් වුනාද කියන එක සංවාදයට බඳුන් කරන්න. එය සැබවින්ම ජනතා විරෝධයේ එක් ස්වරූපයක්. ජනතාව දැක්කා එවැනි ප්‍රකාශනයක් රට තුළ සිදු කල හැකියි කියන එක.


‍බෝල්ටික් රටවල ඉතිහාසයේ  ජාතික ගීත උත්සව ජනතා නැඟිටීමවලින් වෙන් කළ නොහැකි සංඝටයක් බවට පත් වූයේ අහම්බෙන් නොවෙයි. සංගීතය එස්තෝනියනු, ලිතුවේනියානු සහ ලැට්වියානු  අනන්‍යතාවය තුළ වැදගත් භූමිකාවත් අත්පත් කරගන්නා අතර එවැනි විරෝධාකල්ප සංගීත ප්‍රකාශනයක් සෝවියට් සමුහාණ්ඩුව තුළද සිදු කළ හැකි බව ඔවුන් තේරුම් ගත්තා.


-ඒවා ඇත්තටම සිංදු කියන විප්ලව බවට පත් වුනා.


ජේඩ්- නිසැකවම! යාන්ස් යුනෙව්ස් ‍ගේ Doom 94 කෘතිය වැඩිමහල් වියට පත්වීම පිළිබඳ කතාන්දරයකි.එහි වැඩිහිටියෙකු බවට පත් වෙමින් සිටින කථානායකයා  යනු වැඩිවියට පත්වෙමින් සිටින රට කියා පාන රූපාලංකාරයක්. ඔහු අපට පෙන්වනවා එක්දහස්නවසිය අනු ගණන්වල තිබූ තත්වය මොන වගේද යන්න. යකඩ තාප්පය බිඳ වැටී තිබුණා, එහෙත් ඒ රටවල් එකවරම ප්‍රජාතන්ත්‍රවාදි රටවල් බවට පත් වුනේ නැහැ.


-අප දැන් ලිතුවේනියාව පැත්තට හැරෙමු. ඔබ මෙම සංවාදයට දැන් තෝරා ගෙන ඇත්තේ අෆ්රා කසීලුනුටේ නම් ලාබාල කිවිඳියකගේ කෘතියක්(Moon is a pill).  මෙම කෘතියේ ඇති කවි කියවද්දි මට දැනුනේ ලිතුවෙනියානු ගැමි කතා වල ඇති, තරමක් අධියථාර්තවාදී, කාව්‍යමය, මායාකාරී චිත්ත රූප වරින් වර ඉන් මතු වීම පමණක් නොවෙයි, ඒවා නවීන සංස්කෘතිය වෙතද ගෙන ආ ඇති ආකාරයයි. සැබවිමන්ම එම කවි වල ඇති වැඩිමනත් ලෙස ජනශ්‍රැතික හෝ පණ පෙවූ චිත්ත රූප ලෙස විස්තර කළ හැකි දේවල් බොහෝමයක් විසින් එම කාව්‍යය නිර්මාණයන්ට ලිතුවේනියානු බවක් ලබා දුන්නා.


ජේඩ්- ඇයට කියවීම සඳහා ලොකු ඉඩක් ලැබිලා තියෙවා. එම නිර්මාණවල එකම ආකාරයේ දෘෂ්ටාන්ත දකින එකක් නැහැ ඔබ, උදාහරණයක් ලෙස සෝවියට් ආණ්ඩුව පවතින කාලයේ අජීවි දේට පණ ලබා දීම  සම්බන්ධයෙන් බොහෝ දේවල් කරන්න තිබුණා. ඔබට සොබා දහම ගැන කතා කළ හැකියි. එයට ඔබට අවසර තිබෙනවා. ඔබට ඒ ආකාරයෙන් වඩාත් ඉලක්ක සහගත නොවී වක්‍රාකාරයෙන් දේශපාලන කාරණා ගැන කතා කරන්න හැකියාව ලැබෙනවා. ජනතාව ඒ සළකුණු තේරුම් ගන්නවා, ජනතාව තේරුම් ගන්නවා මොනවද මේ කවී කිවිඳියන්ට කියන්නෙ ඕනෑ කරන්නේ, මොකද ඔවුන් දන්නවා එම නිර්මාණකරුවන්ට කියන්න අවශ්‍ය දේ ඔවුනට සෘජුව කියන්න හැකියාවක් නැහැ කියලා.


-ඇයි විශේෂයෙන් ඔබ මෙම කවි එකතුව මේ සංවාදයට තෝරා ගත්තේ? ජේඩ්- මට අනුව ඇය නවීන ලිතුවේනියානු කවිය ප්‍රතිමූර්ති ගන්වනවා. ඇයගේ කවි වල ජ්‍යාතන්තර බවක් තැවරී තියෙනවා. ඇය අලුත් ආරක කිවිඳියක්- ඇය සමාජ කතිකාවෙන් දුරස්ව නිකම්ම කවි ලිය ලියා ඉන්න කෙනෙක් නෙවි. ඇය සමාජ ක්‍රියාකාරිනියක්,  ඇය දේවල් සංවිධානය කරනවා  මිනිස්සුන්ව ඒකාරාශි කරන්න  හැකියාව අවස්ථාව ලබා ගන්න. එම ක්‍රියාවන් ඇයගේ කවිවලින් මතු වෙනවා.  ඇයට නිරන්තරයෙන්ම කවියේ සීමා මායිම් ඈතට තල්ලු කිරීමට උවමනාවක් තිබුණා. අඩුම මම ඇයගේ නිර්මාණ පිළිබඳ දකින්නේ ඒ විදියට.


-අපි දැන් රිකර්දාස් ගැවලිස් දෙසට හැරෙමු. ඔහුත් ඔබ කියනවා වගේ සන්දර්භානුගත නිර්මාණ කරන ලේඛකයෙක්.  ඔහුගේ ඔබ තොරාගත් කෘතිය Memoire of a life cut short ලිතුවේනියාව නිදහස් රාජ්‍යයක් බවට නැවත පත් කිරීමේ කාර්යයභාරය තුළ වඩාත් වැදගත් වැඩ කොටසක් සිදු කළ, සාජුදිස් ලිතුවේනියානු ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ( Sajudis, the Lithuanian Reform Movement)  ඉතා තදින් ක්‍රියාත්මක වුණු කාලය විසින් බිහිකළ නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ‍බෝල්ටික් රටවල නිදහස උදෙසා ක්‍රියාත්මක වුනු අනෙක් නිදහස් ව්‍යාපාර සමඟම සාජුදිස් ද සැබෑවටම සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමට අවශ්‍ය හේතු සාධක සැපයූවා.


ජේඩ්- අපි මෙතෙක් කතා කළේ බෝල්ටික් රටවල තරුණ නිර්මාණරුවන් සහ නිර්මාණකාරියන් ගැන.  ගැවලිස් කියන්නෙ එම ලේඛකයන් සමඟ ගත්තොත් තහවුරු කරගත්ත ලේඛණ වෘත්තියක් තියෙන ලේඛකයෙක්. ඔහු සාපේක්ෂව ඉතා දිගු කාලයක් ලේඛණ කටයුතුවල යෙදිලා තියෙනවා. ඔහු තම ලේඛන වෘත්තීය ආරම්භ කලේ සෝවියට් සමූහාණ්ඩුව පවතින කාලයේ. ඔහු සෝවියට් රෙජීමයට විරෝධය පෑ   අයෙක් වන අතරම නිදහස් ව්‍යාපාරයේ ද පුරෝගාමියෙක්.


ඔහු ලිතුවේනියානු සාහිත්‍ය තුළින් එම රෙජීමය දැඩිව සහ කටුක ලෙස දෝෂදර්ෂණයට ලක් කළ ලේඛකයන් ගෙන් එක අයෙක්. ඔහු කතා කරනවා පාලන අධිකාරිය තුළ මතුවෙමින් එන නව පන්නයේ බල ව්‍යුහයක් පිළිබඳව. මම තෝරාගත් ඔහුගේ කෘතිය එනම් Memoirs of a Life Cut Short තුළ  මතු කරනවා පුද්ගල දැනුවත්භාවය පිළිබඳ සංවාදය. තනි පුද්ගලයෙකු ලෙස දැනුවත් වීම, ජාතියක් ලෙස දැනුවත් වීම සහ  ලිතුවේනියානුවෙක් වීම ලෙස හැඟවෙන්නේ කුමක්ද, රටක ‍ස්වෛරී රාජ්‍යයක් වීම යනු කුමක්ද යන කාරණා මතු කර දක්වනවා.


-මට හිතෙන්නේ කෘතියේ ආකෘතිය මුළුමනින්ම ප්‍රහර්ෂාත්මකයි. භූගෝලිවය සත්‍ය නමුත් පරිකල්පනීය සංවාදකයන් දෙදෙනෙකු අතරේ සිදුවන ලියුම් ගනුදෙනුවක්.  ඉන්පසු ප්‍රාන්ස් කෆ්කා, ඇල්බෑර් කැමු ඇතුළු ප්‍රසිද්ධ චරිත කිහිපයක්. මම හිතන්නෙ ලිතුවේනියානු සාහිත්‍ය පළමු වතාවට ඇසුරු කරන පාඨකයෙකුට ය‍ුරෝපීය සාහිත්‍යයේ දැවැන්තයින්ද සමඟින් වඩාත් පුළුල් යුරෝපීය සාහිත්‍ය කතිකාවකටයි ඇතුළු වීමට සිදු වෙන්නෙ. එය ඔබ සිතන විදියට සාධාරණද?


ජේඩ්- පළමුවෙන්ම කියන්නෙ ඕන එම කෘතිය තුළ කතා බහ කරන්නෙ ලිතුවේනියානුවන් ගැන. මට අනුව  මෙම කෘතිය තමයි  1989 පසු මේ දක්වා ප්‍රකාශයට පත් වුනු හොඳම ලිතුවේනියානු සාහිත්‍ය කෘතිය. එහි මනාව පැහැදිලි කරනවා සෝවිය‍ට් සමූහාණ්ඩුව බලයේ පැවති කාලය තුළ ජීවත් වුණු මේ පුද්ගලයන්,  දැන් සිටින පුද්ගලයන් බවට පත් ‍වුයේ කෙසේද, ඔවුන්ගේ ඇතුළු මනස ක්‍රියාකරන්නේ කෙසේද යන කාරණා ටික.


මම ලිතුවේනියාවේ ජිවත් වෙද්දි මට දැනුනු දෙයක් තමයි  එහි ජනතාවට ඇත්තටම ඕනෙ කමක් නැහැ අතීතය ගැන කතා කරන්න,  බොහෝ විට මෑත අතීතය ගැන.මම නිතරම හිතුව ඒ ඇයි කියලා. ඒත් මේ පොත මම කියවගෙන යද්දි මට ‍තේරුණා ඒ ඇයි කියලා. එය‍ට ප්‍රධාන හේතුව ලෙස මම තේරුම් ගත්තේ ලිතුවේනියානු ජන මානසිකත්වයයි. ගැවෙලිස් කියන්නෙ ලිතුවේනියානු සමාජය අනුකම්පාවිරහිත ලෙස විවේචනය කළ අයෙක්. කෘතියේ දැක්වෙන ආකාරයේ ලිපි හරහා  කැමූ හෝ  ස්ටලින් කතා කිරීම යනු ලිතුවේනියානු සංස්කෘතිය  මත අතිවිශාල ලෙස බලපෑ  යුරෝපියානු දැක්ම  සමඟ ඇති සමීපතාව පිළිබඳව සැලකිල්ලට ගනිමින්, ලිතුවේනියානු සමාජය විවේචනයට ලක් කරන ඔහුගේ ශූර හැකියාවක් ලෙසයි මට පෙනෙන්නේ.


-අපි දැන් එස්තෝනියාව වෙත හැරෙමු. ඔබ අවසාන වශයෙන් තෝරා ගෙන තියෙන්නෙ එස්තෝනියානු කිවිඳියක වන කත්ලින් කල්ද්මා ගේ One is None නම් කෘතිය. මම බොහොමත්ම සංන්තෝෂ වෙනවා,  මෙම සංවාදය තුළ ඔබ මේ තෝරා ගත් දෙවන කාව්‍ය සංග්‍රහය.


ජේඩ්- ඇය කතා කරන්නේ ආදරය ගැන සහ අප ආදරය සොයා ගන්නා භූගෝලීය පිහිටීම් ගැන. ඇත්තටම ආදරය ගැන විතරක්ම නෙමෙයි,  ලොව පුරා දක්නට ලැබෙන බලාපොරොත්තු සුන්වීම ගැනත් ඇය ලිව්වා. ඇත්තටම මෙම කාව්‍ය එකතුව එස්තෝනියානු කවියට සංකේතමය උදාහරණයක්ද කියන්න මම දන්නෙ නැහැ. ‍මොකද එය සැබවින්ම අන්තරාන්වේෂකයි. එම කවිවල  භුමි දර්ශනමය විස්තර සුලබයි, එහෙත් ඒවා භෞතික භූමිදර්ශන නොවෙයි, ඒවා මිනිසුන්ගේ භාවාත්මක භූමි දර්ශනයි.


-ඔබගේ අත්දැකීම අනුව එස්තෝනියානුවන් විශේෂයෙන්ම කාව්‍යය නිර්මාණකරණයට සුහුරු බවක් දක්වන්නන්ද?

ජේඩ්- මට එහෙම තමයි හිතෙන්නෙ. ඔබ බැලුවොත් හොඳම අලෙවිය ඇති වෙනස් දාමයන්ට අයත් පොත් දහයක් ගත්තොත්, එතන ඔබට කවි එකතු එකක් හෝ දෙකක් දකින්න ලැබෙනවා.  ඒවා ඇත්තටම  වෙනස්, කිසිම රටකින් නොඇසෙන නොනැ‍ඟෙන කවි.  මම හිතන්නෙ එස්තෝනියානුවන් සැබවින්ම සක්‍රිය  සාහිත්‍ය වටපිටාවක් නිර්මාණය කරගන්න මහත් පරිශ්‍රමයක් දරනවා.


පරිවර්තනය /සටහන – සුභාෂිිණි චතුරිකා

Article Categories:
සාහිත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares