මේ බිමේ සත්‍යය ලිවීම සියදිවි නසා ගැනීමක්

Written by

බාලේන්ද්‍රන් ප්‍රදීපන් නමින් 1983 වසරේ වන්නි, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ රත්තිනපුරම් ග්‍රාමයේ උපත ලැබූ ඔහු කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා යාපනය විශ්ව විද්‍යාලයේ දෙමළ විශේෂවේදී උපාධිය හැදෑරුවේය. යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා වශයෙන්ද කටයුතු කළ ඔහු පසුව චෙන්නයි විශ්ව විද්‍යාලයෙන් පුවත්පත් කලාව හා ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධිය හැදෑරුවේය.

තිරුනෙල්වේලි හි මනෝන්මනියම් සුන්දරනාර් විශ්ව විද්‍යාලයෙන් දර්ශනපති උපාධියද ලබා යලි සියරට පැමිණි ඔහු හතරවන ඊලාම් යුද්ධයේදී දිවි දෙවැනි කොට තම භූමිය වෙනුවෙන් පෙනී සිටිමින් කවියෙන් සටන් වැදුණේය. යුද සමයේ පමණක් නොව වර්තමානයේද ඔහුගේ ලිවීම් ප්‍රබල දේශප්‍රේමී රචනාවන් ලෙස දෙමළ පාඨක ප්‍රජාව අතර සම්භාවනාවට පාත්‍රවී තිබේ.


2008 වසරේ දීපචෙල්වන් යන නාමයෙන් සාහිත්‍ය ලෝකයට පිවිස ‘බංකරයක උපන් බිලිඳා’ යන සිය මුල්ම කාව්‍යය එලිදැක්වූ ඔහු එතැන් සිට මේ දක්වා ග්‍රන්ථ 16ක් එලිදක්වා ඇත. වර්තමානයේ මෙරට දෙමළ සාහිත්‍යයේ ප්‍රමුඛතම කවියකු ලෙස සැලකෙන ඔහුගේ ‘මම ශ්‍රී ලාංකිකයකු නොවෙමි’ යන කාව්‍යය මේ අතරින් සුවිශේෂි වන අතර සිංහලද ඇතුළුව භාෂා කිහිපයකටම පරිවර්තනයවී ඇත.දීපචෙල්වන්ගේ පළමු නවකතාව ‘නඩුගල්’ නමින් පසුගියදා එලිදැක්වුණු අතර මේ එය නිමිතිකොට ගෙන ඔහු හා පවත්වනු ලැබූ සංවාදයකි.


ඔබ දකින අන්දමට උතුරු-නැගෙනහිර වෙසෙන සාහිත්‍යකරුවන් මුහුණපාන ප්‍රධානතම ගැටළු මොනවාද?


උතුරු-නැගෙනහිර දෙමළ ලේඛකයන් මුහුණදෙන මූලිකම ගැටළුව තමයි ඔවුන්ගේ ජීවිතාරක්ෂාවට තර්ජන එල්ල වීම. මෙහි බොහෝ ලේඛකයන් ඝාතනයට ලක්වුණා. කවියන් අතුරුදහන් වුණා. ඇත්ත වශයෙන්ම යම් රටක සාහිත්‍යකරුවන් ඝාතනයට ලක්වීම්, අතුරුදන් කිරීම් වගේ දේවල් සිදුවෙනවා නම් එහි අදහස එයින් ගම්‍යවන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ප්‍රතික්ෂේප වෙමින් පවතින බවයි. ඔබ දන්නවා ඇති පුදුවෛ රත්නදුරයි ගැන. ඔහු යුද්ධයේදී යටත්වී හමුදාවට භාරවුණා. ඉන්පසුව ඔහුට අද වන තුරුත් සිදුවූ දෙයක් දන්නෙ නෑ. ඔහු අතුරුදහන් වෙලා. මංජුල වෙඩිවර්ධන මේ රටින් පිටුවහල් කෙරුණු සිංහල කවියෙක්. අද බොහෝ කවීන් ඉන්නවා තමන්ට අවශ්‍ය දේ ලියාගන්න බැරිව. ‘නඩුගල්’ නවකතාවේ පෙරවදනෙහි මා කියා ඇති දෙයක් නැවත සිහිපත් කරන්නම්. මේ බිමේ හිඳිමින් ‘නඩුගල්’ ලිවීම දිවිනසාගැනීමක් හා සමානයි. ඕකයි උතුරු-නැගෙනහිර ලේඛකයන්ගේ තත්වය.

දෙමළ භාෂාවෙන් පළ වෙන කෘති පෙරළා සිංහල භාෂාවට නැගීමටත් සිංහල භාෂාවෙන් පළ වෙන කෘති පෙරළා දෙමළ භාෂාවට නැගීමත් යන ද්විකාරණාව සක්‍රීයව සිදු වුණ හොත් එය දෙමළ සිංහල දේශපාලන ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීමට රුකුලක් වේවි කියලා ඔබ හිතනවද?


දෙමළ – සිංහල ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා සිංහල නායකයන්ගෙන් අවංකවූ එළඹුමක් අවශ්‍යයි. එය ජනයාගේ අදහස්, උදහස්, ආකල්ප වෙනස් කිරීමට පිටුබලයක් වෙනවා. ඒ වගේම එක් බසකින් ලියැවුණු උසස් සාහිත්‍ය කෘති අනෙක් බසට පරිවර්තනය වීම එකිනෙකාගේ සිතුම් පැතුම් තේරුම් ගැනීම සඳහා උදව්වක් වෙනවා. ඒත් සිංහල ජනතාව වරදවා වටහා නොගත යුතුයි, ජාතික ප්‍රශ්නය තවත් ව්‍යාකූල කෙරෙන ලියවිලි තමයි බොහෝවිට සිංහලයට නැගී තියෙන්නේ. තමිලිනිගේ නමින් එලිදැක්වුණු ‘තියුණු අසිපතක සෙවණ යට’ මීට හොඳ උදාහරණයක්. දෙමළ ජනයාගේ මූලික හැඟීම් විවරණය කෙරෙන සාහිත්‍යමය ලියවිලි සිංහලට පෙරලී ඇත්තේ ඉතාම අඩුවෙන්. මගේ ‘මම ශ්‍රී ලාංකිකයකු නොවෙමි’ යන කවිය මුලින්ම සිංහල බසට තමයි පරිවර්තනය වුණේ. එය සිංහල කවීන්, සහෘදයන් විස්මයජනක විදියට වැළඳ ගත්තා.  


 මෙරට සිටින සහ හිටපු ප්‍රධාන පෙළේ දෙමළ ලේඛකයන් හා ඔවුන්ගේ නිර්මාණ ගැන හැඳින්වීමක් කළොත්  වසර 2000කට පෙර සංගම් යුගයේ (ක්‍රි. ව. 1-3 අතර කාලයේ) මෙරට දෙමළ කවියෙකුවූ භූදන්දේවනාර් ඉන්දියාවට ගොස් මදුරයි හි වෙසෙමින් කවි ලියා තියනවා. සංගම් සාහිත්‍යයේ එන ගේය කාව්‍ය මේ සඳහා සාධක ලෙස දැක්විය හැකියි. එදා සිට අද දක්වා දෙමළ සාහිත්‍යයේ සශ්‍රීකත්වය ගොඩනැංවීම සඳහා මෙරට දෙමළ ලේඛකයන්ගෙන් විශාල දායකත්වයක් ලැබී තියනවා. මහා කවි රුද්‍රකුමාර්, නීලාවනන් වැනි නව කවියන්ගේ දායකත්වයත් කැපී පෙනෙනවා. ඒ වගේම දෙමළ ජාතික විමුක්ති සටන තුලින් මතුවූ කවීන්ගේ දායකත්වයත් ඒ තරමටම වැදගත්. පුදුවෛ රත්නදුරෙයි, ජෙයපාලන්, චේරන්, ඖවෛ, සංකරී වැනි කවීන් මීට නිදසුන්. ඒ වගේම සටන් බිමේ සිටි කවීනුත් මෙරට දෙමළ සාහිත්‍ය කෙත සරු කිරීමට ඉමහත් දායකත්වයක් දුන් අය. කපිතාන් කස්තුරි, කපිතාන් වානදි, මේජර් භාරති, අම්බුලි, වෙට්ට්‍රිසෙල්වි, මලෛමගල්, තමිල්වන් වගේ විශාල පිරිසක් නම් කරන්න පුළුවන්. දෙමළ ජනයා වෙනුවෙන් එක් අතකින් තුවක්කුවකුත්, අනෙක් අතින් පෑනකුත් ගෙන සටන් වැදුණු මේ රණවිරු සාහිත්‍යධරයින් දෙමළ ජනයාගේ ඉතිහාසය පමණක් නෙවෙයි, දෙමළ සාහිත්‍යයත් වර්ණවත් කළා.


 මෙරට දෙමළ බසින් කාව්‍යකරණයේ යෙදෙන නව පරපුරේ කවියන් ගැන හඳුන්වාදීමක් කළ හැකිද?
අද වන විට මෙරට නව පරපුරේ කවියන් අතින් ප්‍රබල කාව්‍යයන් රැසක් බිහිවී තියෙනවා. මේවා පැහැදිලිවම ඉන්දීය දෙමළ සාහිත්‍යයෙන් වෙන්කොට හඳුනා ගත හැකියි. තමිල්නදී, සිද්ධාන්තන්, දුවාරගන්, අලරි, අනාර්, ඊලවානි, රිෂාන් ෂෙරිෆ්, ෆහීමා ජහාන්, ජමිල් වැනි මෑතකාලීන රචකයන් නූතන දෙමළ කවියේ පෙරගමන්කරුවෝ. වර්තමාන යුගය ගැන කියද්දී අගරමුදල්වන්, ක්‍රිෂාන්ත්, යදාර්තන්, ශර්මිලා විනෝදිනි, කෝ. නාදන් වැනි අය විශේෂයි. යුද හා පශ්චාත් යුද සමයන්හි පීඩක බලවේගවල විවිධ පැතිකඩවල්, ජීවිතයේ පර්යන්තයන් ගැන, වාර්ගික පීඩනය වැනි නොයෙක් දේවල් ඔවුන්ගේ කවි තුලින් පිළිඹිබුවෙනවා.    


මෑතදී ඔබ විසින් එලිදක්වනු ලැබූ ‘නඩුගල්’ නවකතාව පිළිබඳව හැඳින්වීමක් කළොත්.නඩුගල් (සොහොන් කොත) යුද සමයේ ඉපදී හැදී වැඩුණු දරුවන් දෙදෙනෙක් වටා ගෙතුණු කතාවක්. දස හැවිරිදි වියේදී එල්.ටී.ටී.ඊ. ව්‍යාපාරයට එකතු වීමට කල්පනා කරන දරුවෙක් හා තමන්ගේ අයියාව සොයා යන දරුවෙක් අතර දෝලනය වන කතාවක්. වර්තමානයේ තම වැඩිමල් සොයුරා පිළිබඳ මතකයන් අවදි කරන බාල සොහොයුරකුගේ අතීත අත්දැකීමක් ලෙස නවකතාව ගලායනවා.මේ නවකතාවේ අරමුණ මෙහි සිදුවූ යුදමය අරගලයට කුඩා දරුවන් සම්බන්ධවූ ආකාරය හා එහි පලවිපාක පිළිබඳව විවරණයක් ඉදිරිපත් කිරීමයි. යුද්ධය සිදුවුණේ දරුවන්ට එරෙහිවයි. සිංහල පාඨකයා මේ නවකතාව කියැවිය යුතුයි. මෙය සිංහලයට පරිවර්තනය වනු දැකීමයි මගේ කැමැත්ත. අපේ ජනතාවගේ සිහිනය, අපේ දරුවන්ගේ සිහිනය ගැන අවබෝධයක් ඇතිකර ගැනීමට මේ නවකතාව නිසැක පිටුබලයක් සපයාවි.  


මෑත කාලයේ එලිදුටු වෙනත් දෙමළ භාෂිය නවකතා සහ ඒවායේ සුවිශේෂතාවන් ගැන සඳහනක් කරන්න පුළුවන්ද?
මේ උදාවී ඇත්තේ දෙමළ ඊලාම් සාහිත්‍යයේ නවකතා යුගය යැයි කියන්නට පුළුවන්. ලාංකීය දෙමළ ප්‍රබන්ධ කතා සාහිත්‍යයේ විශාල කඩා වැටීමක් නැතහොත් හිඩැසක් ඇතිවී තිබුණා. දැන් සෑහෙන නවකතා ප්‍රමාණයක් එලිදැක්වෙමින් පවතිනවා. වසර තිහක ඊලාම් අරගලය සහ උතුරු නැගෙනහිර ජනදිවිය පිළිබඳ දෘෂ්ටි හෙලීම්, විවරණය කිරීම් මේ නවකතාවල ඇතුලත්. ‘නන්චුන්ඩ කාඩු’ (විෂ වනය ) ඇතුළු ගුණා කවියලගන්ගේ නවකතා, තමිල්නදිගේ ‘පාතීනියම්’, සයන්දන්ගේ ‘අදිරෛ’ සහ ‘ආරාවඩු’, ආදිලක්ෂ්මි සිවකුමාර්ගේ ‘පුල්ලිගල් කරෛන්දපොලුදු’ (තිත් විසුරුවා හල කලෙක ), වෙට්ට්‍රිසෙල්විගේ ‘පෝරාලියින් කාදලි’ (අරගලකරුවාගේ පෙම්වතිය ), වාමුරුගවේල්ගේ ජැෆ්නා බේකරි සහ කලාදීපම් ලොජ්, රවි අරුණාචලම්ගේ පී.කේ.එම්. පුහෛරත නිලයම්, අගරමුදල්වන්ගේ ‘උලගින් මිහ නීන්ඩ කලිප්පරෛ’ (ලොව දිගම වැසිකිළිය ) වැනි නවකතා මීට උදාහරණ.


ලේඛකයෙක් විදියට ඔබ මෙරට තිබූ යුධමය කාල වකවානුව කියවා ගන්නේ කොයි විඳියටද?
යුද්ධය අපේ මුළු ජීවිත කාලයම වගේ පැවතුණා. හමුදා යුධ ටැංකි, සන්නද්ධ රථ නිරතුරුවම අපේ ජීවිත ලුහුබැන්දා. බිලිඳු වියේදීත්, ළමා වියේදීත් යුද්ධය විසින් ඇතිකළ තියුණු බලපෑම් අපේ ජීවිත සහමුලින්ම බිඳ වට්ටවා තියෙනවා. මේ යුද්ධය සිදුකෙරුණේ ජීවිත විනාශ කිරීමටම වගෙයි. මේ යුද්ධය එක් ජාතියක් වෙනුවෙන් එක රජයක් කරපු පුපුරුවා හැරීමක්. හමුදාවේ ඇතැම් කෲර ක්‍රියාවන් සිංහල ජාතිය තුළ මහත්වූ භීෂණයක් ගොඩනැගුවා. දෙමළ වීම නිසාම යුද සමයේ බොහෝ තරුණ තරුණියන් දරුණු වද හිංසා, ලිංගික හිංසන ආදියට ලක්කර මරාදමනු ලැබුවා. ඉතිහාසය පුරාවටම මේ තිත්ත වර්ගවාදය මේ යුද්ධය තුල පැවතුණා. දෙමළ ජනයා මත යුද්ධයෙන් ඇතිකෙරුණු මේ තුවාල සුවපත් කිරීමට නම් වාර්ගික සංහාරය වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතුයි. හමුදාව ඉවත්විය යුතුයි. යුද්ධය විකුණාගෙන කන හමුදා සංකේත උතුරින් හා නැගෙනහිරින් ඉවත්කළ යුතුයි.


වත්මන තුළ මෙරට දෙමළ භාෂාවෙන් නිකුත් වන කෘති ඉන්දියාවට අපනයනය කිරීමක් සිදු වනවාද? වර්තමානයේ දෙමළ සාහිත්‍ය කෘති පළවීමේ තත්වය කෙබඳුද?
එක් යුගයක මෙරට දෙමළ භාෂාවෙන් ඉතා වැදගත් කෘති බිහිවුණා. නාවලර්, සී.වයි. තාමෝදරම්පිල්ලේ වැනි අය මෙරට දෙමළ සාහිත්‍යයේ පුරෝගාමීන්. එක්තරා කාලයක මෙරට එලිදුටු කෘතින් හැමෙකක්ම එසැණින් තමිල්නාඩුව වෙත ගියා. ප්‍රවාහන පහසුකම් දියුණු නොවූ කාලවල පවා එවැනි තත්වයක් තිබුණා. අද වනවිට, යුද්ධයත් සමග මෙරට දෙමළ සාහිත්‍ය කෘති ප්‍රකාශයට පත්කිරීම බිඳවැටිලා. රටේ අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ අර්බුද වැනි දේ නිසා පොත් පළකිරීම බොහෝවිට සිදුවෙන්නේ ඉන්දියාවේයි. අද දෙමළ ජනයා ලොවපුරාම විසිරගිය තත්වයක ඉන්දියාව තුල මෙවැනි තත්වයක් නිර්මාණය වීම දෙමළ සාහිත්‍යයේ වර්ධනයට ඉමහත් රුකුලක් බව සඳහන් කළ යුතුයි.


සටහන : විජිත් කරුණානායක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares