මානව අයිතිවාසිකම් වලට එරෙහිව ජාතික ආරක්ෂාව ඇටවීම!

Written by
නූතන සමාජ කතිකාව තුළ නොයෙක්විට සාකච්ඡාවට ලක්වන අදහස් අතරින් මානව අයිතිවාසිකම් යනු සමාජ ප්‍රගතිය පිළිබඳ අතිශයින් වැදගත් සමාජ දර්ශකයකි. එහෙත් ඒ පිළිබඳ ඇති ඇතැම් දුර්මත කණගාටුදායක ලෙස නොමග ගිය ඒවා බව මානව අයිතිවාසිකම් වලට එරෙහිව ජාතික ආරක්ෂාව පිහිටුවීමට තැත් කරන ඇතැම් ප්‍රයත්නයන්ගෙන් පෙනී යයි. නව ලිබරල්වාදී ආර්ථික චින්තනය විසින් ඔජ වඩවන මමංකාර ධනවත්කම වැදගත්ම ජීවන ඉලක්කය ලෙස සලකන හා එහි ඵලයක් ලෙස සමාජ විෂමතාවය නොකඩවා උග්‍රවන සන්දර්භයක් තුළ සහානුකම්පිත සදාචාරයක් මත පිහිටා අපේ ක්‍රියාකාරකම් යළි සකසා ගැනීමේ අරමුණ පශ්චාත් නූතන සාපේක්ෂවාදී ගොහොරුවේ ගිල්ලවා විනාශ කර දැමීමට තැත්කරන මෙවන්  සමයක මිනිස් අත්බවයේ වටිනාකම හා අභිමානය සුරැකීම පිළිබඳ අපට ඇති සාමූහික වගකීමේ අනුල්ලංඝනීය අන්‍යෝන්‍ය  ගිවිසුමක් ලෙස මානව අයිතිවාසිකම් අපට වැදගත් සදාචාරීය සැඳහුමක් සපයයි. පෘථුල වශයෙන් බැලූවිට මානව අයිතිවාසිකම් පිළිබඳ අදහස බටහිර පුනරුදය නිසා ඇතිවූවක් බවත් ඒ නිසාම එය බටහිර නූතනවාදය තුළ රාමුගතවීම නොවැලැක්විය හැකි බවත් ඇතැම් විචාරකයෝ අදහස් කරති. ඉනුත් ඔබ්බට ගොස් මානව අයිතිවාසිකම් යනු හුදෙක් බටහිර යටත්විජිතවාදී ආධිපත්‍යය විද්‍යමාන වන තවත් ආකාරයක් බවත් ඒ නිසා මානව අයිතිවාසිකම් යන සංකල්පය ප්‍රතික්ෂේප කළ යුතුයැ’යි පවසන අයද වෙති. ඒ අය අතරෙන් බොහෝ දෙනෙක් සිය රටවල ඒකාධිපති පාලන තන්ත්‍රවල මර්දනකාරී පැවැත්ම සහ සුලුජාතීන්ට හා ස්ත්‍රීන්ට අඩුසැලකිලි දැක්වීම සාධාරණියකරණය කිරීම සඳහාද මානව අයිතිවාසිකම් බටහිර ආධිපත්‍යයේ යාන්ත්‍රණයකි යන එකී වාගාලංකාරය යොදාගනිති. මානව අයිතිවාසිකම් පිළිබඳ නූතන වැටහීම් වලින් වැඩි කොටසක් බටහිර පුනරුද චින්තනයෙන් හැඩගැසුණු බව ඇත්තකි. මානව අයිතවාසිකම් පමණක් නොව නූතන දේශපාලන කතිකාවට විෂය වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන ඡන්දය හා නිදහස් මැතිවරණ, ස්වාධීන යුක්ති වීනිශ්චය, නිදහස, සමානාත්මතාවය සහ මානව අභිමානය වැනි අනෙකුත් බෙහෝ සංකල්පද බටහිර පුනරුද චින්තනයේ ප්‍රතිඵල වෙති. ඒ අනුව හුදෙක් බටහිරවීම නිසා එකී සංකල්ප භාවිතා නොකළයුතුයැ’යි කීම එම සංකල්ප මගින් අදහස් වන වටිනාකම් හා සදාචාරය සියලු සමාජ සංස්කෘතික පසුබිම් වලට අදාළ වන ආකාරයට යොදා ගැනීම අවහිර කිරීමකි. වඩා වැදගත් කාර්ය වන්නේ මානව අයිතිවාසිකම් බටහිර අධිපතිවාදී විලංගු වලින් ගලවාගෙන සියලු සමාජ සංස්කෘතික පසුබිම් තුළ මානව ප්‍රගතියේ පිළිගත් ගතික දර්ශක ලෙස ප්‍රථිස්තාපනය කර ගැනීමයි.  බටහිර ආභාසයෙන් බිහිවූවක් ලෙස සලකා මානව හිමිකම් නොසලකා හැරීමට එරෙහිවන තවත් වැදගත් හේතුවක් තිබේ. එනම් මානව හිමිකම් යනු මුලුමනින්ම බටහිරට ආවේනික වූ සංකල්පයකි යන්න නිවැරදි නොවීමයි. සියලුම ප්‍රධාන ආගමික සම්ප්‍රදායන් තුළ මානව හිමිකම් පිළිබඳ අදහස තිබුණි. විශ්ව මානව හිමිකම් ප්‍රකාශනය පිළියෙළ කිරීමට ප්‍රවේශයක් ලෙස 1947දී යුනෙස්කෝව විසින් පවත්වන ලද සමීක්ෂණයට දායක වූ ඉන්දියානු සමාජ විද්‍යාඥයෙකු වූ එස්.වී. පුන්ටාම්බෙකාර් මිනිස් නිදහස දස ආකාරයක සද්ගුණයන් ලෙස බෞද්ධ හා හින්දු දර්ශන වල මැනවින් සංගෘහිතව ඇති බව සමීක්ෂණ කමිටුවට එවු සිය පිළිතුරෙන් පෙන්වා දුන්නේය.   ඒ අනුව, ප්‍රචණ්ඩත්වයෙන් අත්මිදීමේ නිදහස (අහිංසා),  මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ නිදහස (අස්ථෙය), සූරාකෑමට ලක් නොවීමේ නිදහස (අපරිග්‍රහ),  නිගරුවට පාත්‍ර නොවීමේ නිදහස (අව්‍යාභිචාර),  අකල් මරණයෙන් හා අනාරෝග්‍යෙයන් වැලැකී සිටීමේ නිදහස (අර්මිථාත්ව සහ ආරොග්‍ය) පංච වාර්ගික සමාජයීය නිදහස වශයෙන් සැලකෙන අතර නොරිස්සීමට භාජනය නොවීමේ නිදහස(අක්‍රොධ), දයාව හා සහෝදරත්වය පැතීමේ නිදහස (භූතදයා සහ අද්‍රොහ),  දැනුම වැඩිදියුණු කරගැනීමේ නිදහස (ඥාණ, විද්‍යා),  සිතීමේ සහ හෘදසාක්ෂියට අනුව කටයුතු කිරීමේ නිදහස (සත්‍ය සහ සුනර්ථ) සහ ඉච්ඡාභංගයෙන් හා බියෙන් තොරව ජීවත්වීමේ නිදහස (ප්‍රවර්ති, අභය, ධිත්‍රි) මිනිසුන්ට නිසගින් උරුම අයිතීන් ලෙස සැලකෙයි . (Puntambekar, S.V. - Hindu Concept of Human Rights in Human Rights Comments and Interpretations; A symposium edited  by UNESCO, p 197 – Allan Vintage – London and New York – 1948 ) “මේ වනාහී එකිනෙකට වෙනස්ව පවුරු වළලුවලින් වට…

User Rating: Be the first one !
0

නූතන සමාජ කතිකාව තුළ නොයෙක්විට සාකච්ඡාවට ලක්වන අදහස් අතරින් මානව අයිතිවාසිකම් යනු සමාජ ප්‍රගතිය පිළිබඳ අතිශයින් වැදගත් සමාජ දර්ශකයකි. එහෙත් ඒ පිළිබඳ ඇති ඇතැම් දුර්මත කණගාටුදායක ලෙස නොමග ගිය ඒවා බව මානව අයිතිවාසිකම් වලට එරෙහිව ජාතික ආරක්ෂාව පිහිටුවීමට තැත් කරන ඇතැම් ප්‍රයත්නයන්ගෙන් පෙනී යයි. නව ලිබරල්වාදී ආර්ථික චින්තනය විසින් ඔජ වඩවන මමංකාර ධනවත්කම වැදගත්ම ජීවන ඉලක්කය ලෙස සලකන හා එහි ඵලයක් ලෙස සමාජ විෂමතාවය නොකඩවා උග්‍රවන සන්දර්භයක් තුළ සහානුකම්පිත සදාචාරයක් මත පිහිටා අපේ ක්‍රියාකාරකම් යළි සකසා ගැනීමේ අරමුණ පශ්චාත් නූතන සාපේක්ෂවාදී ගොහොරුවේ ගිල්ලවා විනාශ කර දැමීමට තැත්කරන මෙවන්  සමයක මිනිස් අත්බවයේ වටිනාකම හා අභිමානය සුරැකීම පිළිබඳ අපට ඇති සාමූහික වගකීමේ අනුල්ලංඝනීය අන්‍යෝන්‍ය  ගිවිසුමක් ලෙස මානව අයිතිවාසිකම් අපට වැදගත් සදාචාරීය සැඳහුමක් සපයයි.

පෘථුල වශයෙන් බැලූවිට මානව අයිතිවාසිකම් පිළිබඳ අදහස බටහිර පුනරුදය නිසා ඇතිවූවක් බවත් ඒ නිසාම එය බටහිර නූතනවාදය තුළ රාමුගතවීම නොවැලැක්විය හැකි බවත් ඇතැම් විචාරකයෝ අදහස් කරති. ඉනුත් ඔබ්බට ගොස් මානව අයිතිවාසිකම් යනු හුදෙක් බටහිර යටත්විජිතවාදී ආධිපත්‍යය විද්‍යමාන වන තවත් ආකාරයක් බවත් ඒ නිසා මානව අයිතිවාසිකම් යන සංකල්පය ප්‍රතික්ෂේප කළ යුතුයැ’යි පවසන අයද වෙති. ඒ අය අතරෙන් බොහෝ දෙනෙක් සිය රටවල ඒකාධිපති පාලන තන්ත්‍රවල මර්දනකාරී පැවැත්ම සහ සුලුජාතීන්ට හා ස්ත්‍රීන්ට අඩුසැලකිලි දැක්වීම සාධාරණියකරණය කිරීම සඳහාද මානව අයිතිවාසිකම් බටහිර ආධිපත්‍යයේ යාන්ත්‍රණයකි යන එකී වාගාලංකාරය යොදාගනිති.

මානව අයිතිවාසිකම් පිළිබඳ නූතන වැටහීම් වලින් වැඩි කොටසක් බටහිර පුනරුද චින්තනයෙන් හැඩගැසුණු බව ඇත්තකි. මානව අයිතවාසිකම් පමණක් නොව නූතන දේශපාලන කතිකාවට විෂය වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන ඡන්දය හා නිදහස් මැතිවරණ, ස්වාධීන යුක්ති වීනිශ්චය, නිදහස, සමානාත්මතාවය සහ මානව අභිමානය වැනි අනෙකුත් බෙහෝ සංකල්පද බටහිර පුනරුද චින්තනයේ ප්‍රතිඵල වෙති. ඒ අනුව හුදෙක් බටහිරවීම නිසා එකී සංකල්ප භාවිතා නොකළයුතුයැ’යි කීම එම සංකල්ප මගින් අදහස් වන වටිනාකම් හා සදාචාරය සියලු සමාජ සංස්කෘතික පසුබිම් වලට අදාළ වන ආකාරයට යොදා ගැනීම අවහිර කිරීමකි. වඩා වැදගත් කාර්ය වන්නේ මානව අයිතිවාසිකම් බටහිර අධිපතිවාදී විලංගු වලින් ගලවාගෙන සියලු සමාජ සංස්කෘතික පසුබිම් තුළ මානව ප්‍රගතියේ පිළිගත් ගතික දර්ශක ලෙස ප්‍රථිස්තාපනය කර ගැනීමයි. 

බටහිර ආභාසයෙන් බිහිවූවක් ලෙස සලකා මානව හිමිකම් නොසලකා හැරීමට එරෙහිවන තවත් වැදගත් හේතුවක් තිබේ. එනම් මානව හිමිකම් යනු මුලුමනින්ම බටහිරට ආවේනික වූ සංකල්පයකි යන්න නිවැරදි නොවීමයි. සියලුම ප්‍රධාන ආගමික සම්ප්‍රදායන් තුළ මානව හිමිකම් පිළිබඳ අදහස තිබුණි. විශ්ව මානව හිමිකම් ප්‍රකාශනය පිළියෙළ කිරීමට ප්‍රවේශයක් ලෙස 1947දී යුනෙස්කෝව විසින් පවත්වන ලද සමීක්ෂණයට දායක වූ ඉන්දියානු සමාජ විද්‍යාඥයෙකු වූ එස්.වී. පුන්ටාම්බෙකාර් මිනිස් නිදහස දස ආකාරයක සද්ගුණයන් ලෙස බෞද්ධ හා හින්දු දර්ශන වල මැනවින් සංගෘහිතව ඇති බව සමීක්ෂණ කමිටුවට එවු සිය පිළිතුරෙන් පෙන්වා දුන්නේය.   ඒ අනුව, ප්‍රචණ්ඩත්වයෙන් අත්මිදීමේ නිදහස (අහිංසා),  මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ නිදහස (අස්ථෙය), සූරාකෑමට ලක් නොවීමේ නිදහස (අපරිග්‍රහ),  නිගරුවට පාත්‍ර නොවීමේ නිදහස (අව්‍යාභිචාර),  අකල් මරණයෙන් හා අනාරෝග්‍යෙයන් වැලැකී සිටීමේ නිදහස (අර්මිථාත්ව සහ ආරොග්‍ය) පංච වාර්ගික සමාජයීය නිදහස වශයෙන් සැලකෙන අතර නොරිස්සීමට භාජනය නොවීමේ නිදහස(අක්‍රොධ), දයාව හා සහෝදරත්වය පැතීමේ නිදහස (භූතදයා සහ අද්‍රොහ),  දැනුම වැඩිදියුණු කරගැනීමේ නිදහස (ඥාණ, විද්‍යා),  සිතීමේ සහ හෘදසාක්ෂියට අනුව කටයුතු කිරීමේ නිදහස (සත්‍ය සහ සුනර්ථ) සහ ඉච්ඡාභංගයෙන් හා බියෙන් තොරව ජීවත්වීමේ නිදහස (ප්‍රවර්ති, අභය, ධිත්‍රි) මිනිසුන්ට නිසගින් උරුම අයිතීන් ලෙස සැලකෙයි . (Puntambekar, S.V. – Hindu Concept of Human Rights in Human Rights Comments and Interpretations; A symposium edited  by UNESCO, p 197 – Allan Vintage – London and New York – 1948 )

“මේ වනාහී එකිනෙකට වෙනස්ව පවුරු වළලුවලින් වට වූ අසමසම ශිෂ්ටාචාර පවතින යුගයක් නොවේ” යනුවෙන් සිය පිළිතුරේ  සඳහන් කළ පුන්ටාම්බෙකාර් අද්‍යතන ලෝකයේ කලාපයෙන් කලාපයට මානව අයිතිවාසිකම් වෙනස් වීමට හේතුවක් නැති බවද කියා සිටියේය. ඔහුට අනුව මානව අයිතිවාසිකම් පිළිබඳ බටහිර දෘෂ්ටියේ ඇති එකම වරද එමගින් මානව අයිතිවාසිකම් නිර්ණය කරන ආකාරය නොව එකී මානව අයිතිවාසිකම් සර්ව සාධාරණ ලෙස පිළිපැදීමට බටහිර ලෝකය අපොහොසත් වීමයි. සිය යටත් විජිතවල වැසියන්ට බටහිර රටවල් සැලකු ආකාරය අනුව මානව අයිතිවාසිකම් ආදේශ වූයේ යුරෝපීයන්ට පමණක් බව චෝදනා කළ පුන්ටාම්බෙකාර් හිට්ලර්ගේ වර්ගවාදී ක්‍රියා පිළිවෙත් සිහිපත් කරවමින් මෑත කාලයේදී  නම් එම අයිතීන් යුරෝපීයන් අතරිනුත් ඇතැම් සුවිශේෂ යුරෝපීයන්ට පමණක් සීමා වූ බවත් සඳහන් කළේය.

යුනෙස්කෝ සමීක්ෂණයට සහභාගී වූ හාවඩ් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හැදෑරූ ඉන්දියානු කාන්තාවක් වූ ෂිරින් සින්නාර් බොහෝ ඉන්දියානුවන් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයට අභියෝග කිරීමේදී මානව හිමිකම් විශ්ව සාධාරණය යන මතයේ පිහිටා කටයුතු කළ බව පෙන්වා දුන්නාය. දකුණු අප්‍රිකානු යටත් විජිත පාලනය එහි වැසි ඉන්දියානු සුළු ජාතිකයන් පීඩනයට ලක් කළ විට එවකට දකුණු අප්‍රිකාවේ විසූ ගාන්ධි ක්‍රියාකාරී ලෙස එයට විරුද්ධ වූයේ මානව අයිතිවාසිකම් සියළු මිනිසුන්ට උරුමය යන මතයේ පිහිටා බව ඇය කියා සිටියාය.

මානව අයිතිවාසිකම් පිළිබඳ නිසි ආකෘතියකට ගොනුකළ ලේඛනයක් චීන සභ්‍යත්වයෙන් සොයා ගැනීම අපහසුවීම නිසා චීන ජාතිකයන් මානව අයිතිවාසිකම් පිළිනොගත් බවක් අදහස් නොවේ යයි යුනෙස්කෝ සමීක්ෂණයට පිළිතුරු සපයමින් විස්තර කළ චීන විද් වතෙකු වූ චුන්ග් ෂූ ලෝ මෙසේ පැවසීය.“මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය බටහිර සාකච්ඡා වු ආකාරයටම චීන ඉතිහාසයේ සාකච්ඡා වී ඇත්තේ මඳ වශයෙනි. කෙසේ වුවද මානව අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය  ඈත පුරාණයේ පවා චීනයේ තිරසාර ලෙස පැවැතිණි. ඒ පිළිබඳ එක් උදාහරණයක් නම් තමන් පීඩනයට ලක්කරණ පාලකයන්ට විරුද්ධව කැරලි ගැසීමට රට වැසියන්ට අනුල්ලංඝනීය අයිතියක් තිබේයැයි චීන සමාජය විසින් ඉපැරණි කාලයේ සිට පිළිගැනීමයි. ක්‍රි.පූර්ව 372-289 කාලයේ ජීවත් වු චීන කොන්ෆියුසියානු දාර්ශනිකයෙකු වූ මෙන්සියුස් මෙසේ පවසා තිබේ. ‘වැදගත්කම අතින් ප්‍රථම තැන හිමිවන්නේ ජනතාවටයි. රජයට ලැබෙන්නේ ජනතාවට වඩා අඩු වැදගත් කමකි. රජයේ සෛවරීභාවයට ලැබෙන්නේ ඊටත් වඩා අඩු වැදගත් කමකි.’  ” (Shu, Lo Chung – Human Rights in Chinese Tradition Human Rights Comments and Interpretations; A symposium edited  by UNESCO, p 187 – Allan Vintage – London and New York – 1948) 

මානව අයිතිවාසිකම් සහ සංවර්ධනය පිළිබඳ මෑතකදී විමසුමට ලක් වූ වැදගත්ම කරුණ වූයේ කොපි අනාන් එක්සත් ජාතීන්ගේ මහලේකම් වශයෙන් කටයුතු කළ සමයේ මානව අයිතිවාසිකම් පාදක සංවර්ධන එළඹුමක් බිහිකර ගැනීමට දැරූ වෑයමයි. පෙර අපර දෙදිග බලපුලුවන්කාර ජාතීන් පමණක් නොව බොහෝ සංවර්ධනය වන රටවල ඊනියා නායකයෝද එම ප්‍රයත්නය ව්‍යවර්ථ කිරීමට කටයුතු කළහ. එම ප්‍රයත්නයේ විශේෂත්වය වන්නේ රටක සංවර්ධන එළඹුමේ මූලික පදනම විය යුත්තේ මානව අයිතිවාසිකම් වල හිමිකරුවන් වන රටවැසියන්ට සිවිල්, දේශපාලන, සමාජයයීය, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රවලට අයත් එම සියලු මානව අයිතිවාසිකම් පරිපූර්ණ ලෙස භුක්ති විඳීමට කටයුතු යෙදීම රට වැසියන් විසින් තෝරාපත් කර ගන්නා හැම රජයකම මූලික සංවර්ධ ඉලක්කය විය යුතු බවයි. ඒ අනුව ආණ්ඩු කිරීමට බලාපොරොත්තුවන හැම දේශපාලන කන්ඩායමක්ම පහත දැක්වෙන එක් එක් මානව අයිතිවාසිකම පරිපූර්ණ ලෙස සාක්ෂාත් කරගැනීමට තමන් යෝජනා කරන වැඩ පිළිවෙළ කුමක්දැයි විස්තර කළ යුතුය.

මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයට අනුව  මූලික මිනිස් අයිතිවාසිකම් යනු:- තම ජීවිතයට, නිදහසට හා ජීවිතාරක්ෂාවට ඇති අයිතිය, සිය අදහස් ප්‍රතාශ කිරීමට හා භාෂණයට ඇති අයිතිය –  ඕනෑම මාධ්‍යයක් ඔස්සේ තොරතුරු දැනගැනීමට හා බෙදා ගැනීමට ඇති නිදහස – තමන් අභීමත මතයන් දැරීමට, සම්භාෂණයට, එක්රැස්වීමට හා සංචලනයට ඇති නිදහස –  නිදහස් චින්තනයකට, හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමට හා තමන්ට අභීමත ආගමක් විශ්වාස කිරීමට හෝ නොකිරීමට ඇති නිදහස –  වද හිංසනයට, අමානුෂික හෝ ආත්ම ගෞරවය කෙලෙසනසුළු සැලකිලිවලට හා දඩුවම් වලට භාජනය නොවීමට  ඇති අයිතිය –  වහල්භාවයට පත්වීමෙන් තොරව වීසීමට ඇති නිදහස –   නීත්‍යානුකුල නොවන ලෙස හෝ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට පත් නොවීමට ඇති අයිතිය. – සිය පුද්ගලිකත්වය, පවුල, වාසස්ථානය හා ලිපිගනුදෙනු සම්බන්ධයෙන් අන්‍යයන්ගේ අත්තනොමතික මැදිහත්වීමකින් තොරව ජීවත්වීමට ඇති අයිතිය – නීතිය ඉදිරියේ සමාන සැලකිලි සහ රැකවරණය ලැබීමේ අයිතිය – සාධාරණ හා ස්වාධීන වූ අධිකරණයක විනිශ්චයකට පමණක් පාත්‍රවීමේ අයිතිය – පරිපීඩනයෙන් මිදීම පිණිස විදේශයක අභිමත රක්ෂස්ථානයක් සොයා යෑමේ අයිතිය — නමකට හා ජාතිකත්වයකට හිමිකම් කීමේ අයිතිය-  මනුෂ්‍යන්ගේ අභිමානයට හා සමානාත්මතාවයට සරිනොවන අඩුසැලකිලි දැක්වීම් වලට භාජනය නොවී සිටීමේ අයිතිය – අභිමතපරිදි  ජන්දය පාවිච්චි කිරීමේ හා  පොදු කටයුතු වල නිරත වීමේ නිදහස – හැකි ඉහළම මට්ටමේ මානසික හා ශාරීරික සෞඛයයකට ඇති අයිතිය-  සුදුසු අධ්‍යාපනයකට ඇති අයිතිය – සාධාරණ හා යහපත් කොන්දේසි මත රැකියාවක නියැලීමට ඇති අයිතිය – ප්‍රමාණවත් ආහාර, ඇඳුම්, නිවාස පහසුකම් සහ සමාජ ආරක්ෂණය සඳහා ඇති අයිතිය – සංස්කෘතික පරිපෝෂණයට හා මනා ප්‍රවර්ධනයකට ඇති අයිතිය සහ තම අයිතිවාසිකම් හා නිදහස සාක්ෂාත් කරගත හැකි සමාජමය හා ජාත්‍යන්තර රටාවකට ඇති අයිතියයි.

මේ අනුව මානව අයිතිවාසිකම් ඊනියා ජාතික ආරක්ෂාවට එරෙහිවන වන බවක් හුවා දැක්වීමට තැත්කරන මහත්වරු කළ යුත්තේ ඉහත සඳහන් මානව අයිතිවාසිකම් වලින් කිනම් අයිතිවාසිකම් ඔවුන් අදහස් කරන ජාතික ආරක්ෂාවට එරෙහි වන්නේදැයි  සහේතුකව පෙන්වා දීම හෝ එසේ නොවේ නම් එකී මානව අයිතිවාසිකම් සැමටම පරිපූර්ණව භුක්තිවිඳිය හැකි සංවර්ධනයක් කරා විශ්වාසදායකව ගමන් කරන ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමයි. 

– විජයනන්ද ජයවීර 

Article Categories:
විශේෂාංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares