මනුෂ්‍ය ප්‍රේමයේ ගිනිසිළ වැළඳ ගත් කවියා

Written by

මනුෂ්‍ය වර්ගයා නිතරම ලෞකික දේවල  ඇලීගැලී එල්ලී සිටින නමුත් මා නිතරම උත්සාහ කරන්නේ මනුෂ්‍ය ප්‍රේමය නමැති ගිනිහුල මාවත ළඟාකර ගැනීමට ය . ඒ ගින්නෙන් මා පිරිසිදු කරන අතර මගේ හදවතේ ඇති අමානුෂික බවත් දවා අළුකර ලනු ඇත .


ලෝක සාහිත්‍යයේ අග්‍රගන්‍ය කලාකරුවා ,කවියා වූ මහාකවි ඛලීල් ජිබ්රාන්ගේ 89 වන මරණ අනුස්මරණය අදයි. 1931  අප්‍රේල් 10 වන අභාවප්‍රාප්ත මේ මහා කවියා  මියගොස් අදට හරියටම වසර 89 කි .


මිනිස් ප්‍රේමයේ ගිනිසිළ වැළඳගත් කවියා”  ලෙස ප්‍රකට ලොවේ අතිශය ආදරේට ගෞරවයට පාත්‍ර වූ මහා කවියා ඔහුගේ මහා දාර්ශනික කාව්‍ය වන” මුනි” හරහා ලොවේ ප්‍රකට දාර්ශනික කවියෙකු බවට පත් වූ ජිබ්රාන්,  එවන් වූ තවත් අති විශිෂ්ට කෘති රැසක් ලොවට දායාද කළ විශිෂ්ටතම සාහිත්‍යධරයෙකි.


 ඛලීල් ජිබ්රාන් යනු ලෝක ඉතිහාසය අප වෙත දායාද කළ විශිෂ්ට කවියන්  අතුළොස්ස අතුරින් කෙනෙක් වන්නේය. වසර හතලිහකට පමණ කලක් ජීවත් වුවද මේ දාර්ශනික කවියා,මනුෂ්‍ය වර්ගයා වෙත පුදකල ගද්‍ය හා පද්‍ය කෘතීන් සමූහය සදාතනික අගයෙන් යුක්ත වන්නේය.


 පොදු සාමාන්‍ය ජනතාවට ආදරය කළ එමෙන්ම ආදරණීය ජනතාවගෙන් පෙරලා හිත් දිනාගත් සහෘද ලේඛකයන් ලොව දිනු වේ නම් ඒ ද අතලොස්සකි.  ජනතාවගේ දුක ගැන හදවතින්ම පැන නැගි වේදනාවෙන් පන්හිඳ ඇසුරු සුන්දරත්වය යටින් සැඟවැ තිබූ  කටුක යථාර්ථයට අභියෝග කරමින් අවංකත්වයේ ප්‍රතිමූර්තිය බවට පත්වූ  කලාකරුවන් ද ලොව අතලොස්සකි. එවන් අතලොස්සක් වූ ප්‍රතිභාපූර්ණ මානවවාදී කලාකරුවන් අතර ඉහලින්ම බැබලෙන නාමයයි, ඛලීල් ජිබ්රාන් නම් වූ මෙම විශිෂ්ටයා.


මධ්‍යධරණී මුහුදේ සුන්දර චමත්කාර වෙරළෙන් වට වූ සදාකාලික හිමෙන් වැසුණු සුන්දර මිටියාවතින් වැසුණු ලෙබනනය මේ මහා කිවියා ගේ නිජ භූමියයි පවුලේ අය සමග කලක ඇමරිකාවට සංක්‍රමනය වන මොහු , ඇමරිකාවේ සිට අධ්‍යාපනය හදාරා  නැවතත්   සිරියාවට ගොස් ස්වභාෂාව සහ සංස්කෘතිය ඉගෙන ගැනීමට පැමිණෙයි. ජිබ්රාන්ගේ  මනස කාව්‍ය සිතුවිලි වලින් අලංකාරව නිම්නැති සිතුවිලි වලින් ද මිනිසුන්ගේ දුක්බර බවින් ද ලෙබනයේ අලංකාර මිටියාවත් වල සුන්දරත්වයෙන්ද නිමක් නැති සිතිවිලි වලින් අලංකාරව  මිනිසුන්ගේ දුක්බර බවත් ලොව සුන්දරත්වය පසුපස ඇති කටුක යථාර්ථය දෙස නෙත් යොමු කරමින් සිය නිර්මාණ දිවිය ආරම්භ වී ඇත්තේ මෙම අවධියේය.


 ජිබ්රාන් තම සිතුවිලි වලින් සිත පුරවා ගෙන නිතර කාලය ගතකරමින්   එවන් මානසික තත්ත්වයේ සිටම  මහා කාව්‍යයන් රචනා කිරීමට පටන් ගෙන ඇත. සුන්දර “වඩී ක්වාඩීෂා” නිම්නයේ පිහිටා තිබූ පැරණි  මන්දිරයකට ගොස් පසුව එය මිලදී ඔහුගේ දාර්ශනික සිතිවිලි මේ සුන්දර මිටියාවතේදී අවදිව  නිර්මාණකරන⁣යේ යෙදී ඇත. (දැන් ජිබ්රාන් කෞතුකාගාරය වන මෙයට මා 2009වසරේදී ගියෙමි.)කලකදී ශෝකය සහ වේදනාව විසින් ජිබ්රාන්  වෙළා ගනු ලැබුවේ නමුත් එතැනදී ඔහු බලවත් නිරීක්ෂණ සහ ප්‍රතිභාවකින් යුතුව පැමිනි, අඳුරු කාලපරිච්ඡේදය ස්වර්ණමය අවියක් කරගනිමින් ස්වකීය ඇඳුම පවා මාරු කර ගැනීමෙන් වැළකී  දිගටම නිර්මාණකරණයේ යෙදී ඇත. ඔහුගේ විශිෂ්ට ම ග්‍රන්ථ වන මුනි ,සිදුණු තටු වැනි ග්‍රන්ථ ලියවී ඇත්තේ මෙම කාලයේදීය .


“ඇමරිකාවේ බේලේක්” නම් විරුදාවලිය ලැබ, දාර්ශනික කවියෙක් බවට මෙකල පත්වන ඔහු  දැඩි වෙහෙසකින් ආදරයකින්, කරුණාවකින් ලොව දෙස බලමින් එම අවංක කරුණාබර හැඟීම,කාව්‍ය බවට පත් කර ලොවට දායාද කළේය.මේ මහා කවියා සදාකල් අප තුළ ජීවත් වීම ඇරඔියේ එලසින්ය.


ජිබ්රාන්  දක්ෂ චිත්‍ර ශිල්පියකු ලෙස ද ලෙසද ප්‍රසිද්ධය. දාර්ශනික අදහස් චිත්‍රයෙන් ප්‍රකාශනය කිරීමේදී  ඔහු ඉතා ඉදිරියෙන් සිටි කලාකරුවෙකි .
වසර 89 කට පෙර  ඔහු මියගියද ඔහු සැබැවින්ම ජීවත් වීම ඇරඔියේ එදා සිටය .ඔහු සදාකාලික ජීවය එදා අරඔීය,පොදුජන හදවත් තුල යුගයෙන් යුගය ඔහු ජීවත් වෙයි.


“ජීවිතේ දුකේදී සහා කනස්සල්ලේදී  මා සනසවන මගේ ආත්මය මගේ මිතුරාය. තමාගේ ආත්මය හා මිතුරුකම් නොපවත්නා,මනුෂ්‍ය වර්ගයාගේ සතුරෙකි.තමා තුළින්ම මානුෂික මගපෙන්වීම නොදකින්නා අභාග්‍යසම්පන්න ලෙස විනාශයට පත්වන්නේය. ජීවිතය බිහිවන්නේ ඇතුළතින්මය; බාහිර පරිසරයෙන් නොවේ .මා ආවේ යම්කිසි වචනයක් කියන්නටය.මම දැන් මෙය කියමි. එහෙත් එය කීම මරණය විසින් වළක්වන්නේනම්,හෙට විසින් එය කියනු ඇත. හෙට විසින් සදාකාලිකත්වය පිළිබඳ පොතේ කිසියම් රහසක් ඉතිරි කර තබනු නොලැබේ. දෙවියන්ගේ පරාවර්තනය වන ආදරයත් අලංකාරයත් තුළ ජීවත්වීම පිණිස මම පැමිණියෙමි. මම මෙහි ජීවත් වෙමි. මා ජීවිත රාජ්‍යයෙන් පිටුවහල් කර දැමීමට මිනිසුන්ට බැරි, මා මරණයේ  ජීවත් වෙතැයි ඔවුන් දන්නා නිසාය. ඔවුන් මගේ ඇස් ගලවා ගත හොත් ආදරේ කෙඳිරිල්ලටත් අලංකාරයේ ගීතයටත් මම කන් දෙමි.


 ඔවුන් මගේ කන් වසා දැමුවොත් ආදරේ සහ අලංකාරයේ  සුවඳ ගෙන එන මද සුළඟේ ස්පර්ශය ලබා මම සැනසෙමි. සුළඟ පවා නැති ශුන්‍ය තැනකට ඔවුන් මා පත්කළහොත් ආදරේ සහ අලංකාරයේ දරුවා වන මගේ ආත්මයත් සමග මම එහි ජීවත් වෙමි .


මා මෙහි පැමිණියේ සියල්ලන් වෙනුවෙන් සියල්ලන් සමඟ ජීවත් වීමට ය. මා අද හුදකලාව කරන දේවල දෝංකාරය, හෙට විසින් ජනතාවට දක්වනු ඇත. අද මා එක හදවතකින් ,කියන දේ හෙට හදවත් රාශියකින් කියනු ඇත .ජිබ්රාන්ගේ අපිස් ජීවිතයෙන් මිනිස් සමාජයට ලබාදුන් අප්‍රමාන වටිනාකමින් යුත් දාර්ශනික උපදේශනයන් අප හදවතින් විමසා එවන් උසස් හදවත් ඇත්තන් බවට පත් වීම,ඔහු අප හදවත්හි සදාකාලිකව උණුසුම්ව සිටීමට හේතු විය.


ලෙබනනයේ ආදරණීය  ෂිඩාර් ගසින් වැසුනු සුන්දර කදු හිමෙන් වැසුනු මිටියාවත් ,මලින් ගසින් වැසි මහා වන උයන් ,”බාල්බැක්” වැනි මහා දෙවොල් හරහා පිස එන සුළග මුමුනමින් යන්නේ මේ ඒ උතුම් ලෙබනන් මාතාවගේ සුජාත පුත්‍රයාණන්ගේ මිහිරි, හදපාරවන ආදරණීය ගීතයන්ම නොවෙද.?.


සටහන – ලලිත් රවීන්ද්‍ර බෝපිටිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares