පෙට් සෙමෙට්රි’ කියවූ පසු…..

Written by

චන්දන ගුණසේකර 2019 දී ලියූ ‘අවුෂ්විට්හී පච්චකොටන්නා’, ගෙන් පසු අත තැබූවේ තවත් භාර දූර කාර්ය යකටය. ඒ ස්ටෙෆන් කිංග් ගේ ‘පෙට් සෙමෙට්රි’ පරිවර්ථනයටය. එය පහසු කාර්යක් නොව. 2019 වසරේ කෙවින් කෝල්ශ් හා ඩෙනිස් වයිඩ්මියර් විසින් අධ්‍යක්ෂණය කළ  ඇමරිකානු ඩොලර් මිලියන 113. කට අධික බොක්ස් ඔෆිස් ආදායමක් ලද ‘පෙට් සෙමෙට්රි’ චිත්‍රපටය ලොව පුරා ලද ජනප්‍රියත් වය හමුවේ, චන්දන ට සිදුවුනේ , ස්ටෙපන් කිංග් ගේ පොත හා කෝල්ශ් හා ඩෙනිස් ගේ චිත්‍රපටය ට සමගාමිව මෙය ඉදිරිපත් කිරීමය. එය අභියෝගයකට වඩා චන්දනට පැටවුණු ,නැත්නම් ඔහු පටවා ගත් වගකීමක් බදුය.  

වාසනාවකට හෝ අවාසනාවකට මට චන්දන ගේ ‘පෙට් සෙමෙට්රි’ කියවන්නට ලැබුණේ චිත්‍රපටය කීප වතාවක්ම නැරඹූ පසුවය. චිත්‍රපටය ට මා දැඩිව වශීකෘත වු හෙයින්, චන්දනගේ පොත කියවීමටද දැඩි පිපාසයක් ඇති වුනී. මා සෘහද රංජිත් ප්‍රේමලාල් විසින් එකී පොත මට තෑගී කළේ ඇතැම් විට මගේ ඒ පිපාසය මටත් වඩා ඔහුට දැනී, ඇතිවූ ආත්ම අනුකම්පාවෙන් විය හැක. එය කියවන විට මට දැණුනේ රංජිත් ප්‍රේමලාල් විසින් මට දුන්නෙ මොන තරම් වටිනා ත්‍යාගයක් ද කියාය.  

චන්දනගේ පිටු 720 ක ‘පෙට් සෙමෙට්රි’ කෘතිය මට එක්වරම කියවීමට හැකිවූයේ නැත. මා එය මාසයක් පමණ කියවන්නට ඇත. එයට මුල් වූ හේතු 2 කක් විය. එකක්, මාගේ කාර්ය බහුල ජීවන රටාවය. අනෙක් කරුණ පොත එක්වරම කියවා නිම කිරීමට තිබූ ලෝභ කමය. එහෙයින් පොත මා රස වින්දේ දිනකට අවම තරමේ පිටු 10 ක් හෝ කියවාය. එය සුන්දර අත්දැකීමකි. දවසේ එක් එක්  කටයුතු වල හිරවූ මට, හිතේ කොනක හෝ රැඳවුනු සතුටක් වුයේ නම් ‘අද රෑට පෙට් සෙමෙට්රි පොතේ පිටු 10 ක් කියවනවා නේද’ යන සතුටය.  

චිත්‍රපටයට වඩා පොතේ තිබූයේ විශාල පරාසයකි. චිත්‍රපටයක් යනු කිසියම් කාල පාලනයක එළිදැක්වීමකි. එය සීමිතය. නමුත් පොත ක් ලියවෙන විට තමාට අසීමිතව කාලය ගත හැක. එහෙයින් බොහෝ විට චිත්‍රපටයකට වඩා,කෘතිය ප්‍රබල වේ. පෙට් සෙමෙට්රි කෘතිය ද එවැන්නකි. විශේෂයෙන් චරිත විශ්ලේෂණයේදී, ඔහු හැම චරිතයකම මනසේ අභ්‍යන්තරය ඒ අයුරින්ම විදහා දක්වයි. එහෙයින් මෙහී හැම චරිතයකම නොකියන දේ පවා පාඨකයා දැනගනී. ලුවිස්, ජඩ් සමඟ එකට කථා කරමින් බීර බිව්වද, එකී අවස්ථා වේ ලුවිස්ට ජඩ් ගැන හිතෙන හොඳ දේ මෙන්ම නරක දේද චන්දන එළියට දමයි. හැම චරිතයකටම එය ආවේනික වේ. නිදසුනකට රෙචල් ,ලුවිස් ට මුවින් නොකියන එහෙත් හිතේ හිර කර ගෙන සිටින දේ, ලුවිස් නොදැන සිටියාට, පාඨකයා දැන ගනී. චන්දන ඒ චරිත සමඟ ජීවත් වී, ඉන්පසු පාඨකයාට ද ඔවුන් සමඟ ජීවත් වීමට ඉඩ හරියි. පාඨකයාද කෘතිය පරිහරනය කළ කාල සීමාව තුළ දී ලුවිස්, රෙචල්, ජඩ්, නොමා, එලී සමඟ පමණක් නොව, කුඩා ගේජ්වද, තම එදිනෙදා ඇසුරු කරන හිතවතුන් බවට පත් කර ගනී.

ඇතැම් පාඨකයන් එකී චරිත ඔවුනගේ පවුලේ සාමාජීකයන් බවටද පත් කර ගනී. චන්දනගේ ‘හිප්නොටයිසින්ග්’ ලේඛනය එයයි. ඔහුගේ ‘ අවුෂ්විට්ස් හී පචිචකොටන්නා’ ගෙ චරිත පවා තවමත් අප සමඟ සිටී.  චන්දන ඔවුන් ව අතහැර ලුවිස්, රේචල් , එලී, ජඩ්, සමඟ සිටියද, ‘ අවුෂ්විට්ස් හී පච්චකොටන්නා ‘ හී චරිත තවම පාඨකයා සමඟ ගැවසේ. ඔවුන් සමඟ ගනුදෙනු කරයි. ඒ චන්දනගේ ‘හිප්නොටයිසින්’ ලේඛන කලාවය. ඔහු විසින් එම චරිත පාඨක මනසට දැඩිව ම බද්ධ කරයි.    ‘පෙට් සෙමට්රි’ හී අද්භූත සිදුවීම් වලට වඩා දැඩි ස්නේහයක් ගලා යයි. එය චිත්‍රපටය තුලදී එතරම් නොදුටවද, කෘතිය කියවන විට නම් හදවතට දැඩිව දැනේ.  ලුවිස් මොනතරම් තම දරුවන්ට ස්නේහයද යන්නත්, අවසානයේදී තම මිය ගිය පුතුව නැවත මිනිවලෙන් ගොඩට ගෙන තම නිවසට කර ගහගෙන යන්නේ ඒ ස්නේහය නිසාය. මෙය විශාල ව්‍යවසනයකට හේතුවක් වෙන බවත්, මෙයින් ඔහුත් ඇතුළු ඔහුගේ ම පවුල, හිතේෂීය න් විනාශ වෙන බව හැඟුනද, ඔහු ට අර ස්නේහයෙන් මිදෙන්නට නොහැකි විය. ස්ටෙපන් කිංග් ලුවිස් ගේ චරිතය මවා තිබුණේ සාමන්‍ය පුද්ගලයෙක් ලෙස වූවද, ඒ පුද්ගලයා තුළ ස්ටෙපන් කිංග්ටත් නොදැනීම, අසාමාන්‍ය මානුෂිකත්වයක් ලියලා තිබුණි. ලුවිස් තමාගේ පවුලට දක්වන දැඩි ලෙන්ගතු කම, විටෙක ආත්මාර්ථකාමි දෝ යැයි සිතේ. ඔහුට ඔහුගේ රැකියාවත්, බිරිඳත්, දරු දෙදෙනාත් හැරෙන්නට වෙන ලෝකයක් නොතිබුණා සේය. චිත්‍රපටය තුළදී අප මෙය දුටුවේ නැත.

එහෙත් චන්දන ගේ කෘතිය තුළින් අප ලුවිස්ගේ මේ ආත්මාර්ථකාමි සෙනෙහස පිටුවක් පිටුවක් නෑර දකිනෙමු. චිත්‍රපටයේදී ‘එලී කෘතියට වඩා ප්‍රබලය. සිනමාකරුවෝ ට්‍රක් අනතුරට ලක් කරන්නේ ලුවිස්ගේ දියණිය වූ එලීය. ඒ වන විට ඇය අව්රුදු 5 ක් හෝ 6 ක් පමණ ඇති අතර පිරිමි දරුවා ගේජ් නම් අව්රුද්දක් පමණ ඇත. චිත්‍රපටයෙදී ලුවිස් විසින් මිනිවලෙන් නැවත නැගිට්ටවන්නේ තම දියණිය වය. ඇය විසිනි, ජඩ්, රේචල්, හා ලුවිස්ව ඝාතනය කෙරෙනුයේ. නමුත් කෘතිය තුළ ගේජ් හරහා එකී විනාශය සිදුවූවද, එය චිත්‍රපටයේ තරම්ම ප්‍රබල මෙන්ම, ත්‍රාසජනක වූයේ නැත. චිත්‍රපටය සජීව වීමත් කෘතිය තුළින් අප සිත්තුළ සජීවීකරණය කර ගැනිමත් නිසා, චිත්‍රපටයක් තුළ තාක්ෂණීක මෙවලම් හරහා ත්‍රාසය ලබා දීමට හැකිවේ. නමුත් ස්ටෙපන් කිංග් ගේ උත්සහය ට වඩා චන්දනගෙ උත්සහා ය අපතේ ගොස් නැත. ඔහු ඔහුගේ භාෂා විලාෂය උපරිමයෙන්ම පල ප්‍රයෝජන ගෙන එකී ත්‍රාසය තම කෘතිය තුළින් ලබා දීමට උත්සහ කර ඇත. ‘හොර ර්’ චිත්‍රපටයකින් ලබාදෙන ත්‍රාසය ග්‍රන්ථයකින් ලබා දීම පහසු නැත. එකල ඩීමන් ආනන්ද විසින් තම කුඩා පොත් හරහා මිනිවලවල් වලින් නැගිට එන මලමිනි කරන ත්‍රාසජනක ක්‍රියාවන් අරඹයා කථා රාශියක් ලීවේය. ඔහු එම පොත් ආකර්ෂණය කරන්නේ වර්ණ මුද්‍රිතයේ පිට කවර වලිනි. ඒවා මතුපිට මිනිවලවල් වලින් නැගිට එන අවතාර වල පිංතූරු දමා පාඨකයාගේ බිය අවදි කරයි.

එස්.ඩබ්ලියූ. ආර්.ඩී බණ්ඩාරනායක ද තම ‘මහ හේනේ රීරි යකා’ කෘතියෙන් එකල පාඨකයන්ට, හොල්මන් අවතාර ත්‍රාසය ලබා දුනි. නමුත් චන්දන ගුණසේකරගේ ‘පෙට් සෙමෙට්රි’ තුළින් මා ත්‍රාසයටත් භීතියටත් වඩා දකින්නේ පිතෘ සෙනෙහසය. තම පුත්‍රයා එවන් ඛේදවාචකයක ට මුහුණ දීම ට තමාත් වැරදී කරුවෙකු බව තම හිත කීවත්, ඒ අයුරින්ම මිය ගොස් තමා අතින්ම වැළලු බළලා, මිනී වලෙන් නැගිට නැවත තම නිවසට වී ජීවත් වන්නේ නම් තම මිය ගිය පුතුට නැවත පැමිණ ජීවත් වීමට නොහැක්කේ මන්ද යන තර්කය පවා ලුවිස්ව මෙහෙය වූයේ එකී සෙනෙහසය. බළලා නැවත පැමිණියද, ඒ ආවේ නියම බළලා වූ චර්ච් නොවන බව ලුවිස් දැන දැනත් ඔහු ඌට තමාගේ නිවසේ සිටින්නට ඉඩදුන්නේ, එලී ගේ සිත සනසන්නටය. දැං ඔහු තම පුතුව නැවත මිනි වලෙන් නැගිට්ටවා ගන්නේ ද තම සිත සනසවා ගන්නටය. ඉතිං ගැඹුරම පිතෘ සෙනෙහස යනු එයම නොවේද?. මා චන්දන ගුණසේකර ගේ ‘පෙට් සෙමෙට්රි’ කෘතිය තුළින් පසක් කර ගත්තේ, ත්‍රාසය භීතියට වඩා, අර උත්තරීතර වූ ස්නේහය ය. 

  සටහන – ශෝන් මැක්ස්මස් දිසානායක

Article Categories:
සංවාද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares