පියාගේ මරණය

Written by

ATM යන්ත්‍රයෙන් එළියට ආ සීයේ නෝට්ටු කිහිපය වටපිට බලා සුරංගි අත්බෑගයට රුවා ගත්තාය. ඊළඟ වැටුපට තවත් සතියක් ඉතිරිව තියෙද්දී ඇය අත ඇත්තේ රුපියල් තුන්සියයකි. කොවිඩ් වසංගතය නිසා පෞද්ගලික ආයතනයක සේවය කළ සැමියාගේ රැකියාව අහිමි වූයේ මීට මාස තුනකට පෙරය.


‘උඹලට නම් මොකද ආණ්ඩුවෙන් පඩි ගෙවනවනේ’ පහල ගෙදර සෝමා කිවේ අරියාදුවටය.


වැටුප ගැන දන්නේ සුරංගි පමණය. යන්තම් බ්ලොක් ගලින් අටවා ඇති නිවසට ගත් ණය වෙනුවෙන් මාසිකව රුපියල් දහසයදහසක් කැපෙයි. ආපදා ණයට තවත් රුපියල් තුන්දහසක් කැපෙයි. ළමයාගේ වැඩකටයුතු වලටද, නිවසේ කෑම බීමටද වියදම් වූ පසු ඉතිරි වන්නේ සොච්චමකි. මෙතෙක් කලක් ඔවුන් දිවිගෙව්වේ සැමියාගේ වැටුපෙනි. පිටින් බලන්නෙකුට රජයේ සේවකයාට වැටුප් ලැබෙන බව කිව හැකිය. එහෙත් තමන් විඳින දුක් කරදර දන්නේ තමන් විතරය. විවිධ උත්සව සංවිධානය කරන ආයතනයක සේවය කළ සමන්තට රැකියාව නැතිවූ පසු යාළුවෙකුගෙන් ඉල්ලාගත් ත්‍රීවීලයක දමාගෙන එළවළු විකුණන්නට පටන් ගත්තේය. සිතූ තරම් ආදායමක් ගන්නට ඉන් නොහැකි විය. පාරට බැස්ස විට එළවළු වෙළදාමේ යෙදෙන ත්‍රීරෝද, ලොරි, වෑන් ඇති පදම්ය. හැන්දෑ වන විට ඉතිරිවන එළවළු කුණු වෙන්නට පටන් ගනී. ත්‍රීරෝද රථයටද රුපියල් දෙසිය පනහක් දිනකට ගෙවිය යුතුය.


පුතාගේ කිරිපිටි ඉතිරිව ඇත්තේ තවත් දිනකට පමණක් බව ඇයට මතක් විය. ජීවිතයේ මෙතරම් අසණකමක් දැනුණා නම් ඒ අදය. ඉදිරි දින හත ගෙවාගන්නේ කෙසේද යන්න ඇයට හිතාගත නොහැකිය. අතමාරුවක් කරගන්නට කිසිවෙක් ළඟ මෙවෙලෙහි මුදල් නැත. අනෙක් අතට රජයේ රැකියාවක් කරන නිසා කිසිවෙකුගෙන් ඉල්ලන්නටද හිතක නැත. ඒ සැවොම හිතන්නේ වැටුප අතට ලැබෙන බවය.  කණකර සියල්ල ගේ හදන විට ආරක්ෂාවට බැංකුවේ සේප්පුවේ තිබ්බ හැටියෙන්මය. බසයක් එනතුරු ඈ බස්නැවතුමට වී බලා සිටියාය. වෙනදා විනාඩි දෙකෙන් දෙකට බස් එකක් තියෙන පාරේ අද විනාඩි පහලවකටවත් බස් එකක් නැත. අවසානයේදී බස් රථයක් ආවේ පැය බාගයකට පසුය.


නිවසට ඇතුළු වන විට වෙනදාට ඇති සතුට ඇගේ සිතේ දැන් නැත. ඇඳුම් සියල්ල පිටිපස්සේ නානමල ගාවදී අහවර කර චීත්තය ඇඳගන්නා ඇය ස්නානය කරයි. නිවසට ඇතුළු වන්නේ ඉන්පසුවය. පස් වියැති සමල් සාලයට වී රූපවාහිනිය නරඹයි. සමන්ත පෙනෙන්නට නැත. මොකක් හෝ රැකියාවක් හොයාගෙන යන්නට ඇතැයි ඇයට සිතේ. දැන් දැන් ඇගේ හිතේ බයක්ද ඇතිවන්නේ පෙරේදා සුරේනි කී කතාවක් නිසාය.


‘මේ අර රබර්වත්ත ගාව ඉස්ටෝරුවේ මම සමන්ත අයියව දැක්කනේ බං. ‘ සුරේනි කීවේ හැන්දෑවේ පාර අද්දරදී හමුවූ මොහොතේය.


‘වෙන්න බෑ බං, එදා සුමනෙලගේ ගෙදරට යනවා කියලනේ කිව්වේ.’
‘මගේ ඇහැ රැවටෙන්නේ නෑ බං. ඒ සමන්ත අයියම තමයි. උඹ කෝකටත් හෝදිසියෙන් හිටපං.  ඔය මුට්ට කරගැහිලි සමන්ත අයියට හරියන්නෑ බං.”හ්ම්.. මං බලන්නම්’


මේ නිසාම ඇගේ සිතේ බියක් ඇතිවිය. මේ අවු අස්සේ සමන්තටද මොනවා හෝ සිද්ධ වුවහොත් තත්වය භයානකය. නාගෙන අහවර වී ඇය ගෙට ගොඩවන විට සමන්ත පැමිණියේය. ඔහුගේ පෙනුමේ තිබුණේ දුක්මුසු බවකි.’මොකද සමන්ත?”තාත්තා ආන්තරා වෙලා.අපිට දැම්ම ගමේ යන්න වෙයි”හත් දෙයියනේ, මොනා වෙලාද?”හාට් ඇටෑක් කියලලු කියන්නේ. ගෙදරදිම මැරිච්ච නිසා සැකයිලු. PCR එක කරනකං දෙන්නේ නැහැ කියන්නේ.’


‘අපොයි. අතේ සතයක් නැති වුණානේ මේ වෙලාවේ. අන්තිම රුපියල් 300 අරගෙන ආවේ.’
‘ඔව්, මම නුවන්ගෙන් අතමාරුවක් කරගෙන ආවා, රුපියල් පන්දාහක්. අපි හවස බස් එකේම යමු. කොයි වෙලේ මේවා ලොක් ඩවුන් වෙයිද දන්නේ නැහැ. අදත් පන්සිය ගානක්ලු. පහක් මැරිලා.’


‘අනේ මංදා මේක අපිවම කන්න ආපු ලෙඩක්’ සුරංගි තමන්ටම කියාගත්තාය. ඉක්මනින් ඇදුම් කැඩුම් ටික අසුරාගත් ඔවුහු හැන්දෑවේ බසයෙන්ම සමන්තගේ ගම බලා ගියහ. සමන්තගේ ගෙදර හිටියේ අම්මා තාත්තා හා අක්කා පමණි.කාලෙකට පෙර දීගෙ කඩාගෙන ආ අක්කා මව හා පියා බලාගනිමින් වාසය කල නිසා සමන්තට දෙමාපියන්ගේ බරක් නොතිබිණි.


නිවසට යන විට රාත්‍රිය එළඹ තිබිණි. තාත්තාගේ මිනිය හෙට දිනයේ රෝහලෙන් ලැබෙනු ඇති බවත්, එය අනිද්දාම අහවර කළ යුතු බවත් අක්කා කීවාය.


‘අක්කේ ගමේ කවුරුවත් ආවෙ නැතැයි?’
‘උදේ නම් දහ දොලොස් දෙනෙක්ම ඇවිත් ගියා. සේපාල මාමා රෑට එනවයි කිව්වා, තාම නෑ.’
‘මල් සාලාවේ වැඩටික නම් හරි. ආදාහනේ වැඩ ටික තමා කරගන්න තියෙන්නේ. ඊළඟට හත්දවසේ දානේ. ‘ අක්කා කියා සිටියේ යාන්ත්‍රික හඩකිනි.එහි තෙත් ගතියක් සුරංගිට නම් නොදැනුනේය.

‘පාංසකූලෙට හාමුදුරුවොන්ට ආරාධනා කළාද?’
‘නෑ හෙට ආරාධනා කරන්න ඕන’
‘හා හා දැන් ඔය මූණ කට හෝදගෙන මොනා හරි කාලා ඉම්මු. අම්මා නම් අඬ අඬා ඉඳලා නින්දට ගියා’ කතාව හමාර කරමින් අක්කා කීවාය.


රාත්‍රි කෑමෙන් පසු විටක් හපමින් සමන්ත මහගෙයි ඉස්තෝප්පුවේ බිත්ති කණ්ඩියේ වාඩිවී සිටියේය. ඈතින් විදුලි පන්දමක එළියක් පෙනෙන්ට පටන් ගත්තේය. සේපාල මාමා විය යුතුයැයි සමන්තට සිතිණි. එලිය ක්‍රමයෙන් ළංවෙන විට සේපාල මාමා බව ඔහු හැඳින ගත්තේය. ළඟට පැමිණ තමා දුටු විට සේපාල මාමාගේ මුහුණ සුදුමැලි වූ බව ඔහුට පෙනුණි.


‘ආහ් සමන්ත පුතා කොළඹ ඉඳන් ඇවිත් තියෙන්නේ.’
‘ඔව් මාමේ අපි මේ ආවා විතරයි. එම්මු ගෙට’
‘නෑ නෑ මම මේ පැත්ත බලල යන්න ආවේ. දැන් පුතාලා ඇවිත්නේ මං ගිහිං හෙට දිහාට එන්නම්’
සේපාල මාමා කතා කළේ බයකින් වගේය. කතාකලේද දුරසිටය.
‘මොකක්ද මාමේ ඒ වැඩේ. මාමා කවද්ද එහෙම හැරිලා ගියේ’
‘නෑ නෑ පුතා මේ දවස්වල මට ටිකක් අසනීපයි.මම ගිහිං එන්නම්’
සේපාල මාමා ගියේ පුදුම හදිසියකිනි. එය සමන්තගේ හිතට ගෙනාවේ සැකයකි.’ඒ මොකද අනේ ඒ’ සුරංගි ඇසුවේ පුදුමයෙනි.
‘අනේ මංදා’
‘අක්කේ, අක්කේ’ සමන්ත අක්කා ඇමතුවේය.
‘ඇයි?’ කාමරයේ සිට ඉස්තෝප්පුට ආ ඈ ඇසුවාය.
‘අර සේපාල මාමා නිකන් හොල්මනකට බය වුනා වගේ ආපහු ගියේ අපිව දැකලා. අනේ මංදා, මේ උදෙත් ඇවිත් හොඳට කතාබහ කරලා ගියානේ’
‘හ්ම්, ඒකෙන් කමක් නෑ දැං නිදාගමු, හෙට වැඩ ගොඩක් තියෙනවනේ’
‘ඔව්.’


නිවස අන්ධකාරයේ ගිලී ගියේය. රැහැයි හඩ පමණක් ඇහෙන අතරේ සඳද වළාකුළුක සැඟව ගියේය.
පහුවෙනිදා කුරුල්ලන්ගේ නාදයත්, හිමිදිරියේ අරුණත් සමල්ට අළුත් අත්දැකීමක් ලබාදුන්නේය. නගරේ ගෙදරට කොටුවී සිටින ඔහුට නම් මෙය අලුත් අත්දැකීමකි. සීයා සමඟ වැඩි ආශ්‍රයක් නොතිබූ නිසා ඔහුට සීයාගේ වියෝව දැනෙන්නේද නැත.


‘අක්කේ මොකෝ බං ගමේ කවුරුවත් තාම මේ පැත්තේ ආවෙ නැත්තේ?”අනේ මංදා බං, මේ වැඩ ටික කරගන්නේ කොහොමද කියලා මට හිතාගන්න බැහැ. හිටහං මං සේපාල මාමාට කෝල් එකක් දාලා බලන්නං’


දුරකතන ඇමතුම ගත් අක්කා දත් මදිමින්ම ළිඳ දෙසට ගියාය.  එනිසා කිසිවක් සමන්තට නෑසිණි. අක්කා යලි ආවේ කරදරයක සේයාවන් මුහුණේ තවරා ගනිමිණි.’මල්ලියේ හරි වැඩේ. උඹලා කොළඹ ඉඳං  ආවා කියලා ගමේ හැමෝම බය වෙලා ඉන්නේ. කවුරුවත් එන්න බයයිලු ගෙදරට මේ වසංගතේ හින්දා”මොකක්ද අක්කේ ඒ කතාව. කොරෝනා තිබ්බ නම් අපි මේවයේ එනවද?”ඒ වුනාට බං මිනිස්සු බය වෙලා ඉන්න විදියට අපි මොනව කියන්නද?කොළඹින් ආවොත් කොරෝනා වගේනේ ටීවී එකෙත් කියන්නේ. ‘


‘පරිස්සම් වෙන එකනං හොඳයි, ඒත් අපි කොහොමද දැං මේ හැමදේම කරගන්නේ’ සුරංගී කතාව මැද්දට පැන්නාය.


‘ඔය සේපාලය තමා ගමේම මේව පතුරවන්න ඇත්තේ. මට හිතුනා ඕකා ඉයේ හැරිලා යනකොට, මට හිතයි ගෙදරට ගිහින් දෙකක කතාකරලා එන්න.”හා හා මේ , මේ වගේ වෙලාවක කවුරුත් බයයි තමයි, ඒත් ආරක්ෂා වෙලා කොච්චර දේවල් නම් කරන්න පුළුවන්ද? මේ මිනිස්සු ඒක දන්නේ නැහැ.හැමෝම පුදුම බයකින් ඉන්නේ.’ සුරංගි සමන්තගේ කෝපය නිවන්නට තැත්කරමින් කීවාය.’හ්ම්, කමක් නෑ අපි පුළුවන් විදියට වැඩේ කරමු. අක්කා හාමුදුරුවෝ බැහැදැකලා ආරාධනා කරන්න පාංසකූලෙට වඩින්න කියලා. මම යන එක හොඳ නැහැ’තාත්තාගේ මිනිය ගෙදරට ගෙනෙන විට නිවසේ හිටියේ වයසක මවත්, අක්කාත්, සුරංගිත්, සමන්තත්, සමලුත් පමණය. . ගමේ කවරෙකුවත් මළගෙදරට පැමිණියේ නැත.පංසලට ගිය අක්කා ආපසු ආවේ නරක ආරංචියක් අරගෙනය.’මල්ලියේ හාමුදුරුවන්ට වඩින්න බැහැය කියන්නේ පාංසකූලෙට”මොකක්, දෙයියනේ අපි කොහොමද තාත්තගේ පාංසකූලෙවත් දෙන්නේ?”ගමේ මිනිස්සු නම් බයයි කියමුකෝ, හාමුදුරුවෝ මොකටද බයවෙන්නේ?’ සුරංගි කීවාය.’අනේ මංදා බං මට මේව තේරෙන්නේ නැහැ. උඹල ආවයින් පස්සේ තමයි සේරම’ අක්කාගේ වදන් මුවින් පිටවන විටම සමන්තගේ ඉවසීමේ සීමාව පැන්නේය.’ආහ් දැන් සේරම අපේ වැරැද්ද. අක්කේ අඩුගානේ අපි මිනිස්සු වෙලා හිටියා කියලවත් ඔයාලට මතක නෑනේ”සමන්ත, මෙන්න දැන් පෝන් එකට ආව නිව්ස් එක. බස්නාහර පළාත ලොක්ඩවුන් කරලා, කාටවත් ඇතුල් වෙන්නත්, පිටවෙන්නත් බැහැ.’කළහැකි කිසිවක් ඔහුට පෙනෙන්නට නොතිබිණි.ඔහු දුරකතනය ගෙන හඳුනන ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඇමතුවේය. සිද්ධිය කෙටියෙන් කියන විටම,


‘මහත්තයා මම කොළඹට ඇවිත් හිරවෙලා ඉන්නේ, දැන් මෙහෙන් එළියට යන්න බෑනේ’ වදාළේය.


මිනිය ඔසවන්නට සිවුදෙනෙකු වත් නැත. පාංසකූලය දෙන්නට හාමුදුරුනමක් නැත. මල්ශාලාවෙන් නැවත එන්නටද කැමති නැත. කනත්ත දක්වා කෙසේ හෝ මිනී පෙට්ටිය රැගෙන ගියද පාංසකූලය නොදී තාත්තාව ආදාහනය කරන්නට හිතක් සමන්තට නැත. තාත්තාගේ මතක ඔහුගේ මනස සිසාරා යයි. පුතෙකු ලෙස තමන් මෙතරම් අසමත්ද?


ඔහු මුහුණුපොතට පිවිසියේ එහි මිතුරෙකුවත් ඇත්දැයි දැනගැනීමටය. තමන්ගේ කරදරය කියා උදව් කල හැකි කිසිවෙක් ඇද්දැයි ඔහු විමසුවේය. එයට පිලිතුරු ලැබෙන තෙක් ඔහු මුහුණු පොතේ උඩ පහල ගියේය. ඔහුගේ නෙතට හසුවූයේ මාස කිහිපයකට පෙර දුටු වීඩියෝවකි. කොරෝනා සමයේ පැවති දේශපාලකයෙකුගේ අවමංගල්‍යයකි. මහජනයා සෙන්ටිමීටරයක්වත් දුර නොතබා සිටි. මහා සංඝරත්නයද, අනෙක් ආගමික පූජක තුමන්ලාද පිරිවරාය. පියාගෙන් පසු පුටුවට එන්නට නියමිත පුත්‍රයා නළුවෙකු මෙන්ය.  ඔහුට නිතැතින්ම සාලයේ බාල මිනී පෙට්ටියක වැතිරී සිටින තම පියාව පෙනුණි.

– රස්මික මඩවල 

Article Categories:
සාහිත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares