ප්‍රාග්ධනයේ උමතු නර්තනය සහ මාක්ස්ගේ උරුමය…

Written by

මාක්ස්ගේ විවේචනය ආරම්භ වූයේ ආගම පිළිබඳ විවේචනයෙනි. (“සෑම විවේචනයකම ආරම්භක ලක්ෂ්‍යය ආගම පිළිබඳ විවේචනයයි”). ඉන්පසුව, ඔහුගේ ලිවීම් රාජ්‍යය සහ දේශපාලනය පිළිබඳ විවේචනය දෙසට හැරුණි. අවසන් වශයෙන් එය දේශපාලන ආර්ථිකයේ විවේචනය කරා යොමු විය. ස්ලේවෝයී ශිෂෙක් පවසන පරිදි මේ අවසාන අදියරේදී මාක්ස් චක්‍රාකාරව ආරම්භක ස්ථානය වෙත නැවත පැමිණ තිබේ. මන්ද යත්, ධනවාදී දේශපාලන-ආර්ථික යථාර්තය තුළ මාක්ස් ආගමික අන්තර්ගතයක් හඳුනා ගන්නා බැවිනි.

මාක්ස්ට අනුව, ප්‍රාග්ධනය තමාවම වර්ධනය කර ගනිමින් උමතු නර්තනයක යෙදෙමින් සිටී. එම නර්තනය මෙහෙයවනු ලබන්නේ “රැස් කරන්න, වඩ වඩාත් රැස් කරන්න” යන තර්කණය විසිනි. එසේනම්, මාක්ස් මේ පවසන ප්‍රාග්ධනයේ උමතු නර්තනය පුද්ගලික ලාභය උදෙසා වන ස්වාර්ථකාමී තරඟය සමග අතිනත ගෙන යයි. මේ තරඟය තාර්කික තේරුම් ගැනීම් මත පදනම් වූවක් නොවේ; පුද්ගලික සිතා ගැනීම් (සමපේක්ෂණයන්) මත පදනම් වූවකි.නිදසුනක් ලෙස මූල්‍ය වෙළඳපළ තුළ පුද්ගල ධනපතීන් හැසිරෙන ආකාරය මදක් සිහියට නගා ගන්න. කිසියම් මූල්‍ය ඒකකයක් සඳහා ඇති ඉල්ලුම ඉහළ යනු ඇතැයි කිසියම් මූල්‍ය ධනපතියෙකු උපකල්පනය කරයි. එම නිසා ඔහු එම මූල්‍ය ඒකකය මත ඉල්ලුමක් ඇති කරයි. එම නිසාම එම මූල්‍ය ඒකකයේ ඉල්ලුම වර්ධනය වේ.

අපගේ දෛනික ජීවිතයේ නිදසුනක් ගනිමු. මුදල් (කාසි, නෝට්ටු, කාඩ්, ඉලෙක්ට්‍රොනික මුදල් හෝ බිට් කොයින්) පවතින්නේ අප ඒවා පවතිනවා යැයි විශ්වාස කරන නිසා පමණි. රුපියල් පන්දහසේ නෝට්ටුවක් සහ විස්සේ නෝට්ටුවක් අතර ඇත්තේ ඒවා මත මුද්‍රණය කළ සංකේතවල වෙනස බව අපි දනිමු. නමුත්, එම සංකේතමය වෙනස යථාර්තයක් ලෙස අපි විශ්වාස කරමු. එම නිසාම එය යථාර්ථයක් ලෙස පවතී.

මේ අනුව වියුක්තනය (දේවල් සංකල්පීය ලෙස හුදෙකලා කොට ගැනීම) පවතින්නේ ආගමික ඇදහීම් තුළ පමණක් නොවේ. අපගේ ලෞකික ජීවිතයම වියුක්තනයට ලක්ව තිබේ. පල්ලියේ දෙවියන් ඉදිරියේ වැඳ වැටෙන බැතිමතා සහ වෙළඳපළේ භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයා යන දෙදෙනාම සිටින්නේ සමපේක්ෂිත යථාර්ථයන් තුළය.

හුවමාරු භාණ්ඩ අධි-වන්දනාව (commodity fetishism) පිළිබඳ මාක්ස්ගේ ලිවීම් තුළ මේ කාරණය වඩාත් හොඳින් පැහැදිලි කොට තිබේ. හුවමාරු භාණ්ඩ අධි-වන්දනාව යනු හුදෙක් භාණ්ඩ දෙස නේත්‍ර පූජා පැවැත්වීමක් නොවේ (භාණ්ඩ අර්චනකාමය යන යෙදුම මෙය පැහැදිලි කිරීම සඳහා උචිත නොවන්නේ එබැවිනි). ඒ වෙනුවට මාක්ස් මෙහිදී පළමුවෙන් පැහැදිලි කරන්නේ හුවමාරු භාණ්ඩ අතරින්ම එක් භාණ්ඩයක් (රත්‍රන්) සෙසු සියළු භාණ්ඩවල වටිනාකම මනින මිම්ම බවට පත් වූයේ කෙසේද යන්නයි. මෙතෙක් සෑම භාණ්ඩයක්ම (රත්‍රන් ද ඇතුළුව) සෙසු භාණ්ඩවලට සාපේක්ෂ වූයේ නම්, දැන් සෑම භාණ්ඩයක්ම රත්‍රන්වලට සාපේක්ෂ වේ. රත්‍රන් නිරපේක්ෂ වේ. දෙවියන් මෙනි. දැන් මිනිසුන් සෑම භාණ්ඩයක් තුළම රත්‍රන් අගයක් ඇතැයි විශ්වාස කරන්නට පටන් ගනී. සෑම සංසිද්ධියක් තුළම දිව්‍යමය කැමැත්ත දකින ආගමික බැතිමතුන් මෙනි. යළිත් වියුක්තනය, මායාව, මිත්‍යා දෘෂ්ටිය පවතින්නේ අපගේ ලෞකික, සංයුක්ත ජීවිතය තුළමය; පල්ලිය හෝ පන්සල තුළ ඇදහීමට ලක් වන ආගමිකත්වය ප්‍රතික්ෂේප කොට වෙළඳපල වෙතට එන නිරාගමික, විද්‍යාත්මක, ලෞකික මිනිසා තුළමය. මේ අනුව, ප්‍රාග්ධනයේ උමතු නර්තනය තුළ දේවධාර්මික අන්තර්ගතයක් පවතී. ඒ අතරම එය මනුෂ්‍ය සමාජයන්හි ඉරණම කෙරෙහි ඉතාම දරුණු බලපෑම් එල්ල කරයි.

අපගේ පළමු නිදසුනේ මූල්‍ය ධනපතියාගේ සමපේක්ෂණය තවත් මිනිසුන් රැසකගේ ජීවන පැවැත්ම විනාශ කරන්නට සමත් වූවකි. නමුත්, ඔහු එයට වග කිව යුතු නැත. ධනවාදයේ හිංසනය යනු කිසියම් දුෂ්ට පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් වුවමනාවෙන් ඇති කරන්නක් නොවේ. හිංසනය මෙහිදී පද්ධතිමය වූවකි; විෂය මූලික තත්ත්වයන් කෙරෙන් පැන නගින්නකි; කතෘවරයෙකු නොමැති යමකි.

ප්‍රාග්ධනයේ මෙම උමතු නර්තනය විසින්ම එහි මිනී වල කපා ගනු ඇතැයි මාක්ස් කල්පනා කළේය. අද වන විට බරපතල න්‍යායික විවේචනයන්ට ලක්ව ඇත්තේ මේ අදහසයි. දැන් පෙනෙන්ට තිබෙන පරිදි, ධනවාදයේ අර්බුද තුළින්ම වඩ වඩාත් ජීවය ලබන්නට ප්‍රාග්ධනය සමත්ව ඇත. ශිෂෙක් පවා පවසන පරිදි ධනවාදයට පසුව සමාජවාදය පැමිණෙනු ඇතැයි යන විශ්වාසය දැන් වාමාංශිකයින් වුවත් එතරම් විශ්වාස කරන්නේ නැත.

නමුත්, ඔහු වැදගත් ප්‍රශ්නයක් විමසයි: “ධනවාදයට පසුව පැමිණෙන්නේ සමාජවාදය නොවේ නම් කුමක්ද?” ඔහුගේ පිළිතුර ඒ ලෝක විනාශය බවයි. මන්ද යත්, ප්‍රාග්ධනයේ උමතු නර්තනය මිනිසුන් අතර අන් කවර කලෙකවත් නොපැවති තරමේ අසමානත්වයක් නිර්මාණය කිරීමට අමතරව අපගේ ජෛව ගෝලයම විනාශයේ මුව විටට හෙළා තිබේ. දැන් ධනවාදයේ අභ්‍යන්තරික ප්‍රතිවිරෝධතා විසින් එය අභාවයට යවනු ඇතැයි එතරම් පිළි ගැනෙන්නේ නැත. නමුත්, ධනවාදී සංවර්ධනය සහ එහි පරිබාහිරත්වය (නිදසුනක් ලෙස පරිසරය) අතර විනාශකාරී සම්බන්ධයක් ගොඩ නැගී ඇත.

මේ ධනවාදී සංවර්ධනය තවදුරටත් පවත්වා ගන්නවාද නැද්ද යන්න දැන් කම්කරු පන්තියේ ගැටළුවක් පමණක් නොව සමස්ත මානව වර්ගයාගේම පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකි. මාක්ස්වාදය යල් පැන ගොස් තිබේය යනුවෙන් කියැවෙන යුගයක තවමත් අප හමුවේ මාක්ස් කාර්මික ධනවාදයේ ආරම්භක අවධියේදී ඇසූ ප්‍රශ්න විවෘතව පවතී.

“මිනිසා තමන් විසින්ම නිර්මාණය කරන ලද ලෝකයක් තුළ අමුත්තෙකු බවට පත්ව සිටින්නේ ඇයි?”

“මිනිසාගේ නිර්මාණය මිනිසාටම අමුත්තෙකු ලෙසත් පීඩකයෙකු ලෙසත් අභිමුඛ වන්නේ ඇයි?”


– සුමිත් චාමින්ද 

මැයි 01, 2021
Article Categories:
විශේෂාංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares