පරිසරයද? ශිෂ්ඨාචාරයද?

Written by

මේ දිනවල බොහෝදෙනා කතාබහ කරන මාතෘකාවක් වන්නේ සංවර්ධනය නාමයෙන් සිදුවන බරපතල පාරිසරික විනාසයන් පිලිබදවය. මෙම සාකච්ඡාව සැබැවින්ම සාදාරන මෙන්ම කාලෝචිත වන්නේ පසුගිය කාලසිමාවේ සංවර්දනයේ නාමයෙන් සිදුවුන අතිදැවැන්ත පාරිසරික හානි පිලිබද වන ශාක්ෂි ඕනැ තරම් අප අත් විද තිබෙන අතර එය දිනෙන් දින වඩාත් අවාසනාවන්ත වර්දනයක් පෙන්නුම් කරමින් පවතින බැවිනි.


 කෙසේ නමුත් මෙම සාකච්ඡාවට තම දේශපාලනික ලබ්දින් පෙර දැරිව පැමිනෙන බොහෝදෙනා ගොනුවන  අන්ත දෙකක් හදුනා ගතහැකිය. එක් පිරිසකගෙ මතවාදය වන්නේ ස්වබාවික පරිසරයට හානි පැමිනෙන බැවින් සංවර්දනය සිමා කොට ස්වබාවික පරිසරයට අතනොතබා සංරක්ෂනය කල යුතු බවය.


එමෙන්ම අනෙක් අන්තය දරන අදහස වන්නේ ඕ නැම සංවර්ධන කටයුත්තකදි පරිසර හානියක් සිදුවිම ස්වබාවික බවත් එය නොසලකා මානව අවශ්‍යතාවෙනුවෙන් සංවර්ධනය ඉදිරියට ගෙනයායුතු බවය.මිනිසා යනු තවත් ස්වබා දහමේ එක් නි්රමිතයකි, වනගත රුක්වාසි ජිවිතයකට තම දේහය හැඩ ගස්වා ගත් ප්‍රයිමේටා සත්ව කාංඩයට අයත් තවත් එක සත්වයෙක්.


දිරිඝ කාලයක පරිණාමික ක්‍රියාවලියක ප්‍රතිපලය ලෙස නුතනයේ මිනිස් ශරිරය යම් ආකාරයක නවිකරනයකට ලක් විම තුල පෙර පරිදි රුක්වාසි වනගත ජිවිතයක් ගතකල නොහැකි වුවත් අපගේ ජිවන පැවැත්ම ගොඩ නැගි අත්තේම ස්වබාවික පරිසරය සමග අන්‍යොන්‍ය බැදිමකින් විසිමට මිස මුලු මනින් ව්‍යුක්ත කෘතිම පරිසරයක දිවිගෙවිමට නොවේ.


 පරිසරයෙන් ඇත් වන හැමවිටකම නොයෙකුත් ස්වබාවික ආපදාවන්, රෝගාභාද ඇතුලු අනේක විද දුෂ්කරතාවයන් මතුවෙන්නේ එබාවින්. මේ අනුව  ස්වබාවික පරිසරයෙන් මුලමනින් ඇත්වුනු මානව ජිවිතයක් හෝ මානව ශිෂ්ටාචාරයක් පිලිබද සිතිමම අර්ථ විරහිත විහිලුවක් පමනකි.
එසේ සැලකු විට අනෙක් පසින් තවත් මුලධාර්මික ප්‍රශ්නයක් පැන නගිනු ඇත. එනම් වනාන්තරය, ස්වබාවික පරිසරය මෙතරම් සෞම්‍ය යහපත් තැනක් නම් අප වනගත ජිවිතයට පසුබසින්න අකමැති වන්නේ ඇයිද නොඒසේනම් මානවයා වනගත ජිවිතය අතහැරල ශිෂ්ටාචාරය ගොඩනංවන්න පෙළඹුනේ ඇයිද යන්නය.


සැබැවින්ම ඒ උත්සාහාය ආදි ශිෂ්ටාචාර වාසි මිනිසාගෙ නොසන්ඩාල අකිකරු කමක්ද?ස්වබාවික පරිසරය නැතිනම් වනාන්තරය  සත්වයින්ට සොදුරු වාසස්තාන ආහාර මෙන්ම රැකවරනය සහිත මාතෘත්වය  සැපයුවද ස්වබාදහමේ නීතිය අතිප්‍රචන්ඩ කැලැ නිතියකි. එය හැමවිටම ස්වභාවික පරිසරයේ ආරක්ෂාව හා සැලකිල්ල ලැබුනේ ශක්තිවන්තයාට පමනයි.


දුර්වලයින්ට, රෝගින්ට හදිසි අනතුරු වලට ලක්වුවන්ට ජීවන තරගයෙන් පරාජිතවි අකාරුනිකලෙස කුසගින්නේ මිය යැමට හෝ වෙනත් සතේකුගේ ගොදුරක් බවට පත්විම හැර වෙනත් විකල්පයක් තිබුනේම නැත.මේ කුසගින්න සහ ආරක්ෂාව පිලිබද ගැටලුවට විසුදුමක් සොයාගැනිමට මෙන්ම ශක්තියවන්තයා පමනක් ජීවත් විය යුතුයැයි සැලකෙන කැලැ නීතියට එරෙහිව සියුලු දෙනාම ජීවත්විය යුතුය යන අරමුනින්  මානවයා වනාන්තරයෙන් ඔබ්බට පැමින ගංගා නිම්න ආශ්‍රිතව ශිෂ්ඨාචාර ගොඩ නංවන්නට විය.

එසේ නම්  ස්වබාවික පරිසරය වෙනස් කරමින් ගංගා නිම්න එළිපෙහෙලි කරමින් මේ ශිෂ්ටාචාර ඇරඹිමේ ක්‍රියාවලියෙද් පරිසර හානි සිදු වුනේ නැතිද? එසේත් නැතිනම් ඒ පැරනි මිනිස්සු පරිසරය ගැන සැලකිල්ලෙන් මේ කටයුතු සිදුකලාද? පිළිතුර වන්නෙ ශිෂ්ටාචාර ගොඩ නැංවිමේ මුල් පියවරේදි අතිප්‍රබල පරිසර අර්බුදයක් පැන නැගී පැවති බවයි.

මානව ශිෂ්ටාචාරය ඇරඹුනු නයිල් නිම්න ශිෂ්ටාචාරය බිද වැටෙන්නෙම එම ගංගා නිම්නයේ ආරම්බක ශිෂ්ටාචාරවාසින් මැටි සහ ගඩොල් ලබාගැනිමට සිදුකල කැනිම් හේතුවෙන් ගං ඉවුරු විනාශවි බරපතල ගංවතුර හා කාදන තත්වයන් ඇතිවිමෙනි. එමෙන්ම මදුරු උවදුරු හා ජලයෙන් බෝවන රෝග දැඩි ලෙස ව්‍යාප්ත වි පැවති ඇත.


එපමනක් නොව කැලැවෙන් එකතුකරගත් බීජ වර්ග වගාබිම් වල රෝපනය කිරිම් එතරම් පහුසු කාර්යක් වුයේද නැත. බොහොමයක් බීජ වල පැවති ප්‍රරෝහන ප්‍රතිරෝධක නිසා වනාන්තරයෙදි රෝපනය වුනත් වගාබිම්වල රෝපනය වුයේ නැත. මේ හේතු මත නවශිලා යුගයේ ශිෂ්ටාචාරවාසින් ඒකාකාරි ආහාර වර්ග කිහිපයක් පමනක් අහරට ගැනිමෙන් පෝෂන ඌනතාවන්ට හා දත් හා අස්ථි රෝග වලට ගොදුරු වු බවට පුරා විද්‍යාත්මක ශාක්ෂි පවති.

මේවායෙ ප්‍රතිපල ලේස නුතන මිනිසාගෙ අස්ති සැකිල්ල පවා දුර්වල වුන බව විද්‍යඥයින්ගෙ මතයයි. මේ ආකාරයට මිනිසා පරිසරයට එරෙහිව යාම හමුවේ පරිසරය විසින් මුදාහරිනලද ප්‍රචන්ඩත්වය පිලිබද ශාක්ෂි මුල් ශිෂ්ටාචාර අවදියේ බොහෝමය.


නමුත් මිනිස්සු උත්සාහය අත්හැරියෙ නැත. මෙහිදි වැදගත්ම කාරනාව වන්නේ මිනිසා ස්වබාවික පරිසරය වෙනස් කිරිමේදි පරිසරය විසින් එල්ලකරන පිඩනයට එරෙහිව තවදුරටත් පරිසරය වෙත ප්‍රචන්ඩත්වය වෛරය මුදාහරිනවා වෙනුවට ආදිකාලින මිනිසා පරිසරයේ නියාමයන් තේරුම් ගනිමින් ඒවාට අබිමුක වෙමින් ක්‍රමානුකුල ලෙස පරිසරය වෙනස්කර ගනිමින් ශිෂ්ටාචාරය ගොඩ නැංවිමට හුරු පුරුදුවිමය. අප මේ ක්‍රියාවලිය හදුන්වන්නේ පරිසරය මානවිකරනයට ලක්කිරිම (Humanization of nature) නමිනි.


සැබැවින්ම මානව ශිෂ්ටාචාරයේ ජයග්‍රහනයේ මාවත බවට පත්වුනේ පරිසරය තේරුම්ගනිමින් වෙනස් කරගැනිමට ගත් මානව උත්සාහයේ ප්‍රතිපලයයි. මෙහිදි පරිසරයට වෙනස්විමට ඉඩසලස්වන ගමන් මිනිසා තමන්තුලින්ම වෙනස් කම් ඇති කර ගත්තේය.


මෙබැවින් මිනිසා හා පරිසරය අතර අන්‍යේන්‍ය අවබෝදය හා අන්‍යෝන්‍ය පරායාත්ත බාවයක් ගොඩනැගිනි.ගංගාවන්ගේ ස්වභාවික ජල ගලනයේ මුලධර්ම තේරුම් ගනිමින් ඇල වේලි සකස්කල පසු ගංවතුර වැනි ආපදාවන් අවම වු අතර වාරිශිෂ්ටාචාරය සාර්තකත්වයට පත්විය.
 එහි ප්‍රතිපලය ලෙස වියලි කර්කෂ බුමි වගාබිම් බවට පත්වන අතර ජලාශ්‍රිත ශිෂ්ටාචාරයක් බිහිය.වසර දහස් ගනනක් අත්දැකිම් මතින් ගතිලක්ෂන තෝරාගනිමින් ගෘහස්ත කරනයට ලක්කල බෝගශාක විශේෂ අතිවිශාල ප්‍රමානයක් සකස්කර ගැනිමට පසුකාලින ශිෂ්ටාචාර මිනිසා සමත් විය.


එම ශාක මොනතරම් මානවිකරනයකට ලක්වි ඇතිද සැලකුව හොත් අද දවසේ අප ආහාරයට ගන්නා වී,තිරිගු,බාර්ලි ඇතුලු දාන්‍ය වර්ග මෙන්ම බොහොමයක් එලවලු හා පලතුරු ශාක වලට මිනිස් හවුහරනකින් තොරව වනාන්තරයේ වර්ධනය විමේ හැකියාවක් ඉතිරි විනොමැත.ඒ තරමටම ඔවුන් මිනිස් ඇසුරට අනුගත වී තිබේ.


මේ ආකාරයෙන් මිනිසා පරිසරය සමග ගොඩ නංවාගත් මිත්‍රශිලි සම්බන්දතාවයේ ජයග්‍රහනය ලොව පුරා විසිරුනු ශිෂ්ටාචාර සමුහයක පැරනි නගර හා ජනාවාස සැලකිමේදි මැනවින් පැහැදිලි වේ.මොහොන්ජදාරො හරප්පා ශිෂ්ටාචාරයේ පැවති වැසිජලය එක්රැස් කිරිම් හා අප ජලය පරිසරයට හානිකර නොවන අයුරින් මුදා හැරිමේ පද්ධතිය, අබය ගිරිය ආශ්‍රිතව හමුවු වැසිකිලි වල මැටි බදුන් සහිත පෙරහනකින් පෙරා අප ජලය පොලවට මුදාහැරිම ආදිය මේ සදහා හොද උදාහරන සපයයි.


එතරම් දුර නොගියත් අපේ පැරනි වාරි ශිෂ්ටාචාරය තුල පරිසරය මැනවින් මානවි කරනය කර ගනිමින් පරිසරයට අභිමුඛවෙමින් ශිෂ්ටාචාරය ගොඩ නැංවිමේ උත්සාහයන් හදුනා ගත හැකියි. පසුගිය (2018) අප්‍රියෙල් 19 වැනි දින ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ප්‍රථම වරට ගෝලීය වශයෙන් වැදගත් කෘෂිකාර්මික උරුම පද්ධතියක්‌ ලෙස ශ්‍රී ලංකාවේ වැව් එල්ලංගා පද්ධතිය නම් කරනු ලැබීය.
එල්ලංගා පද්ධතිය යනු එකිනෙකට සම්බන්දවුනු කුඩා වැව් පද්ධතියකි.මේ වැව් පද්ථතිය සකස් කරන්නෙ කෘෂිකර්මාන්තයට අවශ්‍ය වාරිජලය ලබා ගැනිමට වුවත් එහි එකම අරමුන වන්නේ වාරිජලය වගාවන්ට ලබා ගැනිම පමනක්ම නොවේ. එය මිනිස් අවශ්‍යතාව සතා සිවුපාවන්ගේ ජල අවශ්‍යතාවය මෙන්ම පරිසරයේ තිරසාර පැවැත්ම යන සියල්ල අරමුනු කරගනිමින් සකස්කර ගත් පාරිසරික සාමාජිය හා ආර්තික අවශ්‍යතාවයන්ගේ සංයුක්ත නිමැවුමක් විය.


ජලපෝෂක ප්‍රදේශවලට හානි නොකර එවායෙන් එතුවන කුඩා ජලමාර්ග ආශ්‍රිතව කුඩා වැව් ඉදි කරන අතර ජලය ඉහළ සිට පහළට වැවෙන් වැවට ගලා යන විට ඒ අතර අස්‌වද්දා ඇති වෙල් යායන් ද පෝෂණය කරමින් භූගත ජල සම්පත ද පොහොසත් කරමින් ගහකොළ සතා සීපාවා ද සනසමින් තවත් ඉතිරි වන්නේ නම් පහළ ඉදි කොට ඇති මහා වැව් දක්‌වා ඇදී යන ආකාරයට මෙම එල්ලංගා පද්ධති සකස්කර තිබේ. මේ සියල්ල තුල ගැබ්වි ඇත්තේ පරිසරය තේරුම් ගනිමින් ඒ පිලිබදව හැගිමකින් යුතුව වෙනස් කිරිම තුලින් ශිෂ්ඨාචාරය ගොඩනංවා ගැනිමේ උත්සාහය.


කාර්මික ධනවාදය නැගිම සමග මුලු ලෝකයාට අත්හැරෙන්නෙ මේ ආකාරයට පරිසරය මානවිකරනයට ලක් ගනිමින් සංස්කෘතික ලෝකය ගොඩ නංවා ගැනිමය.එයට හේතුව වන්නේ සංවර්ධනයේ පරම ඉලක්කය ආර්තික ලාභය පමනක්ම යැයි සිතන දෘෂිටිවාදයක් සමාජය වෙලා ගැනිමය්.
එබැවින් අප සතු විකල්පය වන්නේ වනාන්තරය දක්වා පසු බැසිම හෝ පරිසරය වනසා කොන්ක්‍රිට් ශිෂ්ටාචාරයක් ගොඩනැංවිම නොව පරිසරය හදුනාගනිමින් එයට අභිමුක වෙමින් ඒ මත ශිෂ්ඨාචාරය ගොඩනැංවිමේ මාවතට ප්‍රවිශ්ට විමය. එය පටු තාවකාලික ආර්තික හෝ දේශපාලනික න්‍යායපත්‍ර මත සැලසුම් කල හැක්කක් නොවන අතර දිර්ඝ කාලින තිරසාර සමාජ සංවර්ධන ක්‍රියාදාමයක එක් අනුපුරුකක් වනු ඇත.

සටහන – කපිල මහේශ් රාජපක්ෂ 

Article Categories:
විශේෂාංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares