තීන්දුවෙන් පසු එළඹෙන වරාය නගර කලු කඩ මධුසමය…

Written by

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අලුත් අවුරුදු නිවාඩුව සඳහා අධිකරණ පද්ධතිය වසා තිබුනු මොහොතක එනම් 2021 අප්‍රේල් මස 8 වන දින පාර්ලිමේන්තුව න්‍යාය පුස්තකයට  ඇතුලත් කිරීමෙන් අනතුරුව එය ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද යන්න පිළිබදව  දින හතක් තුල ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීම සඳහා පුරවැසියන්ට අවස්ථාව තිබුනි. කෙසේ වුවද එය අධ්‍යයනය කර පෙත්සම් ගොනු කිරීමට තිබු පහසුම ඊළග එළඹුණු එකම වැඩ කරන දිනය වන දොළොස් වැනි දා ඉතිහාසයේ කවරදාකවත් නොවූ ආකාරයෙන් රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කරන ලදි.ඉන් අනතුරුව පුරවැසියන්ට මෙම පනත් කෙටුම්පත අභියෝග කිරීම සඳහා පෙත්සම් ඉදිරිපත් කළ හැකි අවසාන දිනය වූයේ අප්‍රෙල් පහලොස් වන දින වේ.ඒ අනුව ආරම්භයේ සිටම ඉතා සූක්ෂම ආකාරයෙන් මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාවට දැනගැනීමේ අයිතිය පුරවැසියන්ට එය අභියෝග කිරීමේ ඇති අයිතිය ආණ්ඩුව විසින් අහිමි කිරීම සඳහා උපක්‍රමිකව කටයුතු කර තිබූ බව පැහැදිලිය.


ඉන් අනතුරුව එළඹුණේ එම අභියෝග මැද්දේ වුවද එම පනත් කෙටුම්පතට විරුද්ධව පෙත්සම් ගොනු කළ පාර්ශවයන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තම කරුණු දැක්වීමයි. මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම් අනිවාර්යෙන්ම දේශපාලනික ප්‍රවාහයන් වලට සම්බන්ධ  මතවාදීමය තර්කයන් බවට පත්වූයේ මෙම පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම භූ දේශපාලනික අරමුණු වලට ගැට ගැසී තිබූ බැවිනි. ඒ අනුව මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරන ලද පාර්ශවයන් ප්‍රධාන කණ්ඩායම් දෙකක් ලෙස දැකගැනීමට හැකියාව ලැබිණි. ඉන් එක කණ්ඩායමක් වූයේ එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය නියෝජනය කරන කොට්ඨාශයි. ඔවුන්ගේ ප්‍රධානම තර්කය වූයේ ප්‍රතිපත්තිමය වශයෙන් මෙම වරාය නගර ව්‍යාපෘතියට ඔවුන් පක්ෂ බවත් කෙසේ නමුත් එය ක්‍රියාත්මක කිරීමට රජය උත්සාහ දරන ක්‍රමවේදය සම්බන්ධයෙන් ගැටලු ඇති බවය. නමුත් හරයෙන් ගතහොත් ඔවුන්ගේ ප්‍රධානම අරමුණ වූයේ තමුන්ගේ දේශපාලනික බල ව්‍යාපෘති සඳහා ප්‍රචාරණ මෙවලමක් ලෙස මෙම පනත් කෙටුම්පත භාවිතා කිරීම හැර  ප්‍රතිපත්ති මය කරුණු මත හිඳ එය අභියෝගයට ලක් කිරීම නොවේ.


මෙම පනත අභියෝගයට ලක් කරන ලද අනෙක් සීමිත කොට්ඨාශය වූයේ මෙම වරාය නගරය ව්‍යාපෘතිය හරහා ස්ථාපිත කරන්නට යන ආර්ථික මූලෝපායන් විසින් ඉදිරි කාලය තුළ මෙරට වැඩ කරන ජනතාවට සහ සාමාන්‍ය ජනතාව ගෙන ඒමට නියමිත අභියෝගයන් සහ අනෙක් අතට මෙම ආර්ථික ප්‍රතිපත්තිය විසින් ඉදිරියේදී නිර්මාණය කිරීමට නියමිත භූ දේශපාලන අර්බුදය පිලිබදව සවිඥානිකව එය අභියෝග කල වාම ප්‍රගතිශීලී බලවේග යයි.


වරාය නගරය සම්බන්ධයෙන් නඩු විභාගයේ දක්නට ලැබුණු අනෙක් සුවිශේෂීම කරුණ වන්නේ එයට පක්ෂව කරුණු දැක් වූ රජය නියෝජනය කරන පෙත්සම්කරුවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සහ මුදල් සැපයීමට චීන  සමාගම් සෘජුව මැදිහත් වීමයි.  ඇතැම් දිනවල නඩුව අඩාලව කල්තබන අවස්ථාවේ දී එම රජය වෙනුවෙන් සහභාගි වූ පාර්ශවයන් සදහා සංග්‍රහයන් පවා  සංවිධානය කර තිබූ තත්ත්වයක් දක්නට ලැබිනි.ඒ අනුව අධිකරණ තීන්දුවේ ජයග්‍රහණයක් හෝ පරාජයක් වුවත් එය විඳ දරා ගන්නා වූ පාර්ශවය රජයට වඩා චීන ප්‍රාග්ධනය බව ඉතාමත් පැහැදිලිය.


එම පසු තලය මත හිඳිමින් එම නඩුව දින ගණනාවක් අධිකරණය ඉදිරියේ තර්ක කරන ලදි. ඒ අනුව තවත් සුවිශේෂී තත්ත්වයක් නිර්මාණය කරමින් එම නඩුවේ තීන්දුව සමාජය වෙත දැනගන්නට ලැබෙන්නේ 2009 දී වසර තිහකට අධික කාලයක් පැවති යුදමය තත්ත්වය අවසාන වූවා යැයි සඳහන් කරමින් යුධ ජයග්‍රහණය සැමරීම සඳහා යොදා ගන්නා දිනයේ දී වීමය. 2009ට පෙර උතුරේ අවිගත් තමිල් ජනතාව මර්දනය කරනු ලැබුවේ සහ යුද්ධය ක්‍රියාත්මක වූයේ ඔවුන් විසින් සියවස් ගණනාවක් ජීවත් වූ බිම් කොටස් වල බලය ඔවුන් විසින්ම තහවුරු කරගෙන ඇති බවත් ඉඩම්වල අයිතිය බහුතරයක් සිංහල ආණ්ඩු වෙත හිමිව යුතුයි යන පදනම මත පැවති යුද්ධයෙන් අනතුරුව සන්නද්ධ ක්‍රියාවලිය හරහා එම භූමි වල බලය ආධිපත්‍ය ජාතිකවාදී සිංහල බෞද්ධ කඳවුරට හිමි විය.එම අදහස් මත යුධ ජයග්‍රහණය සැමරුවද මේ වන විටත් එම ඉඩම් බහුතරය විදේශ බහුජාතික සමාගම්වලට හිමි වෙමින් පවතින බව සිංහල ජාතිකවාදයේ තර්කයට හසු නොවේ. යුද ජයග්‍රහණය ජාතිකවාදීන් විසින් සමරන මොහොතේ අනෙක් අතට නැගෙනහිර මුස්ලිම් බහුතර ජනතාවක් ජීවත්වන ප්‍රදේශ වලටල ප්‍රාදේශීය සභාවක් දීමට පවා විරුද්ධ වන අනෙක් අතට දෙමළ සතුරා වෙනුවට මුස්ලිම් සතුරා ආදේශ වීමෙන් පසු ජාතිකවාදීන් විසින් මහත් උද්දාමයෙන් පත් කරගන්නා ලද ජනාධිපති වරයෙකු සහ තුනෙන් දෙකක බහුතර ආණ්ඩුවක් සිටින ජාතිකවාදී කදවුර බලසම්පන්න මොහොතක මෙම පනත් කෙටුම්පත කරලියට පැමිණෙන ලදි.එහිදී එම ජාතිකවාදී කදවුර න්‍යායාත්මකව බරපතළ අර්බුදයකට යන්නේ මෙරට ජීවත් වූ දෙමළ මුස්ලිම් ජනතාවට ජාතිකවාදී අර්ථයෙන් දිගින් දිගටම පහර දෙන එම ජාතිකවාදී කඳවුරට තමුන්ගේ ජාතිකවාදී ,ජාතිවාදී කඳවුරේ නායකත්වය විසින් සම්පූර්ණයෙන්ම විදෙස් චීන කොලනියක් සඳහා අක්කර 500ක් පමණ රටෙන් ලබාදෙන මොහොතක ඊට විරුද්ධ වන්නේ කුමන න්‍යායික පදනමකින්ද යන්න ගැටලු උද්ගත වීමයි. විශේෂයෙන්ම ගාලු කොටුව මෙරට පළමු වරාය නගරය බවට පොස්ට් දමමින් එම න්‍යායික පක්ෂපාතිත්වය සඳහා ඉඩකඩ හදා ගැනීමේ උත්සාහයන් පවා දරන තත්ත්වයක් තුළ පෘතුගීසීන් ,ලන්දේසීන් ඉංග්‍රීසීන් මෙරටට පැමිණීමස සිංහල ජාතිකවාදී න් සැමරිය යුතු කාර්යයක් බවට පත්වන බව ඔවුන්ට එම තර්ක තුළ අවබෝධ නොවීම හෝ අවබෝධ කර ගැන්මට උත්සාහ නොකරන තත්ත්වය එම කඳවුරේ බරපතළ අර්බුදය ප්‍රකට කරන ලදී.


කෙසේ නමුත් දැන් ඒ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව ලැබි ඇත.එම අධිකරණ තීන්දුව ලැබීමෙන් පසු වැඩිපුරම උද්දාම ට පත් වූ  කොටස වන්නේ මා ඉහතින් සදහන් කරන ලද එම පනතට විරුද්ධ වූ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පදනමකින් ද එම පනතට සත්‍යවශයෙන්ම පක්ෂ වූ කණ්ඩායමයි. එම කණ්ඩායම නඩු තීන්දුව කිසිදු විග්‍රාහත්මක පැහැදිලි කිරීමකින් තොරව ඒ ඔවුන්ගේ ජයග්‍රහණයක් බවට ප්‍රකාශ කිරීම තුළ ගම්‍ය වන කරුණ වන්නේ ඔවුන්ට ඇත්තෙ ප්‍රචාරණ ව්‍යාපෘතියක් පමණක් බවය. ඒ අනුව මූලිකම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු උදා වීමට නියමිත තත්ත්වය අප විශ්ලේෂණය කර ගත යුතුවේ.


ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව වගන්ති කිහිපයක් සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය අවශ්‍ය බවත් තවත් වගන්ති කිහිපයක් සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වත් සඳහන් කොට තිබේ. නමුත් සුවිශේෂත්වය වන්නේ එම සියලූ වගන්ති සඳහා සංශෝධන ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන අතර එම සංශෝධන සහිතව පනත සම්මත කර ගන්නේ නම් සරල බහුතරයකින් සම්මත කළ හැකි බව සඳහන් කොට තිබේ.


මූලිකම සංශෝධන කිහිපයක් යෝජනා කර ඇත්තේ පනතේ තුන් වන වගන්තිය සඳහා වේ. එම වගන්තිය මගින් මෙම පනත යටතේ පිහිටවනු ලබන වරාය නගරයේ කොමිෂන් සභාව සහ දැනට රටේ මෙරට ස්ථාපනය වී ඇති නියාමන ආයතන යන ව්‍යූහයන් දෙකෙන් වරාය නගරය තුල පිළිගැනීම ලැබෙන්නේ කුමන ව්‍යූහයටද යන්න පැහැදිලි කරයි.එහි තුන්වන වගන්තිය සඳහා සංශෝධනයක් ගෙන එමින් මුල් පනත් කෙටුම්පතේ අදාල නියාමන අධිකාරිය විසින් කොමිෂන් සභාව විසින් ඉල්ලා සිටින යම් අනුමැතියක් වේනම් එය ලබා දීමට එකඟ විය යුතුයි යන්න වෙනුවට එය ලබාදීම සදහා වූ තීරණයක් නියාමන අධිකාරීන් විසින් ලබාදිය යුතු බවට සංශෝධනය කොට ඇත.


ඒ අනුව මෙයින් හැඟවෙන්නේ කොමිෂන් සභාව විසින් කරනු ලබන ඉල්ලීම් සම්බන්ධයෙන් නියාමන අධිකාරීන් වලට එකගතාවයක් සහිත තීරණය හෝ රහිත තීරණයක් ලබා දිය හැකි ආකාරයට පනත සංශෝධනය වීමයි.එම නියාමන ආයතන 74 වගන්තිය් නිර්වචනය කර ඇති පරිදි මහ බැංකුව,සමාගම් රෙජිස්ටාර්, මධ්‍යම පරිසර අධිකාරිය,ආගමන විගමන පාලක,රේගූව හෝ වෙනත් නියාමන ආයතන වේ.


පනතේ ජන මත විසඳුමකට යා යුතු යැයි සදහන් කොට ඇති වගන්තිවලට ගෙන ප්‍රධාන සංශෝධනයක් වන්නේ පනතේ දෙවන උපලේඛනයේ සඳහන් පවතින් බැහැර කල පනත් සම්බන්ධ ප්‍රතිපාදනයයි.පනතේ දෙවන උපලේඛනයේ සඳහන් සියලුම පනත් වරාය නගරය කොමිෂන් සභාවේ තීන්දු තීරණ වලට බලපෑමක් කළ නොහැකි බැහැර කර ඇත.ඊට අදාල පනතේ 52 සහ 53 වගන්තිවලට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරනු ලබන සංශෝධනය වන්නේ දෙවන උපලේඛනයේ සඳහන් පනත්වල නිශ්චිතව බැහැර කිරීමක් සිදු කොට ඇත්නම් එකී බැහැර කිරීම පමණක් කොමිෂන් සභාවට අදාල වෙන බවයි.පනතේ දෙවන උපලේඛනයේ බැහැර කල පනත් ලෙස ආදායම් බදු පනත, එකතු කළ අගය පිළිබඳ, මහ බැංකුවට අදාල මූල්‍ය පනත්, සුරාබදු පනත, සේවකයන්ගේ සේවය අවසන් කිරීම පිළිබඳ පනත, රේගු පනත වැනි පනත් දාහතරක් සදහන් කර ඇත.ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කර තිබෙන්නේ එම පනත්වල වරාය නගරය සම්බන්ධයෙන් නිශ්චිත කරුණක්  පනත් වල ප්‍රතිපාදන වලට අදාල නොවන්නේ ඇයි සඳහන් වන්නේ නම් එය පමණක් කොමිෂන් සභාවට බැහැර කල හැකි බවය. ඒ අනුව රජයට පහසුවෙන්ම ගතහැකි ඊළග පියවර වන්නේ එකී පනත් සියල්ලටම වෙන වෙනම සරල සංශෝධනයක් ගෙන එමින් වරාය නගරය කලාපය එම පනත්වල වපසරියට අදාල නොවන බවට සශෝධනයක් ඇතුළත් කිරීම වේ.එමගින් 3 වගන්තියට ඇතුළත් කල තීරණය යන්නද හුදු නාමික සංශෝධනයක් බවට රජයට පත්කල හැක.
ඒ අනුව මෙම පනත් කෙටුම්පතේ දැනට තිබෙන තත්ත්වය වන්නේ සරල සංශෝධනයකින් එය සාමාන්‍යය බහුතරයෙන් සම්මත කිරීමේ හැකියාව රජයට හිමිවනු ඇත. ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවත් යම් සංශෝධන කිහිපයක් ඉදිරිපත් කොට ඇති අතර විශේෂයෙන්ම මෙම වරාය නගර සීමාව තුළ මාර්ගෝපදේශන සකස් කිරීමේ හැකියාව කොමිෂන් සභාවට පවතින බවට තිබූ ප්‍රතිපාදනය මාර්ගෝපදේශ යන්න වෙනුවට රෙගුලාසි ලෙස ඇතුළත් කොට ඇත .ඒ අනුව මාර්ගෝපදේශ වල සඳහන් කරන කරුණුම රෙගුලාසි වශයෙන් ක්‍රියාවට නැගීමට එම කොමිෂන් සභා ට බලය ලැබේ.ඒ වගේම වරාය නගරය තුළ පුද්ගලයන්ට ඇතුළු වීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට කොමිෂන් සභාවට බලය ලබාදීම ඉවත් කොට ඇති අතර ඒ අනුව ඕනෑම තැනැත්තෙකුට එම වරාය නගරය තුලට ඇතුල් විය හැකි යැයි යන හැඟවුමක් ලබා දී ඇත. නමුත් වරාය නගරයට ඇතුළු වීමේදී ටිකට් පතක් හෝ වෙන ගෙවීමක් සිදු කිරීමට සිදු වන්නේ නම් හෝ වරාය නගරය තුල ඒ ඒ කලාපවලට ආවේණික ඇතුල්වීමේ කොන්දේසි දැමීම හරහා සත්‍ය වශයෙන්ම ඕනෑම පුරවැසියෙකුට එම කලාපයට ඇතුළු විය හැකි යැයි යන්න ප්‍රායෝගිකව සිදුනොවන දෙයකි. ඉහත කරුණු හැරුණු කොට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන අනෙකුත් බොහෝ සංශෝධන තාක්ෂණික කරුණු මත පදනම් වී ඇත.


ඒ අනුව සමස්තයක් ලෙස ගත් කළ ආණ්ඩුව ඉතාමත් සතුටින්  සංශෝධන සහිතව මෙම පනත පාර්ලිමේන්තුවට රැගෙන එන බවට ප්‍රකාශ කිරීම තුළම පැහැදිලි වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු හරහා ඔවුන්ගේ න්‍යාය පත්‍රයට කිසිදු බාධාවක් සිදු නොවි ඇති බවය. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය , සමගි ජන බලවේගය සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් මෙම තීරණය පිළිබඳ උද්දාමයට පත් වන්නට හේතු වන්නේ ඔවුන් පැතූ ආකාරයෙන්ම වරාය නගර ව්‍යාපෘතිය ඉදිරියට යනු ඇති අතර එහිදී මේ මොහොතේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හුදු ඔවුන්ගේ දේශපාලනය උපක්‍රමික ප්‍රචාරණ ජයග්‍රහණයක්  පත්කර ගැනීම විය.


ඒ මෙම පනත 19 දින පාර්ලිමේන්තුවට පැමිණ ඉදිරියේ දී එය සම්මත වී කෙටුම්පතේ තිබුණු ආකාරයෙන්ම ආර්ථික මූලෝපායන් මත එය ඉදිරියට යනු ඇත.සත්‍ය සත්‍ය වශයෙන්ම සමස්ත ක්‍රියාවලියේ පරාජයට පත් වන්නේ කවුරුන් ද යන්න අප විග්‍රහ කරගත යුතු වෙයි මෙම පනත මගින් මූලිකව ඉදිරිපත්වූ ආර්ථික මූලෝපාය වන්නේ ආසියානු වටිනාකම් සහිත ධනවාදය එනම් 70 දශකයේ සිංගප්පූරුව, මැලේසියාව ,තායිලන්තය වැනි රටවල්වල  ඉස්මතු වූ ධනවාදී ආර්ථික මොඩලය මෙරට පූර්ණ වශයෙන් ස්ථාපනය කිරීමයි. රට සිංගප්පූරුවක් කරනවා යන සටන් පාඨය එක්සත් ජාතික පක්ෂය ඇතුළු එම ලිබරල් කණ්ඩායම් මුලින් තමන් වෙත අත් පත් කරමින් තිබූ අතර නව ලිබරල් ධනවාදය දෙවෙනි ඉනිම යුද්ධයෙන් පසුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලද රාජපක්ෂ කදවුර මෙය  පසුව ඒ ආකාරයෙන්ම ආර්ථික මූලෝපායක් ලෙස ආදේශ කරගන්නා ලදී. ඒ අනුව ආසියාතික වටිනාකම් සහිත ධනවාදය ක්‍රියාත්මක කිරීමේදී අනිවාර්යයෙන්ම හැත්තෑව දශකයේ දී එම රටවල් මානව හිමිකම්, නිදහස ප්‍රජාතන්ත්‍රවාදය වැනි හරයන් බැහැර කරන ලදි.  ලී ක්වාන් යූ විසින් මානව හිමිකම් නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදය යනු බටහිර සංකල්ප බවට ප්‍රකාශ කොට එම සියලු අයිතීන් ජනතාවට අහිමි කර ජනඝාතන හරහා එම ආසියාතික වටිනාකම් සහිත ධනවාදය ස්ථාපිත කර බව පැහැදිලියි .ඒ අනුව මූල්‍ය ප්‍රාග්ධන උවමනාවන් සහ විනෝද ආර්ථික උවමනාවන් වෙනුවෙන් ලිංගික ශ්‍රමිකයන්,මත්ද්‍රව්‍ය ජාවාරම, කළු සල්ලි ආකර්ෂණය ප්‍රධාන ආදායම බවට පත්වීමක එම ආර්ථිකයන් තුළ දක්නට ලැබුණු අතර සංචාරක ආකර්ෂණයන් සඳහා කැසිනෝ සමාජශාලා, මත්ද්‍රව්‍ය සහ ලිංගික සේවා සැපයීම පුළුල් වන ලදී.


සාම්ප්‍රදායික බෞද්ධ සංස්කෘතියක් තිබූ තායිලන්තය සහ ඉස්ලාම් සංස්කෘතික ශික්ෂණයක් තිබූ මැලේසියාව වර්තමානය සිදුකරගෙන සංස්කෘති වෙනස්කම් ඊට නිදසුනකි.කෙසේ නමුත් බටහිර ධනවාදය සහ ආසියාතික ධනවාදය අතර යම් සියුම් වෙනස්කම් දක්නට ලැබිණ. විශේෂයෙන්ම බටහිර ධනවාදය තුළ රාජ්‍යයේ පෞද්ගලික ව්‍යවසායකයන්ට මැදිහත්වීම අඩු වුවද මෙම ආසියාතික වටිනාකම් සහිත ධනවාදය තුළ ආර්ථිකය  සැලසුම් කිරීමේදී ඒකාධිකාරී බලයක් අවශ්‍ය වීම මත රාජ්‍යය ඊට මැදිහත් වන ලදි. සුභසාධනය හරහා නොව ආර්ථික ව්‍යවසාය හරහා රජය මැදිහත්වීම කරන ලදී .තවද බටහිර ධනවාදය සමග ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය එකට බැඳී තිබුණි. ආසියාතික වටිනාකම් සහිත ධනවාදය තුළ බොහෝවිට ප්‍රජාතන්ත්‍රවාදය හකුලමින් ඒකාධිපති පාලනයන් දක්නට ලැබිණි. එසේම ද දාර්ශනික කලා ,සංස්කෘතික හා පුනරුදය බටහිර ධනවාදය තුළ යම් ප්‍රමාණයකට ගැබ් වී තිබුණු අතර ආසියාතික ධනවාදය තුළ අනන්‍යතාවය අහිමි සමාජයක් බිහිවීම දැඩි ව දක්නට ලැබේ. ඒ අනුව මෙම වරාය නගරය හරහා ගෙන ඒමට උත්සාහ කරන එම ආසියාතික ඇගයුම් සහිත ධනවාදය යථාර්ථයක් කරගැනීමට පාලකයන් උත්සහ දරයි.


කෙසේ නමුත් එය මෙරට පවතින සමාජ ආර්ථික සහ ඓතිහාසික හේතු මත ස්ථාපිත කිරීමට හැකිද නැද්ද යන්න පිළිබඳ කිසිදු තාක්ෂණික ඇගයීමක් ඔවුන්ට නොමැත. විශේෂයෙන්ම ලංකාවේ නිෂ්පාදන වල සංවර්ධනය මට්ටම පහල පැවතීම, කාර්මිකරණය සඳහා වැඩපිළිවෙළක් නොමැති වීම,මූල්‍ය ප්‍රාග්ධනය ප්‍රසාරණය සඳහා විදේශ සමාගම් මැදිහත්වීම හරහා අතිරික්තයක් මෙරට රැඳීම වෙනුවට එය පිටරට කරා ගලා යෑම, ලංකාව ණය උගුලක පැටලීම හරහා චීනය සහ අධිරාජ්‍යවාදීන්ට පහසුවෙන් ආර්ථික මූලෝපායන් හැසිරවීමේ හැකියාව ලැබීම, එසේම ප්‍රබල ආර්ථික ජාතිකවාදයක් ක්‍රියාත්මක වීම සඳහා වු ප්‍රබල ධනපති පන්තියක් ලංකාවේ නොමැති වීම සහ එම ධනපති පන්තිය වුවද ආසියාතික පසුගාමී කම් රැසකින් සමන්විත වීම වැනි හේතු ගණනාවක්ම එම මොඩලය ස්ථාපිත වීමට බාධා පමුණුවනු ඇත.


දශක හතරකට අධික කාලයක් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මොන යම් හෝ අඩුපාඩු තිබුණත් ජීවත්වීමට සටන් කිරීමට පෙළඹුණි ජනතාවක් සිටීමමම එබඳු ආසියාතික වටිනාකම් සහිත ආර්ථික මූලෝපායන් එලෙසම ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය මර්ධනය ගෙන ඒමට රජයට පහසු නොකරයි. තවද මේ වන විට පවතින චීන සහ ඇමරිකානු බල කඳවුරු අතර අධිරාජ්‍යවාදී සහ ව්‍යාප්තවාදී අරගලය තුල පැහැදිලිවම ලංකාව හිරවීම විසින් දරැණු භූ දේශපාලනික මැදිහත්වීමක් වරාය නගරය ව්‍යාපෘතිය සමග මෙරටට සිදුවනු ඇත. එහිදී චීනය සිය ව්‍යාප්තවාදය තුළ දැනට ප්‍රකට නොකරන මිලිටරි මැදිහත්වීම් දක්වා එය ව්‍යාප්ත වනු ඇත.


එය විසින් බලවත් වූ දේශපාලනික ගැටලු අප වෙත නිර්මාණය කරනු ඇත. අනෙක් අතට මේ වන විටත් මෙම වරාය නගරය තුල ව්‍යාපෘති ගොඩනැගිලිවල ව්‍යුහයක් ඒ සියල්ල තීරණය කොට හමාර ඇති අතර ඒ අනුව චීනයට මධ්‍යගත වූ බහු ජාතික සමාගම් මේ වරාය නගර ව්‍යාපෘතිය තුළ සම්පූර්ණයෙන්ම ලාභ උපයමින් තම ප්‍රාග්ධන උවමනාවන් වෙනුවෙන් ලේ උරාබොන ද බූවල්ලෙකු ගේ කාර්යභාරය පමණක් සිදුවනු ඇත. ඒ අනුව රට අභ්‍යන්තරයට මේ ගෝලීය ප්‍රාග්ධනය එනවා වෙනුවට මෙම බිම් ප්‍රදේශය ගෝලීය ප්‍රාග්ධනය මෙරටින් පිටරටට අපනයනය කරන එසේත් නැතිනම් කළු සල්ලි සුදු කරන මධ්‍යස්ථානයක් බවට පමණක් පත් වනු ඇත.2009 යුද්ධය අවසන් වීමෙන් පසුව රට සංවර්ධනය වේ යයි හීන පෙන්වූ පරිදි ඊට   පෙර මහවැලිය වැනි ව්‍යාපෘති හරහා රට සංවර්ධනය වෙනවා යයි ජනතාව මුළා කළ පාලකයන් විසින් තවත් එබඳුම ඒ ආකාරයෙන්ම බොරුවක් හරහා ජනතාව මුලා කරමින් සිටි. අවසාන වශයෙන් කම්කරු නීති අදාල නොවන දේශීය සහ විදේශීය කම්කරුවන්ගේ ශ්‍රමය  උරාබොන ධනපතියන් තම ලාභ කඳු ගොඩ ගහන අසමානතාවය තවදුරටත් තීව්‍ර වන සිංහල තමිල් මුස්ලිම් බර්ගර් වෙනසකින් තොරව සියලු ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න වන සෞඛ්‍ය ,අධ්‍යාපන ,ප්‍රවාහන බදු බර ,ජීවන වියදම වැනි ප්‍රශ්න වලට විසදුම්  නොලැබෙන හුදු ධන කුවේරයන්ගේ ආලකමන්දාවක් පමණක් නිර්මානය වනු ඇත. ඒ අනුව මෙම නඩු තීන්දුවෙන් පසු දිගහැරෙන ඉදිරි කාලය යනු ආණ්ඩුව ප්‍රමුඛ ජාතික වාදීන් වින්දනය ලබන සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ස්වයං වින්දනයක් ලබන වරාය නගරය නැමැති කළු කඩය විවෘත වීම පමණි.


නුවන් බෝපෙගේ-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares