තැබෑරුමකට වරෙන් සිංහයෝ

Written by

කොහේ යනවද කියා ඇසුවම

වළාකුලටත් පිළිතුරක් ඇති

ගලා යන ගංගාවකට නෑ

කියාදියයුතු ගලා යනහැටි


හිතේ හැටියට පාවෙලා ගොස්

දරාගන්නට බැරිම මොහොතක

වළාකුලටත් කදිම වැස්සක්

තෑගි කළහැකි මහා පොලොවට


කපා නිමකළ පාරවල් ගැන

අසා තිබුණේ නැතත් කිසිදින

පාර වැරදුණ ගඟක් පිළිබඳ

සයුර පැමිණිලි කෙරුවෙ කවදද


-නලින්ද සංජීව ලියනගේ-


සිදුවන සෑම දෙයක්ම සිදුවෙන්නෙ හේතු කාරණා අපි නොදන්නවා වුනාට  සිදුවියයුතු රටාවකට බව මගේ හැඟීමයි. ජීවිතයක් වුනත් ගෙවෙන්නෙත් ඒ සොබාදමේ නියමයට යටත්වයි.

වළාකුලක් දැක්කම අපිට හිතෙන්නෙ ඔහේ පාවෙලා යන බවක්. ඒත් අපි නොදන්නවා වුනත් වළාකුලත් නිශ්චිත ගමනක යෙදෙනවා වෙන්න බැරි සමහර වෙලාවකට අපේ ජීවිතෙත් තව කෙනෙක්ට පේන්නෙ අරමුණතක් නැතුවා වගේ වෙන්නට පුළුවන්. මගේ නම් මූලික ඉගෙනීම අවසන් කර රැකියාවකට යොමුවන අතර කාලය ඒවගේ පැහැදිලි අරමුණක් නොපෙනෙන සමයක් වුණා. හැමෝටම එවැනි අද්දැකීම් එනවා. ගංගාවක් හැමදාම ගලන්නෙ නිශ්චිත දිශාවකට. ඒ බෑවුමක් තියෙන දිශාවටයි. ගඟකට තියෙන්නෙ ගලන්නයි. ගඟකට ගලන විදිහ කවුරුවත්  කියාදෙන්නට උවමනා වෙන්නේ නෑ.


ඒ වගේම කෙනෙක් යා යුතු නිශ්චිත මගක් තියෙනවානම් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි හැරෙනනෙ ඒ මගටයි. ඒ මග වෙනස් කරන උපදෙස් තකන්නැතිබව අනිත් අයට හැඟෙන්නෙ ඒකයි.

හිතේ හැටියට පාවෙලා යන වළාවකට දරන්න බැරි තරම් දිය පිරුණම වැස්සක් වෙලා කඩාහැලේන පුළුවන් වැස්ස ඉල්ලා සිටින මහා පොළොවට. නිදහස් මනසකකින් ගෙවන ජීවිතයක් එක තැනකදි හිතන්න ගන්නවා දැන් මම අනෙකා සඳහා යමක් කළ යුතුයි කියලා. ජීවිතේ එහෙම තැනකට ආපු කෙනෙකුගෙන් සමාජයකට ඉටුවෙන්නෙ යහපතක්. අනෙකාගේ මතයකට තැලී පෙලී සිටින, අනුනනට ඕනෙ ගමනක් යන අයෙක් ලඟ තරහව පිඩාව කුහකබව මිස දෙන්නට ඉතිරි වෙන හොඳක් අඩුයි.


පාරක් කපාගෙන යන විට නිමාවක් නැති බව ඇත්තයි. නැතිනම් ගුවන් පාලම් , උමං මං නෙතැනෙනු ඇති. ගඟකට පාර වැරදුන බවට සයුරක් පැමිණිලි නොකරන්නෙ උස් කඳු මුදුණකින් පටන් ගන්නා ගඟක මග හරස් කලත් භාධක මගහැර ගඟක් සයුර බලා එන්නෙ බෑවුම ඇත්තෙ සයුර දෙසට වන බව දන්න නිසයි.


සමාජයට මෙහෙවරක් කළ බෙහෝ ජීවිතවල ගමන්මග මේවගේ බව එවන් චර්ත හදාරන්නෙකුට හඳුනාගත හැකියි. අවසානය මෙයයැයි කෙනෙකුට කියන්න බැරි ජීවිතයක් දෙස සයුරක් සේ දොස් නොපවරා බලා හිඳින්නට හැකිනම් හැම දෙනෙක්ම තමන්නට අනන්‍යය වූ ගමනක යෙදෙන බව වටහාගත හැකි වේවි.


මේ කවියේ විශේෂත්වය වන්නේ කවියෙන් දෙන අදහස සෑම කාලයකටමත් ජීවිතයට, දරුවෙක් දිහා බලා හිඳිනා මවකට පියෙකුට, දේශපාලනයට, දර්ශනයට ආදී සෑම අවස්ථාවකටමත් අදාල කරගැනීමට ඇති හැකියාවයි. සර්ව කාලීන සර්ව භෞමික අනන්‍යතාවය ලෙහෙසියකින් කවියකට නොපිහිටනා ලක්ෂණයක්.


මේ කවිය වඩාත්ම මගේ සිත් ගන්නේ එය රස විඳින්නාට තමන්ට කැමති ලෙස ගන්නට නිදහස තිබීම කියන කාරණාව නිසයි. මම කැමති තැනින් මම විඳින්න යෙදුණා.


කවියෙන් උපදින ධ්වනිය කවිය මගේ මතකයේ රඳන්නට උදව්වුන බවද මගෙ හැඟීමයි.


27 වන සෙනසුරාදා පැවති කවියක් සමග සැඳෑවක් වැඩසටහනේදි මේ කවිය ගැන ඉදිරිපත්වූ මතයට එකඟවීමට නෙහැකිවූතැන මේ කවිය මම වින්ද ආකාරය සටහන් කරන්නට යොමුවූ බවද සනිටුහන්කරමි.


සටහන – නදීකා නිරෝෂිණි සෙනවිරත්න 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares