තංගරාජා අර්ජුන නම් මිනිස් සන්නස.

Written by

මගේ යාපනය මගේය. ඒ යාපනය සිත්සේ විඳින්නට නොවී සමුගන්නට වේනම් එය ලෝබ කමකි, අපරාධයකි.  එත්  තවමත් හිතපුරා ඇත්තේ තිගැස්මක සෙවණැලිය. කවර මොහෙතක  කොවිඩ් මාරයා සමග යන්නට සිදුවේදැයි නොදන්නා පිරිස අතරේ මමද කෙනෙකු වීම ඊට හේතුවයි. ලිවිය යුතු සියල්ල හැකි ඉක්මනින් ලියා යා යුතුය. මේ යාපන ආදරය  හංගාගෙන මැරෙන්නට මට දුකය. ඕනෑම මොහොතක යන්නට  සුදානමින් සිටීම කෝකටත් හොදය. ආදර යාපනයට බැඳුනු ආදරේ එක කොටසක අයිතිය අයිතිවන්නේ ඔහුටය. ඔහු සැබෑවටම මේ පොළොවට පුරාවෘත්තයකි . යාපනය මට ලෝකයක් වන්නේ මේ මිනිසුන්ගේ මනුස්සකම් හේතු කොටගෙනය.      

මේ මිනිසා මට හමුවන්නේ මීට අවුරුදු ගානකට පෙර මම මව්බිම පුවත්පතේ සේවයකරමින් සිටි අවධියේදීය. දිනක් ව්‍යාපාර කතෘ සඳුන් ජීවන්ත මා අමතා කීවේ එවකට අප පුවත්පතේ උපකතෘවරයකු වරයකු ලෙස සේවය කල ප්‍රවීණ නළුවකු වූ අනුර බණ්ඩාර රාජගුරු මහතා කියන කෙනා හමු වී ඉරිදා පුවත්පතට විශේෂාංග ලිපියක් සකසන ලෙසය.  මම ඒ කිවූ මං සලකුණු ඔස්සේ පොල්ගස්ඕවිට පිහිටි  ඔහුගේ නිවසට ගියෙමි. සුදු කුර්තා වර්ගයේ කමිසයකින් හා බතික් සරමකින් සැරසුණු උස හීන්දෑරි අයෙකු මා පිළිගත්තේය. ඔහු නමින් බොහෝ දෙනකු දන්නා ටී. අර්ජුන් හෙවත් තංගරාජා අර්ජුනය.


      ඔහු කියාගෙන ගියේ මම ආසම කතාවකි . ඒ වල්ලිපුරම් රන් සන්නසේ කතාවයි. සරසවියේදී ඒ පිලිබඳ ඉගනගත් අතර ඒ පිලිබඳ මෙලෙස ලියන්නට හමුවීම හිතට ආඩම්බරයක් එක් කරන්නට විය. වල්ලිපුරම් රන් සන්නස ලැබී තිබුනේ ඔහුගේ සීයාටය. යාපනයේ පුලෝලි ගමේ පුලෝලි රාජා වූ ඔහුට ලැබුන වල්ලිපුරම් සන්නස ඔහුගේ පුත්රයකු  වූ සරවනමුත්තු තංගරාජාට දී පසුව එය වල්පොල රාහුල හිමි මගින් ලංකා රජයට පැවරිණි. (සරවනමුත්තු තංගරාජා යනු වල්පොල රාහුල හිමියන්ගේ ගුරුවරයකු මෙන්ම උන්වහන්සේට ඉගනීමට අවශ්‍ය මාවත සකස්කළ මිනිසෙකි.ඔහුගේ මරණය දා රාහුල හිමියන් ඉකිගසමින් හඬා වැටුන වග උන්වහන්සේ විසින්ම පවසා ඇත.)


       ටී. අර්ජුන් ගේ පියා සරවනමුත්තු තංගරාජා වූ අතර  ඔහුගේ මව ලංකාවේ ප්‍රසිද්ධතම නෘත්‍ය ශිල්පිනියක වූ  රංජනා තංගරාජා විය.  මම නොදැනම ගොස් ඇත්තේ ඒ පරම්පරාවේ පුරුකක් ළඟටය.  තංගරාජා අර්ජුන නම් වූ ඔහු මගේ වැඩිහිටි මිතුරු ලැයිස්තුවට එකතු වන්නේ එතැන් සිටය. ‘’ වසන්තයේ දවසක් ‘’ නම් චිත්‍රපටය ඔහුගේ සුන්දර හදවතින් මෙලොවට දායාද වූවකි.


 ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ඔහු සිංහල සමාජය තුල මිත්‍රත්වයේ සිතුවම සාර්ථකව ඇඳ තිබුණි. ඔහුගේ සිංහල සමාජය හා මනුෂ්‍යත්වය කෙරේ වූ සබඳතාව කෙසේද යත් ඔහු මගේ ගුරුවරියක වූ ආචාර්ය දුල්මා කරුණාරත්න තම පළමු උපාධි පර්යේෂණය සඳහා ඉන්දියාවට ගොස් මහා බෝධියේ නවාතැන් ගෙන සිටිද්දී එවකට චෙන්නායි හි ජීවත් වූ තංගරාජා අර්ජුන හාමුදුරුවන්ගෙන් ඇය පිලිබඳ දැනගෙන ඇය හා කතාකොට ඇත. පර්යේෂණ කටයුත්ත සඳහා මාමල්ලපුරම් පුරාවිද්‍යා භූමියට යන වග පැවසු විට ඔහුගේ මෝටර් රථය හා රියදුරු ලබාදී තිබුණි. එහෙත් අවාසනාවට ඒ කාලයේ භාවිතාකළ  සේයාපට  දමනා කැමරාවකින් චායාරූප රැගෙන තිබුනේ ෂටර් වසාය. ඒ බව දැනගතත් අර්ජුනයන් චෙන්නායිහි පිහිටි ස්ටුඩියෝ කීපයකට දුල්මා කරුණාරත්න තම වාහනයෙන්ම යවා තිබුනේ ‘’ මේක මෙහෙම හදා ගන්න බැරි වුනොත් හෙට උදේට මම වාහනයක් කුලියට අරන් ඔයා මාමල්ල පුරම් යවනවා පින්තූර ගන්න  . හෙට මේ වාහනේ ගෙදර අයගේ වැඩකට ඕනේ කියල තියනවා  කියමිනි.  ඔහු ලංකාවේ ඔහුගේ මිත්‍ර කලාකරුවන්ටද ඒ ආදරය දැක්වුවේය. ලංකාවතුලදී ජීවිතයට තර්ජන එල්ල වූ සමයන් හි ප්‍රවීණ කලාකරුවන් රැසක් චෙන්නායි හි ඔහුගේ නිවසේ රැකවරණ ලැබුවේය. ඔහුගේ මිත්‍රයින්ට දක්වූ ආදරයම ඔහු නාදුනන සිංහල සිසුවියටද දැක්වුවේය.


ඔහු ලෝකය බොහෝ විවුර්ත මනසකින් දුටුවෙක් වූ අතර 1983 ජූලි කලබල කාලයන් හිදී ද කිසිදු බයක් සැකක් නැතිව කොලඹ  කරක් ගැසූ අතර , වරෙක ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ඔහුට කියා තිබුනේ ‘’ අර්ජුන කොහෙවත් නොගිහින් අපේ ගෙදර ඉන්න ‘’ යනුවෙනි. එහෙත් හිතුවක්කාර තීරණය ක්‍රියාත්මක කරමින් නැවත යන්නට වාහනයට නැගුනු අර්ජුනයන් අමතා කේමදාසයන් පවසා තිබුනේ ‘’ හැබැයි අර්ජුන ඔහොම ගිහින් ඔයාට මේ මිනිස්සු කරදරයක් කරොත් මමත් නළලේ ඉරි තුනක් ඇඳන් උන් මැදට පැනල මාත් දෙමල කියල මැරෙනවා ‘’ යනුවෙනි. කේමදාසයන් මියයන විටද ඔහු සමග දැඩි මිත්‍රත්වයෙන් හුන් අර්ජුනයන් පිලිබඳ මියයන්නට පෙර කේමදාසයන් තම දියණියන්  අමතා පවසා ඇත්තේ ‘’ හැමදාම කන්න කලින් අර්ජුන අන්කල්ට කතාකරලා කෑවද? අහන්න ‘’ යනුවෙනි. ඒ තරම් සහෝදර  බැඳීමක් ඔහුට සිංහල මිනිසුන් සමග තිබිණි. කේමදාසයන්ගේ  බාල දියණිය වූ ගයාත්‍රි කේමදාසගේ විවාහ මංගල්‍යයේදී ඇයව මගුල් පෝරුවට ගොඩකරන්නේද අර්ජුනයන්ය. සිංහල පවුලක ඉතා වැදගත්ම සිරිතක් දෙමල මිනිසෙකුට පවරන්න තරම් ඔවුන් සතු වූයේ දැඩි බැඳීමකි .


ඔහුගේ පවුලෙන් ලද වල්ලිපුරම් රන් සන්නස රජයට දීම පිලිබඳ ස්තුති කරන්නට එවකට ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාසයන් මුණ ගැහෙන ලෙස දන්වා තිබුනද , ඒ ගමන කීපවරක්ම මග හැරීම හේතුකොටගෙන ජනාධිපතිවරයා වල්පොල රාහුල හිමියන්ට පවසා තිබුනේ ජනාධිපති වරයා තංගරාජා අර්ජුන හමු වීමට එන බවය. මේ බව රාහුල හිමියන් දැනුම් දුන්විට කවුරු වුනත් රටේ ජනාධිපති නේ මම එන්නම වල්පොල රාහුල හාමුදුරුවන්ගේ බත්තරමුල්ලේ පන්සලට කියූ ඔහු ජනාධිපතිවරයා හමු වුනේය.


‘’ ඔයාට මේ වෙනුවෙන් මගෙන් වෙන්න දෙයක් තියේද විමසුව විට කිසිවක් අවශ්‍ය  නෑ යැයි උත්තර දුන් ඔහුට ජනාධිපතිවරයා පවසා තිබුනේ ‘’මේ මගේ දුරකථන අංකය. ඕනෑම දෙයකට මට කතාකරන්න රෑ 12 ත් උදේ හතර වෙලාවේදී හැර ‘’ යනුවෙනි. ඔහුට තිබුනේ ඍජු ප්‍රතිපත්තිය. වරෙක චෙන්නායිහිදී ප්‍රභාකරන්ට බැණ වැදුණු ඔහු මෙරට තිබූ දේශපාලනික මැදිහත්වීම් ඇතිව සිදු කෙරුණු උත්සව වර්ජනය කලේ ‘’අපිට ආරාධනා කරලා ගෙන්වල අපි බෝම්බ ගේනවද කියල බලන්න ඇඟ අතගානවා. අපිව විශ්වාස නැත්නම් ගෙන්වන්නේ මොකටද? අපිට අපහාසයක් වෙන්නේ මේ වැඩවලින්.’’ මීට අවුරුදු ගානකට පෙර ලංකාවේ පැවති රඟහලක් විවුර්ත කිරීමේ උත්සවයේ ආරාධනාපත ඔහු ප්‍රතික්ෂේප කලේ එසේ කියමිනි.


      වරෙක ඔහුට සිදුකල බරපතල ශල්‍යකර්මයකින් අනතුරුව ඔහු වෛද්‍ය වරයා අමතා කීවේ ‘’ මට වේදනා නාශක දෙන්න එපා . මට විඳින්න තියන දුක සැප මම ඒ විදියටම විඳින්න කැමතියි ‘’ ලෙසය. උගත්කම මෙන්ම ඔහු සූප ශාස්ත්‍රයද කෙල පැමිණ උන්නේය. ඔහුගේ නවමු කෑම වර්ග අපිද විටින් විට රස වින්දෙමු. මම තිරුපති දෙවියන්ගේ රුවක් මුල්වරට දුටුවේ ඔහුගේ නිවසේදීය. ඒ සංස්කෘතියේ කුතුහලයන් සියල්ල විසඳුනේ ඔහුගේ දැනුමෙනි. අසාධාරණයක් වෙන තැනක් වේනම් ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටී. එංගලන්තයෙන් සිනමාකරණය පිලිබඳ උගත් ඔහු ඉන්දියාව හා ලංකාව තමන්ගේ නිර්මාණකරණයේ හස්තයට නතුකරගත්තේය.


ඔහු හැමවිටම අපිට නිවැරදි තීරණ කෙරෙහි මඟ පෙන්වන්නෙක් වූවේය. මට කලෙක වෙට්ටියක් අඳින්නට පිස්සුවක් විය. ඒ නිසාම ඉන්දියාවේ ගොස් එන දිනෙක ඔහු තෑග්ගක් ලෙස වේට්ටියක් ගෙන ආවේ තෑග්ගක් ලෙසය. එය ගෙනවිත් දෙනතුරුත් ඔහුට ඒ කතාව මතක තිබූ වගක් මා දන උන්නේ නැත.


      අධ්‍යාපන කටයුතු සඳහා මම ඉන්දියාවට ගොස් සිටි අවධියේදී ඔහු දවස් දෙකතුනකට වරක් අමතා සැප දුක සොයා බැලුවේය. විශ්ව කෝෂයක් වන් දැනුමක් තිබු ඔහු අපේ ඕනෑම ගැටලුවකට පහසුවෙන් නිවැරදිම පිළිතුර ලබා දුන්නේය. මහත්මා ගති  ඇති මිනිසෙකු වෙන්නට ජාතියක් ආගමක් බල නොපාන වගට හොදම උදාහරණයක් වූයේ අර්ජුනයන්ය. වරෙක යාපනයට ගිය විට අර්ජුනයන් එහි සංගීත උළෙලකදී (Jaffna Musical Festival) හමු වූයේය. ඔහු යාපනේදී හමු වූ පළමු  වතාව එය විය. ඔහුගේ මුදුන් මුල් තිබු පුලෝලි ගමට යන්නට මට අවස්තාවක් නොමැති විය .


        2017 වසරේ ඔහු කාටත්පෙර සිංහල දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපතා තිබුණි. ඊට පසු දින ඔහුගේ උපන්දිනය වෙනුවෙන් මූණු පොතට සුබ පැතුමක් එක් කරත්ම කෙනෙකු මා වෙත කෙටි පණිවුඩයක් එව්වේ ‘’  නෝ මෝ අර්ජුන ’’ ( තවදුරත් අර්ජුන නෑ) යනුවෙනි. මම ගව් ගානක් උස කන්දකින් බිමට වැටුණි. මගේ පව්ලේ හෝ කිසිදු හිත මිතුරෙකු මෙලොව හැර ගිය දිනෙක මා එසේ කෑ ගසා හඬා වැටී නැත. මම කෑ ගසා හැඩුවෙමි. ඔහු දෙමළද කියා මට මතක තිබුනේද නැත. ඔහු අපේ හිත මනුෂ්‍යත්වය නාමයෙන් මේ තරමටම  ආක්‍රමණය කර තිබුන වග මම දැන ගත්තේ ඔහුගේ නික්ම යාමත්  සමගය. කාත් කවුරුත් නැති රටක කාමරයක මම අඬා වැටුනෙමි. ඔහුට අවසන් වතාවට ආචාර බුහුමන් දක්වන්නට  මට නොහැකි විය.


      අදටත් ඔහු වෙනුවෙන් දැනෙන දුක මගේ හිතින් ඉවත් වී නැත. අදටද මැරුණ කෙනෙක් යලි විනාඩියකට හෝ මගේ ඉදිරියට රැගෙන  එන්නට හැකි වරයක්, ආශ්චර්යයක්  ඇත්නම් ඒ සඳහා මම තංගරාජා අර්ජුන නම් අග්‍රගන්‍ය මිනිසාගේ නමත් තවත් නමකුත් යෝජනා කරමි. ඒ දෙදෙනාම දෙමළ සමාජයට නෑකම් කියන්නන්ය. මට ඔවුන්ගේ මනුස්සකම් මේ ලෝකේ සියලු සම්මානයන්ට වඩා වටින්නේය. . තිරුපති දෙවියන්ගේ  සෙවනැලි තංගරාජා අර්ජුනයන්  ළඟ වූ වග එදාටත් වඩා මට අද දැනෙන්නේය.


වල්ලිපුරම් සන්නස ගැන උදම් අනන සියලු දෙනාම තංගරාජා අර්ජුන ගේ පවුලට ණය ගැතිය. ඒ වල්ලිපුරම් සන්නස නිසා නොව ඔවුන්ගේ මිනිස්කම් මේ සමාජයට සන්නසක් බඳු හෙයිනි. මගේ යාපනයේ මිනිසුන් එසේය. අසමසමය .

සටහන – සඳරැසී සුදුසිංහ

sandaraseepriyathma@gmail.com

මගේ යාපනය 08 ( The Colombo Post වෙබ් අඩවියේ පළවූවකි)

Article Categories:
විශේෂාංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares