චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය සහ කොමියුනිස්ට්වාදයේ අනාගතය

Written by

චීන කොමියුනිස්ට් පක්ෂය නිර්මාණය කර වසර 100ක් සටහන් වන්නේ මනුෂ්‍ය ශිෂ්ටාචාරය චීන සියවසකට අවතීර්ණ වී අවුරුදු කිහිපයක් ගත වෙමින් පවතින අතරතුර ය. සමාජවාදී අනාගතයක් වෙනුවෙන් වූ ගෝලීය භු දේශපාලනයට පමණක් නොව මුර්ත සහ මුල්‍ය යන ආර්ථික ව්‍යුහයන් ද්විත්වයම යම්කිසි ගුණාත්මක පරිවර්තනයකට ලක් කිරීමට චීනයට ඇති හැකියාව මේ වනවිට කිසිවෙකුටත් අවතක්සේරු කළ නොහැක.


විප්ලවයකට කළ හැක්කේ මොනවාද? විප්ලවයකට ඉතිහාසය වෙනස් කළ හැකිද? යැයි අසන කෙනෙකුට අපට සරලව දිය හැකි පිළිතුරක් නම් 1950-1980 අතර චීනයේ සිදු වූ සංස්කෘතික සහ නිෂ්පාදන මාදිලියේ වෙනස ක්‍රමානුකුලව අධ්‍යයනය කරන ලෙසයි. ජෝසප් ස්ටාලින් තමන්ගේ දේශපාලන ආර්ථික ලියවිලිවල වාස්තවික ආර්ථික නියමයන් (Objective economic laws) වෙනස් කළ නොහැකි යැයි යන ප්‍රතිමාක්ස්වාදී තර්කය සුජාතකරන කරන විට මාවෝ එයට අභිමුඛ වෙමින් තර්ක කරන්නේ වාස්තවික ආර්ථික නියමයන්ගේ ගුණාත්මක ඒ අර්ථයෙන්ම විප්ලවීය පරිවර්තනයකින් තොරව කොමියුනිස්ට්වාදය ගැන පරිකල්පනය කිරීම මතු නොව සමාජය සංවිධානය කිරීමත් නිෂ්ඵල ක්‍රියාවක් බවයි. කොමියුනිස්ට් ක්‍රමයක එක් මුලධාර්මික කොන්දේසියක් වශයෙන් මාක්ස් පරිකල්පනය කරන්නේ දේශපාලන ආර්ථිකයේ සිදුවෙන මේ ගුණාත්මක පරිවර්තනයයි – එනම් හුවමාරු වටිනාකම් මත තීරණය වන මනුෂ්‍ය පැවැත්මේ කොන්දේසි භාවිත වටිනාකම් කොන්දේසි තුළට ගෙන ආ හැකිද යන ගැටලුවයි.  දයිවෝපගත ලෙස අපේ යුගයේ බොහෝ විශ්වීය මට්ටමේ ප්‍රශ්න වන අසමානතාව, සංක්‍රමණිකයන්ගේ ප්‍රශ්නය, ස්ත්‍රී විමුක්තිය, කෘෂි ප්‍රශ්නය සහ හරිත ප්‍රශ්නය යන සංකීර්ණ ප්‍රශ්න වල මුල් දිව යන්නේ මේ ගැටලුවට අපි මේ වන විට ලබා දීමට සුදානම් පිළිතුර දෙසටය.


මේ මොහොත වනවිටත් ලෝකයේ සියලු වාමාංශික ප්‍රවණතාවල විශේෂයෙන්ම ආර්ථික සහ මුලෝපායික වැඩසටහන මුහුණ දෙන කේන්ද්‍රීය ප්‍රශ්නයක් වන්නේ ස්ටාලින්-මාවෝ වෙනස්ම තලයක මුහුණ දුන් ආර්ථිකමය ගුණාත්මක පරිවර්තනයක් යනු කුමක්ද? ඒ සදහා සංක්‍රාන්තිය වැඩපිළිවෙලක් මුදුන සහ බිම සංකලනය කිරීමෙන් නිර්මාණය කරගන්නේ කෙසේද සහ නිෂ්පාදන බලවේග ධනපති පන්තියෙන් ගලවා ගන්නේ කෙසේද? යන සංකීර්ණතායි. වෙනත් විදිහකින්නම් ප්‍රාග්ධනය එහි සම්භවයෙනුත් රුපාන්තරණයෙනුත් අත්පත් කරගත් දේශපාලන බලයට, නැත්නම් සන්කෙන්ද්‍රනවාදයේ පන්ති බලයට (Class Power of Accumulationism) අභියෝග නොකර ධනවාදයේ වාස්තවික ආර්ථික නියමයන්ගෙන් ගැලවීමට සිතීම මායාවක් පමණි.


චීනය පිළිබද හිතට එන ඕනෑම දෙයක් කීම මේ යුගයේ පුරුද්දක් වී ඇත. චීනයේ ගමන්මග ඉතා සංවිධිතව අධ්‍යයනය කළ විශිෂ්ට මාක්ස්වාදීන් දෙදෙනෙක් වන්නේ Maurice Meisner සහ Samir Amin ය. Meisner ගේ Mao’s China and After කෘතිය චීනයේ පරණ සහ අලුත් ඉතිහාසය ක්‍රමානුකුලව, ඉතා සුළු තොරතුරක පටන්  විග්‍රහ කරන ලියවිල්ලකි. මෙම කෘතිය මට කියවීමේ අවස්ථාව ලැබෙන්නේ චීන ඇමරිකානු මහාචාර්යවරියක් වන යින්ග් චෙන්ග් සමග ඇගේ සම්මන්ත්‍රණයකට සහභාගිවිමෙනි. අමීන්ගේ සංසන්දනාත්මකව කෙටි ලියවිල්ලක් වන China 2013 යන ලියවිල්ල ‘චීන ප්‍රශ්නය’ සංවිධිතව අධ්‍යයනය කිරීමට ලැබෙන න්‍යායාත්මක ආලෝකය බොහෝයි.


අමීන් තමන්ගේ ලියවිල්ලේ පහත එන ඉතා වැදගත් නිරීක්ෂණ කිහිපය සිදු කරයි. කොමියුනිස්ට් පක්ෂයේ ශතවර්ෂය සහ එහි අනාගතය අපි නිවැරදිව කියවිය යුත්තේත් අපේ දේශපාලනය හැඩගසා ගත යුත්තේත් අමීන් මේ ගෙන එන දේශපාලනික භව්‍යතාවන්ගේ සීරුමාරුවීම තුළ බව කීමට කැමැත්තෙමි. එමෙන්ම 2013 සිට 2021 දක්වා සිදුවූ පරිවර්තනයන් අපට මේ භව්‍යතාවන්ගේ දිශානතිය ගැන අලුත් අත්දැකීම් සහ ආනුභාවික සාක්ෂි මේ වනවිටත් සපයා ඇත. අමීන් චීන රාජ්‍ය ධනවාදය ගැන මෙසේ කියයි.


‘චීන රාජ්‍ය ධනවාදය ගොඩ නැගුනේ අරමුණු තුනක් ඉෂ්ට කරගැනීමට ය. එනම් 1. සංගෘහිත සහ නවීන කාර්මික ව්‍යුහයක් ගොඩනැංවීම; 2. ග්‍රාමීය සුළු නිෂ්පාදනය සමග නවීන කාර්මික ව්‍යුහය දක්වන සම්බන්ධය කළමනාකරණය කිරීම සහ; 3. ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය සහ ජපානය යන අධිරාජ්‍යවාදී ට්‍රයඩ් රටවල් පොදු ඒකාධිකාරියක් දරන ලෝක පද්ධතියට චීනය සම්බන්ධ කරන්නේ කෙසේද යන අරමුණු වේ. මේ අරමුණු අනවරතව ලුහුබැදීම නොවැලැක්විය හැකිය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සමාජවාදය සදහා වන දිගු මාවත වෙනුවෙන් වූ වර්ධනයන් අත්පත් කර ගැනීමේ අවසරයක් ලැබෙනු ඇති අතරම එවැනි විභවයක් සම්පුර්ණයෙන්ම අත්හැර දැමීමේ ප්‍රවණතාවන් ශක්තිමත් වී සරල සුපිරිසිදු ධනවාදී සංවර්ධනයක් වෙත යාමේ හැකියාවක් ද ඇත. මේ ගැටුම අනිවාර්ර්ය සහ සෑම මොහොතකම පවතින එකක් බව අප තේරුම් ගත යුතුය. එවිට අපි පිළිතුරු සොයා ගතයුතු ගැටලුව වන්නේ, චීනයේ සංයුක්ත තෝරා ගැනීම් මේ මාවත් දෙකෙන් කුමක් තෝරා ගනීද යන්නයි.”


මිට පෙර සටහනක මා දළ වශයෙන් සටහන් කල චීනයේ නිෂ්පාදන බලවේග වල ස්වභාවය, වර්ධනය සහ ඒවා පසුගිය දශකය තුල නිර්මාණය කර ඇති සමාජ සම්බන්ධතාවල ස්වරූපය (විශේෂයෙන්ම පන්ති ධ්‍රැවීකරණය සහ ඒවායේ අරගලයේ ස්වභාවය) ගැන  මෑත කාලීන ප්‍රවණතා තුනක් මෙසේ දක්වමි.


1. නිෂ්පාදන බලවේග අතුරින් ඉඩම් වල අයිතිය. 1982 චීන ව්‍යවස්ථාව මගින් සම්පාදනය කෙරෙන සමාජවාදී හවුල් අයිතිය (socialist public ownership) මගින් විශේෂයෙන්ම ඉඩම් අයිතිය රාජ්‍ය අයිතිය සහ සාමුහික හිමිකම යටතට පත් කෙරින. 2004 සහ 2007 යන වර්ෂ වල ව්‍යවස්ථාවට ගෙනෙන සංශෝධන මගින් වඩා තහවුරු කෙරෙන්නේ පුද්ගලික දේපළ හිමිකම සදහා රට වැසියන්ට වන අයිතිතිය රාජ්‍ය මගින් උල්ලඝනය නොකළ යුතුයි යන්නයි. එමෙන්ම යම් අවස්ථාවක රජය විසින් පුද්ගලික දේපලක් රජය සතු කරගන්නේනම් ඒ වෙනුවෙන් අනිවාර්ය වශයෙන් වන්දි ගෙවිය යුතුයි යන නිර්ණායකයද එහි ඇතුලත් කර ඇත.  ඒ නිසාවෙනි, මේ මොහොත වන විට ඉඩම් සදහා වන ‘රාජ්‍ය පොදු දේපළ අයිතිය’ යන්න වේගයෙන් වෙනස්කම් වලට භාජනය වෙමින් යන්නකි.


2. චීනයේ රාජ්‍ය බැංකු පද්ධතිය සහ එහි මෑත කාලින වර්ධනයන් අනිවාර්ය වශයෙන් අවධානයට ලක්විය යුත්තකි. විශේෂයෙන්ම රාජ්‍ය මුල්‍ය හැසිරවීමේදී සහ අන්තර්ජාතික ණය කළමනාකරණයේදී චීන මහජන බැංකුවේ ක්‍රියා කලාපය මෙන්ම අන්තර්ජාතික ණය සම්පාදනය සහ ආයෝජන වෙනුවෙන් චීන වාණිජ බැංකු හසුරුවන පිළිවෙල ක්‍රමානුකුලව අධ්‍යයනය කිරීමෙන් තොරව මුල්‍ය පද්ධතිය හසුරුවන්නේ කවර මුලය ව්‍යුහයක් සහ සුසමාදර්ශයක් තුළද යන්න කිව නොහැක.


3. පන්ති අරගලය සංවිධානය කිරීමේදී චීනයේ ප්‍රධාන බල කදවුරු දෙකක් දැකිය හැක. එකක් නම් චීන කොමියුනිස්ට් පක්ෂය තුල යම් අරගලයක් කිරීමෙන්, එනම් නිලධාරී තන්ත්‍රය තුල බල මාරුවකින් කොමියුනිස්ට්වාදයේ ආයුකාලය වැඩි කළ හැකියි විස්වාස කරන පිරිස සහ පන්ති අරගලය සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතර පැහැදිළි වෙනසක් සහ ඉඩක් සටහන් කර ගනිමින් සමාජය සංවිධානය කරමින් සිටින පිරිසයි. චීන ජනාධිපති Xi Jinpin  අයත් වන්නේ/ අයත් වුයේ මින් පළමු කදවුරටයි. බීජින්ග් විශ්වවිද්‍යාලය ඔහු ඇතුලත් වන්නේ “Worker-Peasant-Soldier student” වශයෙන්. Xi ගේ කදවුරට ප්‍රතිපක්ෂව හිටගන්නා පිරිස බොහෝ විට සංවිධිත වී ඇත්තේ චීන ශිෂ්‍ය ව්‍යාපාරයේ කොටස්, මාක්ස්වාදී විශ්වවිද්‍යාල බුද්ධිමතුන්, නාගරික සහ ග්‍රාමීය කම්කරුවන් සහ ගොවීන්. මේ පිරිස අතුරින් වඩා සටන්කාමී විභවයක් නිරූපනය කරන කොටසක් වෙන්නේ කම්කරුවන් කර්මාන්තශාලා සහ වැඩබිම තුළ සංවිධානය කරමින් සිටිනා මාක්ස්වාදී ශිෂ්‍ය කණ්ඩායම් වේ. මේ පිරිස සමග සමීප සම්බන්ධතා පවත්වන මගේ එක් ඉන්දියානු මිත්‍රයෙක් මට පැවසුවේ චීනයේ පැවති සාමුහිකවාදී සමාජ ආකෘතිය වඩා හොදින් සුරාකමින් සිටින්නේ අන් කවරෙකුවත් නොව චීන ධනවාදීන් සහ ඒ අර්ථයෙන්ම චීනයේ ආයෝජනය කිරීමට යුහුසුළු වන විදේශ ආයෝජකයන් බවත්ය. කර්මාන්තශාලා සහ වැඩබිම් වල කම්කරුවන් සංවිධානය කිරීම යල්පැන ගිය උපක්‍රමයක් යන මිත්‍යාමතික නිගමනයට එලබීමට අවශ්‍යකරන ‘ද්‍රව්‍යාත්මක සැප පහසුව’ මේ මොහොත වනවිට සපයන්නේ දුෂ්කර ශ්‍රම කොන්දේසි සහ පහළම වැටුප් ලබමින් වැඩකරන චීන කම්කරු පන්තියයි.


එමනුවෙල්  නෙස්ගේ විශිෂ්ට කෘතියක් වෙන Southern Insurgency: The Coming of the Global Working Class හි දැක්වෙන පරිදි චීනයේ කාර්මික සහ රෙදිපිළි කර්මාන්තයේ පැයක වැටුප ඩොලර් 2.25-0.43 වැනි අගයක් ගන්නා විට දියුණු ධනේශ්වර ගෝලීය උතුරේ එහි ඉහලම අගයන් ඩොලර් 35-45 වැනි සීමාවක සටහන් වෙයි. චීන කොමියුනිස්ට් පක්ෂය මේ සුරාකෑම සහ ගෝලීය ප්‍රාග්ධනයේ නියම උපග්‍රහණයට (Real subsumption) චීන ජනතාව නතු වීම ගැන දරන මතය කුමක්දැයි තවමත් පැහැදිලි නැත.


මා මතු කරන්න උත්සහ කරනන්නේ මේ කොටස් දෙක ගැනම විධිමත් අධ්‍යයනකින් තොරව සිදු කරන ප්‍රකාශ හුදු පහසු සමපේක්ෂණයන් බවයි. චීන තමන්ගේ ගොඩට දා ගැනීමට වාමාංශික ප්‍රවණතාවලට පහසු නොවන්නේ පළමු කරුණු දෙක නොව අවසන් කරන විධිමත්ව සැලකිල්ලට ගැනීමෙනි.


නැවතත්, මාවෝ උපුටා දක්වන්නේ නම්, වාස්තවික ආර්ථික නියමයන්ගේ ගුණාත්මක ඒ අර්ථයෙන්ම විප්ලවීය පරිවර්තනයකින් තොරව කොමියුනිස්ට්වාදය ගැන පරිකල්පනය කිරීම මතු නොව සමාජය සංවිධානය කිරීමත් නිෂ්ඵල ක්‍රියාවක්!

සටහන – කල්ප රාජපක්ෂ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares