ගොඩගැනුණු ලෙනින් හිස

Written by

බර්ලිනයේ නැගෙනහිර ජර්මනියට අයත්ව පැවැති කොටසේ තිබී, බර්ලින් තාප්පය බිඳවැටීමෙන් පසු උගුලුවා, කෑලි 130කට කපා කැලෑවක වළදැමූ ලෙනින් ප්‍රතිමාවක ටොන් 3.5ක් බරැති හිස පමණක්, එයින් වසර 24කට පසු හාරා ගොඩගැනිණි‍.

එතැන් පටන් එය බර්ලිනයේ කෞතුකාගාරයක පැත්ත පෙරළා දමා, මහජන දැකුම් පිනිස තබා තිබේ. මේ ලෙනින් හිස ගොඩගත් පුවත ඇසීමෙන් ද, ඒ හිස කෞතුකාගැරයේ පැත්ත පෙරලා දමා තිබෙන හැටි දැකීමෙන් ද, කලකට ඉහත දී ලියැවුණු කවක් වැනි කිසිවකි මේ.

තවත් ඔපමට්ටම් කිරීමේ අදහසින් පසෙක දමාතිබූ එය, ඒ ඔපමට්ටමින් කම් නැතැයි කියා මෙහි බෙදාගන්නට සිතුවේ, අද ලෙනින් නම් ඒ ඓතිහාසික මිනිසාගේ 151වැනි උත්පත්ති දිනය බව අහම්බෙන් ඇස ගැටුණු බැවිනි.


මාක්ස්මය යකඩ වදනින් පිරුණු

එංගල්ස් තර්කයෙන් ඔපවැටුණු

හැදෑරීමෙන්, සිතීමෙන් වැඩුණු

ලෙනින් හිස


ස්ටැලින් අතින් කෙස් මුඩුකැරුණු

කෘෂෙව් බ්‍රෙෂ්නෙව් අතින් ගල්කෙරුණු

ගොර්බචොව් හස්තයෙන් ගෙල සිඳුණු

ලෙනින් හිස


ඔල්වරසනින් බිමට ඇදවැටුණු  

ධනපති ඩෝසරෙන් වළ කැපුණු  

අදිරද අතින් කැලෑවක වැළලුණු  

ලෙනින් හිස


සූවිසි වසරකට පසු

වළදැමූ තැන සොයා සාරා

යකඩ දම්වැල් ඔතා

ක්‍රේන් හොඬවැල් දමා ගොඩගැනුණු 

ලෙනින් හිස 

කෑලි එකසිය තිහට කැපු සිරුරේ

කෑලි එකුන් එකසිය තිහක් තිබියදී වැළලී

යකඩ හොඬයක ඇමිණී

තනිව ගොඩ ආ

ලෙනින් හිස


වැඳන් හිටි අයටත්

ගල්කෙරූ අයටත්

බිම හෙලූ අයටත්

වලදැමූ අයටත්

සනීපද දැන්…


දකිනකොට බර්ලීන කටුගේක

පැත්ත පෙරළා දැමූ

ටොන් තුන හමාරේ

ලෙනින් හිස?


පසු කතාව- – – – – –

සුප්‍රකට සෝවියට් රුසියානු ප්‍රතිමා ශාල්පියකු වූ නිකොලායි තොම්ස්කි (Nikolai Tomski) අතින් නිමවී 1970 දී, එනම් ලෙනින් ජන්ම ශත සංවත්සර වසරේ දී නැගෙනහිර බර්ලිනයේ එවකට ලෙනින් චතුරශ්‍රය නමින් හැඳින්වුණු නගර චත්වරයේ ස්ථාපිත කැරුණු මේ මීටර් 19ක් පමණ (අඩි 60ක්) උස දැවැන්ත ශෛලමය ප්‍රතිමාව 1989 බර්ලින් තාප්පය බිඳවැටීමෙන් වසර දෙකකට පසු උගුළුවා දැමිණි. අනතුරුව එය කැබලි 130කට කපා බර්ලින් නගරය ආසන්න වනපියසක වළලා දැමිණි.

මෙය නැගෙනහිර ජර්මනියේ අවසානය මෙන්ම නැගෙනහිර යුරෝපයේ ඊනියා කොමියුනිස්ට් පාලනයේ බිඳවැටීම ද සනිටුහන් කරන සංඛේතයක් ලෙස සැලකේ.‍ ප්‍රතිමාව පිහිටුවා තිබූ ලෙනින් චතුරශ්‍රය බර්ලින් තාප්පය ඇදවැටීමෙන් පසු ‘එක්සත් ජාතික චතුරශ්‍රය’ යන තේරුම ඇති Platz der Vereinten Nationen ලෙස නම්කරන ලදී.

මේ ප්‍රතිමාව උගුළුවා එහි කඳ කොටස හෙලිකොප්ටරයක ආධාරයෙන් රැගෙන යනු, සුප්‍රකට ජර්මානු සිනමාපටයක් වන Good-bye, Lenin හි දසුන් පෙළක දැක්වේ.වළදැමීමෙන් වසර 24කට පසු, එනම් 2015 සැප්තැම්බරයේ දී මේ ප්‍රතිමාවේ හිස කොටස පමණක් හාරා ගොඩගැනුණේ මධ්‍යකාලීන නගරාරක්ෂක බළකොටුවක් වූ, දැන් කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යන ෂ්පැන්ඩාවු සිටඩෙල් (Zitadelle Spandau) හි 2016 දී ඇරැඹි ‘නිරාවරණය. බර්ලිනය සහ එහි ස්මාරක’ („Enthüllt. Berlin und seine Denkmäler“) නමින් හැඳින්වෙන ප්‍රදර්ශනයේ දැකුම් භාණ්ඩයක් කිරීම පිණිස ය.මේ ගොඩගත් ලෙනින් හිස පමණක් සිය ප්‍රදර්ශනයට එකතුකරගැනීම ගැන බර්ලින්-ෂ්පැන්ඩාවු කලා අංශයේ ප්‍රධානී අන්ද්‍රෙයා තෙයිසන් එදා කියා තිබුණේ මෙවැන්නකි. “මුළු ප්‍රතිමාව මීටර් 19ක් විතර උස නිසා අපට ඒක ප්‍රදර්ශන ශාලාවකට ගන්න විදියක් නෑ. ඉතින් අපි තීරණය කළා ඒකේ වඩාත්ම හඳුනාගත හැකි කොටස වන හිස පමණක් ප්‍රදර්ශනය කරන්න.”

“යුරෝපය පුරා අවතාරයක් හොල්මන් කරමින් සිටී – ඒ කොමියුනිස්ට්වාදයේ අවතාරය ය.” මාක්ස් සහ එංගල්ස් සිය ‘කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය’ ආරම්භ කරමින් 1848 දී ලියූහ.ඒ අවතාරයට යුරෝපයේ කොටසක් ද අල්ලාගෙන ‘කොමියුනිස්ට් අධිරාජ්‍යයක්’ බිහිකිරීමට පාරකැපූ ප්‍රධාන ‘වගඋත්තරකරුවෙක්’ වූයේ සෝවියට් විප්ලවයට නායකත්වය දුන් ලෙනින් ය.ඒ කොමියුනිස්ට් අධිරාජ්‍යය බිඳදමා ජයපැන් බී ලෙනින්-මාක්ස්-එංගල්ස් ප්‍රතිමා පවා වනසා පොළොව යට වැළලූ ‘ජයග්‍රාහී ධනේෂ්වර අධිරාජ්‍යය’ ඒ එක් පිළිම හිසක් ගොඩට ගෙන බලකොටුවක් අස්සේ මහජන ප්‍රදර්ශනයට තබා තිබේ.කඳින් සිඳි හිස පැත්ත පෙරළා දමා ඇත්තේ, ටොන් තුන හමාරක් බර මේ දැවැන්ත හිසත් අර කොමියුනිස්ට්වාදයේ අවතාරය මෙන් යුරෝපය පුරා නැවත හොල්මන්කරන්නට පටන්ගනු ඇතැයි වන බිය නිසාවත්ද?


සටහන –  සනත්  බාලසූරිය 

පින්තූර විස්තර- – – – – – – – – –

1 වනාන්තරයක වළදමා තිබී 2015දී ගොඩගන්නා ලෙනින් හිස

2 කෞතුකාගාර මැදිරියක දැකුම් පිණිස පැත්ත පෙරළාදමා ඇති ලෙනින් හිස

3 Good-bye, Lenin සිනමාපටයේ රූපරාමුවකට හසුවූ ගුවනින් රැගෙන යන ලෙනින් උඩුකය(සියලු සේයාරූ අන්තර්ජාලයෙනි)

Article Categories:
සාහිත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares