ගතානුගතික සමාජයක් විසින් පාගා දැමුණු මූර්ති ශිල්පිනිය: කැමී ක්ලෝදෙල්

Written by

ඉතිහාසය පුරා විසිරුනු සුවිශේෂී කලාකරුවන් අතරින් කීර්තිමත් ප්‍රසිද්ධියක් අත්පත් කරගත් මූර්ති කලා ශිල්පීහු බොහෝ වෙති. දහනමවෙනි ශතවර්ෂයේ සුප්‍රසිද්ධ ප්‍රංශ ජාතික මූර්ති ශිල්පියෙක් වූ, ලෝ ප්‍රකට අග්‍ර ගණයේ කලා නිර්මාණ ලෙස සැලකෙන The Thinker, The Kiss, සහ The Gates of Hell වැනි ප්‍රතිමාමය නිර්මාණ බිහි කළ ඔගුස්ට් රොදං එවැන්නෙකි. එහෙත් යම් විටෙක කෙතරම් තියුණු කෞශලයයක් ප්‍රකට කළද සමහර කලාකරුවන්, කලාකාරියන් එසේ ජනතා ප්‍රසාදයට සහ අවධානයට ලක් වන්නේ නැත.


තම වෘත්තීමය කලා ජිවිතයේ එක් අවධියක් රොදං සමඟ ඉතා සමීපව වැඩ කළ, කැමී ක්ලෝදෙල් නම් ප්‍රංශ ජාතික මූර්ති ශිල්පිනිය පිළිබඳ ඔබ වැඩිමනත් තොරතුරු දැන නොසිටින්නට පුලුවන. ඔවුන් සමීපව වැඩ කරන කාලය තුළ කැමී ක්ලෝදෙල්, රොදං ගේ ප්‍රියතම සිසුවිය, ඔහුගේ දක්ෂතම සහයිකාව, ඔහු‍ගේ නිර්මාණ සඳහා අනුප්‍රාණය සපයන්නිය මෙන්ම ඔහුගේ පෙම්වතියද වූවාය. නමුත් මේ සියල්ලට එපිටින් ඇය, ඇයටම ආවේණික ශෛලියක් ගොඩනඟා ගැනීමට සමත් වූ විශ්මයජනක මූර්ති ශිල්පිනියක වූවාය. එවැන් තත්වයකට පත් වීම එවැනි කාලවකවානුවක, එනම් දහනවවැනි සියවසේ ජිවත් වූ කාන්තාවකට ඉතා අසීරු කාර්යයක් විය.

“මම ඇයට රත්රන් සොයා ගත යුත්‍තේ කොහෙන්දැයි පෙන්වා දුනිමි, ඇය සොයාගන්නා රත්රන්වල අයිතිය ඇය සතුය” රොදං වරෙක තම ප්‍රියතම සිසුවිය පිළිබඳ එසේ පවසා තිබුණි. ඔවුන් ඉතා සමීපයෙන් ඇසුරු කරන කාලය තුළ ක්ලෝදෙල්, රොදං ගෙන් බොහෝ දේ උකහා ගත්තා සේම රොදං ගේ නිර්මාණවල ද ක්ලෝදෙල් ගේ බැලපෑම දැකිය හැකි බව බොහෝ කලා විචාකරයන්ගේ මතය විය.


 ක්ලෝදෙල් සතුව තිබූ නැවුම් ප්‍රතිභාවත්, ඇය මූර්ති කලාව වෙනුවෙන් දැරූ පරිශ්‍රමයත් පසෙක තිබියදී, බොහෝමයක් කලාකරුවන් (විශේෂයෙන් කලාකාරියන්) මෙන් ඇයගේ වෘත්තීමය කලා ජීවිතයේ ඇයට හිමි විය යුතුව තිබූ සහ ඇය පෑතූ සාර්ථකත්වය ඇයට අත් පත් කර ගැනීමට නොහැකි වූයේය. ඇය පිළිබඳ තතු ලෝකයා සහමුළින්ම නොදැන නොසිටියා වුවත්, කලා ලෝකය තුළ ඇයගේ සැබෑ වැදගත්කම රොදං ගේ මහා කලා පෞර්ෂයෙන් වැසීයාමවැළැක්විය නොහැකි විය.


ඇය ලෝකයට අප්‍රකටව මිය ගියත් පසු කලෙක ඇයගේ ප්‍රතිභාවන් හඳුනාගනු ලැබ, එය එක්තරා ප්‍රමාණයකට ජනතාව අතර ප්‍රචලිත වීමත්, ජනප්‍රසාදයට සහ අගය කිරීමට ලක් වීමත් පසු කලෙක සිදු විය.


ළමා කාලය සහ අධ්‍යාපනය

1864 දෙසැම්බර් අට වැනිදා, ෆෙරොං තාර්දීනුආ නම්, උතුරු දිග ප්‍රංශයේ කුඩා ගම්මානයක දරුවන් තිදෙනෙකුගෙන් යුත් මධ්‍යම පාන්තික පවුලක වැඩිමහල් දියණිය ලෙස ක්ලෝදෙල් උපත ලැබුවාය.


කැමී ක්ලෝදෙල් මැටි වලින් මිනිස් රූප අඹමින් තම කලාත්මක අත්හදාබැලීම් ආරම්භ කලේ, 1876 වසරේ ක්ලෝදෙල් පවුල නොජොං ස්‍යුර් සෙන් නම් නගරයේ පදිංචියට ගිය පසුය. එසේ ඇය අවුරුදු 12 වන විට මූර්ති ශිල්පය පිළිබඳ කැපී පෙනෙන දස්කම් දක්වමින් සිටි නිසා, ඇයට මහත් සේ ආදරය කළ ඇයගේ පියා, ලුවී ප්‍රොස්පර් ක්ලෝදෙල්, සම්මානනීය ප්‍රාදේශිය මූර්ති ශිල්පියෙකු වූ ඇල්‍ෆ්‍රඩ් බුෂෙ වෙත ඇයගේ නිර්මාණ දක්වා, ඔහු ගේ මතය විමසීමටඋත්සුක වුයේය. බුෂේ සැනෙකින් ක්ලෝදෙල් ගේ නැවුම් ප්‍රතිභාවෙන් විශ්මයට පත්ව, ඇයට කලා නිර්මාණ සඳහා මඟ පෙන්වීමටත් උපදෙස් දීමටත් වහා කැමැත්ත පළ කළේය.


කැමී ගේ පියා සීමා මායිම් නොමැතිව ඇයට කලාශිල්පිනියක් ලෙස හැදී වැඩීමට උදව් දුන්නද, ඇයගේ මවගෙන් සිදු වූයේ අනෙකකි. ලුවීස් ක්ලෝදෙල්ට ඇයගේ දියණිය වෘත්තීමය කලාකාරියක් බවට පත් වනවා දකින්න අවශ්‍ය නොවුනේය. එකල පැවති සමාජ සම්මතයන්ට යටත් වී ඇය මූර්ති ශිල්පය දුටුවේ කාන්තාවන්ට නුසුදුසු වෘත්තීයක් ලෙසය, ඒ නිසාම ඇයට අවශ්‍ය වූයේ කැමී එම අපේක්ෂාව අත්හැර දමා, විවාහක ජීවිතයකට අවධානය යොමු කරනුදැකීමය.


1991 වසරේ ක්ලෝදෙල් පවුල් පැරිසිය වෙත යන්නේ බුෂෙ ගේ බල කිරීම මත කැමී ක්ලෝදෙල්ට මූර්ති ශිල්පය පිළිබඳ අධ්‍යනය කිරීමටත් කැමීගේ සො‍හොයුරු පෝල් ක්ලෝදෙල් ගේ අධ්‍යාපන කටයුතු සඳහාත්ය.


ඒ අනුව කැමී වයස අවුරුදු 17 දී පැරිසියේ ‘ඇකඩමී ක්ලොරොසී’ නම් කලා ඇකඩමියට ඇතුළත් වීමේ භාග්‍යය ලබා ගත්තාය. ක්ලොරොසී ඇකඩමිය යනු 1870 දී ඉතාලි ජාතිකෆිලිපෝ ක්ලොරොසී නම් මූර්ති ශිල්පියා ආරම්භ කළ, කලා පාසලක් වන අතර එය එම කාලයට සාපේක්ෂ ඉතා ඉදිරිගාමී දැක්මකින් යුතුව ක්‍රියාත්මක වූ ආයතනයක් විය. එම නිසා එම පාසල තුළ කාන්තාවන්ට මූර්ති ශිල්පය අධ්‍යනයනය කිරීමට අවකාශ සැලසුණ අතර නග්න පිරිමි නිරූපණ ශිල්පීන් සමඟ වැඩ කිරීමේ අවසරයද ඔවුනට ලැබුනේය.


1882 වස‍රේ කැමී තවත් මූර්ති ශිල්පිනියන් තිදෙනෙකු සමඟ පැරිසීයේ කලාගාරයක් ආරම්භ කළ අතර බුෂෙ සතියකට වරක් එහි පැමිණි ඇයගේ නිර්මාණ පිළිබඳ අධීක්ෂණය කිරීමත් උපදෙස් දීමත් දිගටම කරගෙන ගියේය. කැමී ඒ වනවිටත් බුෂේ ගේ මඟපෙන්වීම යටතේ ප්‍රකෘතිවාදී ශෛලියක් ගොඬ නඟාගනිමින් සිටියාය. එසේම ඇය École des Beaux-Arts නම් කලා ඇකඩමියේ එවකට අධ්‍යක්ෂකවරයාව සිටි පෝල් දුබෝවා ගේ පැසසුමටත්, දක්ෂ නැඟී එන කලාකාරියක ලෙස ඔහුගේ අවධානයටත් යොමු වී සිටියාය.


ඇය දිනපතාම පැය එක‍ොළහක් පමණ එක දිගට තම කලාගාරයේ වැඩ කළාය. එහෙයින් මිනිසෙකුට දැරිය නොහැකි තරම් පරිශ්‍රමයකින් වැඩ කිරීමේ ප්‍රථිපල ඇය ඉක්මනින්ම අත් වින්ඳාය. ඇය තම කලාගාරය ආරම්භ කළ වසරේදීම ඇයගේ මූර්ති නිර්මාණයක් වන “Old Helen” පළමු වරට සුප්‍රසිද්ධ ‘පැරිස් සැලෝනයේ’ ප්‍රදර්ශනය කිරීම ආරම් වූයේය.


ඒ වනවිට පැරිසියේ විසූ බුෂෙ, 1882 වස‍රේදි ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයට යාමට තීරණය කළේය. නමුත් ඔහු පිටත්ව යාමට ප්‍රථම, ඔහුගේ මිත්‍රයෙකු වූ ඔගුස්ත් රොදං ගෙන් ඉල්ලා සිටි‍යේ, රොදං ගේ කලාගාර‍යේ සහයිකාවක් ලෙස බඳවා ගෙන කැමී ක්ලෝදෙල්ට මඟ පෙන්වීමත්, ඇයව අධීක්ෂණයත් නොනවත්වා කරගෙන යන ලෙසය. කැමීක්‍ලෝදෙල් සහ ඔගුස්ත් රොදං එකිනෙකා සමඟ මුණ ගැසුනේ ඒ ආකාරයෙනි. එම මුණගැසීම විසින් කලාකරුවන් වූ ඔවුන් දෙදෙනාගේ ජීවිත දෛ‍වෝපගත ලෙස වෙනස් වූයේය.“කැමී, ඔගුස්ට් රොදං වෙත හඳුන්වා දෙන විට ඇයට වයස අවුරුදු 17ක් වුවා පමණි. ඔහුට ඒ අවස්ථාවේ සිසුවෙක්වත්, අත් උදව් කරුවෙක්වත් අවශ්‍ය වී තිබුනේ නැත. එහෙත් බරපතල ඒත්තු ගැන්වීමකින් පසුව ඔහු කැමී පිළිබඳ සලකා බැලීමට එකඟ වුයේ, ඇය රොදං ගේ ශෛලියට සමාන, ඇදහිය නොහැකි තරමේ ප්‍රතිමාමය අත්හදා බැලීම් කිහිපයක් කර තිබේ යැයි ඔහු අසා තිබූ නිසාය. ඇය බය හිතෙන තරම් කුසලතාවකින් යුක්ත බව පෙනෙන්නට තිබූ අතර ඇය ඔහුට වහා සමීප ද වූවාය: ඔවුහු එක සමාන ලෙස සිතූහ, එකිනෙකාගේ සිතුවිලි ඇසුරු කොටගත්තෝය, එක සමාන ලෙස ශාස්ත්‍රාලීය කලා භාවිතාවක් වෙනුවෙන් ජීවිතය කැප ක‍‍ළෝය.” arthive.com නම් වෙබ් අඩවියේ ඔවුන් පිළිබඳ ලිපියක එසේ සඳහන් ය.


කැමී ක්ලෝදෙල් සහ ඔගුස්ත් රොදං


කැමී, රොදං ගේ ලාබාල සිසුවියක වුවත්, කැමීගේ කලා නිර්මාණ, පරිණත මුර්ති ශිල්පියා තුළ ගැඹුරු හැඟීමක් ඇති කළේය. ඇයගේ Old Helen කැටයම් නිර්මාණය තුළ ගැබ්ව ඇතිදිරිගන්වන සුළු අව්‍යාජත්වය ඔහුව පුදුමයට පත් කළේය. ඒ නිසාම රොදං ටික කලකින්ම ඇයට ඔහුගේ කලාගාරයේ ආධුනික ශිල්පිනියක ලෙස සේවයට පැමිණෙන්නැයි ආරාධනාකළේය. ඇය ඔහුගේ කලාගාරයේ සේවයට යාමට පටන් ගත් 1883 වසර යනු, පළපුරුදු මූර්ති ශිල්පියා තම නිර්මාණ වෙනුවෙන් වැඩි මිලක් අය කිරීමට පටන් ගත් වසරයි.


ක්ලෝදෙල් ඔහුගේ කලාකාරයේ දී රොදං ගෙන් ඉගෙන ගනිමින් තම හැකියාවන් මුවහත් කරගන්නා අතරම රොදංගේ සුප්‍රකට මූර්ති නිර්මාණ වන The Gates of Hell සහ The Burghers of Calais වැනි නිර්මාණ වලට තම ශ්‍රම දායකත්වයද ලබා දුන්නේය. ඇය රොදං සමඟ වැඩ කරන කාලය තුළ, ඇය නොබෝ කලකින්ම ස්වාධින කලාකාරියක් බවට පත්වීමේ මං සලකුණු පැහැදිලිව පෙන්නුම් කළාය. ඇය 1882 වසරේ සිට 1889 දක්වා නොනවත්වා තම නිර්මාණ Salon des Artistes Français නම් කලාගාරයේ ප්‍රදර්ශනය කළ අතර රොදං ගේ සබඳකම්වල යහපත් බලපෑම හේතුවෙන් ඇයගේ සමහර නිර්මාණ ප්‍රංශ කෞතුගාරය විසින් මිලදී ගනු ද ලැබිණි.


කරුණු මෙසේ සිදු වෙද්දි ක්ලෝදෙල් සහ රොදං අතර සබඳතාවය තව දුරටත් වෘත්තීමය සබඳතාවක් පමණක් නොවුනේය. එකිනෙකාට ගරුකරමින් සහ අගය කරමින් ඇරඹුන ඒ මිනිස් සබඳතාව, ඔවුන් මුණ ගැසී ටික කලකින්ම වඩාත් උද්වේගී රොමාන්තික සබඳතාවකට හැරුණේය. ඇය ඉක්මනින්ම ඔහුගේ ආධුනික සහයිකාවට වඩා ඇයගේ විශ්වාසවන්ත නිරූපණ ශිල්පිනිය සහ ඒ මහා කලා පෞරෂයට, නිර්මාණ සඳහා අනුප්‍රාණය සපයන්නියද බවට පත් වූවාය. රොදං, කැමී ක්ලෝදෙල් ගේ ආලේඛ්‍ය ප්‍රතිමා කිහිපයක්ම එම කාලය තුළ නිර්මාණය කළේය. Camille Claudel with Short Hair යනු ඔහු නිර්මාණය කළ ක්ලෝදෙල් ගේ පළමු ආලේඛ්‍ය ප්‍රතිමාව වන අතර පසුව ඔහුගේ මහා පරිමාණ නිර්මාණ බොහොමයකටම ඇය නිරූපණ ශිල්පිනියක ලෙස පෙනී සිටියාය. ඔහුද ඇයගේ නිර්මාණ වලට නිරූපණ ශිල්පියෙකු ලෙස ක්‍රියා කර ඇති අතර Bust of Rodin යනු ඇය එසේ නිර්මාණය කරන ලද ප්‍රකට මුර්ති කලා නිර්මාණ වලින් එකකි. එම අසාහය මූර්ති කලා යුවළගේ නිර්මාණ එකිනෙකාගෙන් පෝෂණය වෙමින්, අනුප්‍රාණය ලබමින් සහ ආභාෂය ලබමින් බිහි වුණ අතර ඔවුන් දෙදෙනා එකිනෙකා ගේ කලාගාර සහ නිරූපණ ශිල්පීන් එකිනෙකා හා බෙදා හදා ගනිමින් නිරන්තර නිර්මාණාභ්‍යාසයේ යෙදුනේය.


ඔවුන් එක්ව වැඩ කළ කාලය තුළ ඔවුන් කළ සමහර නිර්මාණ කොයිතරම් එකිනෙකට සමාන වූයේ ද යත් එම නිර්මාණවල සැබෑ නිර්මාණකරුවා ඔවුන් දෙදෙනාගෙන් කවුරුන්දැයි වෙන් කර හඳුනාගැනීමට පවා දුෂ්කර වූයේය.


රොදං ගෙන් වෙන් වීම

ක්ලෝදෙල් සහ ර‍ොදං ගේ සබඳතාව අවුරුදු 10 කට වඩා පැවතුණා වුවත්, ඔවුන් අතර වූ සෑම සියලු දේ සුන්දරව ගලා ගියේ නැත. සැබවින්ම ඔවුන්ගේ ආදර අන්දරය මතභේද රැසක් මැද පැවති එකකි. එයට හේතු වූ එක් කාරණයක් වූයේ ඔවුන් අතර තිබූ නොසලකා හැරිය නොහැකි වයස් පරතරය ය. ඔවුන් එකිනෙකා මුණ ගැසෙන විට රොදං ගේ වයස හතලිස් දෙකක් වූ අතර ක්ලෝදෙල් ඒ වන විට වයස අවුරුදු විස්සවත් සම්පූර්ණ කර තිබුනේ නැත.අනෙක් බරපතල කාරණය වුයේ රොදං විසින් විවාහ නොවූවද, වසර 20ක් තිස්සේරෝස් බරේ නම් කාන්තාවක් සමඟ පවත්වමින් සිටි සබඳතාවයි.


රෝස් බරේ, රොදං ගේ මූර්ති නිර්මාණ වලට නිරූපණ ශිල්පනියක ලෙස වැඩ කර තිබුණද පසුකලෙක ඇය තම සහකරුවාගේ වෘත්තීමය කලා ජීවිතය පිළිබඳ වැඩි මනත් අවධානයක් යොමු කළේ නැත, ඇයට කලාව පිළිබඳ කිසිදු සංවාදයක් ඔහු සමඟ කිරීමට ඕනෑ කමක් නොතිබුණා පමණක් නොව ඒ පිළිබඳ දැනුමක් තිබුණේ ද නැත. රොදං ඇසුරු කලේ කවුරුන්ද, ඔහුගේ සමකාලින සගයින් කවුද යන්නත් ඇය එතරම් දැන සිටියේ නැත. එහෙත් පවුල තුළ ආර්ථිකශක්තිය හීන වන විට ඇය අතට හසුවන ඕනෑම අකාරයේ රැකියාවක් කරමින් පවුල නඩත්තු කළාය. ඔහු විදේශ රටවල වැඩ කරන විට ඇය ඉවසීමෙන් ඔහුගේ මූර්ති නිර්මාණ ආරක්ෂා කළාය, ඔවුන්ගේ දරුවා රැකබලා ගත්තාය. ඇය කිසි දිනෙක කිසිවක් පිළිබඳ කන්කෙඳරි ගෑවේ නැත. ඒ නිසාම රොදං ට රෝසාව අත් හැරීමට හැකියාවක් තිබුනේ නැත.


එහෙත් කාලයත් සමඟ රොදං පිළිබඳ කැමී තුළ වැඩී වර්ධනය වුනු උද්වේගී හැඟිම් සමුදාය නිසා ඇයටරොදං සහ බරේ අතර තිබුනු සබඳතාව අමතක කර සිටීම කිසිසේත්ම කළ නොහැකි දෙයක් විය. එක් වරෙක ඔහු ඇයට විශ්වාස වන්තව සිටින්නේ යැයි පොරොන්දු කරවා ගෙන, ඔහුගෙන් අමුතු අන්දමේ ලියවිල්ලකට අත්සනක් පවා ලබා ගත්තේය. ඔවුන් අතර පැවතුණ ආදරය කෙතරම් ගැඹුරු, හැඟීම් බර එකක් වුවත් රොදං විසින් බරේ ව අතහැරීමට එකඟ වන්නේ නැති බව ඇයට දැනෙමින් තිබුණි. රොදං ඇයගේ ජීවිතයට කොයිතරම් වැදගත් වුවද ක්ලෝදෙල් ඔහුව හැර යා යුතු බව ඇය වටහා ගත්තේ ඒ නිසාය. එසේම ඇය තම කලා ජීවිතය තුළ කිසිවෙකුට සම කළ නොහැකි අසාහය බවක් සහ ස්වාධීන බවක් පවත්වාගෙන ගියද, නිරන්තරයෙන් ඇය මත වැටෙන රොදං ගේ සෙවණැල්ලෙන් නිදහස් වීමටත් ඇය තුළ තිබූ අභිලාෂය නිසා ඇය 1892 වසරේදි පමණ වෘත්තීමය වශයෙන් පමණක් නොවභෞතිකවත් ඔහුගෙන් වෙන්වී ජීවත්වීම ආරම්භ කළේය.


ඇයගේ මුළු ජීවිතයම බවට පත් වී තිබුනේ මූර්ති කලාවය. ඇය ඒ වෙනුවෙන් දිවා රෑ නොබලාවැඩ කළාය. ඒ වෙනුවෙන් මුළු ජීවිතයම කැප කිරීමට සූදානමින් සිටියාය. ඒ නිසාම ඇය තුළ වූ මූර්ති ශිල්පය සම්බන්ධයෙන් තිබුණු නිසඟ ප්‍රතිභාව එම කලා ප්‍රවර්ගය පිළිබඳ දැන සිටිය වුන් අගය කළද කිසිවෙකු ඇයගේ නිර්මාණ මිලදී ගැනීමට උත්සුක වූයේ නැත. මන්ද කලා ලෝකය ඇයව හැඳිනුවූයේ කැමී ක්ලෝදෙල් ලෙස නොව ඔගුස්ට් රොදං ගේ සිසුවියක ලෙසය. එමනිසා ඇය ජීවත්වූ කාලයට සාපේක්ෂව ඉදිරිගාමි නිර්මාණ ඇය විසින් සිදු කළත්, කලා විචාරකයන් සහ රසිකයන්ගෙන් ඇයට ලැබිය යුතු ඇගයීම ඇයට කිසි දිනෙක ලැබුණේ නැත.

“මා බියට පත් වී ඇත, මට කුමක් සිදුවේද යන්න ගැන මා කිසිවක් දන්නේ නැත. මා මෙසේ අවසැළකුම් ලබන්නේ නම් මා මෙතරම් දක්ෂ වීමත් මා මෙතරම් වෙහෙස මහන්සී වී වැඩ කිරීමේත් අර්ථය කුමක්ද?” ඇය වරෙක ඇයගේ කලා නිර්මාණත් ඇයගේ ප්‍රතිභාවත් අවතක්සේරු වීම පිළිබඳ එසේ විමසා සිටියාය.

ඇය ස්වාධීන කලාකාරියක ලෙස ස්ථාපිත වෙමින්, එය කලා ලෝකය තුළ වඩාත් සාක්ෂාත් කොට තහවුරු කළද ඇය කුමන නිර්මාණයක් කොයි ආකාරයෙන් බිහි කළද, ඇයගේ ප්‍රතිභාව සහ ශිල්පීය ක්‍රම අගය කරනු ලැබුවේ සුප්‍රසිද්ධ මූර්ති ශිල්පියාගේ ඉගැන්වීමට ඒවා බැර කරමිනි. එම නිසා ඇයගේ හිටපු පෙම්වතාගෙන් තව තවත් දුරස් වී සිටිනු සඳහාත්, ඇයගේ සහජ ප්‍රතිභාව සහ නිර්මාණශීලිත්වය ඔප්පු කර පෙන්වීම සඳහාත් මූර්ති ශිල්පයේ නව මං සෙවීමට ඇය තීරණය කළාය. ඇය නව තේමාවන්, නිර්භීත විෂය සංකලනයන්, දුෂ්කර අමුද්‍රව්‍ය සමඟින්(කිරිගරුඬ. ලෝකඩ) වඩාත් උද්වේගකර හැඟීම් දනවන සුළු රූප සොයා ගියාය. එම කාලයේ ඇය විසින් බිහි කළ වඩාත් හැඟීම් දනවන සහ භාවමය නිර්මාණ රැසක් අතරින් The Waltz, The Wave සහ Sakuntala යන නිර්මාණ සුවිශේෂි ස්ථානයක් අත්පත් කර ගනියි.


කැමීට තම පෙම්වතාගෙන් වෙන්වීම අවශ්‍ය වුවුද එය දෙදෙනාටම අතිශයින් වේදනාකාරී විය. සැබවින්ම එම වෙන්වීම එකවරම සිදු වුයේ නැත. ඔවුන් වෙන්ව ජිවත්වීමට පටන්ගත් පසුත් ඔවුහු විටින් විට හමු වූහ. එකිනොට සුබ පැතූහ. එකිනෙකාගේ කලා නිර්ම‍ාණ ඇගයීමට ලක් කළහ. වරදකාරී හැඟීමකින් පෙළුණු රොදං තම මිතුරන්ට සහ අමාත්‍යාංශවලට ලිපි ලියමින් ඇයගේ නිර්මාණවලට නියමාකාර ඇගයීමක් ලබා දීමට සහ මූල්‍යමය වශයෙන්ඇයට උදව් කිරීමට උත්සාහ කලේය.


නමුත් ඔවුන් අතර වු සබඳතාවේ තීරණාත්මක සහ අවසන් බිඳවැටීම සිදු වූයේ, ඇයගේ වඩාත් භාවාන්විත සහ හැඟීම් දනවන සුලු නිර්මාණයක් වූ The Age of Maturity නිසාය. එම පුදුම එළවන සුළු නිර්මාණයෙන් නිරූපණය වන්නේ තරුණ කාන්තාවක් දනින් වැටී, වැහැරුණු වයස්ගත ගැහැණියක් විසින් ඉතා ආක්‍රමණශීලි ග්‍රහණයකින් යුතුව ඉවතට අදින වයස්ගත පිරිමියෙකු වෙත ආයාචනාත්මක ලෙස නැඹුරු වී සිටින ඉරියව්වකි. වර්තමාන විචාකරයින් විසින්, ජීවිතයේ අවධි ත්‍රිත්වයක් කියාපාන දෘෂ්ටාන්තයක් ලෙස, එම කලා නිර්මාණය ගෙන හැර දැක්වූවද, එකල බොහෝ අය එම නිර්මාණය තේරුම් ගත්තේ ක්ලෝදෙල් රොදංගෙන් වෙන්වීම පිළිබඳ ඇයගේ කලාත්මක ප්‍රකාශනයක් ලෙසය.


ඇය එම මූර්ති නිර්මාණය සිදු කලේරොදං ගේ අනුමැතියත් සහයත් ඇතිව 1895 වසරේදී, පළමු වරට ප්‍රංශ රජයෙන් ඇයට නිර්මාණයක් සඳහා කරන ලද පළමු ගෙවීම ලබා ගනු සඳහාය. එහෙත් ඔහු එම මූර්ති නිර්මාණය පළමු වරට දුටු විට, දැඩි සේ කම්පනයටත් කෝපයට පත් වී ඔහු කැමී හා උරණ ද වූයේය. ඔහු ඉන්පසු වහාම ඔහුගේ අනුග්‍රහය ඇතිව ඇයගේ නිර්මාණ ජීවිතයට ලැබෙන මහජන සහය අවහිර කල අතර තම පෙම්වතිය සමඟ තිබූ සියලුම ආකාරයේ සබඳකම්වලට නැවතීමේ තිත තැබුවේය. ඉන් ටික කලකට පසුව ප්‍රංශ රජය විසින් ඇයට ගෙවීමට තිබූ මුදලද සංක්ෂිප්ත හේතු දැක්වීමක් සහිතව අත්හිටවූ අතර බොහෝ අය සැක පහළ කළේබාගවිට රොදං රජයට බලපෑම් කර ඇයට ලැබීමට නියමිත ව තිබූ රාජ්‍ය අනුග්‍රහය නවත්වන්නට ඇති බවයි.


දුංඛිත අවසන් කාලය

එම අවසාන සමුගැනීමෙන් පසු ක්ලෝදෙල් ගේ කලා ජීවිතයේ පිරිහීම ආරම්භ වූවා යැයි කීවොත් නිවැරදිය. ඇයට මහා මූර්ති ශිල්පියාගෙන් දුරස් වීමට අවශ්‍ය වුවද, සැබවින්ම ඔවුන්ගේ වෘත්තීමය කලා ජීවිතයේ ස්වභාවය අනුව ඔහුගේ අනුමැතියත් සහයත් විසින්, ඇය වෙත එල්ල වෙන පුරුෂවාදි ප්‍රහාරයන්ගෙන් ඇයට රැකවරණය ලැබුනේය. එමෙන්ම ඇයගේ මූර්ති නිර්මාණ වඩාත් විවෘත භාවයකින් යුත් කාමෝද්දීපික ලක්ෂණ දැරූ නිසා, කාන්තාවකට එකල එය තරම්නොවන බවට පැවති සමාජ සම්මතය හේතුවෙන් ඇයට යන්තමින් හෝ ලැබුනු මහජන සහයෝගයද අහිමිව ගියේය.


ඇයගේ වෘත්තීමය ජිවිතය බිඳ වැටීමට ලක් වන විට ඇය ආර්ථික වශයෙන් ද අස්ථාවර වූයේය. ඇය එම කාලයේ හිඟන්නියක මෙන් වීදිවල ඉබාගාතේ සැරිසැරූ බවද සමහර මුලාශ්‍රවල සඳහන්ව ඇත. ඇය එන්න එන්නම පීඩෝන්මාදී මානසික තත්වයකින් පෙළෙන්නට වූ අතර රොදං ඇය‍ගේ නව අදහස් සොරා ගන්නටත්, ඇයගේ ජීවිතය විනාශ කර දමන්නටත් කැස කවන්නේය යන සැකයෙන් ද ඇය පෙළෙන්නට වූයේය. එම මානසික ව්‍යාධි තත්වය නිසා ඇය වඩාත් සමාජයෙන් දුරස් ව හුදකලා වූ අතර එම කාලයේ ඇය තම බොහෝමයක් නිර්මාණ විනාශ කොට දැමුවා පමණ නොව කිසිදු නව නිර්මාණයක් සිදු කිරීමද ප්‍රතික්ෂේප කළේය. 1911 වන විට ඇයගේ මානසික ව්‍යාධිය නිසා ඇය බැහැර යාමට අවසර නොලැබූ මානසික රෝගියෙකු බවට පත් වූ අතර ඇයගේ මානසික හා ශාරීරික තත්වය දිගින් දිගටම පිරිහී යමින් තිබුනේය.


1913 ව‍සරේදි ඇයගේ ජීවිතයට විශාල අත් වැලක් සහ ශක්තියක් වූ ඇයගේ පියා මියගිය නමුත් නිවසින් බැහැරව වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් සිටි ඇයට ඒ පිළිබඳව පවුලේ කිසිවෙකුත් දැන්වූයේ නැත. ක්ලෝදෙල් මූර්ති ශිල්පිනියක ලෙස ක්‍රියා කිරීම නිසා ඇය සමඟ උරණව සිටි ඇයගේ මව හා තිබුණ සබඳතාව,ක්ලෝදෙල් හා රොදං අතර තිබුණු ආදර අන්දරය නිසා තවත් නරක අතට හැරුණේය. සත්තකින්ම කිවහොත් තම පියා සමඟ හැර ඇයට තම පවුලේ සාමාජකයන් සමඟ පසු කලෙක සමීප සබඳතාවක් පැවතුනේ නැත. ඇයගේ පියාග‍ෙ මරණින් ටික දිනකට පසු පවුලේ උදවිය විසින් ඇයව ‘විල් එව්රා’ නම් මානසික උපස්ථානාගාරයකට භාර දුන්හ.


1914 වසරේ පළමු ලෝක යුද්ධය නිසා ඇය මොන්තවෑර්ග් නම් වෙනත් මානසික උපස්ථානාගාරයකට මාරු කර යැවුනු අතර ඇය එසේ රඳවාගනු ලැබූ වසර තිහක කාලය පුරා ඇයගේ මිතුරන් හෝ පවුලේ සාමාජිකයන් ඇයගේ දුක සැප බැලීමට පැමිණියේ ඉතාමත් අල්ප වශයෙනි. යොවුන් වියේ ඇය‍ගේ සොහොයුරා සමඟ සමීප සැබඳියාවක් ඇයට තිබුණද ඔහු පවා ඇය බැලීමට පැමිණියේ හත් වරක් පමණි, මව කිසිදු දිනෙක පැමිණියේ නැත. 1943 වසරේඔක්තෝබර් 19 වැනිදා ඇය මිය යන තුරුම ඇය එම මානසික උපස්ථානාගාරවල කාලය ගත කලේ බෙහෙවින් හුදකලාව, ඉතාමත් දුක්බර මනෝභාවයකින් යුක්තවය.


ඇය මානසික උපස්ථනාගාරවල කල් ගත කරන විට වෛද්‍යවරු කීප විටක්ම ඇයව එසේ එවැනි ප්‍රතිකාර මධ්‍යස්ථානවල නවතා තැබීම තව දුරටත් අවශය නොවන බවත් ඇයව නිවසට කැඳවාගෙන යන ලෙසත් දන්වා සිටියද ඇයගේ පවුලේ උදවිය ඇයව නිවසට ඒම වළකාලමින් දිගින් දිගටම මානසික උපස්ථානාගරවල ඇයව නවතා තැබුවෝය.

“මම අඳුරු අගාධයකට වැටී සිටිමි” මොන්තවෑර්ග් උපස්ථානාගාරයේ නැවතී සිටින කාලවකවානුවේ ඇයට සිටි සමීප මිතුරෙකුට ඇය එසේ ලියා යැව්වාය. “මම ජීවත්වන්නේ කුහුල දනවන අමුතු ලෝකයකය. සිහිනයක මෙන් ජීවත් වුවත් මේ මගේ ජීවිතයයි. එය සැබවින්ම භයානක සිහිනයකි.” ඇය ලෝකයාට වසන් වී, ලෝකයා නොදැන හුදකලාවම මිය ගිය අතර මොන්තවෑර්ග් උපස්ථානාගාරයේ පොදු සුසාන භූමියේ ඇයගේ සිරුර අප්‍රකටව මිහිදන් කෙරිණි.

මූර්ති ශිල්පිනියක් ලෙස ලෝකය ජය ගන්නට තරම් ප්‍රමාණවත් සජය කුසලතාවකින් හෙබි වූ කැමී ක්ලෝදෙල්ගේ කලා ජීවිතය ඛේදජනක ලෙස අතරමඟ නැවතුණත්, ඇයගේ පෞද්ගලික ජීවිතය ශෝකාන්තයක් බවට පත් වුවත් පසු කලෙක ඇයගේ නිර්මාණ සහ ජීවිතය සහෘදයන් විසින් ඇසුරු කිරීම සහ නැවත කියවීම සිදුවෙමින් පැවතිණි. ඇයගේ කලා සහ පෞද්ගලික ජීවිතය ප්‍රබන්ධ, වේදිකා නාට්‍ය, චිත්‍රපට සහ සංගීත නිර්මාණ සුපෝෂණය කරන නැවුම් වස්තු බීජ බවට පත් විය. 1914 වසරේ සිදුවුණු රොදංගේ මරණයට පෙර ඔහු තම කලා කෞතුකාගාරයේ එක් කුටියක් ඇයට වෙන් කර දීමට අනුමැතිය පළ කල අතර එය ක්‍රියාවට නැඟුනේ 1952 වසරේ ක්ලෝදෙල් ගේ සහෝදරයා, රොදං කෞතුකාගාරයට ඇයගේ නිර්මාණ භාරදීමට එකඟ වීමෙන් පසුය.


ඇය ජීවත් වු යුගයේ රජ කළ දැඩි ගතානුගතිකත්වයත්, සමාජය වසා පැවති පුරුෂාධිපත්‍යයත්, ඉතාමත් ශූර කලාකාරියකගේ ආලෝකය අතරමඟ නිවා දැමුවේය. එකල පැවති දරදඬු සමාජ සම්මත ඇය‍ට සානුකම්පිත නොවූ බව සැබෑවකි. සෑම විටම ඉතිහාසය තුළ සිදු වූයේ එසේය. ඇය එයට එරෙහිව ඇයගේ ජීවිත කාලය පුරාම කැරළි ගැසුූ බව ද සැබෑවකි. එහෙත් ඇයගේ පවුලේ සාමාජිකයන් ඇයට එතරම් සැහැසි වූයේ, එකල පැවති අනම්‍ය ගතානුගතිකත්වයඑතරම් දරුණු ලෙස ඔවුන්ව හිරිවට්ටවා තිබුණ නිසාද? කැමී ක්ලෝදෙල් වසර 79ක් ජිවත් වූවාය, ඇය ඉන් වසර 30 කට වඩා අධික කාලයක් ගත කොට තිබුනේ මානසික ව්‍යාධියකින් පෙළෙන්නියක ලෙස මානසික උපස්ථානාගාරවලය. කලා ඉතිහාසය තුළ වින්සන්ට් වෑන් හෝ වැනි සුප්‍රකට කලාකරුවෙකුගේ මානසික ව්‍යාධිය ඔහුගේ ප්‍රතිභාව සහ සාර්ථකත්වය විද්‍යාමාන වන එක් පැතිකඩක් ලෙස නිර්වචනය කරන විට ක්ලෝදෙල්ගේ මානසික ආබාධය නිසා ඇය ‘පිස්සියක්’ බවට පත්කර ඇයව මිය යන තුරුම ඇයගේ නිදහස ඇයට අහිමි ක‍ළේය.


එසේම ඇයගේ පවුලේ ලැබැඳියන් මීට වඩා ඇයට ආදරය දැක්වූයේ නම්, ඇය වෙනුවෙන් පෙනී සිටිමින් ඇයව රැකගන්නට නිර්භය වුයේ නම්, දරුණු සමාජ සම්මතයන්ට එරෙහිව පෙර පරිදිම සටන් කරන්නටත්, අනාගතයේ ජීවත් වූ කලාකාරියක ලෙස තව තවත් අනගි නිර්මාණ ලෝකයට දායාද කරන්නටත් ඇයට හැකියාව තිබුණි. නමුත් සිදුවූයේ ඇයගේ ප්‍රභාමත් ජීවිතයත්, ඇය ආදරය කළ සියල්ලත් ගතානුගතිකත්වයේ අනුකම්පා විරහිත ගල්රෝලට හසුවී විනාශ වී යාම පමණි.

සටහන – සුභාෂිණී චතුරිකා

www theleader.lk උපුටා ගැනීමකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares