ඔවුහු පතන්නේ දුක අහන්නට හැකි උල ලේනෙකි..!!

Written by

කොවුලෙක් මොටද

මට මිහිරිම ගී ගයනා

උලලේනෙක් වෙයන්

ඉඳහිට දුක අහනා


කාන්තාවකගේ සිත අභ්‍යන්තරයේම ගැබ්වුනු පුරුෂ නිමිත්තනම් කාන්තාවක් සෑමවිටම ප්‍රාර්ථනා කරනවායයි ලෝකයා සිතන පුරුෂ නිමිත්තම නොවේ ය.


පරිභෝජනවාදී ලෝකයතුළ පෙම්වතාගේ භූමිකාවට ලබාදෙන පටු අර්ථ දැක්වීම. බොහෝවිට රන්වන් පැහැති සමකට, මුහුණ පුරා වැවී ඇති ඉතා හොඳින් නඩත්තුකරන ඝන රැවුලකට, පුළුල් උර තලයකට සහ සික්ස් පැක් සහිත උදරයකට සීමා වෙයි.


හේ බොලිවුඩ් චිත්‍රපටයක නළුවෙක් වැනිය. ඔහු සිය පෙම්වතිය ඉදිරියේ මිහිරි හඬින් ගී කියයි, නටයි, කරණම් ගසයි. නමුත් කාන්තාවක් තම ජීවිතය බාර දෙන්නේ එවන් මිහිරි ගී ගයන, අනඟ රැඟුම්වලින් තමාව වසඟයට ගන්නට තැත්කරන කොවුලෙකුට නොව, ඉඳහිටකවත් තමාගේ දුක අසන උල ලේනෙක් වන් පිරිමින්ටයි.


ඇයට ඔහුගේ උරහිස මත හිස තබාගෙන ඇතිතරම් වේලාවක් නිඳා සිටිය හැක, මුලු ලෝකයටම හොරා ඔහුගේ උරහිස මත කඳුළු ටොන් ගනන් වගුරුවමින් හඬා වැලපිය හැක. ඇගේ ජීවිතයට එවන් පිරිමියෙකු අත්තිවාරමක් වැනි ය.


රුවලක් මොටද

සුළඟක් එන තුරුසිටිනා

හබලක් වෙයන්

ඔරුවක් වෙරළට ගේනා


තරුණියක් අපේක්ෂා කරන පුරුෂ නිමිත්ත රුවලක් නොව හබලකි. මෙම හබලට ඕනෑම චන්ඩ මාරුතයකදී උවත් ඔරුවක් ගොඩබිමක් වෙත රැගෙන යා හැක.


පසුගිය සමයේ රූපවාහිනී වැඩසටහනකට ආ තරුණියක් කී කතාවක් ගැන මහත් සංවාදයක් ගොඩ නැගිනි. ඇය කීවේ තමාට තිබෙන වාහනයට වඩා හොඳ වාහනයක් පදින තරුණයෙක් සමඟ විවාහ විය යුතු බවයි.


මේ කතාව අසා ලාංකීය තරුණයන් කීවේ සල්ලි තියේනම් ඕනේ කෙල්ලෙක් සල්ලන් වෙන බවය. නමුත් ඒ වැරදි අදහසකි. ලංකාවේ බහුතර තරුණියන් අපේක්ෂා කරන්නේ ආර්ථිකව සවිමත් පුරුෂයන්ට වඩා ආර්ථික අතින් එතරම්ම ශක්තිමත් නැතත් අනාගතයේදී එම ආර්ථික ස්ථාවරත්වය ලඟාකරගැනීමට හැකියාව ඇති තරුණයන්ට ය.


සරලවම කීවොත් සල්ලි නැතත්, සල්ලි හොයන්න පුළුවන් තරුණයන්ට තරුණියන් කැමති ය.


අනෙක් අතට බොහෝ සල්ලිකාරයන්ට හමුවන්නේ තමාට වඩා තම දේපලවලට ආදරය කරන කාන්තාවන් ය.


නටුවක් මොටද

මට ළා සුළඟට

සැලෙනා

කටුවක් වෙයන්

මල් නටුවක්මුර

කරනා


ගැහැනිය තමාගේ පුරුෂයා තුලින් බලාපොරොත්තුවන අනෙක් කාරණයනම් ආරක්ෂාවයි. ඒ සඳහා ඔහු සටන් ක්‍රම දැනසිටිය යුතු නැත, ආරෝහ පරිනාහ දේහයක් තිබිය යුතු ද නැත.


ඔහුට ඇය වෙනුවෙන් ඕනෑම මොහොතක පෙනී සිටිය හැකිනම්, ඇයව තනි නොකර ඇය සමඟ සිටිය හැකිනම්, ඇයට ආරක්ෂිත වටපිටාවක් ගොඩනැගිය හැකිනම් ගැහැණුන් බලාපොරොත්තුවන්නේ එයයි.


ඕනෑම කෙසඟ, හීන්දෑරි තරුණයෙක් තුළ උවත් රම්බෝ කෙනෙක් සිටිය හැක. ඔහු තම පෙම්වතිය හෝ බිරිඳ පමණක් නොව, සමාජයේ ඕනෑම කාන්තාවකගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියි.


ඉතිං බොහෝ තරුනියන් පතන්නේ කොවුලෙක්, රුවලක්, හෝ නටුවක් නොවේ.
ඔවුහු පතන්නේ කටුවක්, හබලක් සහ දුක අහන්නට හැකි උල ලේනෙකි..!!


පද රචනය : සුජීව හෙට්ටිතන්ත්‍රී

සංගීතය : අරුණ ගුණවර්ධන

ගායනය : සමනලී ෆොන්සේකා


සටහන : සජිත් පුෂ්පකුමාර

Article Categories:
සාහිත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares