ඒ නිර්භිත ප්‍රකාශයෙන් පසුව…

Written by

යෞවන යෞවනියන්, තරුණ තරුණියන්ට සමාජයක්, රටක්, ලෝකයක් ගැන නිනව්වක් නැති බවක් තමයි බොහෝ විට අපිට ඇහෙන්නෙ. විශේෂයෙන් ‍අපේ රටේ පොදු කාරණා සම්බන්ධයෙන්, ඇස් පනා පිට පෙනෙන අයුක්තීන් අසාධාරණයන් හමුවේ පවා යොවුන් සහ තරුණ පිරිසගේ මැදිහත්වීමක් ඇත්තේම නැති තරම්. තරුණ ජිවිත දස හස් ගණනින් අහිමි කරමින් අවස්ථා ගණනාවකදීම අප රටේ දියත් වූ භයංකර  රාජ්‍ය මර්දනය මේ උකටලී තත්ත්වයට  බලපා තිබෙනවා වෙන්නට ඇති. අනිත් අතට දශක ගණනාවක් තිස්සේම ජරා ජිර්ණ දේශපාලකයන්, නිලධාරීන්, ආචාර්ය මහාචාර්යවරුන්…….ඇතුළු හෘදය සාක්ෂියක් නැති ආත්මාර්තකාමී වැඩිහිටි පරම්පරාවක් විසින් j දිගටම කරන අසික්කිත රැවටිම්,  අශිෂ්ට කුරිරු පාවා දීම්, අහස පොළොව නූහුලන දූෂණ වංචාවන් හමුවේ, ‘මොනවා කරත්, කිව්වත් කියන pකරන එවුන් චප්ප වෙනවා මිස වෙන පලක් නැත’ යන තිත්ත යථාර්ථයක් විසින් ඔවුන්ව නිෂ්ක්‍රිය කර දමා තිබෙනවා වෙන්නත් ඇති.

  මහපොළ දීමනා, නේවාසිකාගාර ප්‍රශ්න, උපාධිධාරීන්ගේ විරැකියාව ඇතුළු ශිෂ්‍යයන්ට ඍජුවම බලපාන කාරණා වලදී විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් විසින් සංවිධානය කරන උද්‍ඝෝෂණ වලදී හැරුණු කොට, රටේ  ගිනි ගෙන දැවෙන වෙන කිසිම සමාජ දේශපාලන කාරණයකදී යොවුන් හෝ තරුණ පිරිස පෙනෙන්නට ඇත්තේම නැති තරම්ය. එය රටක අනාගතය සම්බන්ධයෙන් බය හිතෙන තරමේ දරුණු නිෂ්ක්‍රිය භාවයකි. ඔවුන් ඇස් කන් පියාගෙන තම තමන්ගේම වූ අති පෞද්ගලික ලෝකවල ජීවත් වෙති. අති බහුතරයක් තරුණ තරුණියන් කොයි මාර්ගයෙන් හෝ රටෙන් පිටවී යන්නට ක්‍රම සොයති. ඔවුන් දේශපාලන අවස්ථාවාදීන් විසින් හප කරන මේ අවසානාවන්ත රටෙන් ඈත වෙන කොහේ හෝ නීතියක් රීතියක් ඇති රටක අනාගතය ගොඩ දමාගන්නා සිහින දකිමින් නිදති. 

 අනිත් අතට යෙවුන්කම, තරුණ කම යනු ‍නොයක් විලාසිතා, ඇඳුං පැළඳුං , කොණ්ඩා මෝස්තර, රොමෑන්ටික් පෝසස්, සෙල්ෆි, ඉවරයක් නැතුව අතන මෙතන අරහෙම මෙහෙම ඉඳගෙන ක්ලික් කර මූණු පොත පුරා අතොරක් නැතුව පළ කරගන්නා ඡායාරූප, ඒවාට එකිනෙකා දාන ඊමෝජි,  තම්බ්ස් අප්, උඩ පනින මීමැස්සන්, ඉටි මල් පොකුරු ඇතුළු ඕලාරික ප්‍රතිචාර ගොන්නක් පමණක් ගාණට ලඝු වී ඇත. ඇත්තෙන්ම තරුණ කම යොවුන් කම යන්නෙහි ලක්ෂණ හැටියට, ඉස්සර නම් ජවසම්පන්නබව, අසාධාරණයට අයුක්තියට එරෙහි වීම, අභියෝග කිරීම, ප්‍රශ්න කිරීම, බය නැතුව කතා කිරීම, ජීවනඅනුරාගය…ආදී ගුණාංග අත්‍යන්තයෙන් බැඳී තිබුණි.  නමුත්, හෘදය සාක්ෂියක් නැති වැඩිහිටි පරම්පරාවක් සහ ප්‍රශ්න කිරීම, අභියෝග කිරීම වෙනුවට නිවට කමේම වහල් බවේම ගිලී හොරුන්ට පීඩකයන්ට වැඳ පුදා ගෙන ඉඳීම ඉල්ලා සිටින අධ්‍යාපන ක්‍රමයක් විසින් මේ ගුණාංග දැරීම අපරාධයක්, සියතින්ම ගෙල ලා ගැනීමක් බවට පත්කර ඇත.

 ඈත ගමක ජීවත් වන භාග්‍යා නම් වූ දහනව හැවිරිදි  යෞවනියක්, සිංහරාජයේ වන විනාශය ගැනත් එහි ජීවත් වන  අහිංසක සත්තුන්ගේ ඉරණම ගැනත්, ළඟදීම මිනිසුන්ට බොන්නට වතුර නැති වෙන අනතුර ගැනත්, මාධ්‍යයක් ඉදිරියට ඇවිත් කතා කරන්නේ එකෙකු දෙන්නෙකු හැර මුළු මහත් තරුණ පරම්පරාවක්ම ඇස් කන් පියාගෙන නිදා සිටින පසුබිමක් තුළය. රටේ සිදුවන මහා විනාශය හමුවේ බලාපොරොත්තුවක් නැතුව ඔත්පල වැටී සිටි මිනිසුන්ට අනපේක්ෂිතව එකවරටම සිදුවූ ඇගේ ඒ ඉදිරිපත් වීම මහා නිරුදක කතරකට වැසි පොදක් වැටුණාක් සේ වී ඇත. අප තවමත්  සම්පූර්ණයෙන්ම මිය ගොස් නැති බවත්, දේහයේ පණ කළඳක් ඉතිරි වී ඇති බවත් ඇය නිසා දැනෙන්නට පටන් අරගෙන ඇත. භාග්‍යා එන්නේ කොළඹ වරප්‍රසාදිත පවුලකින් වත්, කොළඹ ලොකු ඉස්කෝලයකින්වත් නොවේ.

සිවිල් බලයක් සහිත නෑදෑ හිතවතුන් කිසිවෙක් ඈට ඉන්නා බවක් පෙනෙන්නට නැත. ඇගේ නිවෙසේ පින්තූරද  දෙමාපියන්ගේ කතාබහද අනුව ඔවුන් හොඳටම දුප්පතුන් බව පැහැදිිව පෙනේ. ඇය උසස් අධ්‍යාපන උපාධි, විදේශ ශිෂ්‍යත්ව ලැබූ විද්වත් සමාජයකට අයිති කෙනෙකුද නොවේ. ඇත්තෙන්ම ඇයට කිසිම පැත්තතින් බලයක් ඇති බවත් පෙනෙන්නේ නැත. නමුත් ඇය තමන්ට කිසිම පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් නොලැබෙන, රටේ පුරවැසියන්ගේත්, ලෝකයේත් පොදු උරුමයක් කුරිරු ලෙස විනාශ කර දමන අයුරු ගැන විශාල අනුරාගයකින්, පැහැදිලි ව්‍යක්ත සිංහල වචන යොදාගෙන, දැවැන්ත පෞරුෂයකින් යුතුව කතා කරයි.

ඇය නිසා දැන් මේ විනාශය ගැන රටේ සාමාන්‍ය පුරවැසියන්ගේ ඇස් ඇරී ඇත. පොඩියට ඉඳගෙන ඇය කර ඇත්තේ විශාල සුවිශාල මැදිහත්වීමකි. පරිසර සංවිධානද, නොයෙකුත් සිවිල් සංවිධානද, දේශපාලන පක්ෂද මේ වන විනාශය ගැන වරින් වර කොතෙකුත් මැදිහත්වීම් කර තිබුණත් භාග්‍යා රූපවාහිනි චැනලයක විනාඩි කීපයක් අරන්  ‘ මේ උදේහවා බස් එකේ යද්දි එද්දි මට පේනවා’ කියමින් ඒ ගැන කතා කිරීම ඒ සියළූ මැදිහත්වීම් වලට වඩා ප්‍රබල ලෙස සමාජයටත්, අදාළ දේශපාලකයන්ටත්, නිලධාරින්ටත් දැනී ඇති බවත් පෙනේ. ප්‍රබල පුරවැසි හඬක බලය එවැනිය. භාග්‍යා ඒ කතා කරේ තමන්ට දෑහින් පේන ඇත්තය. එය ඉතා හොදින් කියන්නට හැකි දියුණු භාෂාවක්, සරු වාක්කෝෂයක්, කවි කතා ආදියෙන් උපුටා ගන්නට තරම්  සාහිත්‍ය දැනුමක් ඇය සතුය. සියල්ලට වඩා ඇය තුළ පැහෙන අනුරාගයක් ගස් කොළං ගැනත් සතා සීපාවා ගැනත් ඇත.

ගස් කොළං, සතා සීපාවා විනාශ කිරීමෙන් හුස්ම ටිකද වතුර ටිකද නැති වන බව ඇය  හොඳින් දන්නා බව පෙනේ. භාග්‍යා K, සක්‍රිය පුරවැසියෙකි. දිදුලන හදවතක්ද මනුෂ්‍ය සමාජය ගැන කැක්කුමක්ද ඇයට ඇත. ඇය අපේ කාලයේ විරල තරුණ ආත්මයකි. ‍රටේ ඉහළම නායක කාරකාදීන්ගේ අනුදැනුමද අවසරයද ඇතුව සිදුවන සිංහරාජ වන විනාශය හෝ වෙත් මහා සංහාරයක් ගැන ගැන කතා කරන්නට කට ඇරීම ඔලුව ගලේ ගසා ගැනීමක් යැයි අහිංසක ගැමියන් මතු නොව පරිසරය ආරක්ෂා කිරීමේ රාජකාරී වගකීම් දරන අය පවා සිතන පසුබිමක භාග්‍යා තුළ තිබූ ධෛර්යය ඇත්තෙන්ම පුදුමාකාරය. සිංහරාජය කපා වනසා ඉදි කරන ‍හෝටලයේ පවුලේ කාට හෝ  රස්සාවක් සොයා ගැනීම වැනි ඉලක්කයක නැවතී කර බා සිටින්නේ නැතුව ඇය මේ විනාසයට එරෙහිව කතා කරන්නට යෑම ඇත්තෙන්ම  විරල හයියක්ය. ඇයට මඩ ගසන උන් ඇය මීඩියා ප්‍රොජෙක්ට් එකක කෑල්ලක්, ජේ වී පී කාරියක් ආදී මොනවා කිව්වත්, ඒ හයියේ වටිනාකම බාල  වන්නේ නැත. මොනවත්ම නැතත්, දුප්පත් වුණත්, ලොකු බල පුළුවන්කාර කමක් නැතත්, අඩුම ගානේ තමන්ට ඔප්පුවකින් අයිති ඉඩමක් කඩමක්වත් නැතත්,  තමන් තුළ අදීන, අති පොහොසත් ආත්මයක් ඇති බව ඇය පෙන්වා ඇත.  

 ඒ නිර්භිත ප්‍රකාශයෙන් පසුව භාග්‍යා දැන් සිටින්නේ ලේසි පහසු තත්ත්වයක නොවන බව අපි දනිමු. ඇය ජීවත් වන්නේ මුහුණු පොතේ හෝ මාධ්‍ය ආයතනයක රෙකෝඩිං ස්ටුඩියෝ එකක් තුළ හෝ නොවන නිසා බොහෝ අය ඇය වෙත පසසා බොහෝ දේ ලියා තිබුණත්, අර ගමේ ගෙදර ජීවත් වෙමින් තමන්ට එරෙහිව දේශපාලකයන්ගෙන්, නිලධාරීන්ගෙන්, දේශපාලන හෙංචයි රස්තියාදුකාර චණ්ඩින්ගෙන් එල්ල වන තර්ජන කෙණෙහිලිකං වලට මුහුණ දීමේ දුෂ්කර අභියෝගයට ඇය තනිව මුහුණ දිය යුතුව ඇත.

ඇය මගතොට තනිව බස් එකේ කෝච්චියේ යා යුතුය. ඇගේ නිර්භීත කමින් රිදුණු පෑරුණු අය ඇයට මර උගුල් අටවන විට ඒවාට ඇය මුහුණ දිය යුතුව ඇත්තේ තනිවමය. ඒ නිසා මේ උණුසුම පවතින සතියේ පමණක් නොව,  දිගින් දිගටම ඇය වෙනුවෙන් පෙනී සිටිම, ඇයට ආරක්ෂාව සැලසීම වෙනුවෙන් කළ හැකි ‍දේ කිරීම අත්‍යවශ්‍යය. දැනටමත් නීති‍ වේදීන් පිරිසක් ඇය මුණ ගැසෙන්නට ගොස් ඇගේ රැකවරණය වෙනුවෙන් කළ යුතු නීතිමය මැදිහත්වීම කරන්නට සූදානම් බව දැනගන්නට ලැබීම සහනයකි. රට පුරා තව තවත් යෞවන පිරිස්වලට, කොළඹ පාසල් වල පරිසර සංගම්වලට, විශ්ව විද්‍යාල සිසුන්ට ඇයට එකතු විය හැකිනම්, එය විශාල ශක්තියක් වනු ඇත.  අපට අහිමි වී යමින් තිබෙන, අසාධාරණයට එරෙහිව සටන් කිරීමේ යෞවන අනුරාගය නැවත ඇවිලවීමට ‍භාග්‍යා නිමිත්තක් කර ගත හැකිය.

ග්‍රේටා තන්බර්ග් තනිව හුදෙකලාව ඇරඹූ සටන අද වන විට ලෝකය පුරා ව්‍යාප්ත දැවැන්ත සටනක් බවට පත් වී ඇති ආකාරය ගැනත් බොහෝ දෙනෙකු ලියා තිබෙනවා මම දුටුවෙමි. හැබැයි ඉතිං භාග්‍යා උපන්නේ ලංකාවේය. මේ අන්තිම ටිකත් නොකියා මේ සටහන ඉවර කිරීම අසාධාරණය. භාග්‍යාට වයස අවුරුදු 19 කි. කැලෑ කැපීම ඇතුළු මේ රට විනාශයෙන් විනාශය කරා ඇදගෙන යන ජනාධිපති අගමැති ඇතුළු නින්දිත මැති ඇමතිවරු සහ ඔවුන්ගේ පා ලෙවකන නිලධාරින්, ආචාර්ය මහාචාර්යවරු බොහොමයක් නරුම නාකින්ය. උන් අද කරන විනාශයේ විපාක අත්විඳින්නට සිදුවන්නේ තරුණ වියේ සිටින භාග්‍යා ගේ සහ ඇගෙන් පසු පරම්පරාවලටය. මේ රට ගහක් කොළක්, වතුර උල්පතක් නැති, හුස්ම ගන්නට පිරිසිදු වාතයක් නැති තත්වයකට ඇද වැටෙන දාක එහි ගොදුරු වන්නේ අද ලොකු පුටුවල ඉඳ මේ විනාශය කටින නාකි උන්දැලා නොව, අපේ දරුවන්ද ඇතුළු භාග්‍යා සහ ඇයට පසු පරපුරයි. ‍ආත්මර්ථකාමී වැඩිහිටි පරපුරක් විසින් මේ හප කරන්නේ උන්ට ජීවත්වීමට ඇති රටයි. 

තමන්ගේ අනාගතය රැක ගැනීමට යෞවන තරුණ බාල පරම්පරාව නොපමාව ඉදිරිපත්විය යුත්තේ ඒ නිසයි. ඒ ඉදිරිපත්වීමට ධෛර්යය සැපයීම තමන්ගේ දරුවන්ට ආදරේ කරන අප සියළු දෙනාගේ යුතුකමයි.

 – නදී කම්මැල්වීර

Article Categories:
විශේෂාංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares