editor

editor

 

ලාංකික මුස්ලිම් ජනයා සන්නිවේදන කටයුතු කරන්නේ දෙමළ බසින්. එසේම දෙමළ භාෂාව ලිවීමේ හා භාෂණයේ මාධ්‍ය හැටියට භාවිත කළ පමණින් ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාව නැති වෙන්නේ නැහැ. මට එසේ කියන්න සිතුණේ ඇතැම් අය මුස්ලිම් ජනයාගේ සංස්කෘතික අනන්‍යතාව පිළිගැනීමට අකමැත්තක් දක්වන බව නොයෙක් අවස්ථාවලදී අසන්න දකින්න ලැබී ඇති නිසයි. මුස්ලිම් ජනයා සතු ඒ සංස්කෘතික අනන්‍යතාව පෙන්නුම් කිරිමට ඉතාම වැදගත් සාක්ෂි සපයන මාධ්‍යයන් වශයෙන් සැලකිය හැක්කේ ඔවුන් සතු සාහිත්‍ය කලාවන්ය කියා මා සිතනවා.
 
මෑතකදී මා අතට පත් මුස්ලිම් ජනයාගේ ජීවන තතු පදනම් කරගත් කෙටිකතා සංග‍්‍රහයක් කියවද්දී තමයි මට සිතුණේ ‘පොල් අරඹයි තල් අරඹයි’ කොලමේ මේ ගැන යමක් ලීවොත් හොඳය කියා. මේ කතා සංග‍්‍රහය නම් කර තිබෙන්නේ ‘සැඩ සුළං මැද මඳ පවනක් ’ කියායි. මීට පෙර දෙමළ හා මුස්ලිම් ලේඛකයන්ගේ සාහිත්‍ය නිර්මාණ ගණනාවක්ම අපට හඳුන්වා දී තිබෙන ජී. ජී. සරත් ආනන්ද ලේඛකයායි මේ කෘතියත් පරිවර්තනය කර තිබෙන්නේ. ශ්‍රී ලාංකික මුස්ලිම් ලේඛක ලේඛිකාවන් දස දෙනකුගේ නිර්මාණ මේ කතා සංග්‍රහයට ඇතුළත් වී තිබෙනවා.
 
කතා සංග්‍රහයට ඇතුළත් කතා වගේම ඊට එක්කර තිබෙන පෙරවදනත් මා මුලින් සඳහන් කළ මුස්ලිම් ජනයාගේ සංස්කෘතිය පිළිබඳ ගැටලුව නිරාකරණය කිරීමට ලොකු රුකුලක් සපයන බව පෙනෙනවා. ‘ශී‍්‍ර ලාංකික දෙමළ සාහිත්‍යයේ මුස්ලිම් ලකුණ’ හිසින් ප්‍රවීණ ලේඛක හා පරිවර්තක දික්වැල්ලේ කමාල් ලියා ඇති පෙරවදන මුස්ලිම් ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ සැකමුසු බැලුම් හෙළන අන්තවාදීන්ට කදිම පිළිතුරක් සපයා ඇති බවයි මට හිතෙන්නේ. කමාල් පවසන ආකාරයට ලාංකික ජන කොටස් තුනක් දෙමළ භාෂාව භාවිත කරනවා. එනම් උතුරු නැ‍ඟෙනහිර ජීවත් වන දෙමළ ජනයා, වතුකරයේ ජීවත් වන වතු කම්කරු ජනයා හා දිවයිනේ විවිධ පළාත්වල විසිර සිටින මුස්ලිම් ජනයාත් වශයෙන්.
 
මෙසේ දෙමළ හා සිංහල ජනතාව සමඟ මුසු වී රටේ විවිධ පෙදෙස්වල ජීවත් වන මුස්ලිම් ජනයා සමස්ත ජනගහනයෙන් සියයට අටක් පමණ වුවද මෙරට සාහිත්‍ය හා කලා නිර්මාණවල සංවර්ධනය වෙනුවෙන් ඔවුන් ලබා දෙන දායකත්වය සුළුපටු නොවන බවයි දික්වැල්ලේ කමාල් පෙන්වා දෙන්නේ. ඒ වගේම දෙමළ බස වහරන ජනයාට රටේ බහුතරයක් වන සිංහලයාගේ සමාජ සංස්කෘතික වටිනාකම් පහදා දීමට මුස්ලිම් විද්වතුන් ඈත අතීතයේ සිටම දායක වී ඇති සැටි ඔහු නිදර්ශන සහිතව පෙන්වා දෙනවා. දෙමළ බසින් රචිත ලාංකික මුල්ම නවකතාව වන 1885දී පළ වූ ‘අසන්බේ සාරිත්තිරම්’හි කතුවරයා මුස්ලිම් ජාතිකයකු වන සිත්ති ලෙබ්බෙ බව ඔහු පෙන්වා දෙනවා.
 
එය ප්‍රථම සිංහල නවකතාව බිහිවීමටත් පෙරම පළ වීම මගින් මුස්ලිම් ප්‍රජාව සාහිත්‍ය කලා ආදිය කෙරෙහි උනන්දුවක් නැති වානිජත්වයට නැඹුරු ජන කොටසක් ලෙසින් ඇතැමුන් තුළ ගොඩනැඟී ඇති දුර්මතයටද දික්වැල්ලේ කමාල් පිළිතුරු සපයනවා.
 
ලාංකික මුස්ලිම් කෙටිකතා සිංහල පාඨක සමාජයට හඳුන්වා දීමට සරත් ආනන්ද ලේඛකයා දරා ඇති උත්සාහය වැදගත් වන්නේ මේ පසුබිම මතයි. මේ කෘතිය සඳහා දික්වැල්ලේ කමාල්ගේද සහය ඇතිව සරත් ආනන්ද තෝරාගෙන තිබෙන කතා දහය මගින් මුස්ලිම් කෙටිකතාවේ විකාශනය පිළිබිඹු වීමද අගය කළ යුතු කරුණක්.
 
ජ්‍යෙෂ්ඨ හා තරුණ නියෝජනය සේම ලේඛකයන් කෙරෙහි සේම ලේඛිකාවන් වෙතද අවධානය යොමු කිරීම හේතුවෙන් මුස්ලිම් ජනතාවගේ සමාජ සංස්කෘතික ජීවිතය පිළිබඳව පුළුල් චිත්‍රයක් නිර්මාණය කිරිමට පරිවර්තකයා සමත් වී ඇති සැටියකුත් දකින්න පුළුවන්.
 
කතා සංග‍්‍රහයට ඇතුළත් නිර්මාණ දෙකක් වන කේ. එම්. එම්. ෂා හෙවත් පිත්තන් නම් ජ්‍යෙෂ්ඨයාගේ හා ලරීනා අබ්දුල් හක් තරුණ ලේඛිකාවගේ කතා දෙක මීට කදිම නිදසුනක්. පිත්තන් 1921දී නැ‍ඟෙනහිර පළාතේ උපත ලද ලේඛකයෙක්. පිපාසය නමින් ඔහු ලියා ඇති කෙටිකතාවට පසුබිම් වන්නේ දෑවැද්ද සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් තමාට යෝජනා කළ මනාලයා තම අසල්වැසි යෙහෙළියට හිමි වන සැටි දකිමින් ළතැවෙන තරුණියක් පිළිබඳ කතාවක්. එසේම ලරීනා අබ්දුල්ගේ කෙටිකතාවේදී පාඨකයාට මුණ ගැසෙනුයේ නුතන සමාජ ගැටලු හමුවේ ව්‍යාකූලත්වයට පත් තරුණියක් පිළිබඳවයි.
 
එම්. සමීම්ගේ කතාවද පාඨක සිත් ඇඳබැඳ ගැනීමට සමත් නිර්මාණයක් ලෙස හැඳින්විය හැකියි. දුගී බව මෙන්ම සමාජ අසාධාරණයත් මනා ලෙස සිතුවමට නඟා ඇති මෙම කතාවේ වඩාත් අපූර්ව ලක්ෂණය ලෙස මා දකිනුයේ මිනිස් සිත විවරණය කිරීමට ලේඛකයා දක්වන සූරත්වයයි. තම තරුණ බිරිඳගේ දෑස සුවපත් කරගැනීමට අවශ්‍ය මුදල සොයාගත නොහැකිව ළතවෙන දුප්පත් සැමියා වරෙක ඇය ගමේ ධනවතාට පාවා දිමට කල්පනා කරනුයේ වෙනත් විසඳුමක් සොයාගත නොහැකිවයි. ඒත් සමඟම ගෙදර නවාතැන් ගෙන සිටින මහල්ලා සතුව මුදල් ඇති බවත් ඔහුට කල්පනා වෙනවා. එවර ඔහුගේ සිත මෙහෙයවෙන්නේ මහල්ලා මරා ඒ මුදල සොරා ගැනීමටයි. එහෙත් අවසානයේ මහල්ලාම ස්වෙච්ඡාවෙන් තමා සතු මුදල් තරුණ සැමියාට ප්‍රදානය කරනවා. කෙටිකතා කලාවේ ලේඛකයා සතු ශිල්පීය හැකියාව මෙන්ම ජීවන දෘෂ්ටියත් මනා සේ සුසංයෝගි වූ කතාවක් ලෙස මෙය හැඳින්විය හැකියි.
 
මේ කතා සංග්‍රහයට ඇතුළත්ව තිබෙන සෙසු කෙටිකතාද අඩු වැඩි වශයෙන් මුස්ලිම් සංස්කෘතියේ විවිධ පැතිකඩ නිරූපණය කරනවා. දික්වැල්ලේ කමාල්ගේ සැඩ සුළං මැද මඳ පවනක් නම් කතාවේද කාලින ප්‍රශ්නයක් සාකච්ඡාවට ලක් කරනවා. කාත්තන්කුඩියේ ෆාතිමා, එම්. එච්. එම්. ෂම්ස්, ඒ. ඉක්බාල්, එම්. එස්. අමානුල්ලා, කැකිරාවේ සහනා හා බ. ආබ්දින් මේ සංග්‍රහයට නිර්මාණ දායකත්වය ලබා දී ඇති සෙසු ලේඛක ලේඛිකාවන්. මේ කතා සංග්‍රහයට පසු වදනක් සපයන නිලාර් එන්. කාසිම් පවසන ආකාරයටම සිංහල හා මුස්ලිම් ජන සමාජයේ අන්‍යෝන්‍ය අවබෝධය පුළුල් කිරීමට සේම ජාතික සබැඳියාවට අත්වැලක් සපයන්නටත් මේ පරිවර්තන කාර්යය ඉවහල් වනු ඒකාන්තයි.
 
සටහන : කමල් පෙරේරා 
රැඳවියන් යන නාමයෙන් අත්අඩංගුවට ගත්ත ද ඔව්හු සැබෑවට ම සිරකරුවෝ වූහ. රාජ්‍ය විරෝධීන් ලෙස සැක කළ හැකි සෑම අයෙක් ම සිර අඩස්සියට පත් වූවා සේ ය. උසාවියෙන් දඬුවම් ලබා පැමිණි පිරිසට සිර ඇඳුම වූ ජම්පරය හිමි වූ අතර සැකකරුවෝ සාමාන්‍ය ඇඳුමෙන් ම සැරසී සිටියහ.
දැවැන්ත සිර කඳවුරේ ඩී වාට්ටුව පිහිටා තිබුණේ බෝ ගසක් අසල ය. එය දෙමහල් ගොඩනැගිල්ලකි. රෝගී රැඳවියන්ව යටි මහලේ ෂෙල් කාමර තුළ රඳවා සිටියේය. මම උඩුමහලේ වාට්ටුවට කොටුවීම ගැන සතුටු වීමි. ඒ යකඩ කූරුවල එල්ලී ඈත බැලිය හැකි නිසා ය. උඩුමහලට පිට්ටනියක් සහ මුඩුක්කු පෙලක් ඈතින් දර්ශනය වේ. මේ මුඩුක්කු පෙල අතරින් වරින් වර හූ හඬ නගමින් පුංචි කෝච්චියක් ගමන් කරයි. මෙය අපට යම් අස්වැසිල්ලක් විය. යට මහලේ ෂෙල් කාමරවල රැඳවියන්ට පෙනුනේ අහස පමණි. කාකි පාට නිල ඇඳුමින් සැරසුණු ජේලර් ගාඩ්ලා බැටන් පොලු අතැති ව බෝගස යට ගල් බංකුවක් උඩ දිවා රාති‍්‍ර රාජකාරියේ නියැළෙයි. ඔවුන් මොහොතකට රාජකාරිය නිසා සිර ගත වූවා සේ ය.
 
 
ඉංග‍්‍රීසි වෛද්‍යවරයකු හැර විවිධ තරාතිරම් වල අය ඩී වාට්ටුව තුළ රඳවා තැබිණි. රැඳවියන් අතර වැඩි පුරම හිටියේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ය. එහෙත් ඔවුන්ගෙන් බොහෝ අය කෙටි කලකින් නිදහස් වී ගියේ ය. කළ වරදක් හෝ නිදහස් වන කාලයක් ගැන නොදත් අපි ක‍්‍රමයෙන් ගැඹුරු වාද විවාද සංවාද විසංවාද අතර සැරි සරන්නට වීමු. දර්ශනය, දේශපාලනය, කලාව ගැන රැඳවියන්ගේ හඬ කොතරම් තීව‍්‍ර වූයේ ද යත් වරෙක වහලයේ සිටි පරෙවියන් පවා කුලප්පු වුණේ ය.
කාලය යනු කුමක් දැයි සිරකරුවෙකුට කවදත් ප‍්‍රශ්නයකි. ඔරලෝසුවේ කටු නිවැරදි කාලය වාර්තා කළ ද සිපිරිගෙය තුළ කාලය ගෙවී යන්නේ බොහෝ සෙමින් ය. කාලයත්, මනසත් තුළ ඇති ගූඩත්වය අවබෝධ කර ගැනීමට පැය කාලක්වත් සිරගත වීම හොඳටෝ ම ප‍්‍රමාණවත්ය.
 
 
 
දුහුල්ලෑවගේ වයස අවුරුදු විසි අටකි. වයසට වඩා මේරූ මුහුණක් ඇති ඔහු තලඑළලු ය. උසය; නිතර ම කෙස් අවුල් වී තිබේ. නෙත් තරමක් විශාල ය. දුහුල්ලෑව කිසිම දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටියේ නැත. එහෙත් ඔහු මාක්ස්වාදයට ගරු කළේ ය. එකළ දේශපාලන සිර ගෙදරක ගාල් වීමට එය ප‍්‍රමාණවත් ය. වාට්ටුව පුරා එහෙ මෙහේ සක්මන් කරන ඔහු වරෙක නැවතී හිටගෙන ම වාද විවාද වලට සවන් යොමු කරයි. මුලදී බොහෝ අය ඔහු සී.අයි.ඩී. කාරයෙකු ලෙස සැක කළේ ය. කල් පසුවන විට ඔහු දර්ශනී කියමින් සිහිනෙන් හඬන්නට විය. දර්ශනී යනු ඔහුගේ ආදර පෙම්වතියයි. ඔහු පිළිබඳ අනෙකුත් දේශපාලන රැඳවියන්ට තිබූ සැකය ඔහුගේ කඳුළුවලින් ම සේදී ගියේ ය.
 
ජීවිතයේ සියලු බලාපොරොත්තු සුන් කර දමා නිදා ගන්නට පැදුරක් හෝ රෙට්ටුවකුත්, හිසට තැලී ගිය කොට්ටයකුත් දිය නෑමට කබල් ටින් එකකුත් දී සිරගත කරන සිරකරුවෙකුගේ මානසිකත්වය ගැන අවබෝධ කරගත හැක්කේ සිරගත වූවෙකුට ම පමණි. එහෙත් ඔව්හු අවට පරිසරයෙන් අත්‍යවශ්‍ය උපයෝගිතා උපකරණ රහසේ නිෂ්පාදනය කර ගනිති. දේශපාලන රැඳවියෙකුට නිදහස යනු ඒ මොහොතට වචනයක් පමණි. සමහර විට නිදහස යනු මරණය වන්නට ද බොහෝ දුරට ඉඩ තිබේ. එහෙත් නිදහස ගැන සිතමින් ම ඔව්හු සිරගත කාලය ගෙවා දමයි. දේශපාලන රැඳවියන්ගේ කාංසාවේ ගැඹුර කෙතෙක් ද, එපමණක් ටම සිරගෙදර පොත පතින් ආඪ්‍ය වේ. එහෙත් දුහුල්ලෑව කිසි විටක පොත් ගුල්ලෙක් වූයේ නැත. ඔහු ඔහුගේ පෙම්වතිය ගැන ප‍්‍රසිද්ධියේ සිතමින් කාලය ගත කළේ ය. ඔහුගේ සැප දුක් සොයන්නට වැඩිපුර ම විසිට් ආවේ ද පෙම්වතිය පමණි. ඇය පැමිණි දින ඔහු සතුටින් කාලය ගත කරයි. ඉක්බිති ඒ සතුට සදය සතුටක් බවට පත්වේ.
 
දිනක් බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබන රැඳවියන් ගේ අතපය මාංචුවලින් නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන් විසින් එක් දින ආහාර වර්ජනයක් දියත් කරන ලදී. එදින කුස ගින්නේ උවත් සතුටින් සිටියේ දුහුල්ලෑව පමණි. ඒ එදා ඇයගේ පෙම්වතිය විසිට් එකට පැමිණි නිසා ය.
“දුහුල්ලෑව බඩගිනි එහෙම නැද්ද?”
 
“ගිනි නම් අද ටිකක් අඩුයි.”
“අද කෑල්ල විසිට් එකට ආපු හින්දා වෙන්නැති”
 
“ඒකි කවදාවත් නෑවිත් ඉන්නෙ නෑ”
“කවද හරි එයා වෙනස් උනොත්”
“මට ඉර හදටත් වඩා විශ්වාසයි.”
“කොහොමද එයාව හම්බ උනේ.”
“ඇත්ත දේශපාලනය හොයන්න ගිහිල්ල. අසාධාරණේට විරුද්ධව සටන් කරන්න ගිහිල්ල. හැබැයි එයාව හම්බ උනාට පස්සෙ මට දේශාලනය දෙවෙනි අංකය වුණා.”
 
“කොච්චර කල් ද”
“ලබන නවවෙනිදට හරියටම අවුරුදු පහයි”
“තාම කසාද බැඳල නැද්ද”
“විශ්වාසය තියනව නම් බඳින්නෙ මොකටද? නොබැන්දත් බැන්ද වගේ තමයි. දරුවෙක් විතරයි අඩු.”
“දරුවෙක් හදන්න බලාපොරොත්තුවක් නැද්ද?”
“දරුවො හදන්න නිදහස් වෙන්න එපෑ”
ඔහුගේ කතාවෙන් මගේ මනස බොහෝ කලකිරුණේ ය. ඒ මා සිරගත වී තුන් මසකින් වගේ පෙම්වතිය මා හැර ගිය නිසා ය. මට දුහුල්ලෑව කෙරෙහි සියුම් ඊර්ෂ්‍යාවක් ඇති විය. මම අවේලාවේ නිදාගන්නට තැත් කළෙමි. එහෙත් නින්ද මා අසලකටවත් පැමිණියේ නැත. දුහුල්ලෑව කොතරම් වාසනාවන්තයෙක් දැයි යන සිතුවිල්ල මට බොහෝ කරදර කළේ ය.
 
වසා තිබෙන සෝඩා බෝතලයක් සෙලව්වාමෙන් තත්ත්වයක් රැඳවියන් තුළ විද්‍යාමාන වූ දින කීපයක් උදා විය.
ඒ ඉන්දියන් නැව් කීපයක් අප රට අසල සාගරයේ නැංගුරම් ලා තිබි කාලයයි.
“ඉන්දියන් හමුදාව අපේ මුහුදු සීමාව අසලට ඇවිත්ලලු”
 
“ඉතින් මට මොකෝ” දුහුල්ලෑව සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේ ය.
“බලවත් රටක් දුර්වල රටක් ආක‍්‍රමණය කරපුවා ම ඉස්සරල ම පෝලිං ගස්සල මරල දාන්නෙ දේශපාලන රැඳවියන් ව.”
“මගේ අංක එක මම නෙවේ දර්ශනී. අංක දෙක රට. ඒ මගේ සමාජවාදය”
“අපි හිතුවෙ දුහුල්ලෑවට අංක එක ඔය බිත්තියේ ඉන්න හූන කියල”
 
කාංසාව නිසාදෝ බොහෝ විට හිරකරුවෝ විවිධ සතුන්ට සමීප වේ. ඕනෑම සිර කඳවුරක විශාල බළල් පරම්පරාවක් වාසය කරයි. ඒ හැම බළලෙකුටම අයිතිකාරයකු සිටී. පරවියන් කපුටන් පමණක් නොව සමහරු පොල්කිච්චන් සමඟ ද මිතුරු වී සිටී. එහෙත් දුහුල්ලෑවගේ මිත‍්‍රයා වූයේ හූනෙකි. ඉරට්ටෙන් බත් කවා යාළු කරගත් හූනා දැන් දුහුල්ලෑව කෑම කන විට කොට්ටය දිගේ විත් ඔඩොක්කුවට ද පනී. පූසෝ ඈතට වී බලා සිටින්නේ දුහුල්ලෑවගේ පා පහරේ තරම දන්නා නිසා ය.
 
“මොකද ඔය හූනට ඔච්චර ලව්”
 
“සහෝදරයා මට හූනො විශේෂයි. මගෙ දර්ශනීගෙ දකුණු පයේ හූනෙකුගෙ හැඩේ උපන් ලපයක් තියනව. ඉතින් මම එයාට හූනි කියනව. එතකොට එයා මට හූන කියනව.”
 
එක් දිනක් දුහුල්ලෑවටත් මටත් එක ම වේලාවට විසිට් එක ලැබිණි. එදින ඔහු බැලීමට පැමිණ සිටියේ දර්ශනී ය. ඇය පැහැපත් ය. සිහින් ය; තරමක් උස ය; අක්බඹරු කෙස් කළඹ තද කළු පැහැති ය; නීල වර්ණ දිගටි දෙනෙත් ය. ඔහු දර්ශනී ව මට හඳුන්වා දුන්නේ ය. ජේලර් ගාඩ් තැනට ඇති වෙනකම් අපි කතා බහ කළෙමු. නිදහස ලැබුණු පසු ඔවුනගේ නිවසට එන ලෙස ඇය මට ආරාධනාවක් ද කළා ය. විසිට් එක නිම වී මිදුලට විත් ඔහු ඇයගේ දකුණු පාදයේ බත්කෙන්දේ පිහිටා තිබී හූනෙකුගේ හැඩයේ උපන් ලපය මට පෙන්වන විට අසල සිටි ජේලර් ගාඩ් තැන උපහාසාත්මක සිනහවක් පල කළේ ය.
 
තවත් දිනක රැඳවියන් තුළ අමුතු ම ප‍්‍රබෝධයක් මම දුටිමි. ඒ වාට්ටුවට අමුත්තෙක් පැමිණ එහේ මෙහේ සැරි සරන්නට වූ හෙයිනි. අමුත්තා වනාහී තරමක් විශාල වර්ණවත් මල් පෙත්තෙකි. බොහෝ රැඳවියෝ රේට්ටු මත එරමිණියාවෙන් හිඳ උපේක්ෂාවෙන් මල් පෙත්තා යන යන දෙස බලා සිටියහ. විනාඩි තුනක ආස්වාදය සැපයූ මල් පෙත්තා ජනෙල් කූරු අතරින් එළිමහනට ගියේ ය. මොහොතකට මහා පාලුවක් ඇති විය. යකඩ කූරුවල එල්ලී එළියට ගිය මල්පෙත්තා දෙස බලා සිටියේ දුහුල්ලෑව පමණි.
 
“සමනලයා කොහෙද ගියේ”
“නෑ මම මේ බලන් හිටියෙ ඌ හිරගෙදර නරඹල මල්වල පැණිත් බීල නිදහසේ තාප්පය උඩින් එළියට ගියා. අපට වඩා ඌට නිදහස තියනව“
“ඕක මොකක්ද දුහුල්ලෑව. මම දවසක් බෝගහේ කොල වැටෙන දිහා බලාගෙන හිටිය. වේලිච්ච බෝ කොලයක් නිදහසේ තාප්පය උඩින් එළියට පාවෙලා යනව දැකල මගෙ සර්වාංගෙ ම හිරි වැටුණා.
ඉක්බිති අපි කීප දෙනෙක් පරාරෝපණ සංකල්පය ගැන බොහෝ දේ කතා කෙරුවෙමු. එහෙත් දුහුල්ලෑව බරට ම වැඩ ය. ඔහු පරණ දත් බුරුසු කපා බිම අතුල්ලමින් පෝනි කටු සාදයි. ඒ දර්ශනීට තෑගි කරන්නට ය. දර්ශනී ළඟ මේ වනවිට පෝනිකටු සියයකටත් වඩා තිබිය යුතු ය. ඇය ද විසිට් එන විට ඔහුගේ සුරතින් නිම වූ පෝනි කටු පැළඳ එයි. එයින් ඔහු ලබන සතුට කෙබඳු විය හැකි ද?
 
“ඔච්චර ආදරේ කරල කවද හරි වෙන්වෙන්න උනොත් ඔයා මැරෙයිනෙ”
“නැහැ. එහෙම වෙන්නෙ නැහැ. ඒකි පර්ස් එකේ දාගෙන ඉන්නෙ කාල්මාක්ස්ගෙයි, බුදුන්ගෙයි, මගෙයි ෆොටෝ. එයා මටත් ආදරෙයි. රටටත් ආදරෙයි. ඉන්දියන් හමුදාව ලංකාවට ආපු දවසෙ එයා ගොඩක් අඬල තියනව. එයාට හොඳ දේශපාලන ඥානයකුත් තියනව. දර්ශනී කියන්නෙ සාමාන්‍ය කෙල්ලක් නෙමේ.”
පමණට වඩා මහත් වූ ප‍්‍රසන්න මුහුණක් ඇති ජේලර් ගාඩ්වරයා පැමිණ බැටන් පොල්ලෙන් දොරට ගසන්නට විය. වාට්ටුව නිශ්ශබ්ද විය. කුමක් හෝ විශේෂ නිවේදනයක් බව දන්නා රැඳවියෝ එක එල්ලේ ඔහු දෙස බලා සිටියෝ ය.
 
“අංක එකසිය පනස් නමය...
ආ තමුසෙද?... නිදහස්”
සියලු රැඳවියෝ දුහුල්ලෑව වට කරගෙන සුබ පතන්නට වූහ. ඔහුගේ ප‍්‍රබෝධමත් මුහුණ දෙස කවුරුත් උනන්දුවෙන් බලා සිටියෝ ය. ඇඳ පැළඳ ගත් දුහුල්ලෑව මහ හඩින් හඬන්නට විය. රැඳවියෝ රහසේ තමන්ගේ කඳුළු පිස දා ගත් හ. සියලු රැඳවියන්ව සිප වැළඳ ගත් ඔහු බිත්තිය අයිනට ගොස් සීලිමට ආයුබෝවන් කීවේ ය.
“අනේ සහෝදරවරු මගෙ හූන ව හොඳින් බලාගන්න.”
රැඳවියෝ එකිනෙකාගේ මුහුණ බලා ගත්හ. නිදහස් වූ පසු ඔහුගේ ගෙදර එන ලෙස මගේ අත අල්ලා නැවත ඉල්ලා සිටියේ ය. ඔහු හඬමින් ද, අත වනමින් ද පස්සෙන් පස්සට ගොස් ගේට්ටුවෙන් පිට විය.
පැය දෙකකට පමණ පසු මහත ජේලර් තැන හැඟීම් බර මුහුණෙන් ගල් බංකුවේ වාඩි විය. කුමක් හෝ හෝඩුවාවක් බව දැනගත් රැඳවියෝ ඔහු වටා රොක් වූහ.
 
''මිනිහ ගෙදර යන්න පාරට බහිද්දි ම අංක තහඩු නැති වෑන් එකක් නවත්තල මිනිහ ව දාගෙන ගිහිල්ලා”
 
සියල්ලෝ ම මරු විකල්ලෙන් මෙන් කසු කුසු ගාන්නට වූහ. සතියක් පමණ ගතවන විට වාට්ටුව සාමාන්‍ය තත්ත්වයට පත් වූ අතර විටින් විට දුහුල්ලෑව ගැන නොයෙක් කතන්දර ගොතන්නට විය. මම පමණක් නිහඬ ව සිටියෙමි. හිර ගෙදර තුළ තොරතුරුවලට කම්බි යන වචනය ව්‍යාහාර වේ. ජනමාධ්‍යවලටත් පෙර හිරගෙදරට කම්බි ලැබෙන්නේ කෙසේද යන්න වෙන ම හැදෑරිය යුතු කාරණයකි. කම්බි ගෙනෙන ගාඩ් තැන ටික කලකට පසු නැවතත් ගාම්භීර මුහුණින් ගල් බංකුව මත වාඩි විය.
 
“අර හාදය ව මරල ගෑනිගෙ ගේ ඉස්සරහ ටයර් සෑයක පුච්චල දාල.”
 
රැඳවියන් අතර සිටි විප්ලවවාදී හිමි නම වහා උඩු මහලේ කාලකන්නි සඳලුතලයට නැග ආවේගශීලී කතාවක් කළේ ය. ඉක්බිති රැඳවියෝ දින දෙකක ආහාර වර්ජනය කරන්නට කතිකා කර ගත්හ. අපි කුසගින්නේ සිට යටි ගිරියෙන් කෑ ගසමින් කෝපය පළ කෙරුවෙමු.
 
මම දුහුල්ලෑවගෙන් හිස් වූ බිම් තීරයේ මගේ රෙට්ටුව එලා ගතිමි. එහෙත් හූනා නිකමටවත් පහලට බැස්සේ නැත. මම දුහුල්ලෑව ම අනුගමනය කළෙමි. ඉරට්ටුවක් ගෙන බත් ඇට ගසා කන්නට දී ටික ටික හූනා ව පහළට ගන්නට තැත් කළෙමි. හූනා දකින හැම විට ම මගේ හදවත වෙව්ලුම් කා දර්ශනී ව සිහියට නැගේ. දුහුල්ලෑවටත් වඩා මට දර්ශනී ව සිහිවන්නේ ඇයි දැයි මම නොදනිමි. මා රැඳවියන් ට හොරෙන් කඳුළු පිසදා ගත් අවස්ථා ද නැත්තේ නොවේ, දැන් හූනා කොට්ටයට බැස රෙට්ටුව දිගේ මා අසලට පැමිණේ. නිදහස් වූ විගස දර්ශනී ව සොයා ගොස් දුහුල්ලෑවගේ විස්තර කතා බහ කර හූනා ව ඇයට දීමට මම තීරණය කළෙමි. දැන් හූනා සහ මගේ ජීවිතය අතරත් මහා බැඳීමක් ඇති වී තිබේ. මහත ජේලර් තැන ගේට්ටුවට ගසා මගේ අංකය කියා නිදහස් කියන දවස කවදා උදාවිය හැකි ද? පෙට්ටියක දැමූ හූනා දර්ශනීට දුන් පසු ඇගේ ප‍්‍රතිචාරය කෙබඳු විය හැකිද?
 
 ජගත් මාරසිංහ

http://jmaraya.blogspot.com/2015/09/blog-post.html

චන්දන ගුණසේකර 2019 දී ලියූ 'අවුෂ්විට්හී පච්චකොටන්නා', ගෙන් පසු අත තැබූවේ තවත් භාර දූර කාර්ය යකටය. ඒ ස්ටෙෆන් කිංග් ගේ 'පෙට් සෙමෙට්රි' පරිවර්ථනයටය. එය පහසු කාර්යක් නොව. 2019 වසරේ කෙවින් කෝල්ශ් හා ඩෙනිස් වයිඩ්මියර් විසින් අධ්‍යක්ෂණය කළ  ඇමරිකානු ඩොලර් මිලියන 113. කට අධික බොක්ස් ඔෆිස් ආදායමක් ලද 'පෙට් සෙමෙට්රි' චිත්‍රපටය ලොව පුරා ලද ජනප්‍රියත් වය හමුවේ, චන්දන ට සිදුවුනේ , ස්ටෙපන් කිංග් ගේ පොත හා කෝල්ශ් හා ඩෙනිස් ගේ චිත්‍රපටය ට සමගාමිව මෙය ඉදිරිපත් කිරීමය. එය අභියෝගයකට වඩා චන්දනට පැටවුණු ,නැත්නම් ඔහු පටවා ගත් වගකීමක් බදුය.
 
 
වාසනාවකට හෝ අවාසනාවකට මට චන්දන ගේ 'පෙට් සෙමෙට්රි' කියවන්නට ලැබුණේ චිත්‍රපටය කීප වතාවක්ම නැරඹූ පසුවය. චිත්‍රපටය ට මා දැඩිව වශීකෘත වු හෙයින්, චන්දනගේ පොත කියවීමටද දැඩි පිපාසයක් ඇති වුනී. මා සෘහද රංජිත් ප්‍රේමලාල් විසින් එකී පොත මට තෑගී කළේ ඇතැම් විට මගේ ඒ පිපාසය මටත් වඩා ඔහුට දැනී, ඇතිවූ ආත්ම අනුකම්පාවෙන් විය හැක. එය කියවන විට මට දැණුනේ රංජිත් ප්‍රේමලාල් විසින් මට දුන්නෙ මොන තරම් වටිනා ත්‍යාගයක් ද කියාය.
 
 
චන්දනගේ පිටු 720 ක 'පෙට් සෙමෙට්රි' කෘතිය මට එක්වරම කියවීමට හැකිවූයේ නැත. මා එය මාසයක් පමණ කියවන්නට ඇත. එයට මුල් වූ හේතු 2 කක් විය. එකක්, මාගේ කාර්ය බහුල ජීවන රටාවය. අනෙක් කරුණ පොත එක්වරම කියවා නිම කිරීමට තිබූ ලෝභ කමය. එහෙයින් පොත මා රස වින්දේ දිනකට අවම තරමේ පිටු 10 ක් හෝ කියවාය. එය සුන්දර අත්දැකීමකි. දවසේ එක් එක්  කටයුතු වල හිරවූ මට, හිතේ කොනක හෝ රැඳවුනු සතුටක් වුයේ නම් 'අද රෑට පෙට් සෙමෙට්රි පොතේ පිටු 10 ක් කියවනවා නේද' යන සතුටය.
 
 
චිත්‍රපටයට වඩා පොතේ තිබූයේ විශාල පරාසයකි. චිත්‍රපටයක් යනු කිසියම් කාල පාලනයක එළිදැක්වීමකි. එය සීමිතය. නමුත් පොත ක් ලියවෙන විට තමාට අසීමිතව කාලය ගත හැක. එහෙයින් බොහෝ විට චිත්‍රපටයකට වඩා,කෘතිය ප්‍රබල වේ. පෙට් සෙමෙට්රි කෘතිය ද එවැන්නකි. විශේෂයෙන් චරිත විශ්ලේෂණයේදී, ඔහු හැම චරිතයකම මනසේ අභ්‍යන්තරය ඒ අයුරින්ම විදහා දක්වයි. එහෙයින් මෙහී හැම චරිතයකම නොකියන දේ පවා පාඨකයා දැනගනී. ලුවිස්, ජඩ් සමඟ එකට කථා කරමින් බීර බිව්වද, එකී අවස්ථා වේ ලුවිස්ට ජඩ් ගැන හිතෙන හොඳ දේ මෙන්ම නරක දේද චන්දන එළියට දමයි. හැම චරිතයකටම එය ආවේනික වේ. නිදසුනකට රෙචල් ,ලුවිස් ට මුවින් නොකියන එහෙත් හිතේ හිර කර ගෙන සිටින දේ, ලුවිස් නොදැන සිටියාට, පාඨකයා දැන ගනී. චන්දන ඒ චරිත සමඟ ජීවත් වී, ඉන්පසු පාඨකයාට ද ඔවුන් සමඟ ජීවත් වීමට ඉඩ හරියි. පාඨකයාද කෘතිය පරිහරනය කළ කාල සීමාව තුළ දී ලුවිස්, රෙචල්, ජඩ්, නොමා, එලී සමඟ පමණක් නොව, කුඩා ගේජ්වද, තම එදිනෙදා ඇසුරු කරන හිතවතුන් බවට පත් කර ගනී. ඇතැම් පාඨකයන් එකී චරිත ඔවුනගේ පවුලේ සාමාජීකයන් බවටද පත් කර ගනී. චන්දනගේ 'හිප්නොටයිසින්ග්' ලේඛනය එයයි. ඔහුගේ ' අවුෂ්විට්ස් හී පචිචකොටන්නා' ගෙ චරිත පවා තවමත් අප සමඟ සිටී.  චන්දන ඔවුන් ව අතහැර ලුවිස්, රේචල් , එලී, ජඩ්, සමඟ සිටියද, ' අවුෂ්විට්ස් හී පච්චකොටන්නා ' හී චරිත තවම පාඨකයා සමඟ ගැවසේ. ඔවුන් සමඟ ගනුදෙනු කරයි. ඒ චන්දනගේ 'හිප්නොටයිසින්' ලේඛන කලාවය. ඔහු විසින් එම චරිත පාඨක මනසට දැඩිව ම බද්ධ කරයි.  
 
 
'පෙට් සෙමට්රි' හී අද්භූත සිදුවීම් වලට වඩා දැඩි ස්නේහයක් ගලා යයි. එය චිත්‍රපටය තුලදී එතරම් නොදුටවද, කෘතිය කියවන විට නම් හදවතට දැඩිව දැනේ.  ලුවිස් මොනතරම් තම දරුවන්ට ස්නේහයද යන්නත්, අවසානයේදී තම මිය ගිය පුතුව නැවත මිනිවලෙන් ගොඩට ගෙන තම නිවසට කර ගහගෙන යන්නේ ඒ ස්නේහය නිසාය. මෙය විශාල ව්‍යවසනයකට හේතුවක් වෙන බවත්, මෙයින් ඔහුත් ඇතුළු ඔහුගේ ම පවුල, හිතේෂීය න් විනාශ වෙන බව හැඟුනද, ඔහු ට අර ස්නේහයෙන් මිදෙන්නට නොහැකි විය.
 
ස්ටෙපන් කිංග් ලුවිස් ගේ චරිතය මවා තිබුණේ සාමන්‍ය පුද්ගලයෙක් ලෙස වූවද, ඒ පුද්ගලයා තුළ ස්ටෙපන් කිංග්ටත් නොදැනීම, අසාමාන්‍ය මානුෂිකත්වයක් ලියලා තිබුණි. ලුවිස් තමාගේ පවුලට දක්වන දැඩි ලෙන්ගතු කම, විටෙක ආත්මාර්ථකාමි දෝ යැයි සිතේ. ඔහුට ඔහුගේ රැකියාවත්, බිරිඳත්, දරු දෙදෙනාත් හැරෙන්නට වෙන ලෝකයක් නොතිබුණා සේය. චිත්‍රපටය තුළදී අප මෙය දුටුවේ නැත. එහෙත් චන්දන ගේ කෘතිය තුළින් අප ලුවිස්ගේ මේ ආත්මාර්ථකාමි සෙනෙහස පිටුවක් පිටුවක් නෑර දකිනෙමු.
 
චිත්‍රපටයේදී 'එලී කෘතියට වඩා ප්‍රබලය. සිනමාකරුවෝ ට්‍රක් අනතුරට ලක් කරන්නේ ලුවිස්ගේ දියණිය වූ එලීය. ඒ වන විට ඇය අව්රුදු 5 ක් හෝ 6 ක් පමණ ඇති අතර පිරිමි දරුවා ගේජ් නම් අව්රුද්දක් පමණ ඇත. චිත්‍රපටයෙදී ලුවිස් විසින් මිනිවලෙන් නැවත නැගිට්ටවන්නේ තම දියණිය වය. ඇය විසිනි, ජඩ්, රේචල්, හා ලුවිස්ව ඝාතනය කෙරෙනුයේ. නමුත් කෘතිය තුළ ගේජ් හරහා එකී විනාශය සිදුවූවද, එය චිත්‍රපටයේ තරම්ම ප්‍රබල මෙන්ම, ත්‍රාසජනක වූයේ නැත. චිත්‍රපටය සජීව වීමත් කෘතිය තුළින් අප සිත්තුළ සජීවීකරණය කර ගැනිමත් නිසා, චිත්‍රපටයක් තුළ තාක්ෂණීක මෙවලම් හරහා ත්‍රාසය ලබා දීමට හැකිවේ. නමුත් ස්ටෙපන් කිංග් ගේ උත්සහය ට වඩා චන්දනගෙ උත්සහා ය අපතේ ගොස් නැත. ඔහු ඔහුගේ භාෂා විලාෂය උපරිමයෙන්ම පල ප්‍රයෝජන ගෙන එකී ත්‍රාසය තම කෘතිය තුළින් ලබා දීමට උත්සහ කර ඇත.
 
'හොර ර්' චිත්‍රපටයකින් ලබාදෙන ත්‍රාසය ග්‍රන්ථයකින් ලබා දීම පහසු නැත. එකල ඩීමන් ආනන්ද විසින් තම කුඩා පොත් හරහා මිනිවලවල් වලින් නැගිට එන මලමිනි කරන ත්‍රාසජනක ක්‍රියාවන් අරඹයා කථා රාශියක් ලීවේය. ඔහු එම පොත් ආකර්ෂණය කරන්නේ වර්ණ මුද්‍රිතයේ පිට කවර වලිනි. ඒවා මතුපිට මිනිවලවල් වලින් නැගිට එන අවතාර වල පිංතූරු දමා පාඨකයාගේ බිය අවදි කරයි. එස්.ඩබ්ලියූ. ආර්.ඩී බණ්ඩාරනායක ද තම 'මහ හේනේ රීරි යකා' කෘතියෙන් එකල පාඨකයන්ට, හොල්මන් අවතාර ත්‍රාසය ලබා දුනි.
 
නමුත් චන්දන ගුණසේකරගේ 'පෙට් සෙමෙට්රි' තුළින් මා ත්‍රාසයටත් භීතියටත් වඩා දකින්නේ පිතෘ සෙනෙහසය. තම පුත්‍රයා එවන් ඛේදවාචකයක ට මුහුණ දීම ට තමාත් වැරදී කරුවෙකු බව තම හිත කීවත්, ඒ අයුරින්ම මිය ගොස් තමා අතින්ම වැළලු බළලා, මිනී වලෙන් නැගිට නැවත තම නිවසට වී ජීවත් වන්නේ නම් තම මිය ගිය පුතුට නැවත පැමිණ ජීවත් වීමට නොහැක්කේ මන්ද යන තර්කය පවා ලුවිස්ව මෙහෙය වූයේ එකී සෙනෙහසය.
 
බළලා නැවත පැමිණියද, ඒ ආවේ නියම බළලා වූ චර්ච් නොවන බව ලුවිස් දැන දැනත් ඔහු ඌට තමාගේ නිවසේ සිටින්නට ඉඩදුන්නේ, එලී ගේ සිත සනසන්නටය. දැං ඔහු තම පුතුව නැවත මිනි වලෙන් නැගිට්ටවා ගන්නේ ද තම සිත සනසවා ගන්නටය. ඉතිං ගැඹුරම පිතෘ සෙනෙහස යනු එයම නොවේද?. මා චන්දන ගුණසේකර ගේ 'පෙට් සෙමෙට්රි' කෘතිය තුළින් පසක් කර ගත්තේ, ත්‍රාසය භීතියට වඩා, අර උත්තරීතර වූ ස්නේහය ය.
 

  සටහන - ශෝන් මැක්ස්මස් දිසානායක