දෙපා කකියන තුරුම ඇවිද ගිය මල්යාය
මීඳුමේ දුමාරය පෙරවගත් කඳුයාය
මතක ගින්දර වැදී පිච්චෙද්දි හද සෑය
අදත් පහුකර යද්දි හිතට ඔච්චම් පාය
මේ මතක අරන් යන්නට බැරිව මාවැලී
දියත් හඬනවා ගං දෑළ දෙවුරේ වෙලී
උණ පදුරෙ හෙවන යට එකම කුඩයේ ඇලී
පිරිමැදපු හැඟුම් ඒ තරමටම සියුමැලී
අස්ගිරිය උඩින් පායද්දි රෑ තරු රෑන
අත්හරින්නට බයයි අපි දැකපු ඒ හීන
ආයෙ කවදාවත්ම සෙංකඩට නුඹ නේන
මගේ කඳුළුත් අරන් හඬාපන් හන්තාන