11 June 2017 Written by 

නිහඬේ හඬ - නිරෝෂා සුමුදුනී

තුරු හිසින් මෑත් වී අදත් ඉර බැලුවාට 

හිත ඔහේ වැනෙනවා මියැදි ගොක් කොල සේම

මිදුලෙ සුදු වැලි පොළොව වහගත්තු වියළි කොළ

නිහඬවම කියයි නුඹ ආයෙමත් නේන වග

 

 

හෙමි හෙමින් ගාටමින් කුඹුක් ගහ යටින් යන 

දොලපාර කැහැටු වී නොමඇසෙයි සිරික්කිය

පා ගැටී සිළුටු වී ලිස්සනව ඒදන්ඩ

මම තනිව එගොඩ වෙමි රකින්නට නුඹ නැතිව

 

සිලි සිනා සද්දයට බටිත්තන් ඉගිල්ලුණු

බූටෑව පුරා මල් පිපුණාට ඕසයට

දොලපාර සිපගන්න නැවුණු කජුගස් අත්ත

නිසොල්මන් වෙලා අද නුඹ නැතිව පැද්දෙන්න

 

වැව් දියේ කරවටක් ගිලී මෙහෙ බලනකොට

ඔය දෑස් පිල්ලමේ රැඳුණු දිය බිදුවකට

හොරෙන් රිංගූ පාට හිරු රැසක් සීරුවට

ඇන්ද සිතුවමේ පැහැ බොඳ උණා ගං දියට

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.