22 May 2017 Written by 

සුමිතුර.. රකිනු හැකිවද.. සිර කර සොඳුරු කුටියක..සුළඟ... - ඉරේෂා මධුවන්ති

තැනෙක මල් ගොමුය..තැනෙක ගල් බොරළුය.. තැනෙක මහ විල්ය.. තැනෙක මරු කතරය.. තැනෙක උස් කඳුය.. තැනෙක තැනි බිම්ය... තැනෙක මහ වනය.. තැනෙක සුවිසල් නගරය.. තැනෙක තැනි බිම්ය... තැනෙක සුවිසල් නගරය.. තැනෙක පණ ඇති උන්ය.. තැනෙක මිය ගිය උන්ය.. ඉදින්, මේ ලෝකය ය... වටකුරුව නිල නිලන.. ජීවය ද මරණය ද එකට කැටි උන.. ඉදින් මේ ලෝකය ය...

 

 

මම යමි.. වර්ණ පදාසයන් සිප, මලින් මල සුවඳ ගෙන හෙමින් කිති කවමි.. සොඳුරුතම මල් කැකුල, පාන්දර හීතලේ ඇහැරෙනා යුරු දකිමි.. සිප ගනිමි මුකුලු මුව.. කුඩා කහ පැහැ ජීවයක් ගෙන, තවරමි තව මලෙක..මියැදි මල් නටුව අග.. දකිමි ජීවයක ඇරඹුම..

 

මම යමි..වැලිකතර මුව සිඹිමි.. අතින් වැලි අහුරු ගෙන, වෙර යොදා විසි කරමි.. පතොක් කටු පඳුරු හැම, වැලි තලේ ගිල්වමි.. බුර්කාව යට වැතිරි, හදක් නොදැකම දුවමි.. වැලි හෙලා දස අතම.. යලි යලිත් පහර දෙමි..

 

මම යමි.. මහ තුරු ද සොලවමින්.. කිති කවා ළපළු අග, සිනා කැන් වගුරුවමි.. ඉරාගෙන හරිත සළු ඉපල් අතු කොණහමි.. මහ රුකක් බිම හෙලා, සිනාසෙමි සිනාසෙමි.. කුරුළු කැල බැඳි කැදලි, නලවමින් ගී ගයමි.. සැඟව ගිය තණ පතක්, සීරුවට සිප ගනිමි..

 

මම යමි... තුංග ගොඩනැගිලි ඉහ, දිශාමානක දකිමි.. කළු ගැහුණු දුම් වළා, ඈතටම රැගෙන යමි.. කිඹුහුමෙන් පවුරු වුව, බිඳ හෙලා නිදි කරමි.. පොඩි පැටව් නිදන වග, සඳ දකිනු රිසි බැවින, පියසි ගලවා හෙලමි.. ලයිට් කම්බියක මැද, තුරක් වත්තම් කරමි.. උයන් තෙර කෙළවරම, හාදුවක රස බලමි..

 

මම යමි... දස අතම සැරිසරමි.. නැළැවෙමින් හිනැහෙමින්.. බෝ තුටින් ඉඟි මරමි.. ගොරවමින් ඉකිලමින්, වෙර නගා ඉගිල යමි.. කැරකෙමින් කෑ ගසා, කෝපාන්විතව යමි.. ප්‍රේමයද වෛරයද, සිනහවද දුකඳුලද.. පසු පසම රැගෙන යමි..

 

ඉදින්, 

සුමිතුර.. රකිනු හැකිවද.. සිර කර සොඳුරු කුටියක..

සුළඟ...

 

Last modified on Monday, 22 May 2017 00:26

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.