09 November 2016 Written by 

ගෞරව - යෙස්මින් සමන්ති

විදුලි වේගෙටත් වැඩියෙන්

ලාභ ප්‍රතිශතේ ඉහළට

නැගෙන යුරු බලා හිණහෙන

අනේ මහතුනේ ගෞරව....

 

 

බෙදා මිටි පිටින් නිල් කොළ

වේසියක් කරල දෙවඟන

කැකිල්ලේ නීතියෙන් වසා නිරුවත

බුද්ධිමත් මහතුනේ ගෞරව.....

 

හඬන්නට පවා වෙර නැති

නෙරාගෙන ඉළ ඇටද හතිලන

පොඩි උන්ගෙ හෙට දිනයි මැරුවෙ ඔය බිලියන

ගණින මහතුනේ ගෞරව.....

 

කඩාගෙන වැටෙන හිස මත

අමු සොහොන් පලේ පැල් තුල

ගුලි ගැසී නිදියන උන්ගෙ සිහිනයයි සොරකම්

කලේ මහතුනේ ගෞරව....

 

ගිනි ගනිද්දී ඉර සමඟ පොර බැඳ

හතිලමින් දුවද්දී වැටි වැටී මහමග

ගලපු දහදියයි උන්ගේ.. ඔය කර වට

පලඳින්නෙ මහතුනේ ගෞරව.....

 

ජීවිතේ තව දිනක් වෙනුවෙන්

ඔසු බිඳක් සොයා ගත නොහැකිව

ගල් වෙනා රුධිරයයි උණු කර සව්දිය

පුරන්නේ මහතුනේ ගෞරව....

 

රටක් උගස් කර සළු වෙන

දනන් හිඟමනේ ඇර රජ වෙන

කාසියේ දෙපැත්තම ජය දෙන

නමක් වෙනස් කර විතරද හොරු රැළ

යහපාලනේ ගෞරව....

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.