පැවැති ආණ්ඩුවේ වංචාවන් රැසකට මුල් වූ ඇමැතිවරයෙක් කෝප් කමිටු සාමාජිකයෙක් ලෙස පත් කොට ඇති බව වාර්තාවේ. පැවැති ආණ්ඩුවේ දැවැන්ත වංචාවන් රැසකට සම්බන්ධ අමාත්‍යංශයක් වන ක්‍රීඩා අමාත්‍යංශය කෝප් කමිටුව හමුවට පැමිණ වූ වාර අනන්ත වන අතර එසේ තිබියදී එම අමාත්‍ය ධුරය දැරූ ඇමතිවරයාම කෝප් කමිටුවට පත් කිරීම අරුම දනවන්නක් බව සදහන් වේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසුරුවාහැරීමේ සූදානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති  පවසයි. 

වංචා දූෂණ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන යටපත් කිරීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට සූදානමක් පවතින බවත් තමත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කට උත්තරයක් ලබාදීම සඳහා ගිය අවස්ථාවේදී එහි නිලධාරීන් මේ බව තමන්ට පැමිණිලි කර සිටි බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

කොස්ගම සාලාව ප්‍ර දේශයේ හමුදා අවි ගබඩාව පිපිරීම හේතුවෙන් විනාශයට පත්වූ නිවාස සම්බන්ධයෙන් වන තක්සේරු කිරීම් ඊයේ (11) දින සිදුකළ අතර ඒ සදහා කොළඹ තක්සේරු නිලධාරීන් 75ක් පමණ සහභාගී වී සිටියේය.

ශ්‍රී ලංකාවට කිලෝමීටර් දහසක් පමණ පහළින් නව භූ තල මායිමක් නිර්මාණය වෙමින් පවතින බව පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හිටපු උප කුලපති අතුල සේනාරත්න පවසයි.

පූගොඩ, ගිරිදර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් ඇති වීම මගින් අදාළ කම්හලට විශාල දේපල විනාශයක් සිදුවූ බව වාර්තාවේ. එසේම කඩවත රන්මුතුගල පාවහන් කර්මාන්ත ශාලාවක ද ගින්නක් හටගත් අතර එමගින් කර්මාන්ත ශාලාව මුළුමනින්ම ගිනිබත් වූ බවද වාර්තාවේ.

ජනාධිපතිවරයා හා අගමැති, මුදල් ඇමති රට රටවල ගොස් රාජ්‍ය නායකයන්ගේ අතට අතදී තමන්ට ණයක් ලබාදෙන ලෙස හිගාකෑමක් සිදු කරන බවත් ආර්ථිකය නැංවීම සදහා කිසිදු ක්‍රියාමර්ගයක් නොගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත පවසයි.

මෙරටින් කෝටි 1600ක් වටිනා මසුන් ලබන මාසයේ සිට යුරෝපයට යැවීමට කටයුතු කරන බවත් යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කරගැනීමට හැකි වුණේ සාමූහිකව කටයුතු කළ නිසා බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

කොස්ගම - සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීමෙන් සම්පූර්ණ හානියට පත් නිවාස ඉදිකිරීමට මුදල් ලබාදීම සහ අර්ධ හානි සිදුවූ නිවාස සදහා වන්දි ලබාදීමට මුදල් වෙන් කෙරෙන තුරු අමාත්‍යවරුන්ට ගෙන්වීමට නියමිත වාහන සදහා මුදල් වෙන් නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා නියෝග කර තිබේ.