Tuesday, 24 October 2017 01:43

ශිෂ්‍යත්වයෙන් ලාභ උපයන ගුරුවරුන්ගේ ම්ලේච්ඡකම -  තුසිත පතිරණ 

Written by 
Rate this item
(0 votes)

 

ලංකාවේ අධ්‍යාපනයට ප්‍රමිතියක් හෝ ගුණයක් නොමැති බව එදිනෙදා අසන්නට ලැබෙන ප්‍රවෘත්තීන්ගෙන් පමණක් නොව සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියම විමසීමේදී අවබෝධ කොට ගත හැකිවේ.

 

ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා වන මෙම සෝදාපාලුව වහා වැඩිවන ස්වභාවයක් හැර ඉන් මිදෙන බවත් නොපෙනෙන්නේ වරින් වර පාසල් අධ්‍යාපනය තුළත් ඉන් පරිබාහිරවත් සිසුවාට හෝ සිසුවියට අත්විදීමට සිදුවන දුක් ගැහැට සමගිනි.  පාසල් අධ්‍යපනය ලබන දරුවා අතිශය පීඩාකාරී පුද්ගලයෙකු වන අතර ඔහු හෝ ඇය පාසලෙ ගුරුවරුන්ගෙන් මෙන්ම නිවසේදී පාසල් සිසුවෙකු හෝ සිසුවියක වීම නිසා වද බන්ධනයට ලක්වේ.

මෙහි අතිශය දරුණුම ඛේදවාචකය අත් විදිනුයේ පහ වසර ශිෂ්‍යත්වයට මුහුණ දෙන සිසුන්ය. ළමා මානසිකත්වය මුලිනුපුටා දමා තරගයක යොමු කොට ඇති තත්වයක් යටතේ දෙමාපියන් අතිශය ප්‍රචණ්ඩකාරී ලෙස මේ වකවානුවල අදාළ සිසුවා හෝ සිසුවියට බලපෑම් කරනු ලබයි. ළමා මනසට දරාගත නොහැකි මට්ටමකට එම පීඩනය තීව්‍ර වන අතර කෙසේ හෝ ජනප්‍රිය පාසල් වෙත යැවීම ඒකායන බලාපොරොත්තුව වන නමුත් මෙහි අතුරු සාත්සාත් කර ගැනීම්ද දෙමාපියන් දරුවාගෙන් බලාපොරොත්තු වේ. එනම් අනෙකාගේ දරුවාට වඩා යහමින් ලකුණු ගැනීම, සමාජයේ බොහෝ දෙනෙකු විසින් අසන ප්‍රශ්නයට හොද ලකුණු මට්ටමකින් උත්තර දීම හා වියදමට සාපේක්ෂව ප්‍රතිඵල බලාපොරොත්තු වීම යන කරුණු සමහරක්වේ. 

මෙවැනි අපේකෂාවන් මුදුන් පමුණුවා ගැනීමට නොහැකි වනතැන දරුවාට අත් විදීමට සිදුවන ඉරණම පිළිබද සමාජයක් ලෙස අපි අතිශය තිරස්චීන අත්දැකීම් කන්දරාවක අත්දැකීම් ප්‍රමාණයක් බුක්ති විද ඇත. ඒවායෙන් සමහරක් නම් දරුවාගේ අත පය කඩාදැමීම මානසිකව දරුවා පහත් අඩියකට ඇද දැමීම, අනාගතයේ යම් බලාපොරොත්තුවක් තැබිය හැකි මට්ටමක සිටින දරුවා එකි අධ්‍යාපන ඉලක්කය අත හැර දැමීම සදහා වන මානසිකත්වයක් ගොඩ නැගීම යන වේදනාත්මක ප්‍රතිඵලයන්ය.

මෙහි අනෙක් පාර්ශවය වන්නේ එම ශිෂ්‍යත්ව විභාගයට ගිරව් ගොඩ නගන ගුරුවරුන්ය. පන්ති භාර ගුරුවරයා විසින් පවත්වන උපකාරක පන්ති සදහා තම පන්තියේ සිසුන් අනිවාර්යෙන් ඇතුලත් විය යුතු අතර එසේ නොව ළමුන් පන්තියේ කොන් කිරීමට ගුරුවරයා උත්සුක වීම අනිවාර්යක් බවට පත්ව ඇත.

එසේම එවැනි නොපැමිණෙන ළමුන් සදහා වන දඩුවම් ක්‍රම අතිශය අමානුෂිකත්වයක්ද ගන්නා අවස්ථා පසුගිය කාලය තුළම අත්විදිමට හැකි   විය.

පහත පළවන ප්‍රවෘත්තියද එවැනි අමානුෂික ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි.

 

පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුගේ පෙළ පොත්ද ඇතුළු අභ්‍යාස පොත් හතරක් පාසල තුළදී පුලුස්සා විනාශ කර දැමූ ගුරුවරියක සම්බන්ධව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයට හා අනුරාධපුර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට එම දරුවාගේ මව විසින් පැමිණිලි කර ඇතත් කිසිදු සාධාරණ පරීක්ෂණයක් සිදු කර නොමැති බව වාර්තා වේ.

 

අධ්‍යාපන බලධාරීන්ට පැමිණිලි කළත් සාධාරණය ඉටු නොවූ තැන සිසුවාගේ මව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියට පැමිණිලි කර ඇත. ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජී. යමුනා කාන්ති මහත්මිය පැමිණිල්ල හගිස්සවා සාධාරණය ඉටුකර ඇති අතර ගුරුවරිය තමා පොත් දෙකක් පිලිස්සූ බව පිළිගෙන වෙනත් දරුවකුගේ පොත් ඒ වෙනුවට ලබාදීමට එකඟ වීම නිසා පැමිණිල්ල සමථයකට පත්කර තිබිණි.

 

එවර ගුරුවරිය සිය පන්තියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට අයත් අභ්‍යාස පොත් සිසුවාට ලබාදීමට කටයුතු කර ඇත්තේ එම සිසුවිය දක්ෂ නිසා එම පොත්වලින් ඇයට වැඩක් නැති බව කියමිනි.

 

අනුරාධපුර විදුහලක පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවා පෙළ පොත් හා අභ්‍යාස පොත් හතරක් පන්ති කාමරයේ තබා ගොස් තිබියදී අභිනවයෙන් ඉදිකරන ලද ගොඩනැඟිල්ලකට පන්තිය ගෙනයෑමට කටයුතු කර ඇත. එදින අදාළ සිසුවා අසනීප වීම නිසා පාසල් පැමිණ නැත. දරුවාගේ පොත් බෑගවල අධික බර නිසා දෛනික පැවැරුම් නොමැති පෙළ පොත් හා අභ්‍යාස පොත් පන්ති කාමරයේ තබා යෑමට විදුහල අවසර දී තිබේ. ඒ අනුව පරණ පන්ති කාමරයේ තිබූ පොත් සියල්ල නව පන්ති කාමරයට ගෙන යෑමට අනෙක් සිසුන් කටයුතු කර ඇත. එදින නොපැමිණි සිසුවාගේ පොත් සියල්ල ඇය භාරයට ගත් ගුරුවරිය මේවා වැඩකට නැහැ යනුවෙන් පවසා ගිනි තබා විනාශ කර ඇති බව කියැවේ.

 

මෙම සිසුවා ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 142ක් ලබා ගෙන ඇති අතර අධ්‍යාපන හා විෂය බාහිර කටයුතුවලටද දක්ෂතාව දක්වන සිසුවෙකි. ගුරුවරිය මෙම සිසුවාගේ පොත් ගිනි තබා ඇත්තේ ඇය විසින් පැවැත්වූ පෞද්ගලික ශිෂ්‍යත්ව පන්තියට නොපැමිණීම නිසා බවත් එම නිසා ගුරුවරිය සිසුවා සමඟ වෛරයෙන් සිටි බවත් මවුපියෝ පවසති. ඇයගේ ශිෂ්‍යත්ව පන්තියට සහභාගි වූ සිසුන් හත් දෙනකු හැර පන්තියේ සෙසු දරුවන් 21 දෙනාට පන්ති කාමරයේදී විවිධ මානසික හිංසාවන් සිදුකර ඇති බවටද සිසුන්ගේ මවුපියේ චෝදනා නඟති.

 

ගුරුවරිය පොත් ගිනි තැබූ බව හෙළි කළ සියලු මවුපියන්ට වැස්සකට එළියට බැස්සහොත් හෙණ පතිත වන ලෙස ඉල්ලමින් ගුරුවරිය පන්ති කාමරය තුළදීම ශාප කර ඇති බවද සිසුන්ගේ මවුපියෝ කියති. ගුරුවරියගේ ක්‍රියාකලාපය නිසා මේ වනවිට අදාළ සිසුවා වෙනත් පන්තියකට මාරු වී ඇති බවද කියති.

 

මෙවැනි ප්‍රවෘත්තීන් දහසක් ලංකාවේ පාසල් සියල්ල සම්බන්ධයෙන් අධ්‍යනය කළහොත් සොයා ගත හැකි වන අතර මෙය ලංකාවේ අධ්‍යාපනයේ දුප්පත්කමට වඩා ම්ලේච්ඡත්වයට පාර කපන්නක් බව මෙහිලා සදහන් කළ යුතුමය 

 

 

පාදක පුවත - ලංකා ටෘත් වෙබ් අඩවිය 

 

Read 43 times Last modified on Tuesday, 24 October 2017 02:29

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.