Thursday, 03 August 2017 22:18

පීඨාධිපතිවරු සයිටම් බදවා ගැනීම් නතර කරන ලෙස දන්වයි

Written by 
Rate this item
(0 votes)

 දැනට උද්ගත වී ඇති සයිටම් ආයතනයේ අර්බුදය විසදීම පිණිස 2016 ට පෙර එම ආයතනයට බඳවා ගැනුණු අපොස උසස්පෙළ සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් ලබා ගත් සිසුන්ට ඔවුන්ගේ වෛද්‍ය උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීමට ඉඩ දිය යුතු බවත්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන අමතර පුහුණු අවශ්‍යතා සපුරාලීමෙන් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ බලපත්‍ර විභාගය සමත්වීමෙන් පසු ඔවුන්ට වෛද්‍ය වෘත්තිය සඳහා වන හිමි ලබාදිය යුතු බවත්, රාජ්‍ය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ අටේ පීඨාධිපතිවරුන්, උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

 

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීවරයා වෙත පිටපත් සහිතව ‍නිකුත් කොට ඇති මෙම ලිපියෙහි සඳහන් සෙසු නිර්දේශ අතරට සයිටම් වෛද්‍ය උපාධිය සඳහා නවක සිසුන් බඳවා ගැනීම ස්ථිර පදනමක් යටතේ නතර කිරීම, 2016 ට පෙර බඳවාගන්නා ලද සිසුන් සඳහා අන්තර් කාලීන වෛද්‍ය උපාධි පාඨමාලාව සහ වෛද්‍ය උපාධිය හිමිකිරීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ රෙගුලාසි වලට අනුකූලව අන්තර් කාලීන ස්වාධීන අධිකාරියක් මගින් අනුමත කිරීම ද වෙයි.

 

එමෙන්ම වෛද්‍ය පනතේ 72.4 වගන්තිය ප්‍රකාරව ‍එම සිසුන් බඳවා ගැනීම නතර කිරීම සහ අන්තර් කාලීන ස්වාධීන අධිකාරියක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සහ එම අනුමැතිය ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කිරීම ද අවශ්‍ය බව වෛද්‍ය පීඨාධිපතිවරු පෙන්වා දෙති.

 

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපති මහාචාර්ය ජෙනිෆර් පෙරේරා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපති මහාචාර්ය වජිර වීරසිංහ, රුහුණ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපති මහාචාර්ය සමන් විමලසුන්දර, යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපති ආචාර්ය එස්. රවිරාජ්, කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපති මහාචාර්ය නිලන්ති ද සිල්වා,  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය  පීඨාධිපති මහාචාර්ය සුරංගි යසවර්ධන, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය සත්කාර විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්යඇන්ජෙලා අරුල්ප්‍රගාසම් සහ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපතිමහාචාර්ය සිසිර සිරිබද්දන යන මහත්ම මහත්මීන් එම ලිපියට අත්සන් තබා තිබේ.

 

 

 

 

Read 113 times Last modified on Thursday, 03 August 2017 22:43

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.