Monday, 03 July 2017 00:02

පරිසරය සුරැකීම සහ විනාශයට එරෙහිවීම උදෙසා දියත් කෙරෙන "හරිත පා ගමන"

Written by 
Rate this item
(0 votes)

හරිත අගෝස්තු කණ්ඩායම සයිබර් අවකාශය හරහා ක්‍රියාත්මක වන සමාජ සත්කාරක මිතුරු හවුලක් වන අතර, අන්තර් ජාලයෙන් ඔබ්බට මිනිස්කමට සහ මිහිතලයට මෙහෙවර කිරීම උදෙසා සැදී පැහැදී සිටිමු. බිමෙහිත් , හදවත් තුළත් සුපැහැදිලි මතක සනිටුහන් කරමින් පැමිණි වසර ගණනාවක සාර්ථක ගමනක මූලික අරමුණ වන්නේ පරිසර සංරක්ෂණය හා විනාශයට එරෙහිව ක්‍රියාත්මක වීමයි.

 

 

පසුගිය වසරවල ඇතැම් කාල පරාසයන් තුළ ඇතිවූ අධික පරිසර උෂ්ණත්වය සහ දැඩි නියඟයට වෘක්ෂලතා සහ වන උයන් විනාශය දැඩි ලෙස බලපෑ බව පැහැදිලිව හඳුනාගැනීමෙන් ඉක්බිති, ඊට ප්‍රායෝගික විසඳුමක් වශයෙන් මහා පරිමාණයෙන් රුක් රෝපණයට පිවිසි අප කණ්ඩායම මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

 

2016 අගෝස්තු 07 උදේ 10:00 ට දිවයින පුරා සෑම පුරවැසියෙකුටම පැළයක් සිටුවීමට ඇරයුම් කරමින් කෝටි 2 ක් වන ලාංකේය ජනගහනය ඒකරාශී කර පැළ කෝටි 2 ක් සිටුවීමේ අරමුණින් පෙළ සැදුණු හරිත අගෝස්තුව එතැනින් නොනැවතී "හරිත පාසල" සංකල්පය යටතේ මේ වන විට පාසල් දරුවන් 4000 කට පමණ පාසල් උපකරණ ප්‍රධානය කර ඇති අතර "සිසු සහන" සංකල්පය යටතේ මේ වන විට මාසික අධ්‍යාපනික ශිෂ්‍යත්ව 40 ක් පමණ පිරිනමමින් පවතී. දුෂ්කරතා සහිත ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්වය නංවාලීම උදෙසා නිවාස තනාදීම, රෝද පුටු පරිත්‍යාගය, පානීය ජලය සහ සනීපාරක්ෂක අවශ්‍යතා සැළසීම ආදිය හරිත අගෝස්තු සත්කාර අතර තවත් පැතිකඩකි.

 

එමෙන්ම කාලීන පාරසරික ගැටලුවක් වන කසළ බැහැරකිරීමේ ප්‍රශ්නයට සෘජු විසඳුමක් ලෙස සති අන්‍තවල හරිත අගෝස්තු සාමාජිකයන් එක්වී දුම් රිය ස්ථාන සහ මහ මඟ කසළ බැහැර කිරීමට එරෙහිව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම දැක්විය හැක. එවැනි ස්ථාන හඳුනාගෙන  අදාළ ප්‍රදේශවාසීන්ද සම්බන්ධ කරගෙන පිරිසිදු කිරීම සහ නැවත අපවිත්‍ර කිරීමට ඉඩ අසුරාලමින් පුවරු සවි කිරීම සහ අන්තර්ජාලයට වීඩියෝ සහ පින්තූර මුදාලමින් අනිසි ලෙස කුණු බැහැර කරන ස්ථාන සහ පුද්ගලයන් පිළිබඳව වාර්තා කිරීම අති සාර්ථක ක්‍රමවේදයක් වී ඇති අතර එමඟින් යහපත් පාරසරික ආකල්ප නැංවීමටද විශාල දායකත්වයක් ලැබී ඇත.

 

අනිසි ලෙස පොලිතින් සහ ප්ලාස්ටික් පරිසරයට මුදාහැරීමට එරෙහිව හරිත අගෝස්තු කණ්ඩායම විවිධ අන්දමේ ව්‍යාපෘති සිදු කරමින් පවතින අතර ප්‍රතිචක්‍රීකරණය හා නැවත භාවිතයට යොදා ගැනීම යන සංකල්ප ඔස්සේ විවිධ තේමා රැගත් වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතී.ඒ අතරින් එකක් වන  "හරිත පා ගමන" 2017 ජුලි මස 8,9 දෙදින ක්‍රියාත්මක වේ.

 

වාණිජ පරමාර්ථ උදෙසා විවිධ අන්දමේ පා ගමන් සංවිධානය වන යුගයක, ඉන් ඔබ්බට ගොස්,පරිසරය සුරැකීම සහ පරිසර විනාශයට එරෙහිව  ක්‍රියාත්මක වීම යන කාලෝචිත තේමාව ඔස්සේ සිදු කරන සුවිශේෂ වටිනාකමනික් යුතු පාගමනක් වන මෙහිදී 8 උදෑසන නුවරින් පිටත්වී 9 වන දින තෙක් කොළඹ නුවර මාර්ගයේ ගමන් කරමින් පහත ක්‍රියාකාරකම් සිදු කරනු ඇත. 

 

*මඟ දෙපස අනිසි ලෙස පරිසරයට මුදා හැර ඇති ප්ලාස්ටික් බෝතල් එකතු කිරීම

 

*සුදුසු ස්ථාන වල රුක් රෝපණය කිරීම

 

*රුක් රෝපණයට උනන්දුවක් දක්වන අයට පැළ ලබාදීම

 

*ඩෙංගු උවදුර පැතිරිය හැකි අපිරිසිදු ස්ථාන වෙතොත් සොයා බැලීම හා ඊට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගැනීම.

 

*ප්‍රසිද්ධ ස්ථානවල අනිසි ලෙස කසළ බැහැර කර ඇත්නම් ඒ ගැන සොයාබැලීම සහ පිරිසිදු කිරීමට ක්‍රියාමාර්ග ගැනීම හෝ අදාළ ප්‍රදේශවාසීන් සහ වගකිව යුතු අංශ දැනුවත් කිරීම.

 

*ගමන් මඟේදී හමුවන දරුවන් වැඩසටහනට සම්බන්ධ කරගනිමින් පරිසරය සුරැකීමට අදාළ ප්‍රශ්න අසා ත්‍යාග පිරිනමමින් පරිසර හිතකාමී ආකල්ප වර්ධනය කිරීම.

 

මෙසේ එක් රැස් කරන, පරිසරයට අනිසි ලෙස මුදාහැර ඇති ප්ලාස්ටික් බෝතල් පාගමන අවසානයේ කොළඹට රැගෙනවිත් ප්‍රතිචක්‍රීකරණයට යොමු කෙරෙනු ඇති අතර නුවර-කොළඹ මාර්ගය අවට ඔබට,ආයතන,පාසල්,රෝහල් හෝ නිවෙස් වශයෙන් බැහැරලන ප්ලාස්ටික් අපවෙත ලාබා දිය හැක.

 

නුවර වැව රවුම අසළදී ජුලි 8 සෙනසුරාදා පෙ.ව. 7:00  ට එක්‍ රැස්වීමට බලාපොරොත්තුවන පාගමනට සහභාගී වන පිරිස පෙ.ව.8:00 ට එම ස්ථානයෙන් පිටත්ව නුවර කොළඹ මාර්ගය ඔස්සේ ඉහත අංග ක්‍රියාත්මක කරමින් ගමන් කරනු ඇත.

 

හරිත පා ගමනට සුබ පැතුම් සහ අනුග්‍රහය එක්කරමින් ආයතන සහ කණ්ඩායම් කිහිපයක්ම අප සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරන අතර, අන්තර්ජාතික වශයෙන් කීර්තියක් දිනා සිටින වෙළඳ නාමයක් වන "එමරල්ඩ්" ආයතනය හරිත පා ගමන පුරා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය දරනු ඇත.

 

පුද්ගල, කණ්ඩායම් සහ ආයතන අවශයෙන් පරිසරය සම්බන්ධව උනන්දු වන ඕනෑම අයෙකුට අප හා අත්වැල් බැද පා ගමනට සහභාගී වීමට හෝ වෙන අයුරකින් සහයෝගය දීමට හැකි වන අතර එසේ කැමති අයවලුන් පහත දුරකථන අංක අමතා විසතර ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු.

 

හරිත අගෝස්තු කණ්ඩායම

ෆර්ශාන් 078-9776602 / 0758311255

සුජීව 077-0538837

තරිඳු 075-2604778

ෆව්ශාන් 077-3194469

 

 

Read 161 times Last modified on Monday, 03 July 2017 00:22

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.