Sunday, 02 July 2017 23:13

මුතුරාජවෙලට කසල හෙළීම පිටුපස කෝටි ගණනක ජාවාරමක්!

Written by 
Rate this item
(0 votes)

කොළඹ නාගරික කැලිකසල මුතුරාජවෙල තෙත් බිමට බැහැර කරවීම පිටුපස රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක මහා පරිමාණ ජාවාරමක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ප්‍රකාශ කරයි.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ කොළඹ නාගරික කැලි කසල බැහැර කිරීම මුවාවෙන් මුතුරාජවෙල තෙත් බිම මුල්කොට සිදුවන මහා පාරිසරික සංහාරය පිළිබඳ ඊයේ (01) පමුණුගම දෑළතුර රයිනි විලා උත්සව ශාලාවේ පැවැති ජනතා නියෝජිත හමුවක් අවසානයේ පමුණුගම තාරකුලියේ ඇළ වේල්ල ප්‍රදේශයේ එසේ ගොඩ කරන පරිශ්‍රය නිරීක්ෂණය කළ අවස්ථාවේදිය.  

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍ය වරයා මෙසේ ද කීය.

 

මේක ගරු ජනාධිපති තුමාගේ වත් ගරු අග්‍රාමාත්‍ය තුමාගේ වත් අවසරය මත සිදු කෙරෙන්නක් නොවේ. මේ වගේ වටිනා පරිසර පද්ධතියකට කොළඹ නාගරික කැලි කසල බැහැර කරන්නට කියා ජනාධිපති වරයා කිසි විටෙකත් උපදෙස් දී නෑ. එතුමා නිර්දේශ කර ඇත්තේ සුදුසු ස්ථානයක කැලි කසල අපහරණය කරන්න කියා පමණයි. නමුත් මේ තෙත් බිම කැලි කසල අපහරණය කිරීමට කිසිසේත්ම සුදුසු ස්ථානයක් නොවේ. මේක අනවසර ඉඩම් ගොඩ කිරීමට සම්බන්ධ කොටිපති ව්‍යාපාරිකයෙකු විසින් සැලසුම් කළ මහා පරිමාණයේ වංචනික තෙත් බිම් සංහාරයක්. මේ වගේ තෙත් බිමකට කැලි කසල අපහරණය කිරීමට පෙර ඒ සඳහා සපුරා ලිය යුතු නීතිමය ක්‍රියාවලියක් තියෙනවා. ඒ වගේම විධිමත් නීතිමය යාන්ත්‍රණයක් යටතේ මෙවනි තෙත් බිමකට කැලි කසල අපහරණය කිරීමට කිසිදු රාජ්‍ය ආයතනයකින් අවසරයක් හිමි වන්නේ නෑ. ඒ අතින් කොළඹ නාගරික කොමසාරිස් වරයාත් තම බලය අයුතු ලෙස යොදා ඇති බව පේනවා.මේ සියල්ල පිටුපස රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක ජාවාරමක් සිදු වන බව පේනවා.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනතාව දැනුවත් කිරීමට තමන් සූදානම් යැයි කී නියෝජ්‍ය ඇමති වරයා ඒ සම්බන්ධ මාධ්‍ය හමුවක් ලබන බදාදා (05) පැවැත්වීමට කටයුතු යොදා ඇතැයී කීය.

මුතුරාජවෙල රක්ෂිතයේ ඉඩම් ගොඩ කිරීමට විරෝධය පළකරමින් මීට පෙර ද ජා ඇල ප්‍රදේශයේදී මහජන උද්ඝෝෂණ රැසක් පැවැත් වුණි.

මෙම ගොඩ කිරීම් සහ ඒ සඳහා පස් කැපීම මුල් කොට පැවැති උද්ඝෝෂණයකදි ඊට එක් වූ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් මහත් අන්දෝලනයක් පැන නැගුණු අතර එය ජනාධිපති වරයාගේ අවධානයට ලක්විය. එහිදි ජනාධිපති වරයා කියා සිටියේ එවැනි අනවසර ගොඩ කිරීම් සපුරා තහනම් කළ යුතු බවය. එමෙන්ම මෙම ක්‍රියා හේතුවෙන් දැඩි පරිසර විනාශයක් සිදුවන අතර ජා - ඇල ඇතුළු ගම්පහ දිස්ත්‍රිකයේ  ප්‍රදේශ රැසක ජනතාවට ගංවතුර තර්ජන වලට මුහුණ දීමට සිදුවන බව මුතුරාජවෙල පරිසර පද්ධතිය අරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනී සිටින පරිසරවේදීන් ඇතුළු ගම්වැසියෝ මීට පෙරද පෙන්වා දුන්හ.

මෙම කොළඹ කැලි කසල බැහැර කිරීමේ ස්ථානය නිරීක්ෂණ කිරීමේ චාරිකාවට එක් වූ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී(එජාප) දොස්තර කාවින්ද ජයවර්ධන මහතා මෙසේ කීය.

කෝටිපතී කූට ජාවාරම් කරුවන් කිහිප දෙනෙකුගේ මේ ක්‍රියාව එක්සත් ජාතික පක්ෂයේ ගිණුමට බැර කිරීමට අද සමහරුන් උත්සාහ කරනවා. නමුත් එක්සත් ජාතික පාක්ෂිකයන් හැටියට අපි සියළු දෙනා මීට විරුද්ධව නැඟී සිටින අතර මේ තෙත් බිම් සංහාරය නතර කිරිමට ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නවා. මෙම ජනතා නියෝජිත හමුව සහ නිරීක්ෂණ චාරිකාව සඳහා එජාප පලාත් සභා මන්ත්‍රී වරුන් වන ශිරන්ත අමරසේකර, ශ්‍රීනාත් පෙරේරා, සිරි කමල් ද සිල්වා යන මහත්වරුද එක්ව සිටි අතර මෙම ජන හමුවට එක්ව සිටි සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා එම ජනතා නියෝජිත හමුව අවසානයේ එම නිරීක්ෂණ චාරිකාවට එක් නොවී නිහඬවම පිටව යනු පෙනුණි.

ප්‍රදේශය නියෝජනය කරන මහා සංඝරත්නය කිතුණු පුජක වරුන් සහ තවත් ප්‍රදේශවාසී ප්‍රභූ වරුද මෙම ජන හමුවට සහ නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.

ප්‍රදේශ වාසීන් පවසා සිටියේ මෙම මුතුරාජවෙල තෙත් බ්ම් සංහාරයට වග කිව යුතු ප්‍රධාන වගඋත්තර කරු ප්‍රදේශවාසීන් විසින් මේ වන විටත් හඳුනා ගෙන ඇති බවත් ඔහු කැසිනෝ ව්‍යාපාරිකයෙකු බවත් ය. තවත් කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ උපදෙස් මත මුතුරාජවෙල තෙත් බිමට හානි පැමිණවීම මුල් කොට ඔහු පසුගියදා වත්තල මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කරන ලද බව ද ප්‍රදේ්ශවාසීහු පැවසූහ. එමෙන්ම මෙම තෙත් බිම වෙත කෙළඹ නාගරික කැලි කසල හෙලූ සැණින් ඒ මත පස් අතුරා මෙම ගොඩ කළ තෙත් බිමේ අයිතිය තමන් සතු කර ගැනීමට මාන බලන ඔහු මීට පෙරද එවන් නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ අයෙකු බව ප්‍රදේශවාසීහු කීහ.

එමෙන්ම තෙත් බිම් පරිසර පද්ධතියට කෙසේවත් නොගැලපෙන පැල වර්ග කිහිපයක් එම පරිසර පද්ධතියේ සිටුවා එය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස අධිකරණය නොමඟ යැවීමේ සැලසුමක් ද එම පුද්ගලයා සතුව ඇතැයි ප්‍රාදේශවසීහු ලක්බිම ඔන්ලයින් වෙත කීහ.

Read 188 times Last modified on Sunday, 02 July 2017 23:48

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.