Monday, 13 March 2017 14:26

ඇමතිවරුන්ට කෝටි 54ක් වාහනවලට දෙද්දී විශ්‍රාමිකයන්ට සලකන විදිය පිළිකුල් - ලාල්කාන්ත

Written by 
Rate this item
(0 votes)

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සංශෝධන 2016 වසරේ සිට 2020 වසර දක්වා වසරින් වසර වැඩිකිරීමේ අරමුණින් නිකුත් කරන ලද 3/2016 රාජ්‍ය පරිපාලන චක්‍ර‍ලේඛය රජය විසින් අත්හිටුවීමට ගත් තීරණයට විරෝධය පළකරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

මීට අදාළ විරෝධය පළකරමින් කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ අත්සනින් යුතුව විශේෂ ලිපියක් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් ජනාධිපතිවරයා වෙත ද යොමුකර තිබේ.

 

3/2016 රාජ්‍ය පරිපාලන චක්‍ර‍ලේඛයට අනුව 2020 වසර දක්වා රාජ්‍ය සේවාවේ සිටින අයට වසරින් වසර මූලික වැටුප් වැඩිවීමක් සිදුවුවද අතරමැදදී විශ්‍රාම යන අයට සිදුවූයේ අදාළ වර්ෂයට හිමි මූලික වැටුප් වැඩිවීමක් පමණි. ඔවුන්ට එහි පූර්ණ හිමිකම ලබන්නට වසර 2020 වනතෙක් බලාසිටින්නට සිදුවූ බව කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කර සිටී.

මේ පිළිබඳව සිය වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඇතුළු අනෙකුත් වෘත්තීය සමිති කරුණු ගෙන හැර පෑමෙන් පසුව 3/2016 (ඪඪ) නමින් 2017/2/18 දින රාජ්‍ය පරිපාලන චක්‍ර‍ලේඛයක් නිකුත් කරමින් 2016/01/01 පසු විශ්‍රාම යනවුන්ට විශ්‍රාම යන දිනටම 2020 හිමි වැටුප් සැකසීමට අදාළ විධි විධාන සලස්වා තිබූ බවද හෙතෙම සඳහන් කරයි.

එහෙත් 2017-3-09 දින නිකුත් කෙරුණු 2/2017 චක්‍ර‍ලේඛය මගින් නැවත දැනුම්දෙනතුරු උක්ත කී චක්‍ර‍ලේඛය අත්හිටුවීමට තීරණය කිරීම අවුරුදු ගණනක් තම රට වෙනුවෙන් මෙහෙවර ඉටුකර 2016න් පසු විශ්‍රාම යන රාජ්‍ය සේවකයින්ට කරනු ලබන බලවත් අසාධාරණයක් බව කේ.ඩී. ලාල්කාන්ත මහතා පෙන්වා දෙයි.

රට වෙනුවෙන් මෙහෙවර කළ රාජ්‍ය සේවකයින්ට එසේ සලකද්දී ආණ්ඩුවේ ඇමැතිවරුන්ට සුඛෝපභෝගී වාහන ලබාගැනීම වෙනුවෙන් කෝටි 54කට අධික මුදලක් වැය කිරීමට කටයුතු කිරීම පිළිකුලින් යුතුව හෙළා දකින බව පවසන ඒ මහතා රාජ්‍ය සේවකයින් වෙත ලබාදී තිබූ එම සහනය නැවත ලබාදීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

 

 

Read 286 times Last modified on Monday, 13 March 2017 15:22

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.