Sunday, 05 June 2016 12:50

ෆ්‍රෙඩී ගමගේට පහරදීමේ සිද්ධියේ මහ මොළකරුවන් අල්ලනු 

Written by 
Rate this item
(0 votes)

මාධ්‍ය සංවිධාන ක්‍රියාකාරිකයකු ද වන ෆ්‍රෙඩී ගමගේ මාධ්‍යවේදියාට එල්ල කළ මැර ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම ගැන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි අප්‍රසාදය පළ කර සිටියි.

 

මේ බව සදහන් කරමින් එම සංගමය විසින් නිකුත් කොට ඇති නිවේදනය සදහන් වන්නේ 

ෆ්‍රෙඩී ගමගේට  පහර දුන් බව කියමින් සෙනසුරාදා (04) දෙදෙනකු අත්අඩංගුවට ගත්ත ද ඊට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති වීම මෙහිලා ආණ්ඩුව විසින් අවධානය යොමු කළ යුතු කරුණක් බවයි.

මීගමුව යනු කාලයක් තිස්සේ දූෂණ වංචාවලින් මෙන්ම කප්පම්වලින්ද පිරිණු නගරයක් බවට ප්‍රසිද්ධය. මීගමුවේ සිදුවන අයථා සිදුවීම් ගැන ෆ්‍රෙඩී ගමගේ මාධ්‍යවේදියා වරින් වර හෙළි කළ අතර මෙම පහර දීමට මුලද එයම බව අපේ විශ්වාසයයි.

සුදුවෑන්වලින් පැහැරගැනීමේ සිදුවීම් වාර්තා නොවූ පමණින් මාධ්‍ය නිදහස තහවුරු කළාය කියා ආණ්ඩුවට අත පිහදාගැනීමට බැරිය. මෙවැනි පහරදීමේ හා බිය ගැන්වීමේ සිද්ධි කිහිපයක් පසුගිය වකවානුවේ වාර්තා විය. අතුරුදන් කැරුණු ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියාගේ බිරියට බොදු බල සේනාවේ හිමිනමක් බැණ වැදී තිබුණේ උසාවි සංකීර්ණයේදීම ය. තවත් මාධ්‍යවේදියකුගේ රාජකාරියට වරාය සභාපතිවරයා බාධා කර තිබුණේ ද උසාවි සංකීර්ණයේදීම ය. අපක්ෂපාතී වාර්තාකරණයක් සඳහා තොරතුරු විමසීමට රජයේ ඇමැතිවරයකුට දුරකතන ඇමතුමක් ගත් මාධ්‍යවේදියකුට එම ඇමැතිවරයා පරුස වචනයෙන් බැණ වැදුණු සිද්ධියක් ද වාර්තා විය.

මාධ්‍ය නිදහස රජයන සමාජයක නම් මෙවැනි සිදුවීම් හෝ බලාපොරොත්තු විය නොහැකිය. මාධ්‍යවේදීන් මත හිංසනය පැතිරවූ අවස්ථා සම්බන්දයෙන් නීතිය ක්‍රියාත්මක වී නැති පසුබිමක මෙවන් පහරදීම් යළි යළිත් සිදුවීම පුදුමයක් නොවේ.

ෆ්‍රෙඩී ගමගේ මාධ්‍යවේදියාට පහර දීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රජයටත් පොලිසියටත් බල කර සිටී.

එමෙන්ම පසුගිය පාලන කාලයේදී මාධ්‍යවේදීන් හිංසනයට ලක් කළ, මාධ්‍ය ආයතන ගිනි තැබූ හා මාධ්‍යවේදීන් මරා දැමූ සිදුවීම් ගණනාවක් වාර්තා විය. ඒවා අතුරින් නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින්නේ එක්නැලිගොඩ පැහැර ගැනීම සම්බන්ධයෙන් පමණි. මාධ්‍යවේදීන් හිංසනයට පත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි අවධාරණය කරමු.

Read 576 times Last modified on Sunday, 05 June 2016 13:04

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.