Sunday, 10 January 2021 01:41

එක රටක් එක නීතියක් යථාවක් ද?

Written by 
Rate this item
(0 votes)

සෑම මිනිසෙකුටම ගෞරවණීය මරණයක් හිමිවීමේ අයිතියක් ඇත. එකී අයිතිය වෙනුවෙන් ඉන්දීය අධිකරණය පසුගිය දා ලබා දුන් අතිවිශිෂ්ඨ තීන්දුවට මානව සංහතියම හිස නමා අචාර කල යුතුය.

කෝවිඩ් මෘත දේහ ආදාහනය සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනට නිකුත් කර පවතින සහ ලෝකයේ රටවල් 184 ක් පමණ දැනට අනුගමනය කරන මාර්ගෝපදේශ ද ඉන්දීය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ ද අනුව මෘත දේහ ආදාහනය සහ භූමිදානය යන ක්‍රමවේද දෙකටම අවසර ලබා දෙමින් කල්කටා මහාධිකරණය විසින් මෙම අතිවිශිෂ්ඨ තීන්දුව පසුගිය දා ලබා දෙනු ලැබීය.

 

කෝවිඩ් 19 වෛරසය වැළඳීමෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමිදානය කිරීමට අවසර නොදීම මත, ආගමික සහ සංස්කෘතික විශ්වාසයන් මත ගෞරවනීය මරණයක් අහිමිවීමෙන් ශ්‍රී ලාංකේය මුසල්මානු සහෝදර ජනතාව තුළ පවතින අසහනය විවිධ ස්වරූපයේ විරෝධතා මගින් එළිදැක්වෙන සන්දර්භයක් තුළ පසුගියදා ඉන්දියාවේ කල්කටා මහාධිකරණය විසින් ලබා දුන් මෙම අධිකරණ තීන්දුව පිළිබඳව අප අවධානය යොමු කිරීම අතිශය වැදගත් ය.

කල්කටා මහාධිකරණය හමුවේ විභාග වූ විනීත් රුයියා එදිරිව ප්‍රධාන ලේකම්, බටහිර බෙංගාල ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය සහ පවුල් සුභසාධන අමාත්‍යාංශය  යන නඩුවේ දී  ප්‍රධාන විනිසුරු තොට්ටාති බී. රාධාක්‍රිෂ්ණන් සහ විනිසුරු අරිජිත් බෙනර්ජී විසින් මල සිරුරු භූමිදානය හෝ ආදාහනය කිරීමට අවසර දෙමින් එසේ සිදු කිරීමේ දී පහත මාර්ගෝපදේශයන් අනුගමනය කරන ලෙස නියම කෙරිණි.

 

1. පශ්චාත් මරණ පරීක්ෂණයක් අවශ්‍ය නොවන අවස්ථාවක පවුලේ සමීප ඥාතියකු වෙත සෞඛ්‍ය ආරක්‍ෂිත බෑගයක බහාලන ලද සිරුර භාරදීම. එහිදී එම බෑගයේ සිරුරේ මුහුණ ආශ්‍රිත කොටස පෙනෙන පරිදි එම කොටස සඳහා විනිවිද පෙනෙන ආවරණයක් යෙදීම සහ ආවරණයේ බාහිර මතුපිට විෂබීජ හරණය කිරීම

 

2. මළසිරුර ප්‍රවාහනය කරන පිරිස් නිසි නිරෝධායන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් විෂබීජ වලට නිරාවරනය නොවන ආරක්‍ෂිත උපකරණ සහ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම

 

3. මළසිරුර ප්‍රවාහනය සඳහා සුදුසු වාහනයක් නිසි ක්‍රමවේදයන්ට අනුව භවිතා කිරීම

 

4. ආදාහනය හෝ භූමිදානය කරන සේවක පිරිස් රෝග නිවාරණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම

 

5. ආදාහනය හෝ භූමිදානය සිදුකරන අවස්ථාවේ දී මළසිරුරේ මුහුණ ආශ්‍රිත කොටස පමණක් ඥාතීන්ට අවසාන වතාවට බලා ගැනීම සඳහා ආදාහනය හෝ භූමිදානය සිදුකරන සේවකයකු විසින් නිරාවරණය කරනු ලැබිය හැකිය. මේ අවස්ථාවේ දී මල සිරුර ස්පර්ශ කිරීමකින් තොරව සිදුකරන ආගමික වතාවත් සිදු කිරීම සඳහා අවසර ඇත.

 

6. මල සිරුර ආදාහනය හෝ භූමිදානය කිරීමෙන් පසුව ඥාතීන් සහ මළසිරුර ආදාහනය හෝ භූමිදානය සිදුකරන ලද සේවකින් තම සිරුරු නිසි පරිදි විෂබීජ හරණය කරගත යුතුය.

 

7. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා මෙම අවස්ථාවන්ට විශාල පිරිසක් රැස්වීමෙන් වැළකිය යුතුය.

 

8. මළසිරුර එහා මෙහා ගිනියන ඥාතීන් සහ සේවක පිරිස් ආදාහනය හෝ භූමිදානය කිරීමෙන් අනතුරුව එම භූමියේ සිට කෙලින්ම රෝහල වෙත යායුතුය.

 

9.කිසියම් අවස්ථාවක කිසියම් පුද්ගලයකුගේ මරණය කොරෝනා මරණයක් ලෙස සැකසහිත එහෙත් නිසි ලෙස තහවුරු කරනොගත් අවස්ථාවක සිරුර භූමිදානය හෝ ආදාහනය රජයේ වියදමින් නිසි ගෞරවය සහිතව කල යුතුය.

 

මීට අදාළ සම්පූර්ණ නඩු තීන්දුව පහත ලින්ක් එකෙන් කියවන්න.

 

https://drive.google.com/file/d/1hOu0rljJid974xzO8Sezy0FssRV5vJUm/view?usp=sharing

 

ලෝකයේ රටවල් 184 ක පමණ භූමිදානය සහ ආදාහනය යන ක්‍රමවේද දෙකම නිසි සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද තුළ  ඒ ඒ පුද්ගලයින්ගේ ආගමික සහ සංස්කෘතික විශ්වාසයන් අනුව සිදුකිරීමට අවසරය ලබා දී තිබිය දී ශ්‍රී ලංකාව මේ ප්‍රශ්නය තවදුරටත් ඔඩු දුවන්නට දීම අතිශය කණගාටුදායකය. ආදාහනය ද භූමිදානය ද යන ගැටළුව හුදෙක් සෞඛ්‍ය ප්‍රශ්නයක් නොව තීන්දු තීරණ ගන්නා පුද්ගලයින්ගේ උද්ධ්ච්ච්ඡකම සහ මානය බිමින් තැබීමට මැලිවීම පිළිබඳව ගැටළුවක් බවට අද වන විට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ. ඒ අතින් ඉන්දීය අධිකරණයේ මානවවාදී තීරණය අතිශයින් පැසසිය යුතුය.

 

ලංකාව තුළ මුසල්මානුවන්ට පමණක් නොව බෞද්ධ,හින්දු සහ කතෝලික ප්‍රජාවට ද සිය කෝවිඩ් නිසා මියයන සිය සමීපතමයින්ට නිසි ගෞරවය සහ ආගමික වත්පිළිවෙත් තුළින් ශාන්තිය ප්‍රාර්ථනය කිරීම සඳහා අවස්ථාවක් නොමැතිවීම ඛේදයකි. එම ඛේදය මග හරවා ගැනීම සඳහා සුදුසු මාර්ගෝපදේශ කල්කටා මහාධිකරණය විසින් සිය තීන්දුවේ දක්වා තිබේ. ඒ පිළිබඳව අවධානය යොමු කර ශ්‍රී ලංකාව තුළ මේ තත්වය සමනය කිරීමට පියවර ගන්නා මෙන් අධිකරණ අමාත්‍යවරයාගෙන් මානවවාදී සියලුම ප්‍රගතිශීලී බලවේග විසින් ඉල්ලා සිටිය යුතුය. ඔහු ඒ සඳහා ගන්නා සෑම උත්සහයකටම කිසිඳු බේදයකින් තොරව සහය දිය යුතුය.

 

දේහයන්ගෙන් විෂබීජ ජලයට එකතුවීමේ හිතළුව

 

සෞඛ්‍ය විද්‍යාත්මකව මෘත දේහ මගින් ජලයට වෛරසය කාන්දුවන බවට කිසිඳු පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත්ව තිබෙන බවට මේ වන තෙක් වාර්තා වන්නේ නැත. එසේ අවධානමක් තිබෙන්නේ නම් මෘත දේහය බහාලන බෑගය තවත් දෙවන බෑගයක බහා පළමු සහ දෙවන බෑගය අතර විෂබීජ නාශක දියරයන් (ඇල්කොහොල් හෝ ක්ලෝරීන් අඩංගු ද්‍රවණයන්) පිරවීම සිදුකල හැක.  ඉතාලිය, ඇමෙරිකාව ආදී විශාල කෝවිඩ් මරණ ප්‍රමාණයක් සිදුවූ රටවල පවා දේහයන් නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් භූමිදානය සිදුකර තිබේ. අනෙක් අතට දැනට කෝවිඩ් වැළඳීම නිසා රජයේ රෝහල් වල නැවතී ප්‍රතිකාර ගන්නා රෝගීන් ගේ මල, මුත්‍ර, ඔවුන් භාවිතා කර ඉවත දමන අප ජලය පරිසරයට එකතු නොවන බවට පවතින සහතිකය කුමක් ද?

 

දැනට නිවෙස් තුළම මියගොස් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී රෝගී බවට අනාවරණය වූ පුද්ගලයින් ගේ දෛනික භාවිතයන් සහ මල මූත්‍ර ආදී ද්‍රව්‍ය කොතරම් පරිසරය හා මුසුවී ඇති ද ? ඒ පිළිබඳව කෙරී ඇති පර්යේෂණ මොනවා ද?

 

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිසි සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද තුළ ආදාහනය සහ භූමිදානය යන ක්‍රමවේද දෙකටම අවසර දී ඇති පසුබිමක අප එක රටක් එක නීතියක් යන ප්‍රකාශයක් පෙන්වා අනෙකා පෙළීමෙන් බලාපොරොත්තු වන ශාන්තිය කුමක් ද?

 

එක රටක් එක නීතියක් යථාවක් ද?

මෙය නීති විද්‍යාත්මක ප්‍රශ්නයකි. එය ගැඹුරින් විවිධ නීති විද්‍යා ගුරුකුල ඇසුරින් කල යුතු විග්‍රහයකි. නමුත් මගේ සාමාන්‍ය දළ අදහස පවසනවා නම්, නීතිය ස්වභාවයෙන්ම ඒකාකාරී නැත. නීතියට ව්‍යාතිරේඛී අවස්ථාවන් පවතී. එසේ වන්නේ සෑම අවස්ථාවකටම සෑම සිද්ධිමය කරුණකටම එකම නීතිය එකම අයුරින් අදාළ කරගැනීම තුළින් යුක්තිය පසිඳලීම දුෂ්කර බැවිනි. යුක්තිය යනු අසමානයන්ට සමාන අයුරින් බෙදීමෙන් අසමානතාව නඩත්තු කිරීම නොව අසමානයන්ට සමානයන් වන්නට අවස්ථාව ලැබෙන පරිදි විෂමතාවය දුරුකරන ක්‍රියාවලියක් විය යුතුය. එසේ වීමේ දී එකමදේ එකම අයුරින් අදාළ කිරීමට සෑම විටම අවස්ථාවක් නැත. අද අපා අත්දකින නීතිය වුවුද සෑම විටම සෑම අවස්ථාවකම එකම අයුරින් අදාළ වන්නේ නැත. එය විෂයගත සහ අවස්ථාගත කරුණු මත තීරණය වේ.

කිසියම් සංස්කෘතියක් විසින් භූමිදානය දෙවියන් හා සමාදානයේ සැතපීමට අවශ්‍යයයි සලකන්නේ නම්, ලෝකයේ ප්‍රධාන සෞඛ්‍ය පිළිබඳ ආයතනය වන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුව ආදාහනය සහ භූමිදානය සඳහා ඉඩ ලබා දී ලොව අන් රාජ්‍යයන් විසින් එය දැනටමත් සිදුකර ඇත්නම් අප ඒ සඳහා අවසර නොදී  තවදුරටත් මේ රටේ නැති ප්‍රශ්නයක් බේදයක් ඇති කරන්නේ ඇයි

 

සටහන - අකලංක හෙට්ටිආරච්චි 

Read 39 times Last modified on Sunday, 10 January 2021 01:47

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.