Tuesday, 15 December 2020 08:35

සිවිල්-මිලිටරි ආරක්ෂක රාජ්‍යයක සේයා..? Featured

Written by 
Rate this item
(0 votes)

පසුගිය දා මහර බන්ධනාගාරයේ රැදවියන් වෙත දියත් වූ ප්‍රහාරය හා ඝාතනය  වත්මන් පාලක බලාධිකාරයේ ඉදිරි ගමන තවදුරටත් සලකුණු කරන්නකි.මෑත රාවය වෙත මා ලියූ ලිපියක තේමාව වූයේ ඒකාධිපති ගමනේ නව සුපරීක්ෂණ යාන්ත්‍රණ පිළිබදවයි.එහිදී ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටුවීම, සෝදිසි කිරීමේ නව අන්තර් ජාල යෙදුමක් (App) හදුන්වා දීම ඇතුළු ජනතාවගේ පුද්ගලික හා සමාජයීය පරිමණ්ඩලය සිය අණසකට ගැනීමේ යාන්ත්‍රණයන් ගැන පැහැදිළි කළෙමි.දැන් බන්ධනාගාර රැදවියන්ගේ ඉතාම සාධාරණ ඉල්ලීම් මත සැලසුම් ගත ප්‍රහාරයක් දියත් කර තිබෙයි. එම රැදවියන් සිය විරෝධතාවයන් යොමු කරනු ලැබුවේ කොවිඩ් ව්‍යාප්තියෙන් සිය වාසය අනතුරට පත් වී තිබීම ,අධිකරණ ඉදිරිපත් කිරීම් දීර්ඝව කල් යාම හා බන්ධනාගාර නිලධාරීන්ගේ සැලසුම් ගත  ජාවාරම් නිසා සිය මූලික ආහාර අවශ්‍යතාවන් සීමා කිරීම් වලට ලක් කිරීම ආදී පීඩාවන් ට එරෙහිවයි. වත්මන් ආණ්ඩුව ප්‍රමුඛ නිලධර තන්ත්‍රය හා මිලිටරිය ඊට ප්‍රතිචාර දක්වා ඇති ආකාරය ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි දකුණේ ජන කොටස් වලට දැන් හොදින්ම පැහැදිළි වෙමින් තිබෙයි.වත්මන් පාලක-බලාධිකාරය සිය මර්දන මෙහෙයුම ක්‍රමයෙන් දියත් කිරීම අරඹා තිබෙන්නේ යාන්ත්‍රික-තාක්ෂණික උපක්‍රම හරහා පමණක් නොව ශාරීරික හිංසනයන් හා ඝාතනයන්ගේ සුපුරුදු මාදිළියත් සමගම බව මෙම සිදුවීම විසින් සාක්ෂි දරා තිබෙයි. කොවිඩ් ප්‍රශ්නය නිසා ආණ්ඩුවේ සැලසුම් යම් ව්‍යාකූලත්වයකට පත් ව තිබෙන බවක් පෙනුණ ද පසුගිය ජනාධිපතිවරණය පසුබිමේ සිටම පෙන්නුම් කළ ඒකාධිපති-අධිකාරිවාදී පාලන ක්‍රමයක් අභ්‍යාස කිරීමේ නැඹුරුව වත්මන් පාලනය විසින් කිසිසේත්ම හකුළා ගෙන නැත .කොවිඩ් දෙවෙනි රැල්ල විසින් සිදුකර ඇත්තේ එම ඒකාධිපති-මර්දන යාන්ත්‍රණයේ නව ඛණ්ඩාංක සලකුණු කරලීමකි.මර්දනය පැන නැගීමේ නව කොන්දේසි නිර්මාණය කරලීමකි.සරල බසකින් කිවහොත් 'පොලිස්-මිලිටරි රාජ්‍යයක' යම් සේයාවක් පාලක-බලාධිකාරය විසින් පෙන්නුම් කරමින් තිබෙනවා යැයි කිවහැකිය. පොලිස් දෙපාර්තමේන්තුව ද ඇතුළත් වන 'මහජන ආරක්ෂක අමාත්‍යාංශය' නම් වූ නව අමාත්‍යාංශයක් පිහිටුවමින් එහි නව ඇමතිවරයා ලෙස මිලිටරි-සිවිල් නිලධාරියකු හා ජනාධිපතිවරයාගේ සමීපතම සහචරයකු වන රියල් අද්මිරාල් සරත් වීරසේකර මහතාව පත් කිරීම එම 'ජාතික ආරක්ෂක රාජ්‍යයක්' ගොඩනැගීමේ අරමුණ පිළිබද එක් සුවිශේෂී පණිවුඩයකි.මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමේ ජනප්‍රිය අවශ්‍යතාවය ඉදිරියට දමමින් ග්‍රාමීය මට්ටමෙන් ආරක්ෂක කමිටු ජාලයක් නිර්මාණය කිරීම සිය ඉක්මන් අරමුණ බව සරත් වීරසේකර අමාත්‍යවාරයා කිහිප තැනකදී අවධාරණය කර තිබිණි.අමාත්‍යවරයා වැනි මිලිටරි නිලධාරීන්ට 'ප්‍රජාතන්ත්‍රවාදය' පිළිබදව ඇති නිශේධනීය කුප්‍රකට ආකල්පය ඉතාම පැහැදිළි වන නිසාම මෙවැනි තනතුරු පත්කිරීම් වල අරමුණ වන්නේ හුදු මත්දව්‍ය වැටලීම් පමණක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

 

ඒ අතරම වත්මන් පාලක හවුල බලයට පත්කිරීම සදහා සිය අනුමැතිය පළකල දකුණේ බහුතර ජනතාවගෙන් යම් සැලකිය යුතු කොටසකගේ අප්‍රසාදය මේ වනවිට මතුවෙමින් ඇති බව ද නිරීක්ෂණය කළ හැකිය.මෙම ආණ්ඩුව බලයට පත් වූයේ ජනතා- ජනප්‍රිය නිමේෂයකට තීරණාත්මක දේශපාලන ආමන්ත්‍රණයක් කිරීමට සමත් වීම තුළිනි. එම ජනතා-ජනප්‍රිය මොහොත නිර්මාණය කෙරුණේ 2015 යහපාලන සම්මුතිය විසිනි. හරියටම කිවහොත් 'ප්‍රජාතන්ත්‍රවාදය' පිළිබද පොරොන්දු පත්‍රයක් ඉදිරිපත් කරමින් 'යහපාලන හවුලක්' බලයට පත් වුවද සැබවින්ම සිදුවූයේ 'ප්‍රජාතන්ත්‍රවාදයේ' මූලික කුළුණු දෙක කඩා බිදදැමීමකි. මෙතනදී අප මතක තබා ගත යුත්තේ 'ප්‍රජාතන්ත්‍රවාදය' යනු 'ලිබරල්වාදයේ' පර්‍යාය පදයක් නොවන බවය. පසුගිය යහපාලන ආණ්ඩු සමය තුළ ඇතැම් ලිබරල් නියෝජනයන් ට ඉතාම සීමිත අර්ථයකින් යම් ඉඩක් තිබුණු බව මා ප්‍රතික්ෂේප කරන්නේ නැත.එහෙත් එය 'ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමක්' ලෙස වරදවා වටහා ගත යුතු නැත.ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කුළුණු දෙක වන්නේ මහජන ස්වාධිපත්‍යය හා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයයි.එහෙත් යහපාලන බල හවුල පදනම් වූයේ නව ලිබරල් සම්මුතිය මතය. යහපාලනය නමින් සිදුවූයේ නව ලිබරල්වාදී ආර්ථික-දේශපාලන දැක්මක් සහිත සම්ප්‍රදායික ප්‍රභූ ධනේෂ්වරයේ ශේෂ කණ්ඩායම සිය පන්ති බලය යළි උරගා බැලීමකි. එහි ප්‍රතිඵලය වූයේ ආර්ථිකයේ ජනතාවාදී ප්‍රතිපත්තීන් බැහැර කරදැමීම හා ජනතා පරමාධිපත්‍යය ඉතාම සීඝ්‍රයෙන් 'වෙළද ගණුදෙනු දේශපාලනයක්' බවට ඌනනය කිරීමයි.ප්‍රජාතන්ත්‍රවාදය ගැන කුමන බයිලාවන් කීවද පසුගිය නව ලිබරල් යහපාලනය තුළ සැබවින්ම කඩවැටුණේ ඉහත කී ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කුළුණු දෙකයි.අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය විසින් මෙම ප්‍රජාතන්ත්‍රවාදයේ කඩාවැටීම සන්දිස්ථානයක් ලෙසම තහවුරු කරනු ලැබීය. ජනතාවගේ ජීවිත ආරක්ෂා කළ නොහැකි සමස්ත ජනතා නියෝජනයම බරපතල අප්‍රසාදයකට ලක් කෙරුණු එම සිදුවීම නිසා දැවැන්ත අභියෝගයකට ලක් කෙරුණේ ජනතා පරමාධිපත්‍යය නම් වූ ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතියයි. ආණ්ඩුව තුළ පැවති පාර්ශව දෙකෙහි ආතතික ගැටුම ද මීට එක් වූ කළ 'යහපාලන බල තන්ත්‍රය' කෙරෙහි බරපතළ ජනතා අතෘප්තියක් දකුණු ලංකාව තුළ නිර්මාණය විය. 'ජනතා-ජනප්‍රියවාදී මොහොත' යනු මෙම ජනතා අතෘප්තිය දේශපාලනිකව ආයෝජනය කිරීමේ විවෘත විභවයක් නිර්මාණය වීමේ අවස්ථාවයි. ගෝඨාභාය රාජපක්ෂ නම් වූ 'නව පොරොන්දුවක මිනිසා' කරළියට එන්නේ මෙම ජනතා-ජනප්‍රියවාදී මොහොතට කළ කඩාවැදීමක් ලෙසය.

 

එමනිසා පසුගිය ජනාධිපතිවරණ සන්දර්භය තුළ ඔහු අත පැවතියේ ඊට සාපේක්ෂ වූ න්‍යාය පත්‍රයකි. වියත්මග වැනි ව්‍යාපෘති හරහා ඉහළ ආර්ථික ආයෝජන මූලික කරගෙන පහළ සමාජ ස්ථර කරා එහි ප්‍රතිලාභ ව්‍යාප්ත කිරීමේ මාදිලියක් ප්‍රචාරය කරනු ලැබීය. සිය මිලිටරි සංකේතයත් ආයෝජනය කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කෙරෙන ශක්තිමත් සිවිල්-මිලිටරි නිලධර තන්ත්‍රයක් ස්ථාපිත කිරීම ගැන ප්‍රචාරය කරන ලදී. සිංහල-බෞද්ධ වාර්ගික ජාතිකවාදී දෘෂ්ටිමය බලඇණිය හරහා සුළු ජාතීන්ගේ අන්තවාදය පරාජය කර සම්ප්‍රදායික සිංහල බෞද්ධ රාජ්‍ය බලයක් පිහිටුවීමේ සහතිකය ලබා දෙන ලදී. ජනාධිපතිවරණ ජයග්‍රහණය පමණක් නොව ඉන් අනතුරුව තුනෙක් දෙකෙහි බලයක් ලබා ගැනීමේ සාර්ථක ගමන් මග වැටී තිබුණේ මෙම ව්‍යාපෘතික-ප්‍රචාරක ජාලය හරහාය.

 

එහෙත් විධායකය බලයට පත්ව වසරක් ගිය තැන ඇත්තේ එකී ව්‍යාපෘතික ගමනේ මෘදු චලනයක් නොවෙයි.මහමැතිවරණය දක්වා තනි විධායකයට සිදුවූයේ සිය අනුහස සහතික කිරීමේ බලකායන් පිහිටුවීමේ කාර්‍යයන්ට ප්‍රමුඛත්වය දීමයි.පළමු කොවිඩ් රැල්ල විසින් ඇති කළ නව තත්වයන් කළමණාකරණය කෙරුණේ ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමේ උපක්‍රමික සැලසුම් ලෙසය.මහමැතිවරණයේ විශාල ජයග්‍රණයකුත් සහිතව සිය සැලසුම් කරා යාමට බරපතළ බාධකයක් ලෙස දෙවෙනි කොරෝනා රැල්ල ද දැන් පතිත වී තිබෙයි.මේ වන විට ලංකාවේ කොරෝනා අර්බුදයේ දිශානතිය පිළිබද පැහැදිළිතාවයක් වත්මන් බලාධිකාරයට නොමැති බව පැහැදිළි වෙමින් තිබෙයි.කොරෝනා මර්දනය කිරීමේ සමස්ත යාන්ත්‍රණය පවතින්නේ ඒකමිතියකින් තොර වියවුලකය.කොවිඩ් දෙවෙනි රැල්ල නිසා බරපතළ ආර්ථික-ජීවන අර්බුදයකට පත් ව ඇති බහුතර පහල පාංතික ජනයා වෙත සුබසාධන හා ජීවනෝපාය තත්වයක් සලසා දීමට පාලන තන්ත්‍රය තීරණාත්මකව අපොහොසත් වී තිබෙයි. විවිධ පහළ පාංතික ජන කොටස් අතර සිය මූලික ආහාර අවශ්‍යතා සදහා විරෝධතා දැක්වීමේ තත්වයක් නිර්මාණය වෙමින් තිබෙයි.එම ජනතාව වෙත ආහාර ඇතුළු මූලික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ව්‍යාප්ත කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් ආණ්ඩුව සතුව නැත.මෙම තත්වය හේතුවෙන් බහුතර පහළ පාංතික සමාජ ස්ථර අතර අතෘප්තිමත් කළකිරීමක් මෝදු වෙමින් පවතින බවද නිරීක්ෂණය කළ හැකිය.

 

ඒ අතර ගෝඨාභය ප්‍රමුඛ බල අක්ෂය විසින් අනුදත් ඉහළ ස්ථරයේ ආර්ථික ආයෝජන-සංවර්ධන ව්‍යාපෘතියද මේ වනවිට ඇනහිට තිබෙයි.එය හුදු කොවිඩ් දෙවෙනි රැල්ලේ ලාංකේය ප්‍රතිඵලයක් පමණකටත් වඩා කොවිඩ් ප්‍රහාරය හේතුවෙන් ගෝලීය ධනේෂ්වර ආර්ථික සංවර්ධන මොඩලයම පත් ව ඇති දැවැන්ත අර්බුදයේම පරාවර්තනයකි.ඉදිරියේ බොහෝ කාලයක් පුරාම මෙම ගෝලීය ධනේෂ්වර ආර්ථික කඩාවැටීමේ විපාකයන් සංකීර්ණ කෙරෙනු ඇත.ඒ අනුව මහා ප්‍රාග්ධනයේ මැදිහත් වීම ඇතූළු ඉහළ ස්ථරයේ ආර්ථික ආයෝජන පිළිබද සැලසුම් අනපේක්ෂිත තත්වයකට ලක් ව තිබෙයි. කලින්ද දැක්වූ පරිදි ගෝඨාභය ප්‍රමුඛ බල තන්ත්‍රයේ ආර්ථික වැඩපිළිවෙල ලෙස ඉදිරිපත් කෙරුණේ ඉහළ ආර්ථික-සංවර්ධන ව්‍යාපෘතීන්ගේ ප්‍රතිලාභ පහළට කාන්දු කෙරෙන යෝජනාවකි.මේ වනවිට මුදුනින්ම අභියෝගයට ලක් ව ඇත්තේ එම ආර්ථික-දේශපාලන න්‍යාය පත්‍රයයි .

 

අනෙක් අතට වත්මන් ආණ්ඩුව බලයට රැගෙන ඒමේ මූලික හස්තයක් වූ සිංහල-බෞද්ධ වාර්ගික-ජාතිකවාදී බලඇණියේ ඒකමිතිය මේ වනවිට යම් සසැලීමකට ලක් ව තිබෙයි.ජනතාව මුහුණ දෙමින් ඇති වත්මන් ඓන්ද්‍රීය ප්‍රශ්නයන් වාර්ගික පසමිතුරුතාවයන් කරා විතැන් කිරීමේ ප්‍රයත්නයන් තිබුණද මීට වසරකට පෙර තිබුණු තරම් එහි ඉක්මන් ප්‍රතිඵල පිළිඹ්බු වන්නේ නැත.බලාධිකාරයේ බල කේන්ද්‍රයන් අතර වන ආතතීන් නිසා අධිපති වාර්ගික ජාතිකවාදයේ දෘෂ්ටිමය මෙහෙයුම් යම් විකේන්ද්‍රීය ස්වාභාවයක් ගෙන ඇත.සිංහල බෞද්ධ වාර්ගික ජාතිකවාදයට ඇති දෘෂ්ටිවාදී සුජාතකරණයේ බලය බිදවැටී ඇති බවක් මින් කිසිසේත්ම අදහස් වන්නේ නැත.කලින් පැවති සමෝධානයේ යම් තත්වාරෝපිත වෙනසක් පමණක් සිදුව ඇති බව නිරීක්ෂණය කළ හැකිය.කොහොමටත් අධිපති වාර්ගික ජාතිකවාදයට සිය ඒකමිතික බලය පවත්වා ගත හැක්කේ විපක්ෂ බලවේගයක් ලෙස පවතින තත්වයක් තුළය යන්න මෙහිදී අමතර කරුණක් ලෙස මතක් කළ යුතුය.

 

ඒ අනුව වත්මන් අභ්‍යන්තර හා බාහිර සාධක නිසා පාලක බලාධිකාරයේ ආර්ථික ව්‍යාපෘතික  හා දෘෂ්ටිවාදී මෙහෙයුම්-ප්‍රචාරක යාන්ත්‍රණයන් කලින් සැලසුම් කර තරමින් මේ වනවිට වැඩ කරන්නේ නැත. සිවිල්-මිලිටරි තන්ත්‍රයක් පෙරටු කරගනිමින් ආණ්ඩුවේ මර්දන හස්තය ඉදිරියට එමින් තිබෙන්නේ ආණ්ඩුව අභ්‍යන්තරිකව මුහුණ දෙමින් ඇති ඉහත අර්බුදයට දැක්විය හැකි ප්‍රතිචාරයක් ලෙසය.මර්දනයේ උපකරණයන් ඉදිරියට පැමිණෙන්නේ හෙජමොනික දේශපාලනයේ අසාර්ථකත්වය තුළ බව මෙහිදි සිහිපත් කළ හැකිය. ජනාධිපතිවරයාගේ සිවිල්-මිලිටරි ගජමිතුරු කල්ලිය වඩා අනුදත් පාලන ශෛලිය ද මීට අතිරේක ආයෝජනයක් එක් කරනු ලබයි. රාජපක්ෂය ප්‍රමුඛ පාලක බලාධිකාරයේ හෙජමොනික දේශපාලන මානය සම්පූර්ණයෙන්ම බිදවැටුණු තත්වයක් නිර්මාණය වී ඇතැයි මින් වරදවා නොගත යුතුය.ඒ වෙනුවට කොවිඩ් සංකීර්ණය විසින් උද්ගත කර ඇති වත්මන් හා අනාගත අභියෝග විසින් ඇති කෙරුණු තත්වයක් ලෙස මෙය හදුනාගත හැකිය.

 

බලාධිකාරය මේ වනවිට පසුවන්නේ සිය පළමු වසරේ මධුසමය සාර්ථකව ගත කිරීමට නොහැකි වීමේ අර්බුදයකය.එය මීට පෙර බලයට පත් ආණ්ඩු වලට මුහුණ දීමට නොලැබුණු නව තත්වයකි.කොවිඩ් මර්දනය කෙරෙන කාලයක් නිශ්චිතවම උපකල්පනය කළ නොහැකිය.යම් ඉක්මන් දිනක මර්දනය කෙරුණා වුවද ඉන් ඇති කළ ආර්ථික-දේශපාලන ප්‍රතිවිපාක තව දිගුකලක් පවතිණු ඇත.වත්මන් පාලන තන්ත්‍රයට ඊට මුහුණ දීම කිසිසේත්ම පහසු වන්නේ නැත.පශ්චාත් කොවිඩ් ධනවාදී ලෝක ක්‍රමය තුළ ලංකාවට මුහුණ දීමට සිදුවන අර්බුදය සිතනවාට වඩා ගැඹුරුය.ඒ අනුව වත්මන් පාලක බල හවුලේ ඉදිරිකාලය තුළ ජනතා කැමැත්ත නැවත සංවිධානය කරගැනීම කිසිසේත්ම පහසු කාර්‍යයක් නොවෙයි.පළමු වසර තුළම ජනතා මතකය තුළ ආණ්ඩුව පිළිබදව ඇති සටහන යහපත් නැත. ජනතා-ජනප්‍රියවාදී මොහොතක් තවමත් නිසි ලෙස නිර්මාණය වී නොමැති වුවද ජනතා අතෘප්තිය ක්‍රමයෙන් මෝදුවෙමින් එන ආකාරය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී-වාම බලවේගයන්ගේ සක්‍රීය නිරීක්ෂණයට ලක් විය යුතුව තිබේ. ඒ සදහා කාලය නම් නිශ්චිතවම එළඹ ඇත.

 

- විදර්ශන කන්නන්ගර

Read 114 times Last modified on Tuesday, 15 December 2020 09:19

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.