Print this page
Wednesday, 09 December 2020 19:37

සාදික්කා කතා වස්තුව

Written by 
Rate this item
(0 votes)

සාදික්කා ගෙඩියට ඇත්තේ ලේ වැකුණු ඉතිහාසයකි. ඉන්දුනිසියාවේ බන්දා දුපත් වලට සීමා වී තිබූ සාදික්කා වගාව අත්පත් කර ගැනීම සඳහා ලන්දේසීන් කල කුරිරු සටනින් අවසානයේ ඉතිරි වූයේ දූපත් වාසීන් 15000 ක් අතරින් දහසක් පමණක් බව කියවේ. 

 

ක්‍රි.ව. 6 වන සියවසේ දී පමණ ඉන්දියාවට හඳුන්වා දී ඇති සාදික්කා ශාකය ඉංග්‍රීසින් විසින් 19 වන සියවසේ දී ලංකාවේ වගා කරන ලදී. සාදික්කා එක් අතකින් අති විශේෂ කුළුබඩුවකි. එයට හේතුව නම් සාදික්කා සහ වසාවාසි යන එකිනෙකට වෙනස් කුළුබඩු වර්ග දෙකක් එකම ශාකයෙන් ලබා ගත හැකි වීමයි. කුළුබඩුවක් ලෙස පමණක් නොව විවිධ රෝග සඳහා ඖෂධයක් ලෙසත් සාදික්කා අතීතයේ සිටම භාවිතා වී ඇත. මෑත කාලීනව කල පර්යේෂණ මගින් ද එහි ඇති විවිධ ඖෂධීය ගුණ පිළිබඳ මනාව තහවුරු කර ඇත. 

 

සාදික්කා වල අඩංගු ප්‍රධාන රසායණික සංයෝගය මිරිස්ටිසින් වේ. බත් වුවත් වැඩියෙන් කෑවොත් අගුණ වන්නා සේම සාදික්කා ද අධි පරිභෝජනය මාරක ප්‍රතිපල වුව අත්කර දිය හැක. සාදික්කා කුඩු ග්‍රෑම් 5 කට වඩා වරකට පරිභෝජනය විෂ සහිත බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. තවත් එක් වාර්තාවක දැක්වෙන පරිදි අවුරුදු 8 ක දරුවෙක් සාදික්කා ග්‍රෑම් 14 ක් ආහාරයට ගැනීම හේතුවෙන් මරණය‍ට පත් වී ඇත. මරණයට අමතරව මොලයට සිදුවන විවිධ අහිතකර බලපෑම් ද ඇත.

 

සාදික්කා ගැන අවස්ථා කීපයකදීම ලියන්නට සිදුවූයේ වර්තමානයේ අප රටේ සාදික්කා ඇසුරෙන් නිපදවා ඇති පැණිය නිසා ය. මේ පැණිය තුල නම් අධික සාන්ද්‍රණයකින් සාදික්කා අන්තර්ගතව ඇතැයි මම නොසිතමි. එසේ වූවා නම් මේ වන විට ඒ බව වාර්තා වී තිබෙනු ඇත. ගැටළුව ඇත්තේ පැණිය සාදන්නට අපේ උදවිය විවිධ වට්ටෝරු සමාජ ගත කරමින් සිටීමය. සාදික්කා මගින් ඉක්මණින් ප්‍රතිපල ලබා ගැනීමට කවුරුන් හෝ අධික ලෙස ආහාරයට ගත හොත් එමගින් ඉතා හානිදායක ප්‍රතිපල ඇතිවීමට ද ඉඩ ඇත. බෙහෙතක් යනු යම් මාත්‍රාවකට අනුව ලබා ගත යුතු දෙයකි. එබැවින් අන්තර්ජාලයේ හුවමාරු වන කිසිදු වගකීමකින් තොර වට්ටෝරු අත්හදා බලන්නට ගොස් අමාරුවේ වැටෙනවාට වඩා කරුණු දැන සිහි නුවණින් කටයුතු කිරීම වඩා උචිත බව සටහන් කර තබමි.

 

(මෙහි ඇති කරුණු සියල්ල තහවුරු කල හැකි විද්‍යාත්මක ලේඛණ පදනම්ව ලියා ඇති බව සඳහන් කරමි.)

 

- අරුණ රණවක

Read 331 times