දෙන්නගෙන් එක්කෙනෙක් ඉතාම කිට්ටුවෙන් ඇසුරු කරපු දේශපාලන ජීවිතයේදී ළඟින් හිටපු කෙනෙක් .ඒ ලලිත් ,ඇසුරු කරලා නැති උනත් එකම දේශපාලන භාවිතාවක මේ සමාජය වෙනස් වෙන්න ඕනි කියන දේශපාලන අරමුණක වැඩ කරන්න සූදානම් වෙලා වමේ ව්‍යාපාරයක වැඩ කරන්න අධිෂ්ඨානයෙන් මැදිහත් වුන මිනිහෙක් කුහන්. මේ දෙසැම්බර් මාසේ දහවැනිදා කියන්නේ ලෝක මානව හිමිකම් දිනය.ඒත් උඹලා දෙන්නම අතුරුදහන් කරලා මේ වෙනකොට අවුරුදු ගණනාවක් ගෙවිලා ගිහින් .
ගොඩක් දෙනෙකුට ඒ සිදුවීම මේ වෙනකොට සිදුවීමක් විතරයි .සමහරු අහනවා ලලිත් කුහන් කියන්නේ කවුද කියලා .ඔව් ,සමාජයේ සමහර අය දන්නෙත් නෑ උඹලා කවුද කියලවත් එක අතකට ඒක සමාජයේ වරදකුත් නෙවෙයි .මොකද අපේ සමාජය ඒ තරමට නිද්‍රාශීලීයි.කවුද මරන්නේ, මොකටද මරන්නෙ කවුද අතුරුදහන් වෙන්නේ, ඇයි අතුරුදහන් කරන්නේ ,කාටද එහෙම කරන්න ඕනේ මේ වගේ කාරණා තමන්ටම එහෙම වෙනකම් අපේ සමාජයට අදාල නෑ.
අවුරුදු හතකට අටකට පස්සෙත් මේ සමාජයේ මේ වගේ සිදුවීම් ඕන තරම් වෙලා තියෙනවා .දැනුත් මේ මොහොතෙත් වෙමින් තියනවා .ඒත් මේ සමාජය නිහඬයි . ඒ නිහඬබව බිඳින මිනිස්සු දැන් පළවෙනි ගල ගහන්න සූදානම් වෙන්න ඕනේ .ලලිත් කුහන් ,ශරීරයෙන් පුංචි වුනත් උඹලට මේ රටේ මහා සන්නද්ධ බලයක් තිබ්බ පාලකයෝ බයවුනා .
ඒ බය වීම උඹලා දෙන්න අතුරුදහන් කරන තැනකට ම තල්ලු කෙරුවා . අදත් මේ සමාජය ඒක අත්විඳිමින් ඉන්නවා .විශේෂයෙන් මේ දෙසැම්බර් මාසේ දහ වෙනිදාට යෙදෙන මානව හිමිකම් දිනය දවසට අද දවසේ ලාංකීය සමාජයට ඒක විශේෂ පණිවිඩයක් ගේනවා. අදත් මහර බන්ධනාගාරය ඉස්සරහ අම්මලා තමන්ගේ දරුවන්ව ඉල්ලලා පාලකයන්ගේ දෙපා මුල වැඳ වැටි වැටී කඳුළු වගුරුවනවා.තමන්ගේ පුතාගේ පින්තූරය අතේ තියාගෙන අදත් අම්මා කෙනෙක් අඩා වැලපෙද්දි ,ලලිත් ගේ තාත්තා නංගිලා ,කුහන් ගෙ බිරිඳ දුව ඒ වගේම දහස් ගණන් උතුරේ දකුණේ අම්මලා තමන්ගෙ දරුවෝ ඉල්ලලා ,ස්වාමිපුරුෂයන් ඉල්ලලා මහපාරේ, ගිනි අව්වේ හිරගෙවල් ,පොලිසි, බන්ධනාගාර ගානේ හඬා වැලපෙමින් නගපු අඳෝනා තවමත් ඉවර නෑ නේද කියලා හිතෙනවා ඇත්තටම අපි ඒ වැළපීම් වලට තිත තැබිය යුතු නැද්ද ....?
- හේමමාලි අබේරත්න