Friday, 01 May 2020 12:48

පීඩාව සහ සූරාකෑම අවසන් කිරීමේ විප්ලවීය ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගීමට එක්වෙමු – පෙ.ස.ප. මැයි දින පණිවුඩය

Written by 
Rate this item
(0 votes)

අද(1) ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය, පීඩාව සහ සූරාකෑම අවසන් කිරීමේ විප්ලවීය ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගීමට එක්වන ලෙස වැඩකරන ජනතාව ඇතුලු බලවේගවලින් ඉල්ලා සිටී.

 

එම කම්කරු දින පණිවිඩය මෙසේය.

“මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය ලොව පුරා වැඩකරන ජනතාව විසින් සමරනු ලබන්නේ කොවිඩ් වසංගතය විසින් සිය ජීවිත අඩපණ කරනු ලැබූ තත්වයක් තුළය. වෙනදා මෙන් කම්කරු දින පෙළපාලි, රැස්වීම් සහ වෙනත් සැමරුම් සඳහා සහභාගී වීමේ අවස්ථාවක් වසංගතය විසින් ඉතිරි කර නොතිබුණද ජාත්‍යන්තර කම්කරු දිනය සීමාකාරී කොන්දේසි යටතේ වුව සැමරිය යුත්තේ මේ මොහොත විසින් ඉදිරිපත් කරන අභියෝග සහ අනාගත අභියෝග සඳහා එකම විකල්පය වැඩකරන ජනතාවගේ ස්වාධීන දේශපාලන බලයක් පමණක් හෙයිනි. පසුගිය සති කිහිපය තුළ ඔප්පු වී ඇත්තේද මෙවන් ගෝලීය වසංගත තත්වයන් මෙන්ම ගෝලීය පරිසර අර්බුද සහ ලෝක යුද්ධ අවදානම ඉදිරියේ ලිබරල්වාදය සහ ජාතිකවාදය දැඩි අසමත් කමක් පෙන්වන අතර මාර්ගය විවර වී ඇත්තේ වැඩකරන ජනතාවගේ ජාත්‍යන්තර සහයෝගීතාවයක් පදනම් කර ගත් දේශපාලනයක් වෙත බවය. 1891දී ප‍්‍රථම ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමේ සිට මේ දක්වා ජාත්‍යන්තර කම්කරු දිනයේ අර්ථය නිර්මාණය වුයේ වැඩකරන ජනතාවගේ, කම්කරුවන්ගේ, ගොවියන්ගේ ස්වාධීන දේශපාලන සංවිධානයක් සහ ස්වාධීන දේශපාලන බලයක් වෙනුවෙනි. කොරෝනා වසංගතය විසින් ධනවාදයේ අසමත්බව, මානව විරෝධී බව සහ විනාශකාරී බව තහවුරු කර තිබෙන මෙම මොහොතේද අප හමුවේ ඇති එකම ප‍්‍රායෝගික විසඳුම එය පමණක් වන අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය ‘ව්‍යසනයේ බර ජනතාව මත පටවන, ධන කුවේරයන්ගේ ලාභ කඳු රකින, ධනවාදයට එරෙහිව සමාජවාදය‘ යන තේමාවෙන් මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා එක් වන්නේ ධනවාදයේ ව්‍යසනකාරී බව සහ සමාජවාදයේ අවශ්‍යතාව පිලිබඳ එම පණිවුඩය වැඩකරන පන්තියට ඉදිරිපත් කරමිනි.


කොරෝනා වෛරසයේ පන්තිමය ස්වභාවයක් නැති බවත්,. එය පන්තිමය නොවන හා සමස්ත මානව සංහතියට අභිමුඛ වූ අභියෝගයක් බවත් තහවුරු කිරීමට දක්ෂිනාංශික දෘෂ්ටිවාදීන් කෙතරම් උත්සාහ දැරුවද එම උත්සාහයන් ව්‍යර්ථ වී තිබේ. වෛරසයට පන්තිමය ස්වභාවයක් නැති වුවත් කොරෝනා වෛරසය පැමිණෙන්නේ පන්තිමය වශයෙන් බෙදුණු විෂමතාවය රජයන සමාජයකටය. වසංගතයේ කාලය විසින් හුදු වෛද්‍ය විද්‍යාත්මක උපදෙස් වලට විසඳිය නොහැකි දේශපාලන ප‍්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කර ඇත. වෛරසය සිය ප‍්‍රහාරය එල්ල කරන්නේ සමජාතීය ලෝකයකට නොව මිලියන 820ක ජනතාවක් හාමතේ සිටින ලෝකයකටය. ලංකාවේ පමණක් මන්දපෝෂණයෙන් පෙලෙන ජනගහනයේ ප‍්‍රතිශතය 27.1%කි. වෛරසයට මුහුණ දෙන ලෝකයේ මන්දපෝෂණය නිසා ප‍්‍රතිශක්තිය දුර්වල වූ, වැහැරුණු ශරීර ඇති මිලියන ගණනක් සිටී. සෞඛ්‍ය සේවය වෙළඳ භාණ්ඩයක් කරනු ලැබූ යතාර්ථයක් තුළ සිය අවම සෞඛ්‍ය පහසුකම් අහිමිවූ, රෝග නිර්ණය පරීක්ෂණයක් හෝ ප‍්‍රතිකාර සඳහා අවස්ථා අහිමි වූ විශාල ජනගහනයකින් මේ ලෝකය සමන්විතය. වෛද්‍ය විද්‍යාව විසින් පුද්ගලයන් අතර අවම පරතරය යෝජනා කරන්නේ අවම පහසුකම් හෝ සහිත නිවාස වෙනුවට සීමිත ඉඩක දුසිම් ගණන් ගොඩගසන ලද පැල්පත් සහිත ලෝකයකටය. කොළඹ කෙසෙල්වත්තේ පර්චස් 20ක පුද්ගලයන් 230ක් වාසය කළ බව පසුගියදා අනාවරනය වූ අතර වතු කම්කරුවන්ගේ තත්වය මීටත් වඩා ඛේදජනකය. කොරෝනා වෛරසයට සමාජයක් ලෙස එක්ව මුහුණදීමේ අවස්ථාව පන්ති සහිත සමාජය විසින් අපට අහිමි කර ඇති අතර දැන් අපට මෙයට මුහුණ දීමට සිදු වනුයේ ශක්තිවන්තයා ජය ගැනීමේ හා දුබලයා මියයාමේ සත්ව ලෝකයේ නීතියට අනුවය. විශාල අවදානමක් අමතක කරමින්, ප‍්‍රාග්ධන අභිලාෂයන්ට මුල්තැන දෙමින් වැඩකරන ජනතාව ආර්ථික ක‍්‍රියාකාරීත්වයට කැඳවන අත්දැකීම සහ තව දුරටත් ආර්ථික ක‍්‍රියාකාරීත්වයට සම්බන්ධ නොවන වැඩිහිටියන් හට මියයාමට ඉඩ සලසමින් සිය පිරිවැය ඉතිරි කරන පාලකයන්ගේ අත්දැකීම් විසින් ධනවාදයේ ම්ලේච්ඡුත්වය තහවුරු කර ඇත. ඒ සියලූ පාර්ශව වලින් සලකා බලන කල කොවිඞ් වසංගතය වූ කලි සමාජයේ අතිමූලික පරිවර්තනයක් අවශ්‍ය බව දන්වමින් නාද වන එලාමයකි.

නමුත් මෙතරම් වේදනාකාරී අත්දැකීමකින් පවා, මෙතරම් සුපැහැදිලි ලෙස ධනේශ්වර පද්ධතියේ ඇති ව්‍යුහාත්මක අර්බුදය ප‍්‍රදර්ශනය කළ අත්දැකීමකින් පවා සමාජයේ දේශපාලන චින්තනය එම අත්දැකීමට සාපේක්ෂ පරිවර්තනයකට ලක්කර නැති බව පැහැදිලිය. එහි ප‍්‍රධාන හේතුවක් වන්නේ වැඩකරන ජනතාව සතු ස්වාධීන දේශපාලන වැඩපිළිවෙලකින් හෝ වැඩකරන පන්තියේ ස්වාධීන දේශපාලන සංවිධානයකින් තොරව ධනේශ්වර හෝ සුළු ධනේශ්වර දේශපාලන මරඋගුලේ සිරකරුවන්ව සිටීමයි. එනිසා මේ මහා වසංගතය භාවිතා කර සිය පන්ති බලය යළි පණගැන්වීමට පාලකයෝ සහ වරප‍්‍රසාදලත් පන්තිය මාන බලමින් සිටිති. වසංගතයේ සමස්ත බර වැඩකරන ජනතාව මත පැටවීමට, කම්කරු අයිතීන් උදුරා ගැනීමට, රැකියා අහිමි කිරීමට, වැටුප් කපා දැමීමට හා සේවා කොන්දේසි කප්පාදු කිරීමට දැනටමත් උත්සාහයක් දියත් වෙමින් තිබේ. අවිධිමත් ශ‍්‍රම ක්ෂේත‍්‍රයේ නියුතු ජනයාගේ ජීවනෝපායන් අහිමිවී, ජීවන මට්ටම් බිඳ වැටී ඇති අතර ඔවුන්ට වසංගතයේ මුළු කාලය තුළ එක වරක් රුපියල් 5000ක සොච්චමක් දී අත පිසදා ගැනීමට පාලකයන් මාන බලයි. ගොවීන්ගේ අස්වැන්න කුණුකොල්ලයට පැහැර ගැනීමට ජාවාරම්කරුවන්ට ඉඩ සලසා ඇති අතර රජයේ මිල පාලන සියල්ල පුස්සක් හා විහිළුවක් බවට පත් වෙමින් භාණ්ඩ හා සේවා මිළ අයුක්තිසහගත ලෙස වැඩි වෙමින් පවතී. දැඩි සත්කාර ඒකක ඇඳන් හිඟය, ස්වසන ආධාරක හිඟය, ඖෂධ හිඟය, කාර්ය මණ්ඩල හිඟය ආදියෙන් සෞඛ්‍ය සේවය ආතුර වී ඇත්තේ පසුගිය ඉතිහාසයක් පුරා දියත් වූ නිදහස් සෞඛ්‍ය සේවය අහෝසි කිරීමටත්, සෞඛ්‍ය සේවයේ වගකීමෙන් රජය ඉවත්වී, එහි බර ජනතාව මත පැටවීමේත් ව්‍යාපෘතියක අවසන් තාර්කික ප‍්‍රතිඵලය ලෙසිනි. නමුත් රජය මේ කිසිදු අර්බුදයක් ඉදිරියේ ධන කුවේරයන්ගේ ලාභ මලූ සොලවන්නේ නැත. එපමණක් නොව මහජන අරමුදල් පවා වියදම් කරමින් සිටින්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහ ජන ජීවිත වල අත්‍යවශ්‍ය අවශ්‍යතා උදෙසා නොව දැවැන්ත ඒකාධිකාර සමාගම් වල ලාභ රේට්ටු ආරක්ෂා කරදීම සම්බන්ධයෙනි. මෙය ලොව පුරා බොහෝ රටවල පාලකයන් අනුගමනය කරන ප‍්‍රතිපත්තියකි. කොරෝනා වසංගතය විසින් ජනිත කළ අර්බුදය ඉක්මවා ලෝක ආර්ථික අවපාතයක් ඇති වීමට නියමිත බව ආර්ථික විද්‍යාඥයන් පවසන අතර එම ආර්ථික අර්බුදයේ බරද 2008 අර්බුදයේදී මෙන්ම ජනතාව මත පැටවීමට නියමිතය. එමෙන්ම කොවිඞ් වසංගතය භාවිතා කර ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් උදුරා ගැනීමටත්, රාජ්‍ය මර්දන යාන්ත‍්‍රණ වල දත් සහ නිය මුවහත් කිරීමටත්, ජන ජීවිත ආරක්ෂා කිරීමට වඩා වැඩි ප‍්‍රමුඛතාවක් සිය බලපොර වලට ලබා දෙමින් සමාජයක් අනතුරේ හෙලමින් දේශපාලන බල න්‍යායපත‍්‍ර ඉදිරියට ගැනීමටත් පාලක පන්තිය කටයුතු කරමින් සිටී. එනම් මෙම අවස්ථාව ප‍්‍රතිගාමීත්වය අලූත් වටයකින් බලගන්වා, ධන කුවේරයන්ගේ ලාභ කඳු ආරක්ෂා කිරීම උදෙසා සමාජයේ බහුතරය අගාධයකට තල්ලූ කරන ව්‍යාපෘතියක් ක‍්‍රියාවට නැගේ.


කෙටි කාලීන අර්ථයෙන් ගත් කළ එකී ප‍්‍රතිගාමී ව්‍යාපෘතිය පරාජය කිරීමටත්, වැඩකරන ජනතාවගේ අයිතීන් ආරක්ෂා කර ගැනීමටත් ඇති එකම මග වැඩකරන ජනතාව සංවිධානය වීම, අරගල කිරීම පමණි. දිගු කාලීනව මේ සියලූ අර්බුද සඳහා එකම විසඳුම ලෙස ඇත්තේ දැවැන්ත සමාජ පරිවර්තනයක් පමණක් බව කොරෝනා වෛරසයේ අත්දැකීම විසින් වැඩිවැඩියෙන් තහවුරු කරන ලදී. එම පරිවර්තනය සඳහා ඇති එකම මග වනුයේද වැඩකරන ජනතාව තමන්ගේම ස්වාධීන දේශපාලන සංවිධානයක් ගොඩ නගාගෙන රාජ්‍ය බලය අත්පත් කර ගැනීම පමණි. එනම් ධනවාදය පරාජය කර සමාජවාදය ගොඩ නැගිය යුතුව තිබෙන අතර ගෝලීය පරිමාණයෙන් අධිරාජ්‍යවාදය පරාජය කර ජාත්‍යන්තර සමාජවාදය ජයග‍්‍රහණය කරවිය යුතුය. ඒ සඳහා එක්වන ලෙස පීඩාවට පත්, සූරාකෑමට ගොදුරුවූ සියලූ දෙනාට ආයාචනා කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය පන්තියේ ස්වාධීන දේශපාලන සංවිධානයක් ගොඩ නැගීමට සහ පුළුල් විප්ලවීය ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගීමට වැඩකරන ජනතාව ප‍්‍රමුඛ බලවේගවලට කැඳවුම් කර සිටී.”

Read 737 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.