Wednesday, 29 April 2020 22:16

ඇඳිරිනීතිය නීත්‍යානුකූල නොවන්නේ ඇයි ? -  නීතීඥ සංජය විල්සන් ජයසේකර

Written by 
Rate this item
(0 votes)

ලංකාවේ කොරෝනා වසංගතය මධ්‍යයේ විවිධ සාධාරන අවශ්‍යතා සඳහා මාර්ගයට බසින බහුතරයක් දුප්පත් මිනිසුන් ඇඳිරිනීතිය උල්ලංගනය කිරීම යන චෝදනව යටතේ දිගින් දිගටම අත්අඩංගුවට ගැනෙමින් පවතී. දැනට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගනන 40000 ට වැඩි සංඛ්‍යවක් වන අතර බොහෝ දෙනා නඩුවලට පෙනී සිටීමේ කොන්දේසි මත ඇප පිට නිදහස් කර තිබේ. එහෙත් අඳිරිනීතිය උල්ලංගනය කිරීම යන චෝදනාව නීත්‍යානුකූලද?

⁣නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහන දැන් කියා සිටින්නේ ජනාධිපති මාධ්‍ය නිවේදන හරහා පනවනු ලබන ඇඳිරි නීතිය පනවනු ලබන්නේ 1947 අංක 25 දරන සංශෝධිත මහජන ආරක්ෂක ආඥාපනතේ (මආආ) විධිවිධාන යටතේ නොවන බවත් 1897 අංක 3 දරන සංශෝධිත නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥාපනතේ (නිරෝවැආ) හා ඒ යටතේ නිශ්චිතව සඳහන් නොකරන රෙගුලාසි යටතේ බවත්ය. මෙය පවතින නීතිය වරදවා දැක්වීමකි.

 

ලංකා නීතිය යටතේ "ඇඳිරිනීතිය" පැනවිය හැකි ආකාර දෙකකි. ඉන් පලමු ආකාරය නම් මආආ හි 16 වගන්තිය යටතේ ඇඳිරිනීතිය පැනවීමයි. මෙසේ ඇඳිරිනීතිය පැනවීම හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කොට නැති අවස්ථාවක සිදුකරන්නකි. නමුත් ඇඳිරිනීතිය පැනවීම (හෝ 17 වගන්තිය යටතේ අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත්කිරීම) කල හැක්කේ එවන් නියෝගයක් ගැසට් පත්‍රයේ පල කිරීම මගිනි. පනතේ 21(2) සමඟ කියවිය යුතු 2(3) වගන්තිය අනුව එසේ පනවන ඇඳිරිනීතිය හෝ අත්‍යවශ්‍ය සේවා "නියෝග" පිලිබඳව වහා පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබිය යුතුය. පාර්ලිමේන්තුව විසිරුවා ඇති වර්ථමාන තත්ත්වය වැනි අවස්ථාවක, එවන් නියෝග නිකුත්කර ඇත්නම්, ජනාධිපති විසින් දින දහයක් තුල, නැත්නම් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව යලි කැඳවිය යුතුය. ජනාධිපති කාර්යාලය මගින් නිකුත් කරන "ඇඳිරිනීතිය" පිලිබඳ කිසිදු මාධ්‍ය නිවේදනයක් මෙම විධිවිධානවලට අනුකූල නොවේ.

හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කොට නැතිවිට පනවනු ලැබිය හැකි ඇඳිරිනීතිය කඩකරන අයෙකුට එරෙහිව මහේස්ත්‍රාත් උසාවියකදී ලඝු නඩුවිභාගයකින් පසු වරදකරු කරනු ලැබුවහොත් බරපතල වැඩ සහිතව මසක කාලයකට සිරදඩුවම් සහ/හෝ රුපියල් සියයක දඩයකට යටත් කරනු ලැබිය හැක.

"⁣ඇඳිරිනීතිය" පැනවිය හැකි දෙවන ආකාරය නම් මහජන ආරක්ෂක ආඥාපනතෙහි දෙවන වගන්තිය හා දෙවන කොටස යටතේ හදිසි අවස්ථා ප්‍රකාශයට පත්කිරීමක් කර ඇති විටෙක මහජන ආරක්ෂක ආඥාපනතෙහි හි 5 වගන්තිය යටතේ නිකුත්කොට ඇති 2019 අප්‍රේල් 22 දිනැති අංක 2120/5 දරන ගැසට් පත්‍රයේ පලකරන ලද හදිසි අවස්ථා රේගුලාසි වල එන 14 වන රෙගුලාසිය යටතේ "ඇඳිරිනීතිය" පැනවීමයි. [හදිසි අවස්ථා රෙගුලාසි පාර්ලිමේන්තුව විසින් දින දාහතරක් තුල සම්මත කලහොත් පමනක් මසක කාලයක් සඳහා බල පැවැත්වේ. මහජන ආරක්ෂක ආඥාපනත යටතේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කලවිට ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර අන් සෑම නීතියක්ම හදිසි අවස්ථා රෙගුලාසිවලට යටපත් වන බැවින් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155(4) ප්‍රකාරව විසුරුවා ඇති පාර්ලිමේන්තුවක් දින දහයක් තුල නැවත නිරායාසයෙන්ම කැඳවෙනු ඇත.]

හදිසි අවස්ථා තත්ත්වයකදී එකී හදිසි අවස්ථා ⁣රෙගුලාසි වල 14 වන රෙගුලාසිය යටතේ ජනාධිපති විසින් නියෝගයක් මගින් ඇඳිරිනීතිය පැනවිය හැකි අතර එම නියෝගයේ නම්කරනු ලබන පුද්ගලයාගේ අවසරය මත පමනක් පුද්ගලයන්ට ඇඳිරිනීති කොන්දේසි මඟහැරිය හැකිය. බොහෝවිට මෙම නම්කරනු ලබන පුද්ගලයා යම් ප්‍රදේශයක පොලිස් ස්ථානාධිපතිවරයෙක් හෝ යම් කලාපයක පොලිස් අධිකාරීවරයෙක් හෝ පොලිස්පතිම විය හැකිය. "පොලිස් ඇඳිරිනීතිය" යනුවෙන් බොහෝවිට හැඳින්වෙන්නේ මෙයයි. (මාර්තු 20 සිට ඇඳිරිනිතිය පනවන විට ඇත්තවශයෙන්ම මාධ්‍ය වාර්ථා කලේ පොලිස් ඇදිරිනීතිය ලෙසයි).කෙසේ නමුත් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර නැති බැවින් හදිසි අවස්ථා රෙගුලාසි යටතේ පැනවෙන පොලිස් ඇඳිරිනීතියක් ලෙසද වර්තමානයේ ප්‍රකාශිත ඇඳිරිනීතිය සැලකිය නොහැක.

එසේනම් ජනාධිපති මාධ්‍ය නිවේදන හරහා ප්‍රකාශයට පත්කොට ඇති "ඇඳිරිනීතිය" නිරෝවැආ යටතේ හෝ නීත්‍යානුකූල වන්නේද?

සෞඛ්යය විෂයභාර ඇමාත්‍යවරිය අංක 2167/18 සහ 2020.03.20 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් කොරෝනා වෛරස් රෝගය හෙවත් කොවිඩ් - 19, නිරෝවැආ යටතේ ගැනෙන නිරෝධායනීය රෝගයක් ලෙසින් නම් කලාය. පසුව අංක 2168/6 සහ 2020.03.25 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍ මඟින් ඇමතිවරිය විසින් නිරෝවැආ හි 2 සහ 3 වන වගන්ති යටතේ රෙගුලාසි ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව නිරෝවැආ යටතේ ප්‍රකාශ කර ඇති පැරනි රෙගුලාසි පහක දැක්වෙන, "නිසි බලධාරියා(proper authority)" යනු කවරෙක්දැයි යන්න සංශෝදනය කරමින් මාර්තු 25 ගැසට් පත්‍රය මගින් නිසි බලධාරියා යන්නට පුද්ගල කොට්ඨාශ කීපයක් ම අන්තර්ගත කර ඇති අතර සමස්ථ ශ්‍රී ලංකාව සඳහාම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා (සෞඅජ) නිසි බලධාරියා ලෙස පත් කර තිබේ.

නිරෝවැආ හි 3 වන වගන්තියේ මගින් ආඥාපනතේ 2 වගන්තිය යටතේ රෙගුලාසි සකස් කළ හැකි විෂයයන් දක්වා ඇත. එහෙත් එම වගන්තියේ කිසිදු අනු වගන්තියක් යටතේවත් අමාත්‍යවරයාට සාමාන්‍ය ඇඳිරිනීති තත්වයක් යටතේ මෙන් පුද්ගලයන්ගේ ගමන් බිමන් වලකන රෙගුලාසි පැනවීමේ බලයක් හිමි නොවේ. එසේම එවැනි කොන්දේසි පනවමින් සාමාන්‍ය මහජන ජීවිතය සීමාකරන කිසිදු රෙගුලාසියක් මේ දක්වා පනවා ඇත්තේද නැත.

මේ හේතුව නිසා සෞඅජ විසින් ඇඳිරිනීතිය පැනවීමේ නියෝග කිසිවක් නිකුත් කල නොහැකි අතර ⁣එසේ කර අත්තේද නැත. ඇදිරිනීතිය පැනවීම හුදු ජනාධිපති මාධ්‍ය නිවේදනවලට සිමාවී ඇත්තේ මේ සියලු කරුනු යටතේය.

නිසි බලධාරියා වශයෙන් සෞඅජ පත්කරනු ලැබුනේ ⁣මාර්තු 25වනදා බැවින් නිරෝවැආ හෝ එහි කිසිදු රෙගුලාසියක් යටතේ මාර්තු 20 සිට 25 දක්වා ඇඳිරිනීතිය වැනි තත්වයක් ප්‍රකාශයටපත් කිරීමට කිසිදු වෛශික හැකියාවක් පැවතියේද නැත. ඒ අනුව "නිරෝධායන ඇදිරිනීතිය" යනුවෙන් පොලීසිය දැන් හඳුන්වන තත්ත්වය එම දින කිහිපයට අදාලකරගත නොහැකිය. එනිසා, අඩු තරමින්, පොලීසියේ දුර්වල නීති තර්කය නිවැරදියයි උපකල්පනය කල විටකද එම දින කිහිපය සඳහා ප්‍රකාශයට පත්කල ඇදිරි නීතිය එම තර්කය යටතේවත් නීත්‍යානුකූල නොවේ.

නිරෝවැආ හෝ ඒ යටතේ පනවා ඇති රෙගුලාසි උල්ලංගනය කල අයෙකුට මහේස්ත්‍රාත් අධිකරනයක් විසින් මාස හයකට නොවැඩි සිර දඩුවමක් හා/හෝ රුපියල් දහසක් දක්වා දඩයක් පැනවනු ලැබිය හැකිය. ඒ අනුව නිරෝධායන සීමාවන් හා ඇදිරිනීතිය හාත්පසින්ම වෙනස් ආකාරයේ බලපෑම් ඇතිකරන කොන්දේසි පනවයි.

 

මේ අනුව ජනාධපති මාධ්‍ය නිවේදන හරහා පනවා ඇති කිසිදු ඇඳිරිනීතියකට නෛතික වලංගුතාවයක් නැත.

"නිරෝධායන ඇදිරිනීතිය" යනුවෙන්, දින කිහිපයක සිට දැනට බලපවත්වන ඇදිරිනීතිය නම් කිරීමට පොලීසිය නව වචනයක් යොදමින් සිටින්නේ පොලීසියේ තම නීතිමය තර්කයේ දුර්වලභාවය වසං කිරීමටයි.

ඇදිරිනීතිය පැනවීමට පැහැදිලි නීතිමය ප්‍රතිපාදන තිබියදී, බරපතල දේශපාලන හේතු මත ආන්ඩුව ⁣එම නෛතික ප්‍රතිපාදන ක්‍රියාවට නොදමා, දැන්, අතිශයින් දුර්වල නීති තර්ක මගින් ක්‍රියාවට දමා ඇති අත්තනෝමතික ක්‍රියාමාර්ග නීත්‍යානුකූල කිරීමට උත්සාහ ගනිමින් සිටී.

වසංගතය වැලැක්වීම සඳහා රට අගුලු දැමීම කලයුතු නමුත් එය කල යුත්තේ මහජන ජීවිතය පීඩාවට ලක්නොකරමින් සැලසුම් සහගත කලමනාකරනයකින් යුතුව හා බිලියන ගනනින් සමාජ සුභසාධන සඳහා මුදල් වෙන් කරමිනි. නීතිය අත්තනෝමතික ලෙස නැවීම හා නීතියට පිටින් කටයුතු කිරිම සඳහා ඉඩ සැලසීම නීතියේ ආධිපත්‍යයට හා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලකරන ප්‍රහාරයන්ට ජීවය සපයයි. ආන්ඩුව මෙම නීති තත්වයන් මඟහරිමින් අනීතික ලෙස කටයුතු කරන්නේ වැඩකරන මහජනතාවට එරෙහිව ධනපති පාලක පන්තියේ වෙලඳපොල අවශ්‍යතාවයන් ඉෂ්ඨ කිරීම සඳහා විධායක ජනාධිපතිධූරයේ බලය ආඥාදායක පාලනරූපයක් වෙත සීඝ්‍රයෙන් පෙරලීම සඳහාය.

 

නීතීඥ සංජය විල්සන් ජයසේකර

29.04.2020

Read 310 times Last modified on Wednesday, 29 April 2020 22:37

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.