Thursday, 23 April 2020 01:10

"පණ අදින රෝගීන්ගේ වෙන්ටිලේටර් අක්‍රිය කරන හෙදිය මමයි''

Written by 
Rate this item
(0 votes)

Covid 19 වෛරසය ආසාදනය වූ තැනැත්තෙකුට හුස්ම ගැනීම පහසු කෙරෙන යන්ත්‍රයක් (ventilator) ලබාදීම ඔහුගේ මරණය පරාජය කොට ජීවිතය සහතික කිරීමට හේතුවිය හැකිය.

එහෙත් එවැනි යන්ත්‍රයක පිහිට ලබා දුන්නත් ඇතැම් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට නොහැකි අවස්ථාවලට ද මුහුණ දීමට සිදුවෙයි.

 

 

ජොනිටා නිට්ලා නම් බ්‍රිතාන්‍ය හෙදියගේ නිල කාර්යයක් වන්නේ එවැනි 'වෙන්ටිලේටර්' යන්ත්‍ර පහසුකම් රෝගියාට පලක් නොවන අවස්ථාවකදී එය අක්‍රිය කිරීමය.

හතළිස් දෙහැවිරිදි,ජොනිටා ලන්ඩන් නගරයේ පිහිටි 'රෝයල් ෆ්‍රී ආරෝග්‍යශාලාවේ' දැඩි සත්කාර ඒකකයේ ප්‍රධාන හෙදියකි. ඇය අධිසත්කාර අංශයේ විශේෂඥ හෙදියක ලෙස වසර දහසයක කාලයක් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ' (NHS) කටයුතු කරන්නීය.

''මේ රැකියාව වේදනාකාරීයි. සිත කම්පාවට පත් කෙරෙන්නක්. සමහර අවස්ථාවල මට හිතිලා තියෙනව මමත් සමහර මරණවලට යම් ආකාරයකින් වගකිව යුතුය කියල'' ජොනිටා සඳහන් කළාය.

කොරෝනාවෛරසය ආසාදිතව රෝගියකුගේ පෙනහැල්ල දුර්වලව අක්‍රිය වෙන අවස්ථාවන්හි සිරුරක ආශ්වාස - ප්‍රාශ්වාස කාර්යය 'වෙන්ටිලේටර්' යන්ත්‍රයකට පැවරෙයි.

කොරෝනා රෝගියාට වෛරසයට එරෙහිව තවදුරටත් පොර බැදීම සඳහා එමගින් තවත් කාලයක් ලැබෙනු ඇත. එහෙත් ඇතැම් අවස්ථාවන්හි එම කාලය ප්‍රමාණවත් නොවීමට ද ඉඩකඩ පවතී.

සුවයක් නොලබන රෝගියකුට සම්බන්ධ කර තිබෙන 'වෙන්ටිලේටර්' යන්ත්‍රයක් අක්‍රිය කිරීමේ තීන්දුව ගැනීමේ දී වෛද්‍ය කාර්ය මණ්ඩල ඉතා දුෂ්කර මොහොතකට මුහුණ දෙති. එවැනි තීන්දුවක් ගනු ලබන්නේ කරුණු රාශියක් දැඩි සැලකිල්ලට ගනිමිනි. රෝගියාගේ වයස, ඔහු පීඩා විඳින වෙනත් දරුණු සෞඛ්‍ය ප්‍රශ්න, ඔවුන් 'Covid 19' වෛරසයට ප්‍රතිචාර දක්වන ආකාරය සහ වෛරසයෙන් බේරීම අතින් අදාළ රෝගියාට ඇති අවස්ථාලාභය වැනි කරුණු එවැනි අවස්ථාවන්හි සැලකිල්ලට ගනු ලැබේ.

අප්‍රියෙල් මාසයේ දෙවැනි සතියේ එක් උදෑසනක ජොනිටා හෙදිය කැඳවූ අධිසත්කාර ඒකකයේ රෝගීන් ලියාපදිංචි කරන නිලධාරියා, එදින ඇයගේ නිල රාජකාරි පිළිබඳව දැනුවත් කළාය. ඇයට එදින පැවරුණ පළමු නිල කාර්යය වුණේ, Covid-19 වෛරසය ආසාදිතව සිටි වයස අවුරුදු පනස් ගණනක් වූ වෙනත් හෙදියක් සඳහා සැපයෙමින් තිබූ ප්‍රතිකාර නතර කිරීමය.

කොරෝනාවෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධයෙන් අප්‍රියෙල් මස මුලදී බල පැවැත්වුන රෙගුලාසි අනුව පවුලේ සාමාජිකයන්ටවත් මියැදෙමින් සිටින රෝගියකු බැලීමට අවසර නොලැබුණි. ඒ අනුව ජොනිටා හට සිදුවූයේ කොරෝනා වෛරසය ආසාදිතව මරණාසන්නයේ සිටි හෙදිය සම්බන්ධයෙන් ගැනීමට යන ක්‍රියාමාර්ගය දුරකතනය ඔස්සේ එම හෙදියගේ දියණියට දැනුම්දීමය.

- බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද නව රෙගුලාසි අනුව කොරෝනාවෛරසය ආසාදිත රෝගියකු මරණාසන්න වූ විට, ඔහුගේ හෝ ඇයගේ පවුලේ කිට්ටුම ඥාතීන්ට ඔවුන්ගෙන් සමුගැනීමට රෝහල් සයනය අසලට යාමට දැන් අවසර ලැබේ.-

'' මම රෝගියාගේ දුවට කිව්වා අම්මා වේදනාවකින් තොරව, ඒ වගේ ම ඉතා ම පහසුවෙන් සිටින බවක් පෙනෙනවාය කියල.'' ජොනිටා සඳහන් කළාය.

''ඒත් එක්ක ම මම ඇහුවා අම්මගේ බලාපොරොත්තු හැටියට තිබුණේ මොනව ද? ඇයගේ ආගමික උවමනා මොනව ද? කියල ''

 

ජොනිටා උවැටන් කරමින් සිටි රෝගී කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටියේ තවත් රෝගීන් අටදෙනෙකු තබා ගත් වාට්ටුවකය. සිහිසුන් තවත් රෝගීන් පිරිසක් ඇයගේ පිරිවර විය.

''මම රෝගියාගේ සයනය තිර රෙදිවලින් ආවරණය කළා. අනතුරු ඇඟවීමේ සියලු සීනු අක්‍රිය කෙරුව''

ඒ සමඟ වාට්ටුවේ වෛද්‍ය කාර්ය මණ්ඩලය මොහොතකට නිහඬ වූහ. දුරකතනය අතට ගත් ජොනිටා එය රෝගියාගේ කනට ලංකොට මවට කතාකරන ලෙස ඇයගේ දියණියට උපදෙස් දුන්නාය.

අනතුරුව ඇය රෝගියාගේ පවුලේ සාමාජිකයන් ඉල්ලා සිටි සංගීතයක් වාදනය කරමින් 'වෙන්ටිලේටරයේ' ස්විචය සෙමෙන් අක්‍රිය කළාය.

''මම මියැදෙමින් සිටි රෝගී කාන්තාව අවසන් හුස්ම හෙලන තෙක් ඇයගේ අත අල්ලාගෙන සිටියා''

ජොනිටා 'වෙන්ටිලේටරය' අක්‍රිය කරනු ලැබීමෙන් මිනිත්තු පහකටත් අඩු කාලයක් ඇතුළත රෝගී කාන්තාව අවසන් හුස්ම හෙළුවාය.

''රෝගියාගේ හෘද ස්පන්දනය නිරීක්ෂණය කෙරෙන යන්ත්‍රයේ ආලෝකය නිවෙන්න -දැල්වෙන්න පටන් ගන්නවා මම දැක්කා. හෘදස්පන්දනය 'බිංදුව' හැටියට සටහන් වුණා. හද ගැස්ම පෙන්වන රේඛාව තිරයේ පෙන්නුම් කෙරුණේ තනි ඉරක් විධියට ''

මොහොතකට පෙර අවසන් හුස්ම හෙළූ රෝගියාගේ සිරුරට වේදනා නාශක ඖෂධ සපයමින් තිබුණ බට එම සිරුරෙන් ගළවා ඉවත් කිරීමට ජොනිටා පියවර ගත්තාය.

එහෙත් රෝගී කතගේ දියණිය දුරකතනය ඔස්සේ සිය මවගේ කනට තවමත් කතා කරමින් සිටින්නේ රෝහල් කාමරයේ සිදු වූ හෝ සිදුවෙමින් පවතින දේ නොදැනය. ඇය සිය මව වෙනුවෙන් තවමත් යාඥා කරන්නීය. අනතුරුව ජොනිටා දැන් සියල්ල හමාර බව දුරකතනයේ එහා කෙළවර සිටින කාන්තාවට දැනුම් දීමට රිසීවරය සියතට ගත්තාය.

''මම මගේ කණ්ඩායමේ අනිත් අයගේත් උදව් ඇතිව මියගිය කාන්තාව ඇඳේදී ම සේදුවා. ඊට පස්සේ සුදුපාට මිනී ඇඳුමකින් මළසිරුර එතුවා. ඊළඟට සිරුර 'බොඩි බෑග්' එකකට ඇතුල් කළා. බෑග් එක සීල් කරන්න ඉස්සර වෙලා මම මළ සිරුරේ නළලේ කුරුසය සටහන් කළා''

 

උපුටා ගැනීම - BBC - 2020 අප්‍රේල් 21 

Read 238 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.