Tuesday, 24 March 2020 16:29

වගකීමෙන් ජීවත් වෙමු....

Written by 
Rate this item
(0 votes)

ලෝකයේ සෑම ආර්ථිකයක්ම විදේශ වෙළදාම හා සංචාරක කර්මාන්තය එක්ක විවිධාකාරයෙන් බැදෙනව .ලෝක වෙළදපළේ  කොටස් මිල ගණන් ශීඝ්‍රයෙන් පහළ යමින් තිබෙනව. බැඳුම්කර වෙළෙඳපොළේ විදෙස් ආයෝජන ද ඉවත් කර ගැනීම ද සිදුව තියෙනව. ලොව දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනයේ ආර්ථිකයට මේ නිසා බරපතල අහිතකර බලපෑම් එල්ලවීමත් එක්ක චීනයේ කාර්මික කටයුතු බහුතරයක් ඇණ හිටිනව. ඒ නිසාම චීනයේ බොරතෙල් මිලදී ගැනීම නවතිද්දි බොරතෙල් මිල සියයට තිහකින් පමණ පහල යනව.

 

ඒ පහල යාම අපි වගේ රටවල් වලට වාසි සහගත උනත් කොටස් වෙළදපලේ පහළ යාම, සංචාරක කර්මාන්තය ඇණහිටීම, චීනයෙන් ගෙන්වන අමුද්‍රව්‍ය නොමැති වීම නිසා කර්මාන්ත තුළ නිශ්පාදන ක්‍රියාවලි අවම වීම, ගුවන් ගමන් සේවා නතර වීම නිසා ඇතිවන ආර්ථික බලපෑම් , ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණික ශ‍්‍රමිකයන් සැලකිය යුතු සංඛ්‍යාවක් සිටින රටවල මෙම වෛරසය පැතිරීම හේතුවෙන් පේ‍්‍රෂණ ගලා ඒම සඳහා ද බලපෑම් ඇති වීම ආදී  හේතු නිසා අපේ රටේ ආර්ථිකයට විශාල තර්ජනයක් එල්ල වෙනව. ගෝලීය බලශක්ති මිල ගණන් සහ ජාත්‍යන්තර පොලී අනුපාතික පහළ යෑම තුළින් සුළු ප‍්‍රතිලාභයන් ඇති විය හැකි වුවත්  ඉහත සඳහන් අහිතකර තත්ත්වයන් හි බලපෑම සාපේක්ෂව ඊට වඩා විශාලයි.

 

මේ ප්‍රශ්නයෙදි ලොකු ව්‍යාපාරකයින් වගේම පොඩි මිනිස්සුත් එකම විදිහට බැට කනව. දවසේ කුලියක් කර හරි හම්බ කරගන්නා මිනිස්සුන්ට , වතු කම්කරුවන්ට, කුලී රථ රියදුරන්ට, ශ්‍රමිකයින් ට තමන්ගේ ආදායම් මාර්ග නැති වෙලා තියෙනව. ඒ හැම තැනදිම රජය ඒ අය වෙනුවෙන් යම් සහනයක් සැලසීම ගැන අගය කරන්නම ඕනෙ. රජය මේ වෙලාවෙ නිරෝධායනය සදහා, රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා වගේම කොරෝනා මර්ධනය වෙනුවෙන් සිදුකරන ක්‍රියාවලි සදහාත් ලොකු වියදමක් දරනව.

 

ලෝකයේ එහෙම වෙද්දි , රජය එහෙම කරද්දි අපි මොකක්ද කරන්නෙ? අපිටත් තියෙනව ඉෂ්ඨ කරන්න වගකීමක් . කොරෝනා මර්ධන ක්‍රියාවලියට සහයෝගයක් වෙන්න අපිට පුළුවන් .

 

  වගකීමෙන් යුතුව ආරක්ෂක අංශවලින් දැනුවත් කරන ආකාරයට හැසිරෙන්න. සෞඛ්‍ය අංශවලින් දෙන උපදෙස් පිළිපදින්න. තමන්ගේ දේශපාලන මතවාද , මඩ ගැසීම් තුළින් කොරෝනා දේශපාලනික කෝණයකින් නොදකින්න. අහළ පහලක උදව් අවශ්‍ය කෙනෙකු ඇත්නම් ගෙදරට ගෙනා බඩු වලින් හැකි දෙයක් ලබා දෙන්න. වත්තට එන බල්ලන්ට කෑමට යමක් දෙන්න. කොස් පොළොස් වාරය බැවින් කැමති කෙනෙකුට කොස් ගෙඩියක්, පොළොස් ගැටයක්, පොල් ගෙඩියක් රැගෙන යන්නට ඉඩ දෙන්න. පිට රටක සිට පැමිණ ඇත්නම් , ඒ පැමිණි කෙනෙක් ඇසුරු කර ඇත්නම් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කරන්න. රෝගයක් ඇත්නම් හැංගී මුත්තන් කිරීමෙන් වළකින්න. ඇදිරි නීතිය ඉවත් කරනුයේ අත්‍යවශ්‍ය කරුණක් සදහා එළියට යෑමට , ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට පමණක් බව මතක තබා ගන්න. පෝලිම් වල පොරකමින් සිටීමෙන් වළකින්න. නිවෙසකින් එක් අයෙකු පමණක් ගොස් අවශ්‍ය භාණ්ඩ රැගෙන එන්න. මුඛ ආවරණ, අත් වැසුම් පළදින්න. මීටරයක් දුරින් ගණුදෙනු සිදු කරන්න. නිවෙසට ඇතුළු වීමට පෙර විෂබීජයෙන් පවුලේ අය ආරක්ෂා වන අයුරින් පාලනය වන්න.

 

කොරෝනා මාරාන්තික නෑ . නමුත් ශරීර සෞඛ්‍ය දුර්වල, නිධන්ගත රෝග ඇති අයට මාරාන්තික වෙන්න පුළුවන් . ඒ අතර ඉහළින්ම ඉන්නේ ඔබේ දෙමව්පියන් බව සිහි තබා ගන්න. ඔබේ යුතුකම ඉටු කරන්න. ඒ යුතුකම් හා වගකීම් තුළින් රටේ අය ආරක්ෂා වනු ඇති. කොරෝනා යනු පියවි ඇසට නොපෙනෙන වෛරසයක් බව සිහි තබා ගන්න. තවමත් මේ පිළිබඳ හරි වැටහීමක් නැති හය හතර නොදන්නා යහළුවන් ඔබට සිටීනම් ඔවුන් දැනුවත් කරන්න .පරිස්සමින් , සහයෝගයෙන් ඉන්න ...

 

මලී පෙරේරා 

Read 552 times Last modified on Tuesday, 24 March 2020 17:45

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.