Saturday, 26 October 2019 23:58

ඉතාලියේ සංඝනායක පදවියෙන් පිදුම් ලබන නන්දසිරි හාමුදුරුවෝ..

Written by 
Rate this item
(0 votes)

ඉතාලිය වැනි රාජ්‍යයක බෞද්ධාගමික පරිසරයක් ගොඩ නැගීම යනු මහා පරිශ්‍රමයක් සහිත කාර්යාවලියකි. එසේ වුවත් ලාංකේය බෞද්ධ ජනතාව සදහා ඉතාලියේදී එකී ආගමික මෙහෙවර සිදුකිරීමට ලංකාවේ භික්ෂූන් වහන්සේ කටයුතු කිරීම අතිශය ප්‍රසංසනීය කාර්යාවලියකි.


“ඉතාලියේ”,’ෆිරෙන්සෙ’ නගරයේ ඇති සමාධි විහාරස්ථානය මෙකී කාර්යාවලියේ ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර එහි වැඩ වාසය කරන සමාධි විහාරාධිපති අති පූජ්‍ය ශාස්ත්‍රපති “දොඩන්දෙණියේ නන්දසිරි” ස්වාමීන් වහන්සේ දැඩි පරිශ්‍රමයකින් මෙකී ශාසනික සේවාව දියත් කරමින් සිටී.
මේ මෙහෙවර හේතුවෙන්ම උන් වහන්සේ උදෙසා ඉතාලියේ සංඝනායක පදවිය පිරිනැමීම සදහා කටයුතු කොට ඇති අතර ඒ පිළිබද සන්නස් පත්‍රය පිළිගැන්වීම හා උන් වහන්සේ පිළිගැනීමේ උත්සවය මේ මස 27 වන දින විහාරස්ථානයේදී සිදුකිරීමට කටයුතු යොදා ඇත.
පහත දැක්වෙන්නේ එදා මෙදා තුර සමාධි විහාරස්ථානයේ විසි වසරක ගමන් මග හා අති පූජ්‍ය නායක ස්වාමීන් වහන්සේ වන ශාස්ත්‍රපති දොඩම්දෙණියේ නන්දසිරි ස්වාමීන් වහන්සේ ගේ සුවිසල් මෙහෙවරයි

ඉතාලියේ ඇති නගර අතර සොබා සුන්දරත්වය ද කලා කටයුතුවල උල්පත ලෙසින්ද “ෆිරෙන්සෙ” නගරයට ලැබෙන්නේ ප්‍රමුඛතම ස්ථානයකි. මෙම නගරයේ නොයෙක් රැකියාවල නිරත වෙමින් ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ ජාතික, ආගමික, සංස්කෘතික ,සමාජීය කටයුතු සිදුවන මධ්‍යස්ථානයකි සමාධි විහාරස්ථානයි.

මෙම නගරයේ ව්‍යාපාරික කටයුතුවල නිරත ව සිටි ‘ජගත්’ මහතාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් හා ශාස්ත්‍රපති පණ්ඩිත ‘අගුළුගහ වංශානන්ද’ හිමියන්ගේ අනුශාසකත්වයෙන් 1999 ජූලි මස 17 වන බ්‍රහස්පතින්දා දිනක කුලී පදනම මත “ෆිරෙන්සෙ” නගරයේ කුඩා නිවසක විහාරස්ථානය ආරම්භවිය.
ඉන් අනතුරුව එවකට විහාරාධිපතීත්වය ඉසුලූ ‘වංශානන්ද’ ස්වාමීන් වහන්සේගේ සංකල්පයට අනුව මෙම නගරයේ ජීවත්වන දරුවන්ට සිංහල බස ඉගැන් වීමේ අරමුණෙන් ශිෂ්‍ය-ශිෂ්‍යාවන් පස් දෙනකුගෙන් පමණ සමාධි සිංහල පාසල ආරම්භ කෙරිණ.
‘වංශානන්ද’ හිමියන්ගේ ආරාධනාවකට අනුව ගල්කිස්ස ශ්‍රී රාජ පුෂ්පාරාම මහා විහාරාධිපතිව වැඩසිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය ශාස්ත්‍රපති ‘විනයාලංකාර මාදෙල්ගමුවේ නන්දසේන’ මහා ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යයකු වන ශාස්ත්‍රපති පූජ්‍ය “දොඩම්දෙණියේ නන්දසිරි” ස්වාමීන් වහන්සේ 2000 මාර්තු 11 වන දින වැඩම කළ සේක.
ඉතා හදිසියේ නමුදු ‘වංශානන්ද’ ස්වාමීන් වහන්සේ ලංකාවට වැඩම කර වීමත් සමඟ හිස් වූ සමාධි විහාරස්ථානයේ විහාරාධිපති ධුරයට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් 2003 වසරේදී “දොඩම්දෙණියේ නන්දසිරි” ස්වාමීන් වහන්සේ පත්කරවන ලදි. උන්වහන්සේ විහාරාධිපතීත්වයට පත්වීමෙන් අනතුරුව කුලී පදනම මත පවත්වාගෙන ගිය විහාරස්ථානය සියලුම ශ්‍රී ලාංකිකයන් ගේ අනුග්‍රහය මත දිනෙන් දින දියුණු කරා ලඟාවිය. උන්වහන්සේ නොපසුබට උත්සාහයෙන් හා ඒකායන අරමුණකින් ක්‍රියා කළ නිසාම අද වනවිට විදේශික රටක ශ්‍රී ලාංකික ජනතාවට අභිමානයක් එක් කරමින් ස්ථිර භූමියක් මිලදීගෙන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ විරාජමානව වැඩ හිඳිමට සලස්වා ඇත. මේ පුණ්‍ය භූමිය දෙස්-විදෙස් සැමගේ වන්දනාභිමානයට පත් වී තිබේ.
එතනින්ද නොනැවතුණු උන්වහන්සේ “ෆිරෙන්සෙ” නගරයෙන් සැතපුම් සියයකට ක ට නුදුරින් ‘ලුක්කා’ නගරවාසී ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීමකට අනුව දෙවන විහාරස්ථානයත්, ‘ඇරෙස්සෝ’ නගරවාසී ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීමට අනුව ‘ඇරෙස්සෝ’ නගරයේ තුන්වන විහාරස්ථානය හා පාසල ආරම්භ කර බෞද්ධ දර්ශනය ප්‍රචාරය කිරීම සිදු කරමින් සිටී. එදා දරුවන් පස් දෙනෙකුගෙන් ආරම්භ වූ සිංහල පාසලේ අද දින විට දරුවෝ 120 පමණ සිංහල, බුද්ධාගම, ඉංග්‍රීසි, ඉතිහාසය උගනිති.

විදේශයක සිට ද සිංහල බෞද්ධයන් උදෙසා නිරතුරු පෙනී සිටින සමාධි විහාරස්ථානයටත්, එහි විහාරස්ථානාධිපති අති පූජ්‍ය ශාස්ත්‍රපති දොඩම්දෙණියේ නන්දසිරි ස්වාමීන් වහන්සේටත් අනෙක් ස්වාමීන් වහන්සේ වන ‘ලංකාතිලක අරියධම්ම’ ස්වාමින් වහන්සේටත් තව තවත් ශාසනික මෙහෙවරයන්හි යෙදීමට නිබද ශක්තිය ධෛර්යය තිසරණ සරණින් ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

Read 353 times Last modified on Sunday, 27 October 2019 01:25

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.