Sunday, 21 July 2019 22:47

මනුෂ්‍ය ජීවිතයේ අර්ථයට වෙනස් ශිෂ්ටාචාරයක් වාමාංෂිකයන් විසින් ඉදිරිපත් කළ යුතුයි. - සුමිත් චාමින්ද

Written by 
Rate this item
(0 votes)

• 77 දී හඳුන්වා දුන් විවෘත ආර්ථිකය ක්‍රමය හා දේශපාලන ක්‍රමය පිළිබඳ ව ඔබට තිබෙන්නේ මොන වගේ කියවීමක්ද?

1977 දී වගේම 77ට පෙර සිට ලංකාවේ සිදු වුණු ආර්ථික වෙනස්කම් සහ දේශපාලන වෙනස්කම් සියල්ලක් ම අපට තේරුම් ගන්න වෙන්නේ ගෝලීය තලයක සිදු වූ වෙනස්කම් විදියටයි. උදාහරණයක් විදියට දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ බටහිර ජාතීන් අතර කිසියම් සම්මුතියක් ඇති වුණා. ඒ අය ඒක හැඳින්වූයේ පශ්චාත් යුද ස්ථායීකරණය කියලා. දෙවන ලෝක යුද්ධයෙන් බිඳ වැටුණු යුරෝපා ආර්ථිකය නැවත ගොඩනැඟීමේ වැඩපිළිවෙලක් තමයි ඔවුන් මින් අදහස් කළේ. තවත් විදියකින් කිව්වොත්, ඇමරිකා එක්සත් ජනපදය මූලික වෙලා මාෂල් සැලැස්ම හරහා ලෝක ක්‍රමය නැවත සකස් කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නැඟුණා. මේ ක්‍රියාවලිය තුළ සුබසාධන ආර්ථිකයට යම් වැදගත්කමක් හිමි වුණා. 1929 දී ඇති වුණ යුරෝපයේ මහා ආර්ථික අවපාතයෙන් පස්සේ ජෝන් මේනාඩ් කේන්ස් (John Maynard Keynes) වැනි අයගේ අදහස් මත පදනම් වුණු රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථික මොඩලය පිළිගැනීමට ලක් වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේකට අලුත් හැඩයක් ලැබුණා. යුද්ධයෙන් විනාශ වුණු ආර්ථිකයන් නැවත ගොඩනඟන්න රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය වුණා. ඒ කාලේ (1947 සිට) ලංකාවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තිබුණට යුරෝපයේ ක්‍රියාත්මක වුණු මේ පශ්චාත් යුද ස්ථායීකරණ වැඩ පිළිවෙල හරහා ඇති වුණ සුබසාධන ආර්ථික වැඩ පිළිවෙල තමයි ක්‍රියාවට නැඟුණේ.

 

• 1956 දී පංචමහා බලවේගයෙන් ගොඩනැඟුණු දේශ හිතෛෂී සමඟි පෙරමුණු ආණ්ඩුවට මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් වුණේ නැහැ නේද?

ඇත්තම කිව්වොත්1956 පස්සේ මේක තවත් වර්ධනය වෙනවා. විශේෂයෙන්ම නොබැඳි ව්‍යාපාරය යටතේ. නොබැඳි ව්‍යාපාරය තුළ ඉඳිමින් ම ඉන්දියාව, ඊජිප්තුව, ශ්‍රී ලංකාව..., වගේ රටවල් සෝවියට් දේශය හා නැගෙනහිර යුරෝපීය රටවල් එක්ක යම් ආකාරයක සමීප දේශපාලන සබඳතාවක් ගොඩනගා ගත්තා. විශේෂයෙන්ම 1960 ගණන්වලින් පස්සේ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ආණ්ඩුව කාලේ ක්‍රියාත්මක කරපු රජය මැදිහත් වීමෙන් ගෙන ගිය ආනයන ආදේශන ආර්ථිකයක් ගොඩනැඟීමට ඒකත් හේතු වුණා. රාජ්‍ය ධනවාදී මොඩලයක් තුළ යම් සුබසාධන ආර්ථික මොඩලයක් පවත්වාගෙන යෑමට හැකි වුණා. ඒත්, 70 දශකයේ මුල් අවධියේදී ම මේ ක්‍රමය ගෝලීයව අර්බුධයට යන්න පටන් ගන්නවා. මේ හරහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය අර්බුදයට යනවා.

• නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය කරළියට එන්නේ මේ කාලයේ නේද?

හරියට හරි, නවසිය හැත්තෑගණන්වල මුල් භාගය වෙද්දි නව ලිබරල් ප්‍රතිපත්තීන් කරළියට එන්නේ මෙතෙක් පැවති ක්‍රමයේ අර්බුදයට විසඳුමක් විදියටයි. මේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය 70 දශකයේ අග භාගයේදී පමණ දේශපාලන නායකත්වයක් යටතේ ලෝකය තුළ තහවුරු වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් විදියට ඇමරිකා එක්සත් ජනපදය රොනල්ඩ් රේගන් යටතේත්, බ්‍රිතාන්‍යය මාර්ගට් ත්‍රැචර් යටතේත් මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ලංකාවෙත් හරියටම මේ කාලයේ එනම්, 1977 වසරේදී ජේ.ආර් ජයවර්ධන යටතේ මේ නව ලිබරල් ආර්ථික ක්‍රමය ක්‍රියාවට නැංවෙනවා. ජේ.ආර් ගමන් කළේ රේගන් සහ ත්‍රැචර්ගේ අඩිපාරේ. ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය පවා ඇමරිකන් හිතවාදී, බටහිර හිතවාදී එකක් බවට පත් වුණා. මේ අනුව 50 දශකයේ සුබසාධනවාදී ආර්ථික ප්‍රතිපත්තිය ගත්තත්, 77දී ඇති කළ ආර්ථික විවෘතකරණ ප්‍රතිපත්තිය ගත්තත් වර්තමානයේ නව ලිබරල් ක්‍රමය මුහුණ පා සිටින අර්බුදය ගත්තත්, ඒ ඒ කාලවල ඇති වුණු ගෝලීය ධනවාදයේ පරිවර්තනයන්ට සමගාමී බව අපට පේනවා. එහෙම නම් මේවා ලංකාව තුළ සුවිශේෂීව ඇති වුණු පරිවර්තන නොවන බව දැන් අපට පැහැදිලියි.

• මේ ඓතිහාසික ක්‍රියාවලියත් එක්ක බලද්දී වර්තමානයේ අප වැටී සිටින දේශපාලන අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද?

ඒ සඳහා අපේ දේශපාලන ආර්ථික ක්‍රමය නැවත හැඩගස්වා ගත යුතු වෙනවා. එහෙම නම් අපි ඒක කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය මෙතනදි මතුවෙනවා. ඇත්තටම මෙය ලංකාවට සුවිශේෂ වූ අර්බුදයක් විදියට පෙනුනට මෙය ගෝලීය ධනවාදය තුළ මතුව ආ ගැටලුවක්. ඒ නිසා මේකට අපට පිළිතුරු හොයන්න වෙන්නේ ගෝලීයව මිසක් තනිව නෙවෙයි කියන එකයි මගේ අදහස. තවත් සරලව කිව්වොත්, ගෝලීය දේශපාලන ආර්ථිකයෙන් වියුක්ත වෙලා මේ ප්‍රශ්නය හුදකලාව අපට තනිවම විසඳාගත හැකි ගැටලුවක් නෙමෙයි.

• ඔබ ඔහොම කිව්වට මතවාදී ආධිපත්‍ය දරණ පොදුජන පෙරමුණ ප්‍රමුඛ ජාතිවාදී බලවේගය කියන්නේ මේ සඳහා මුහුණ දෙන්න මේ රටට දේශීය චින්තනයක් දැක්මක් අවශ්‍ය බවයි. ඇත්තට ම මේ බලවේගවලට මේ කියන අර්බුදයට මුහුණ දෙන්න පුළුවන්ද?

ඔබ ඔය සඳහන් කළ පිරිස විසින් ඉදිරිපත් කරන මතවාදයත් මං අර පෙර සඳහන් කළ ගෝලීය පරිවර්තනත් එක්ක සම්බන්ධයි. ඒ කොහොමද කියන කාරණය පැහැදිලි කළොත්, 2008දී යුරෝපය පුරා ඇති වුණ මහා මූල්‍ය අර්බුදයෙන් පස්සේ මේ නව ලිබරල් ක්‍රමය අර්බුදයට යනවා. ජීවන වියදම ඉහළ යනවා; විරැකියාව ඇති වෙනවා; සමාජය තුළ විශාල පිරිසක් ආන්තික වෙනවා; වෙන කිසිම කාලෙක නොතිබුණු ආකාරයට ඇති නැති පරතරය ඉහළ යනවා. මේ තත්ත්වය තුළ නව ලිබරල් සංස්ථාපිතයට විරුද්ධව ලංකාව තුළ පමණක් නෙමෙයි මුළු ලෝකය පුරාම විශාල ලෙස විරෝධතා ව්‍යාපාර වර්ධනය වුණා. නමුත් ඒ මොහොතේ මේ ජනතා නැඟිසිටීම් සංවිධානය කර ගන්න වාමාශික ව්‍යාපාර අසමත් වු‍ෙණ් නැහැ. ඒකට හේතුව වුණේ ලෝකය පුරා ව්‍යාප්තව පැවති වාමාංශික ව්‍යාපාරය 90 දශකයේ මුහුණ දුන් විශාල පසුබෑමත් සමඟ මෙවැනි තත්ත්වයක් සංවිධානය කිරීමට තිබුණු නොහැකියාවයි. මෙකී හේතු නිසා එලෙස නැඟී ආ මහජන විරෝධය සංවිධානය කරන්න අන්ත දක්ෂිණාංශික ජනප්‍රියවාදී ව්‍යාපාරවලට හැකියාව ලැබෙනවා. උදාහරණයක් විදියට ඩොනල්ඩ් ට්‍රම්ප් ගත්තොත්, වොෂින්ටන් නගරය මුල්කරගෙන ගොඩනැඟුණු නව ලිබරල් සංස්ථාපිතයට විරුද්ධවයි ඔහු කතා කළේ. නමුත් ඔහු රැගෙන යන්නේ ඒ නව ලිබරල් සංස්ථාපිතයම තමයි. නමුත් ඔහු ඊට එරෙහිව නැඟුණු ජනතා විරෝධය අන්ත දක්ෂිණාශික සටන් පාඨ හරහා සංවිධානය කර ගන්න සමත් වුණා. ඒ කොහොමද කිව්වොත්, ඇමරිකාව නැවත ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් කරනවා කියන සටන් පාඨය, සංක්‍රමණ විරෝධය, සුළු ජනවර්ග විරෝධය, සමලිංගික විරෝධය, ස්ත්‍රීවාදයට විරුද්ධ වීම... මේ ආදී නොයෙක් ආකාරයේ අන්ත දක්ෂිණාංශික සටන්පාඨ වටා මේ ජනතා විරෝධය සංවිධානය කර ගන්න ට්‍රම්ප් සමත් වුණා. ඔහු බලයට ආවේ ඒ විදියටයි. මේ විදියටම ප්‍රංසයේ මරීන් ලපේන් ඉදිරියට ආවා. ඇය ජනාධිපතිවරණයේදී දෙවන වටයටත් ආවා. ලපේන් ජයග්‍රහණය කරාවි කියලා ගොඩක් අය බය වුණා. බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් (Brexit) එක ගත්තත් එහිදී ඉංග්‍රීසි ජාතිකවාදය තමයි ඉදිරියට ගෙනාවේ. ආර්ථික ජාතිකවාදය ඉස්මතු වෙලා ඔවුන් යුරෝපා සංගමයෙන් කැඩිල වෙන්වෙන්න තීරණය කළා. පහුගිය කාලයේ යුරෝපා සංගමයේ පැවති මැතිවරණය දිහා බැලුවොත් මේ විදියේ අන්ත දක්ෂිණාංශික පක්ෂ ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ හැම පක්ෂයක්ම අරන් බැලුවොත්, ඔවුන් ජාතිවාදී, ආගම්වාදී, සංක්‍රමණ විරෝධී, සුළු ජනවර්ග විරෝධී සටන් පාඨ මත තමයි පදනම් වී සිටින්නේ. මේ තත්ත්වය යුරෝපයට පමණක් සීමා වුණු දෙයක් නෙමෙයි. අපේ අසල්වැසි ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදිගෙ ජයග්‍රහණය ගත්තත් එය හින්දුවාදය මුල්කරගත් දක්ෂිණාංශික ව්‍යාපාරයක් විදියට තමයි ඉදිරියට ආවේ. චීනයේ ෂී ජින් පින්ගේ පාලන ක්‍රමය ගත්තත් චීන ජාතිකවාදය ඔවුන් ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. චීනය ශ්‍රේෂ්ඨත්වයට නංවනවා කියන අදහස, ඒක හඳුන්වන්නේ ‘චයිනීස් ඩ්‍රීම්‘ කියලා. මේ වෙද්දි ඇති වී තිබෙන නව ලිබරල්වාදී අර්බුදයත් එක්ක මිනිස්සු තුළ ගොඩනැගෙන විරෝධතාව, කලකිරීම අද මේ ජාතිවාදීන් විසින් අන්ත දක්ෂිණාංශික ජාතිවාදී සටන් පාඨ ඔස්සේ සංවිධානය කරමින් තිබෙනවා. මේ අය ඉදිරියට ඇවිත් බලය ගන්න එක අද ලෝකය පුරාම තියෙන ප්‍රවණතාවක්. අද අපි ලංකාව තුළ දකින්නෙත් මේ ප්‍රවණතාවම තමයි. දක්ෂිණාංශික ජනප්‍රියවාදයේ නැඟීම කියල තමයි මෙය හඳුන්වන්නේ. ඉතින් ඔවුන්ට කිසිම විදියකින් මේ ක්‍රමයට විසඳුම් දෙන්න බැහැ.

• ලංකාවෙ තියෙන්නෙත් මේ ප්‍රවණතාව කියලා ඔබ කියනවා. ඒ තත්ත්වය ටිකක් පැහැදිලි කළොත්?

මේ ආර්ථික ප්‍රතිපත්ති ඔස්සේ ඇති වුණු ආර්ථික අසමානතාව, දරිද්‍රතාවයේ ඉහළ යෑම, ජීවන මිල ඉහළ යෑම, ඇති නැති පරතරය විශාල ලෙස වර්ධනය වීම... ආදී කාරණා නිසා ලංකාවේ බහුජනයා අතර විශාල ආතතියක් ඇති වී තිබෙනවා. අපි පසුගිය අවුරුදු දහය අරන් බැලුවොත් බඩු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. මේ දේවල් නිසා ඇතිවන ජනතා විරෝධය සංවිධානය කරන්න වාමාංශිකයන් අසමත් වෙනකොට ඒ හිස්තැන පුරවන්නේ අන්ත දක්ෂිණාංශික ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදී, බලවේග විසින්. ඒ අය විසින් ඉතාම රැඩිකල් විදියට අධිරාජ්‍ය විරෝධී, බටහිර විරෝධී සටන් පාඨ ඉදිරිපත් කළාට ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය, ඔවුන් විසින් ඉදිරියට අරගෙන යන වැඩපිළිවෙල නව ලිබරල් ධනවාදයම තමයි. මේකෙන් මේ අර්බුදය තව තවත් උග්‍ර වෙනවා මිසක් විසඳන්න බැහැ. ඉස්සරහට සිදු වෙන්න නියමිත දේ තමයි ආර්ථික වශයෙන් ආන්තිකකරණය වුණු, දරිද්‍රතාවට පත්වුණු ජන කණ්ඩායම් වර්ගවාදී ආගම්වාදී ව්‍යාපාර මඟින් තවත් වටයකින් මර්දනයට ලක් කිරීම. මෙවැනි අර්බුදයක් නිර්මාණය කරමින් තමයි මේ ආර්ථික ක්‍රමය ඉස්සරහට යන්නේ.

• වමට මේ කියන අර්බුදයට විසඳුමක් ඇත්තෙම නැද්ද?

මේ සඳහා ගෝලීය මට්ටමින්ම අලුත් ජීවිතයක් ගැන සහ අලුත් ලෝක ක්‍රමයක් ගැන සංයුක්ත අදහසක් වම විසින් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. අන්තෝනියෝ ග්‍රාම්ස්චිව උපුටමින් කියනව නම්, “ධනවාදය කියල කියන්නේ හුදෙක් ආර්ථික ක්‍රමයක්ම නෙමෙයි; එය කිසියම් ශිෂ්ටාචාරයක්. ධනවාදය විසින් ඊටම ආවේණික වූ මනුෂ්‍ය ස්වභාවයක් නිර්මාණය කරනවා. එනිසා මනුෂ්‍ය සම්බන්ධතාවල යම් ආකෘතියක් මෙමඟින් නිර්මාණය වෙනවා.” මේ ආකාරයට නිර්මාණය වුණු ශිෂ්ටාචාරය අද ගෝලීය වශයෙන් අර්බුදයට ගමන් කර තිබෙනවා. අද ට්‍රම්ප්, ෂී ජින් පින්, පුටින්, ෂින්සෝ අබේ, මෝදි, ලංකාවේ රාජපක්ෂල වගේ චරිත බිහිවෙන්නේ මේ අර්බුදයේ ප්‍රකාශනයක් විදියටයි. ඒ අය මේ අර්බුදයේම කොටසක් මිසක් මේ අර්බුදයට උත්තරයක් නෙමෙයි. මේ තත්ත්වය විසින් ඉදිරියේදී ආගම්වාදී, වර්ගවාදී, සුළු ජන විරෝධී තැනකට මේ සමාජය තල්ලු කරමින් තිබෙනවා. මෙන්න මේ දෘෂ්ටිවාදය අප විසින් ජයගත යුතුව තිබෙනවා. එය දේශීයව වගේම ගෝලීය වශයෙන් ගොඩනැඟිය යුතු වෙනවා. මේ වෙද්දි ගෝලීය වශයෙන් ධනවාදය විසින් මානවයා විනාශය කරා යොමුකරමින් සිටිනවා කියන අදහස වාමාංශික චින්තකයන් විතරක් නෙමෙයි ලිබරල්වාදීන් පවා පිළිගන්න කාරණාවක් බවට පත්වී තිබෙනවා. අද අපි ජීවත් වන්නේ සමාප්ත කාලයක. මේ සංවර්ධන මොඩලය විසින් ඇති කරන පාරිසරික විනාශය හමුවේ මිනිස් වර්ගයාත් සමස්ත ජෛව ගෝලයත් විනාශයේ අබිමුවට රැගෙන ඇවිත් තියෙනවා. ඒ නිසා අද අවශ්‍ය වෙන්නේ ආර්ථික ක්‍රමය ගැන පමණක් නෙමෙයි මිනිස්සුන්ගේ සංස්කෘතිය ගැන, මිනිස් සබඳතා පිළිබඳව, මනුෂ්‍ය ජීවිතයේ අර්ථය කුමක්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයට වෙනස් පිළිතුරක් සෙවීමයි. ඒ සඳහා වෙනස් ශිෂ්ටාචාරයක් පිළිබඳ අදහසක් අද වාමාශිකයන් විසින් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා ලෝකය පුරා වාමාංශික ව්‍යාපාර අද ඉදිරියට එමින් තිබෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අපි යෝජනා කරන සංයුක්ත අදහස තමයි ජවිපෙ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු සියලුම වමේ පක්ෂ, සංවිධාන, බහුජන ව්‍යාපාර, ප්‍රගතිශීලී බුද්ධිමතුන්, කලාකරුවන් ඇතුළු පිරිස්වල සහභාගීත්වයෙන් ඇති කරන පුළුල්ම වමේ සහයෝගීතා ව්‍යාපාරයක් අවශ්‍යයි කියන එක. එමගින් ආර්ථිකය, අධ්‍යාපනය, පොදු ප්‍රවාහනය, සෞඛ්‍ය සේවය, සංස්කෘතික සබඳතා ඇතුළු සෑම ක්ෂේත්‍රයක ම ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක් ගෙන ආ යුතුයි. එය වාමාංශික පදනමක් මත ගොඩ නඟන නව ශිෂ්චාරයක් සඳහා වන ව්‍යාපාරයක් විය යුතුයි. අද ජනතාවට අවශ්‍ය අලුත් බලාපොරොත්තුවක්. අලුත් මුහුණුවරකින් එන වමේ පුළුල්ම එකතුවකට අද විශාල ඉඩක් විවර වී තිබෙනවා.

 

සිළුමිණ

Read 550 times Last modified on Sunday, 21 July 2019 23:56

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.