Friday, 05 July 2019 16:20

ආල වඩන යන තේරුම බෝසත්කම සකී

Written by 
Rate this item
(0 votes)

ආදරේ කියන්නෙ ම මහ පුදුම හැඟීමක්. මට හිතුනේ එහෙම. ඒ හැඟීමට පුලූවන් හදවතක් සුන්දර කරන්න. ඒ වගේ ම ඒ හැඟීමට පුලූවන් හදවතක් වේදනාවෙන් රිද්දලා විඳවන තැනට ඇදලා දාන්න. පහුගිය කාලෙ ලංකාවේ සිද්ධ වුණ දේවල් දිහා බැලූවා ම හදවතක් සුන්දර කරන එක කෙසේ වෙතත් හදවතක් රිද්දන එක නම් සිද්ධවෙලා ඒ රිදවීම තවත් දුර දිග ගිහින් ඒක ජීවිත වලින් වන්දි ගෙවීමෙන් කෙළවර වුණ බව නම් අපි හොඳින්ම දැක්කා. පෙම්වතා පෙම්වතිය ඝාතනය වගේ සිද්දි ඒවට සාක්ෂ.

 

පහුගිය කාලෙ දවසක මට මගේ ක්ලාස් එකේ ළමයෙක් ඇහුව දෙයක් මතක් වුණා. භාෂාව හා සාහිත්‍යයට විතරක් කොටු නොවී මං මගේ පොඩි එවුන් එක්ක ආදරේ ගැන ජීවිතේ ගැන විතරක් නෙවෙයි එයාලම ඇවිත් අහන එයාලගේ ප‍්‍රශ්නවලටත් උත්තර දෙන නිසා පන්තියේ ඉන්න මේ මගේ පොඩි උන් ටික මට අප‍්‍රමාණව ආදරෙයි.

‘‘සර්, ආදරය පරාජය වීම කියන්නෙ ජීවිතෙන් පළා යෑමට හේතුවක් ද?’’

 

මම මොහොතකට කල්පනා කරා. බැලූව බැල්මට මේ ප‍්‍රශ්නය මෝඩයි කියා කාට උනත් හිතෙයි. එහෙම හිතලා ‘පිස්සුද ළමයෝ, විකාර කියෝනවා ද?’ කියලා මටත් අහන්න පුලූවන්. මං ඒත් එහෙම නොකළෙ මේ ළමයි මේ අහන්නෙ එයාලගේ සමාජ වටපිටාවෙ සිද්ධවෙන දේවල් වලින් එයාල ග‍්‍රහණය කර ගන්න දැනුම පදනම් කරගෙන කියලා ම දැනන් උන්න නිසයි. මට ඕන වුණා ඒ හින්දම මේ ගැන තේරුම් කරවන්න.

‘‘පුතේ, අපි දැන් මෙහෙම හිතමුකො. මේ මොහොතේ ආදරේ බිඳුනම ලංකාවෙ ඉන්න ගොඩක් අය එල්ලිලා මැරෙනවානෙ. කෝච්චියට බෙල්ල තියනවානෙ. ඒත් එයාලගේ ආදර කතාවලට උපරිම වයස කීයක් වෙනවා ඇද්ද?’’

 

‘‘එයාල ඉතින් උපන්දා ඉඳන් ආදරේ කරලා නැහැනෙ. උපරිම ඔය යන විදියට හතරක් පහක් වෙයි.’’ කටකාර කොල්ලෙක් උත්තර දෙනවා.

‘‘හරි, අපි ගමුකො සිද්ධාර්ථ යශෝදරා. දැන් සිද්ධාර්ථ කුමාරයාත් යශෝදරාත් බෝසත් අවධියේ එකිනෙකා පතාගෙන අවනෙ හැම ආත්ම භවයකම. සාරාසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරද්දි යශෝදරාත් ඒ භව සසරෙ ළඟට වෙල ළංව උන්නානෙ. ඉතින් ඒ යශොදරාව සිද්ධාර්ථ කුමාරයා දාල ගියානෙ. ඒත් යශෝදරා සියදිවි හානිකර ගත්තෙ නැහැනෙ. අනික් අතට සිද්ධාර්තට හෙණ තිබ්බෙත් නැහැනෙ. එතකොට දැන් ඔය අවුරුදු දෙක තුනේ ආදර කතා බිඳුනම සියදිවි නසා ගැනීම හරිද? බලන්න අතෑරලා ගිය සිද්ධාර්ථටත් මෛත‍්‍රී කරපු යශෝදරා ගේ හැඟීම’’

 

‘‘කැලේ තිබෙන කොයි දේවත් රස වේවා
මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා
අවුවේ තිබෙන රැුස් මාලා අඩු වේවා
ගව්වෙන් ගව්ව දිව මාලිග ඉදි වේවා’’
(යශෝදරාවත)

එහෙම කියද්දි මට මතක් වෙන්නෙ පහුගිය දවසක මා එක්ක කතා කරපු සරසවි සිසුවියක්ව. ඇය සරසවියට එන්න කලින් ආදරේක පැටලිලා. ඒත් ඒ පේ‍්‍රමවන්තයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඒකාධිපතියෙක්. ඇය සරසවියට තේරුණාම ඔහුගේ වැඩි කැමැත්තක් තිබිලා නැහැ ඒ ගැන. ඒත් ඇය ඇගේ දෙමාපියන්ගෙ බලකිරීම මත අගනුවරට සමීප සරසවියකට එනවා. ඒ ආව දවසේ ඉඳන් ඇය ඒ පෙම්වතාගේ අතොරක් නැති පීඩාවන් මැද ජීවිතේ ගෙවනවා. ඇය කරන්නෙත් ජනමාධ්‍ය අංශයට සම්බන්ධ උපාධියක්. ඒ නිසා නිතරම පුහුණු සැසි වලට සම්බන්ධ වෙන්න වගේ ම ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙන්න ඇයට සරසවියෙන් පිට යන්න සිද්ධ වෙනවා. අර පේ‍්‍රමවන්තයා කිහිප සැරයක් ම මේ වගේ අවස්තා වලදි ඈ එක්ක රණ්ඩු කරනවා. ඒත් ඇය ඒ හැම අවස්තාවක ම බොහොම අමාරුවෙන් ඔහුට කරුණු පැහැදිලි කර දෙනවා. ඔහු කේන්තියෙන් ම නිහඬ වෙනවා. මං දවසක් ඇගෙන් අහනවා. ‘දැන් ඔය සම්බන්ධය විවාහෙකින් කෙළවර උනාමත් ඔය වගේ ම රණ්ඩුවෙලා ආරවුල් ඇති වෙයි නේ ද? නංගී’’ ඇය මට මොකුත්ම නොකියා ඉඳලා කියනවා. ‘‘ඒක තමයි අයියේ ආදරේ.’’ මම නිරුත්තර වෙනවා. ඇය ඊට පස්සෙ මෙහෙම කියනවා.

 

‘‘එයා මට හරි ආදරෙයි අයියේ, එයා ඉගෙනගන නැහැ. ලොකු සමාජයක් ඇසුරු කරලා නැහැ. ඒ නිසයි එයා මා එක්ක මේ දේවල් වලට රණ්ඩු කරන්නෙ. ඒත් මං දන්නවා එයා එහෙම කරන්නෙ මට මේ දේවලින් හානියක් වෙයි කියලා බයට.’’

මම කිසිවක් නොකියාම නිහඬ වෙනවා. පස්සෙ දවසක මං මගේ මිතුරියක් එක්ක මේ ගැන කතා කරනවා. ඇයත් සංවේදී හදක් ඇති සරසවි සිසුවියක්. ඔය සිද්ධිය කියුවම එයා මට ‘අයියේ මේක අහන්න කියලා සින්දුවක් දෙනවා’’

 

‘‘නොරිදෙනා ආදරේ ආයුශ
නොරිදේවි හැමකල්
කුමටදෝ ජීවිතය මට
මේ රිදුම නැතිනම්’’
(පද- අමිල තේනුවර)

 

ඒක අහද්දි මට හිතෙනවා සමහර විට අර සරසවි යුවතිය හිතන හැටි හරි වෙන්නත් පුලූවන් කියලා. කොහොම උනත් ආදරේ ගැන විරහව ගැන කතා කරන හැම මොහොතක ම මගේ හිතට එක පාරටම එන ගීතයක් තියෙනවා. ඒ ධර්මසිරි ගමගේ ලියලා හුලවාලි පිල්ම් එකේ දි සුනිල් එදිරිිසිංහ ගයන ගීතය. කවුරු හරි කෙනෙක් විරහව වේදනාව දරා ගන්නෙ කොහොම ද කියලා ඇහුවොත් මං කියන්නෙ මේ ගීතයේ අර්ථයට හිත යා කරන්න. ඇත්තට ම ඔයාට පිළිතුරක් දැනේවි කියලයි.

 

‘‘ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
ආලෙ බිඳුනු දා කුමකට කඳුළු හෙළනු සකී
ආල වඩන යන තේරුම බෝසත් කම සකී’’
(පද- ධර්මසිරි ගමගේ)

 

@ ගයාන් අබේසිංහ

Read 234 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.