Wednesday, 07 November 2018 02:05

මේ ප්‍රජාතන්ත්‍රවාදය කාගේද ? කා සදහාද ? – තුසිත පතිරණ

Written by 
Rate this item
(0 votes)

ලංකාවේ මාර දේශපාලන අවුලක් ඇතිව තිබේ.. හිටි හැටියේම ජනාධිපති මෛත්‍රී විසින් මහින්ද රාජපක්ෂ වෙත අගමැතිකම පිරිනමා ඇත. එතෙක් රනිල්ට අගමැතිකම දී ජනපතිකමේ වැඩකරගනෙ ගියේය. මේ සමගම දේශපාලන ක්ෂේත්‍ර යේ නිතර නිතර තොරම්බල් වෙන වචනයක් බවට ප්‍රජාතන්ත්‍රවාදය එළියට ආවේය.

 

මෙසේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටින්නේ කුමක් සදහාද ? මෛත්‍රී බලෙන් මහින්දගේ ඇඟේ අගමැතිම ගැසූ නිසාද ? එසේ ගසා ලීමෙන් අනතුරුව රනිල්ට අගමැතිකම අහිමි වූ නිසාද ? එක් අයෙකුට පුටුව අහිමිව තවත් අයෙකු වෙත පුටුව ලැබී ඇත. මෙය ධනේෂ්වර දේශපාලනයේ මාරම අවුලක් ලෙස දකින පිරිස් ඉදිරියට පැමිණ ව්‍යවස්ථා විරෝධී බවක් දක්වා ව්‍යවස්ථාවේ අර වගන්තියද මේ වගන්තියද කෙලෙසා ඇතැයි විලාප නගමින් සිටී.. ඒ අතරේ බහුතරයක් ගැනද කතා ගොඩකි.. බහුතරය හදාගැනීමට එකතු කරගත් මුදල් කෝටි ගණනින් විසිකරමින් සිටින බවද කියැවේ.

තත්වයන් මෙසේ වෙද්දී ජනතාව පැත්තෙන් ජනතාව අන්දමන්ද වී බලා සිටී. ඔවුන් මැතිවරණ කාලයකදී පත් කර යවන ජනතා නියෝජිතයින් තමන්ට අවශ්‍ය තැනට ගොස් ජනතාව පයිසෙකට ගණන් නොගෙන තමන්ට අවශ්‍ය දේ, තම පක්ෂයට අවශ්‍ය දේ කරමින් ජනතාව මතම පීඩනයක් මුදා හරිමින් ජනතාවගේ රීරි මාංෂ උරා බොමින් බදු බරද, අනේක විධ ගෙවීම්ද පටවා ජනතාව හපයක් බවට පත්කරලීම කෙළවරක් නැත. එසේ ජනතාවගෙන් ඈතට යන පාලකයා තමන්ට කෙළ වී ඇති බවත් දුටු විගස නැවත ජනතාව වෙත එන්නේ ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදය වැනි සුකුරුත්තන් පද කිහිපයක් දමා මේ තොපිට කෙළවීමක් බව ඒත්තු ගන්වමිනි.

ඇත්තටම පාලකයා ජනතාවට කෙළවා පසුව තමන්ට කෙළවූ පසුව නැවත ජනතාව වෙත පැමිණ අපට නැවත තොපිට කෙළවීම සදහා උදව් කරපියව් යන්න කියන්නාක් වැනි දෙයකි මෙය.

දැන් ජනතාව මේ ප්‍රශ්න ගැන විමසිය යුතුව ඇත. ව්‍යවස්ථාව තොපිට අයිති දෙයකි.. මෙතෙක් ව්‍යවස්ථා වෙනස් කරනු ලැබූවේ ඒවා ප්‍රතිසංස්කරණය කරනු ලැබූවේ.. ජනතා හිත සුව පිණිසද යන්න විමසා බැලිය යුතුවේ.. වගන්ති ප්‍රකාරව කරුණු එකින් එක ගත් විට ඒ හෑම ඡේදයකම පාලකයා ආරක්ෂාවීමට ගැසූ දහන් ගැට කප්පරක් මේ තුළ අඩංගු කොට උන්ව ආරක්ෂා වීම සදහා ගොඩ නගා ගත් වාක්‍ය ඛණ්ඩවලින් හෙබි පුස්තකයක් විනා එය ජනතාවට සෙත සදන මහානුභාව සම්පන්න පුස්තකයක්ද යන්න විමසා බැලිය යුතුව ඇත.

ඉතිං මේ ව්‍යවස්ථාවලින් කෙළින්නේ ජනතාවටය.. ඒවායින් පාලකයාට කෙළවූ පසු එකිනෙකා අතර පිහි ඇණුම් බැණ ගැනීම් , මතවාද ගොඩ නැගීම් , ඒවාට කර ගැසීම්, සංවාද ගොඩනැගීම්, මාධ්‍ය සාකච්ඡා තැබීම් ආදී අනේක විධ විප්‍රකාරයන් කරන්නේද ජනතාව විසින්මය.

අනෙක් පසින් ප්‍රජාතන්ත්‍රවාදයයි. මේ ප්‍රජාතන්ත්‍රවාදය සේවය කරන්නේ කාටද? ආසන්නතම දේශපාලන අර්බුදයේදී ප්‍රජාතන්ත්‍රවාදය යනු රනිල්ගෙන් ඩැහැගත් අගමැති පුටුව ඔහුට බේරාදීමේ පරම පවිත්‍ර චේතනාවය. මහා විද්වත් කතිකාවන් මවන මහතුන් මෙය එසේ නොවේය යන්නට කන පැලෙන්නට තර්ක ඉදිරිපත් කළ හැකිය. එහෙත් ඒ විද්වතුන්ටද රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය මත යමක් අහිමිවීම විසින් වන දුක්ඛප්‍රාප්තියක් නොවන්න ට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයද බේරෙන්නේ රෙද්ද පල්ලෙනි.

වාමංෂිකයන්ට ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදය යනු අයිසින් තට්ටුවක් බව මාක්ස් කීවේය.. නියමුවා පුවත්පතෙහි දිගින් දිගටම ගිය ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලියූ ලිපි පෙළක ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ හෙළුව පෙන්වීමට සමත්ව තිබුණේය. ඒ මීට කලකට ඉහතදීය. මේ වන විට එම පුවත්පත අදාළ පක්ෂය ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව එහි අක්මුල් බේරා ගැනීම සදහාද සටන් අරඹා ඇති අතර එම ලිපි පෙළ ලියූ ලේඛකයාද අදාළ පක්ෂයෙන් ඉවත්ව නිහඩව සිට නැවත පසුගියදා මේ ප්‍රජාතන්ත්‍රවාද රැකීම සදහා වන වේදිකාවක ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සදහා මුල් කතා බහක නිරත වූයේය.

කෙසේ නමුත් මේ කතා බහේදී වැඩි වශයෙන් වමට බර වන වාක්‍ය ඛණ්ඩයන් හෝ න්‍යායාත්මක නැඹුරුවක් පෙන්නුම් කරන්නේ යැයි යමෙකුට සිතන්නට ඉඩ ප්‍රස්ථාව ඇතත් එය එසේ නොවේ යැයි පැවසීමට වන්නේ වමක් යනුවෙන් ගත යුක්තක් ලංකාවේ දේශපාලනයේ අද දක්නට නොමැතිකම විසිනි. දේශපාලන පක්ෂ වාමාංෂික හෝ වේවා දක්ෂිණාංශික හෝ වේවා ඔවුන්ගේ මූලික අභිප්‍රාය වන්නේ බලය තහවුරු කිරීමයි. බලය තහවුරු කිරීම සඳහා දේශපාලන බලවේල අනේක විධි උපක්‍රම විදි අනුගමනය කිරීම අනිවාර්යයකි. එබැවින් ධනේෂ්වර පාලනය බංකොලොත්වන ඉඟිය සහ ඊට අදාළ ක්‍රියාකාරීත්වය තේරීම කළ හැක්කේ සැබෑ වාමාංෂික ව්‍යාපාරයකටය. ක්‍රමය විසින් ජරාජීර්ණ කරනු ලබන ධනේෂ්වර පක්ෂ එකින් එක බිද වැටීම් සනිටුහන් කරන මොහොතක ඔවුන්ට තෙවැනි හෝ දෙවැනි බලයක් සදහා වන දූර දර්ශනයක හෝ එවැනි න්‍යායික කියවීම නොමැති වීම වම ලැබූ දැවැන්ත අඩුපාඩුවකි . මේ නිසාම ඔවුන්ට බෙදෙන පිලකට හුරේ දැමීම හැර අන් යමක් ඉතිරි නොවීම ඉතිහාසය විසින් කිසිදිනක නිවැරදි නොකරන වරදක් වනු ඇත. එසේම න්‍යායික සංවාදයන්ට කොටුව නිදිවරමින් සිටින හා වම විකුණූ පක්ෂද උරුම විප්ලවීයත්වයක් කිසිදා රැදෙනු නැත

කෙසේ නමුත් රනිල් – මෛත්‍රී – මහින්ද බල අරගලයේ ව්‍යාප්තිය එකෙකු මත එකක් හා දෙදෙනෙකු මත එකෙක් වන ලෙස මාරු වූ විට ගොඩ නැගෙන දේශපාලනික පහරදීම් හා යාලුවීම් දේශාපාලනයේ අරුම පුදුම දනවන සෙල්ලම් බවට යමෙකුට හැගෙන්නේ නම් ඔහු හෝ ඇය ආසියාතික දේශපාලනයේ ලංකාවේ දේශපාලන ජෝක් ගැන දන්නේ නැතිකමය.
පිල් බෙදීම පක්ෂ ගොඩ නැගීම හා පක්ෂය කඩාගෙන යාම නැවත යලිත් පක්ෂයට ඒම මේවා දේශපාලනයේ ප්‍රතිපත්ති විරහිත සටකපටකම් වන බවට ඉතිහාසයේ හා වර්තමානයේ ඕනෑ තරම් සාක්ෂ්‍ය සහිතව පෙන්වා දිය හැකිය. එබැවින් රනිල් වෙනුවට මහින්ද ගන්නා මෛත්‍රීට අමතකව යන ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත. ඒ ජනවාරි 08 වන දාට පෙර තිබූ ප්‍රජාතන්ත්‍රවාදය නොමැති රටක තමන් අත්වීදිමට සිදුවූ අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ය. එහෙත් අතීතය කවරක වුව වර්තමානයේ අගමැති මාරු කිරීමේ ආසන්නතම හේතුව ලෙස ජනාධිපතිවරයාගේ කතාවෙන් පැහැදිලි වූයේ තමාව ඝාතනය කිරීමට තැත් කරන බැවින් අගමැතිවරයා මාරු කළ බවකි. කිසියම් පාලකයෙකුගේ ජීවිතයට තර්ජනයක් නම් එයින් ආරක්ෂාවීමට රටේ ආරක්ෂක විධි විධාන තර කළ යුතුවා මෙන්ම ජනාධිපතිවරයාට ආරක්ෂාව නොමැති රටක ආරක්ෂක අංශය කවරාකාරද යන්න ගැන අමුතුවෙන් කිව යුතු නොවේ.. එසේ නම් ආණ්ඩුව හා ජනාධිපතිවරයා එතැන්ම තම නිළයේ වගකීම ගැන නැවත සිතා බැලිය යුතුම වේ.
මෛත්‍රී විසින් බලයට ගෙනා මහින්ද ජනතාවගෙන් කොටසකට හරි යැයි සිතේ.. ඒ වෙනුවෙන් ප්‍රීති ඝෝෂා සංදර්ශන හා දන්සැල් ලබාදීම් මහා පරිමාණයෙන් සිදුවෙමින් පවතී. මහින්ද ඒම හොදයැයි සලකන පිරිස් වෙත නැවතත් භීතිකාවක් නිර්මාණය වන්නේ මහින්ද සමග ඔහු වටා සිටින පිරිස් වෙත බලය නිරායාසයෙන් ලැබීමත් සමගය.
අගමැති ධූරයේ දිව්රුම් දෙන මහින්ද රාජපක්ෂගේ නිළයේ අයිතිය ඉඹේම වාගේ ගෝඨාභය රාජපක්ෂට බැසිල් රාජපක්ෂට හා නාමල් රාජපක්ෂට හිමිවේ. ඒ නිසාම ගෝඨාභයට සැලියුට් ගසන පොලිස්පතිද , ආරක්ෂක අංශ වෙත අණ දෙන ගෝඨාභයද ? පඩියක් නොගෙන වැඩ කරන බවට මාධ්‍යයට කරුණු දක්වන ගෝඨාබය ද , ව්‍යායාම් සදහා ගිය අතුර තුරු එම ෂෝට් එක පිටින් FCID වෙත යන නාමල්ද කියා පාන්නේ අන් කවරක් නොව මහින්ද රාජපක්ෂට ලැබෙන බලය AUTO රාජපක්ෂ පවුල රකින බල්ලාටද හිමිවන බවය. මෙය අමුතු පන්නයේ පාලනයකි. මෙය අමුතු පන්නයේ ප්‍රජාතන්ත්‍රවාදයකි.
එබැවින් මොර දෙන්නන් හා රඟ දෙන්නන් නැවත නැවත පාලකයාගේ භූමිකාව හා ජනතාවගේ භූමිකාව පිළිබද විමසිලිමත් විය යුතුම වේ. කඳවුරු ගොඩ නැගෙන්නේ බලය කිසිවෙකු මත තබා ජනතාව පීඩනයට පත්කිරීම හෝ වීමට නම් එහෙව් ප්‍රජාතන්ත්‍රවාදයෙන් හා එහෙව් අගමැති ධුරයන්ගෙන් කවර ඵලයක්ද යන්න විමසා බැලිය යුතුමය. පාලන බලය එකම කාඩ් කූට්ටමේ කොළ මතම වන මේ දේශපාලන සෙප්පඩ විජ්ජාවට තිත තැබීම සදහා මිස එක එක ජාතියේ නාමකරණයන්ට හසුව මේ ජරාජීර්ණ සිස්ටම් එක පවත්වාගෙන යාමට නම් රටේ ජනතාවට දෙයියන්ගේම පිහිට යැයි පැවසීමට බිය විය යුතුම නැත.

Read 57 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.