Monday, 05 March 2018 01:31

යථාර්තවාදී රීතියේ  ලංකාවේ සලකුණ සමුගනී

Written by 
Rate this item
(0 votes)

හෙළ කලා කෙත පෝෂණය කරන්නට මහත් මෙහෙවරක් ඉටු කළ සාහිත්‍යධරයෙකු වූ ඇරැව්වල නන්දිමිත්‍රයන් දැයෙන් සමුගෙන ඇත.

1939 ජුනි මස පස් වන දින උපත ලැබූ ඒ මහතා කෙටි කතාකරුවෙකු ලෙස සාහිත්‍ය ක්‍ෂේත්‍රයට එක්වූයේ හැටේ දශකයේ අග භාගයේ දීයි. ඒ කය මිස සිත නැති දන කෘතිය එළිදක්වමින්. අනතුරුව ඒ මහතා නවකතා රැසක් ද සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රයට දායාද කළා. පියවතී සහ ඇගේ පුත්තු, ජීවිතයේ කොටස්කාරයෝ, මල්දෙණියේ සිමියොං, මම ඔබ සිඹිමි, පද්මාවතී, ජීවිතය සුන්දරය, මිහිසරණ, කඳුලක් සිනාසෙයි වැනි කෘති එම නවකතා අතර වනවා. රෝස මලේ රේණු හැලේ, සුදු කොඩි, ස්ත්‍රී, පුංචි කුමාරි හාමි, රත්තරං නෙළුම් මල්, සුද්දෝ සහ කොයින් මැණිකේ ඇතුලු සම්භාවනීය කෙටි කතා සංග්‍රහ රැසක් ද ඇරැව්විල නන්දිමිත්‍රයන් එළිදක්වා තිබෙනවා. ඇරැව්වල නන්දිමිත්‍රයන්ගේ කෘති පාදක කර ගනිමින් සෙක්කුගෙදර, වතුර මල, ජීවිතය සුන්දරයි වැනි ටෙලි නාට්‍ය නිෂ්පාදනය කෙරුණා. ස්ත්‍රී, මල්දෙණියේ සිමියොන් වැනි  චිත්‍රපටවලට පාදක වී ඇත්තේ ඔහු විසින් රචිත සාහිත්‍ය කෘතියි. නවකතාකරුවෙකු, කෙටිකතාකරුවෙකු,යොවුන් සාහිත්‍යකරුවෙකු මෙන්ම ළමා සාහිත්‍ය නිර්මාණකරුවෙකු වශයෙන් ඒ මහතා සුවිශාල කීර්තියක් හිමිකරගෙන සිටියා. ඇරැව්වල නන්දිමිත්‍රයන් රචනා කළ සාහිත්‍ය නිර්මාණ වෙනුවෙන් රාජ්‍ය, ස්වර්ණ පද්ම, විද්‍යෝදය, ගොඩගේ ඇතුළු සාහිත්‍ය සම්මාන රැසක් හිමි වුණා. ප්‍රබන්ධ සාහිත්‍ය කලාවේ නව ශෛලීන් සහ රීතීන් රැසක් හදුන්වා දුන් නන්දිමිත්‍රයන් යථාර්තවාදී රීතියෙන් නිර්මාණකරණයේ යෙදීමට වැඩි රුචිකත්වයක් දැක්වූ සාහිත්‍යකරුවෙක්. ඇරැව්වල නන්දිමිත්‍රයන් විවිධ සමාජ විෂයන් සිය නිර්මාණවලට පාදක කර ගත් අතර විචාරකයන්ගේ නොමද පැසසුමට ලක් වූ සාහිත්‍ය කරුවෙක්. නන්දිමිත්‍ර මහතා  දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. ඒ මහතා කලක් රෝගාතුරව සිටි අතර අභාවප්‍රාප්ත වන විට හැත්තෑ නව වන වියේ පසු වූණා. ඇරැව්වල නන්දිමිත්‍ර  මහතාගේ දේහය ඇරැව්වල පන්නිපිටිය සිය නිවසේ තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා පස්වරු 6 ට ඇරැව්වල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

 

මේ විදර්ශන කන්නංගරයන් ඇරැව්වල නන්දිමිත්‍රයන් ගැන තැබූ සටහනකි.

 

ඇරැව්වල නන්ද්‍රිමිත්‍ර නම් වූ කතාකරුවාගේ මරණය සැලවීමෙන් සිත කීරි ගැසෙන පසුතැවීම් වේදනාවක් ඇති විය.මගේ යොවුන් විය තුළ ඔහුගේ කතා කලාව විසින් ඇති කළ තිගැස්ම ඔහුගේ සියලු ප්‍රබන්ධයන් සොයා කියවන තැනකට මා පෙළඹවීය.පසු කලක ඔහුගේ සාහිත්‍යයට වඩා ශිල්පීය තාක්ෂණයෙන් යුතු දෙස් විදෙස් ප්‍රබන්ධ සාහිත්‍යය කෙරෙහි ලොල් වීම නිසා මගේ ලෝකය තුළ ඔහුට තිබූ ප්‍රතිරූපය ක්‍රමයෙන් ක්ෂය වන්නට විය.එහෙත් මගේ අතීත මතකාවලිය තුළ ඔහු කොහේ හෝ රැදී සිටියේය.පසුතැවීම නම් ඔහු ගිලන් වී කලක් ගිය තැන ඔහුව දැක බලා ගැනීමේ අපේක්ෂාවෙන් පසු වුවද එය පූර්ණය කරගැනීම දිගින් දිගටම මා අතින් මගහැරීමයි.මගේ ජීවිතයේ කිසිදිනක ඔහුව හැබැහින් හමු වී නැතත් සැබැවින්ම මා මිනිසෙකු බවට පත් කළ පියවරුන් අතර ඔහු ඉහලින්ම සිටින්නෙකු යැයි මට දැන් සිතෙයි.නන්ද්‍රිමිත්‍රගේ සාහිත්‍යය වනාහී ඔහු ජීවත් වූ පොළවෙන් ඓන්ද්‍රීයව බිහි වූ කලාවකි.සාහිත්‍ය කලාව ලාභ සමුච්චනය හා සාටෝප ප්‍රතිරූකරණයකට යටත් වූ යුගයක මිය යාම හැර අන් විකල්පයක් ඔහුට නැති විය.ගැමි දිවියේ දුර්දාන්ත පැතිකඩ සිය ප්‍රබන්දයන් හරහා විශද කළ තරමට එම පාත්‍රවර්ගයා කෙරෙහි පතල දයාවකින් ඔහු සිය පෑන හැසිරවීය.ලංකාව දූපතක් නොවී නම් ඇතැම් විට ඔහු මාර්කේස් වර්ගයේ ප්‍රබන්ධකරුවෙකු වීමට ඉඩ තිබිණි.

 

Read 289 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.