Wednesday, 30 November 2016 02:34

ඇන්ටන් ජෝන් ගේ 'ඉතිහාස බයිලාවලින්' ඉතිහාසය ඉගෙනීම හා ජනප්‍රිය ඉතිහාසය සමාජගතවීම - නන්දන වීරරත්න

Written by 
Rate this item
(0 votes)

බ්ලොග් අඩවිවල හා අන්තර් ජාලයේ ලියැවෙන ඉතිහාසකතා අප නිවැරදි කල යුතුද? මේ ප්‍රශ්නයට නිර්මාල් රන්ජිත් දේවසිරි දෙන පිළිතුර අපට මුහුනු පොතෙන්ම සොයාගැනීමට හැකි වුනත් නුවර යුගය පිලිබඳ අධිකාරිත්වයක් දරණ ලෝනා දේවරාජා කුමක් කියනු ඇත්ද? නමුත් ප්‍රිය ගුරු ගණනාථ ඔබේසේකරයන් ගෙන් මෙය විමසුවිට නඟන උපහාස සිනාව හා පිළිතුර හොඳින් දනිමි. 'ඔය කාලය නාස්ති නොකර ප්‍රයෝජනවත් දෙයක කරනව'.....!

 කෙසේ වෙතත් ශාස්ත්‍රාලිය ඉතිහාසය ඇකඩමියාව තුලම පවතින්නට ඉඩහැර ජනප්‍රිය ඉතිහාසයට ඔහේ පවතින්නට දීමට අපට සිත් නොදෙයි. නැතිනම් සමාජය 'ඇන්ටන්ජෝන්ලා' ගෙන්ම ඉතිහාසය ඉගෙනගනු ඇතැයි බියක් දැනෙයි. මේ බිය වඩාත්ම දැනෙන්නට පටන් ගත්තේ පැරණි සගයෙකු වූ මාතලේ කමල් අලහකෝන්  'වීර කැප්පෙටිපොල' ගැන මුහුණුපොතේ ලියු සටහනක් දැක්ක්මෙනි. ඔහුට අනුව 1818 ඌව නිදහස් සටන අරඹා ඇත්තේ මොනරවිල කැප්පෙටිපොලය. මෙයත් හරියට ඇන්ටන් ජෝන් කියන "ඇහැලේපොලගේ පුන්චිපුතා මද්දුම බන්ඩාර යන නාමේ" යන සින්දුවේ කියැවෙන "වන්ගෙඩියක දා කොටන්න ඒ රජිඳා අනකලා" යන පදපෙලට සමාන එකකි. මේ ගීයේ රචකයා පදපෙල ලීවිමට කලින් පෝල් ඊ පිරිස් කියවිය යුතුව තිබුනේ යයි අප නොකියමු. නමුත් රචකයා ලියා ඇත්තේ ඔහු දැන සිටි ජනප්‍රිය ඉතිහාසයයි. මේ ජනප්‍රිය ඉතිහාසය නිර්මානය කලේ කුප්‍රකට ඉන්ග්‍රිසි ඔත්තුකරු ජොන් ඕ ඩොයිලි ඉන්ග්‍රිසින්ගේ පරම සතුරාවූ ශ්‍රි වික්‍රම රාජසින්හ රජතුමා අපකිර්තියට ලක්කර අඩු වියදමකින් කෙසේ හෝ උඩරට බලය අල්ලා ගැනීමේ උපායේ කොටසක් හැටියටය. රාජසින්හ රජු කිසිවෙකුගේ දරුවෙක් වන්ගෙඩිවල දමා කෙටවීමට නියොග කල බවට ඉතිහාසකරුවන් පුනපුනා ලියා තිබියදිත් ලන්කාවේ ජනප්‍රිය ගීත රසිකයෝ ඩොයිලිගේ පුර්ව යුද්ද ප්‍රචාරය වසර දෙසීයකට පසුත් උදේහවා ගායනා කරති....!මෙය හරියට ඉරාක ජනාධිපති සදාම් හුසෙන්ගේ රසායනික අවිවල ඇති විනාශකාරීත්වය පිලිබඳව බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු ඔත්තුසේවා ගෙනගිය ප්‍රචාරය මත පදනම්වී ඉරාක ගායකයන් ගී ලියා ගායනා කිරීම සමාන නොවේද?

 

දැන් අප මිත්‍ර කමල් අලහකෝන් ලියන වීර කැප්පෙටිපොල පිලිබඳව ඇති ජනප්‍රිය ඉතිහාසයට එමු. 1818 ඌව නිදහස් සටන ඇරඹුවේ එහි සිටි ප්‍රධාන වැදිනායකයන් වූ කිවුළේගෙදර මොහොට්ටාල, කොහුකුඹුරේ රටේරාළ හා ගොඩේගෙදර රාල බඳු වික්‍රමාන්තික නිර්භීත ජනනායකයන්ය. මේ බව බලවත් සින්හල ජාතිකවාදියෙකුව සිටි තෙන්නකෝන් විමලානන්ද මෙන්ම පෝල් ඊ පීරිස් ද පැහැදිලිව ලියා ඇත. 1815 උඩරට ගිවිසුමට එකාවන්ව අත්සන්තැබූ උඩරට රදල ප්‍රභූන් අතර මොනරවිල කැප්පෙටිපොලද සිටියේය. ඔහු කල එකම වෙනස ගිවිසුමට සෙසු නායකයන්දෙමලෙන් අත්සන් තබද්දී සින්හලෙන් තම අත්සන තැබීම පමනි. 1818 ඌව සටන ඇවිළී යද්දි 'වීර කැප්පෙටිපොල' ඉන්ග්‍රිසි ආන්ඩුකාරයාගේ නියෝග අනුව සටන මැඩීමට හමුදාවක් රැගෙන බදුල්ලට ගොස් පසුව සටන්කරුවන්ට එකතුවීමය. මෙය හරියට 1971 සන්නද්ධ නැගීටිමේ නායකයා නිමල්සිරි ජයසින්හ බව සමගි පෙරමුණු ආන්ඩුව නිර්මානය කල 'අපරාධ යුක්ති විනිශ්චය කොමිසමේ වාර්තාව' කියාවා ලිවීමට හා සමාන කතාවකි.

 

මෙබඳුම ජනප්‍රිය ඉතිහාස කතා තොගයක් ලන්කාවේ "වාචාල විදග්ධ" සමාජයේ ප්‍රවෙනිගතව සන්සරනයවේ. 'ශ්‍රි වික්‍රම රාජසින්හ රජු දෙමල ජාතිකයෙකි', 'ජොන්ඩොයිලි' සිංහල කවියට ආදරය කලේය. ගජමන් නොනාට පෙම් බැන්දේය.'ජාතියේ පියා ඩි. ඇස් සේනානායකය'.' ජේ. ආර්. ජයවර්ධන කපටි සූර දේශපාලකයෙකි'. සින්හල ජාතියේ පියා බෙන්ගාලයේ සිට පැමිනි විජය නම් රාජ කුමාරයෙකි. මේ කතා ලියනකියන 'වාචාල විදග්ධයන්' ඉතිහාසය කියවීම කෙසේ වෙතත් තම තර්ක බුද්ධියවත් පරිහරනය නොකිරීම අපරාධයකි. රාජසින්හ රජු තෙලිඟු ජාතිකයෙක් බව දැන ගැනීමට හෝ ජේ. ආර් ඉතිහාසයේ සිටි දුර්වලම පාලකයා බව දැන ගැනීමට මුලු ඉතිහාසයම කියවිය යුතු නැත. මහනුවර කටුගෙයත්ඉන්දු-ලන්කා ගිවිසුමත් බැලීමෙන් මේ කාරානා දෙකම තහවුරු කරගත හැකිය. මේ බේගල්වලට පැවැත්මක් තිබීමෙන් ජනප්‍රිය චිත්‍රපටි කාරයෝ තවතවත් විජයකුවෙනිලා, ඇහැලේපොල කුමරිහාමිලා හදමින් ලංකා සමාජය වඩාත් අවුල් කරනු ඇත. එවාම එහි විනාශය කටිනු ඇත. මහපඬිරුවනක් වූ මුනිදාස කුමාරතුන්ගයෝ මෙසේ කියන්නට පුරුදු වී සිටියහ.

 

 "සින්හල ජාතියට තුන් නින්දාවක් ඇත්තේය. ඒනම් බෙන්ගාලයෙන් පැමිනි සොරදෙටුවකු සවකීය මීමුත්තා හැටියට පිලිගැනීම, දකුණු ඉන්දියාවෙන් පැමිනි 'කතරගම දෙවියන්' නමැතෙකුට උදේහවා වැඳ පිහිට ඉල්ලිම හා සිය සොහොයුරු රාවණාට සතුරුව විදෙශිකයාට පක්ශවූ වීභීෂණ නමැත්තා දෙවිකෙනෙන්ක් කර වැඳීම යන අවමාන තුනය."

 

 මෙකල කුමාරතුන්ගයන් ජීවත්නො වීම එතුමන්ගේම වාසනාවකි. රටේම අවාසනාවකි.

Read 644 times Last modified on Wednesday, 30 November 2016 16:53

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.