Wednesday, 30 November 2016 01:16

රැවුම් ගෙරවුම් මැද මාධ්‍ය නිදහස - කුසල් පෙරේරා

Written by 
Rate this item
(0 votes)

පාර්ලිමේන්තු කටයුතු හා මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට තර්ජනයක් කර ඇත. අධිකරණ ඇමැති පාර්ලිමේන්තු වරප‍්‍රසාද යටතේ වෙබ් අඩවියකට දොස් නැ`ගුවේය. අගමැති රනිල් වික‍්‍රමසිංහ කලෙක සිට මාධ්‍ය හැසිරිය යුතු ආකාරය කියා දෙන අතර, පසුගිය සතියේ ඉංගී‍්‍රසි පුවත් පතක් ‘‘ටොයිලට්’’ කඩදාසි ගාණට තබා ඉතා රළු දෝෂාරෝපණයක් කළේය. පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය හා මාධ්‍ය නිදහස මේ යහපාලන ආණ්ඩුවෙන් ලබන්නේ එවැනි සැලකීමකි.

 

ඒ අතර ආසියානු කලාපයේ මානව හිමිකම් ඉතා හොඳින් සහතික කෙරෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මේ යහපාලන ආණ්ඩුව කෙටුම්පත් කරන ශී‍්‍ර ලංකාවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වනු ඇතැයි බී.බී.සී ‘‘සංදේශය’’ වාර්තාවක තිබිණ. ‘‘සංදේශය’’ සමග සාකච්ඡුාවක නිරත වෙමින් ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවේ ප‍්‍රධාන සාමාජිකයෙකුවන මෑතක්වන තුරු සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු වූ වත්මන් යහපාලන ආණ්ඩුවේ යූ.ඇන්.පී ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න ඊට අදාළ විස්තරයක් කර තිබිණ. ඒ අනුව දැනට ඇති අදහස් ප‍්‍රකාශ කිරීමේ, සංවිධානයවීමේ, තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතීන් වැනි මූලික අයිතීන්ටත් එහා ගොසින් ආර්ථික, පාරිසරික හා සංස්කෘතික අයිතීන්ද ආබාධිත පුද්ගලයින් වෙනුවෙන්ද අයිතිවාසිකම් සහතික කෙරෙන කෙටුම්පතක් දැන් සකස්කර ඇතැයි ඔහු විස්තර කර තිබිණ.

එහෙත් ඇත්ත ප‍්‍රශ්නය වන්නේ ලිඛිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සහ ආණ්ඩුවක දේශපාලන භාවිතය අතර පරස්පර ප‍්‍රතිවිරෝධ තිබිය නොහැකිද යන්නයි. ඒ සම්බන්ධයෙන් අපේ ඉතිහාසයෙන්ම නිදසුන් ගන්නේ නම්, ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කර ඇත. එය විවිධාකාරයෙන් සිදු කෙරෙන්නේය. එක් ක‍්‍රමයක් වන්නේ රාජපක්ෂ යුගයේ මෙන් මාධ්‍ය වෙත හිරිකිතයක් නැතිව විවෘත බලහත්කාරයක් හා හිංසනයක් මුදා හැරීමය. එමගින් ආණ්ඩුවට එරෙහිව කිසිදු සාධාරණ විවේචනයක් හෝ විරෝධයක් සඳහා ඉඩක් ලබා නොදෙන්නේය. අනෙක නෛතිකව මාධ්‍ය හා විරෝධයන් බැඳ තැබීමය. ඒ වෙනුවෙන්ද මතවාදයක් හැදිය යුතුය. එබැවින් මාධ්‍ය භාවිතය ගැන විවේචන ආණ්ඩුවම ඉදිරිපත් කරන්නේය.

ආණ්ඩු පාලනයේදී එය කෙතරම් අසාධ්‍ය රෝගයක් වන්නේදැයි හැගෙන්නේ ආණ්ඩුවේ ආර්ථික පැවැත්ම ගැන විචාරය කිරීම අගමැති නොරිස්සීමෙනි. ඔහු ’’බිස්නස් ටුඬේ’’ සම්මාන උළෙල අමතමින් මේ මස පළමු සතියේ ඉංගී‍්‍රසි පුවත්පතක් ඉතා දරුණු ගැරහුමකට ලක් කෙරුවේ එහි පළ කෙරුනු ආරාධිත ලේඛකයන් දෙදෙනකුගේ ලිපි දෙකක්මුල් කරගෙනය. හම්බන්තොට ඉඩම් චීන සමාගමකට ලබාදීම හා උසස් පෙළ සිසුන්ට ‘‘ටැබ්’’ ලබා දීම ඇතුළු අධ්‍යාපනය සම්බන්ධ අයවැය යෝජනාව විශ්ලේෂණාත්මක විග‍්‍රහයකට ලක් කිරීමට එරෙහිවය.

හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපොළ ආශි‍්‍රතව රජයේ විශාල ඉඩම් ප‍්‍රමාණයක් චීන සමාගමකට ලබාදීමේ ගනුදෙනුව පළමු ලිපියෙන් විචාරයට ලක් කර තිබිණ. එයට පාදකව තිබූයේ හොංකොංහි පැවැත් වූ 15 වන ආසියා පැසිපික් කලාපීය සමුළුව අමතමින් අගමැතිවරයා හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ ගැන කළ විස්තරයකි. එම චීන ව්‍යාපෘතීන් දෙකට අදාළව එම ලිපියේ තිබූ තොරතුරු සමූහය ඇත්තටම මේ රටේ

පුරවැසියන්ට ඉතා වැදගත්ය. ඔහු ලියා තිබූ අයුරු ඩොලර් මිලියන 1,100ක ණය පියවා ගැනීමට වරායේ සහ ගුවන්තොටුපළෙහි පංගුකාරිත්වයෙන් සියයට 80 ක් හා ඉඩම් අක්කර 12,500 ක් චීන ආණ්ඩුව සතු චයිනා මර්චන්ට් හෝල්ඩිංස් සමාගමට ලබාදීමට ආණ්ඩුව සාකච්ඡුා කර ඇත. එම ඉඩම් කාර්මික ජනපදයක් සඳහා යොදා ගැනීමේ අදහසක්ද එහි තිබිණ. එහෙත් ඒවායේ කොන්දේසි කවරේදැයි විවෘත නොමැති බවත් ඔහු සඳහන් කර තිබිණ. එම ලිපියෙන් ඔහු මතු කරන ඉතා වැදගත් ප‍්‍රශ්න ගණනාවක් ඇත. ඉන් එක් වැදගත් ප‍්‍රශ්නයක් වන්නේ වරාය ආශි‍්‍රතව අක්කර 12,500 ක් තරම් විශාල භූමි ප‍්‍රදේශයක් පාරිසරික ගැටලූ නොමැතිව ලබාදිය හැක්කේ කොතැනින්ද යන්නයි.

අනෙක් ලිපිය අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සහ රජයේ අධ්‍යාපන වියදම් පිළිබඳව ලියැවුණු විස්තරාත්මක ලිපියකි. අයවැයෙන් යෝජනා කෙරුණු උසස් පෙළ ළමුන්ට හා ගුරුවරුන්ට ‘‘ටැබ්’’ ලබාදීම කෙටි වාක්‍ය කිහිපයකින් එහි විවේචනයට ලක් කර තිබිණ. මේ ‘‘ටැබ්’’ ලබාදීම විහිළුවක් බව ඒවා ලබන ග‍්‍රාමීය බහුතරයද කියනු ඇත.එම ලිපියේ වැඩිමනත් තිබූයේ අධ්‍යාපන අවුලට අදාළ කතාවය. එහි තර්ක හා යෝජනා ගැන මත වෙනස්කම් තිබිය හැක.මේ මොහොතේ අධ්‍යාපනය ගැන දියුණු හා තියුණු සමාජ කතිකාවක් අවශ්‍යව ඇත. එය එනිසාම සංවාදයට ගත යුත්තකි.

ප‍්‍රශ්නය වන්නේ එවැනි ශීලාචාර වැදගත් විවේචන හා විචාර ඉවසා ගැනීමට නොහැකි අගමැතිවරයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කුමක්ද යන්නයි. ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති වලට අදාළව සහ අයවැය යෝජනා වලට අදාළව විවේචන හා විචාර පමණක් නොව, විරෝධයන්ද ඉවසා ගැනීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායක් රටේ අගමැතිවරයාට සහ ඔහුගේ ආණ්ඩුවට තිබිය යුතුය. එවැන්නක් තමන්ට නැතැයි ඔහු ඔප්පු කරන්නේය.    

ව්‍යවස්ථාගත ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මූලික අයිතීන් මේ ආණ්ඩුව යටතේද තීන්දු වන්නේ එලෙසින්ය. ඒ සම්බන්ධයෙන් අප සතු අත්දැකීම් බහුලය. අප නිදහස ලැබූ සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි සුළු ජන කොටස් සතු අයිතීන් රැකීමේ අනු ව්‍යවස්ථාවක් 29 (ඇ) ලෙසින් තිබිණ. එය පාර්ලිමේන්තුවේ 2/3 ක වැඩි ඡුන්දයකින් හෝ සංශෝධනය කිරීමට හා අවලංගු කිරීමට නොහැකි වනසේ ලියා තැබුණකි. එහි හරය වූයේ රටේ සෑම සුළුතර

ප‍්‍රජාවකගේම අයිතීන් හා ගරුත්වය බහුතර ජනතාවගේ බලය මත යටපත් නොකළ හැකිය යන්නය. දෙමළ ජන නායකයින් නිදහස ලබා ගැනීමේදී සෝල්බරි ව්‍යවස්ථාව පිළිගැනීමට ප‍්‍රධානම හේතුවක් වූයේ ඔවුන්ට එම ව්‍යවස්ථාවෙන් පූර්ණ ආරක්ෂාවක් ලැබේය යන විශ්වාසය විය.

එහෙත් සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 29 (ඇ) ප‍්‍රතිපාදනය නොතකා ඒ වනවිට අවුරුදු 100 ක කාලයක මෙරට ආර්ථිකයේ ප‍්‍රධාන පංගුකාරයින් ලෙස ඡුන්ද අයිතිය හා පුරවැසිභාවයද ලබා තිබූ කන්ද උඩරට දෙමළ ජනතාවගේ පුරවැසි අයිතිය මෙරටට නිදහස ලද විගසම ඞී.එස්. සේනානායක ආණ්ඩුව අහෝසි කළේය. එළෙසින්ම 1956 දී රාජ්‍ය භාෂාව සිංහල පමණක් කිරීමත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 29(ඇ* ප‍්‍රතිපාදනය උල්ලංඝනය කිරීමක් විය. ‘56 රාජ්‍ය භාෂා පනත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 29(ඇ* ප‍්‍රතිපාදනය උල්ලංඝනය කරන්නක් යැයි එස්. කෝඬේස්වරන් නම් රජයේ සේවකයෙක් 1962 දී රජයට එරෙහිව නඩුවක් පැවැරීය. එහි තීන්දුව ලබා දුන් විනිසුරු  ඕ. එල්. ඩික්‍රෙස්ට රාජ්‍ය භාෂා පනත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි 29 වන වගන්තිය උල්ලංඝනය කරන්නේයැයි පිළිගත්තේය. එහෙත් ඊට එරෙහිව ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය විට, ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථාමය කරුණු ඒ ආකාරයෙන් සැලකිල්ලට නොගත්තේය. ඒ වන විටද අපගේ ඉහළ අභියාචනාධිකරණය වූයේ බි‍්‍රතාන්‍යයේ පි‍්‍රවි කවුන්සිලය ය.ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අභියෝග කරමින් කෝඬේස්වරන් ඒ වෙත අභියාචනයක් ඉදිරිපත් කළේය. මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිශේධ කරමින් 1969 දී පි‍්‍රවි කවුන්සිලය සිය තීන්දුව ප‍්‍රකාශ කළේය. එහෙත් 1970 දී බලයට පැමිණි බණ්ඩාරනායක මැතිනියගේ ප‍්‍රධානත්වයෙන් වූ සමසමාජ-කොමියුනිස්ට් සභාග ආණ්ඩුව 1971 අංක 44 පනතින් පි‍්‍රවි කවුන්සිලයේ සියලූ අභියාචනා අවලංගු කළේය.

සමසමාජ නායකයෙකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් සැකසුණු 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව සම්මත වූයේ සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වන අනු ව්‍යවස්ථාව යටතේ සුළු ජාතිකයින් සඳහා තිබූ ආරක්ෂාවද ඉවත් කරමින්ය. කෙසේ නමුත් එවැනි ආරක්ෂාවන් තිබුණද ඉන් සුළු ජන කොටස් සඳහා කිසිදු ප‍්‍රයෝජනයක් නොවූ බැව් අපගේ අත්දැකීමකි.

දෙවැනි ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ලෙස අදට පවතින 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පළමු ව්‍යවස්ථා දෙකට වැඩි මූලික අයිතීන් සමූහයක් ඇතුළත් ව්‍යවස්ථාවක් විය. එහෙත් ඒ ව්‍යවස්ථාව තිබියදීම ජයවර්ධන ආණ්ඩුව සම්මත කළ ‘‘මහ කොළඹ ආර්ථික කොමිෂන් සභා පනත’’, සේවකයින්ට තමන්ගේ අභිමතය මත වෘත්තීය සමිතියක සංවිධානය වන්නට ඇති ව්‍යවස්ථාපිත මූලික අයිතිය යටපත් කෙරුනු නිදහස් වෙළෙඳ කලාප ඇති කළේය. අදටත් නිදහස් වෙළෙඳ කලාප පවතින්නේ වෘත්තීය සමිති පිහිටුවීමේ මූලික සේවක අයිතිය කප්පාදු කෙරුවක් ලෙසින්ය.

අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සංවිධානාත්මකව විරෝධය පෑමට ඇති අයිතියක්ද වූවත් රාජපක්ෂ යුගයේ විවිධ විරෝධතා අධිකරණ නියෝග මත තහනම් කිරීමට පොලීසියට හැකි විය. එය මේ යහපාලන ආණ්ඩුව යටතේද සිදු වන්නකි. ආබාධිත සොල්දාදුවන්ගේ විරෝධයට එරෙහිවද පොලීසිය අධිකරණ නියෝගයක් ඉල්ලා සිටියේය. බැංකු සේවක සංගමයේ විරෝධතාවක් මෑතකදී අධිකරණ නියෝගයකින් තහනම් කෙරිණ. මේ ආණ්ඩුව ව්‍යවස්ථාපිත ඒ මූලික අයිතිය සම්බන්ධයෙන් රාජපක්ෂ පිළිවෙත පිළිගන්නකි. එනිසා ව්‍යවස්ථාව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතය අතර ඇත්තේ ලොකු පරතරයකි.

මේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමත් එවැනිමය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතාවට තමන්ගේ ඡුන්දයෙන් නියෝජිතයන් පාර්ලිමේන්තුවට පමණක් නොව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන වලට තෝරා පත් කර ගැනීමත් ජනතාවගේ මූලික අයිතියකි. ඒ අනුව හදිසි නීතිය යටතේවත් මැතිවරණ කල් තැබිය නොහැක. පළාත් පාලන මැතිවරණ කල් තැබිය හැක්කේ එක් වසරකට පමණි. ලබන වසරේ ජූනි පසුවන තෙක් කල් තැබුණු පළාත් පාලන මැතිවරණය මේ වනවිට වසර 02ට වඩා ප‍්‍රමාද කෙරුණකි. ඒ වෙනුවෙන් විෂය බාර ඇමැතිවරයා කියන සීමා නිර්ණ කමිටු වාර්තාව ගැන කතාව ස්වාධීන මැතිවරණ කොමිසම පිළිගැනීමත් ඔවුන්ගේ ස්වාධීනත්වය බරපතළ ලෙස ප‍්‍රශ්න කරන්නකි. අවුරුදු 02 ක් තිස්සේ මැතිවරණ ආසන හා කොට්ඨාස නිර්ණය කළ නොහැකි කොමිසමක් වේ නම් එය අහෝසිකර දැමිය යුත්තකි. සීමා නිර්ණ කොමිසමද ආණ්ඩුවේ දේශපාලනයට යටත්ව ඇති බව මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කල් තැබීමෙන් ප‍්‍රදර්ශනය කෙරෙන්නකි.

මේ ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ලබා දෙන ඉඩ ප‍්‍රස්ථා මැනිය හැක්කේ ඔවුන් කෙටුම්පත් කරන්නට යන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි ජයම්පති වික‍්‍රමරත්න මන්තී‍්‍රවරයා විස්තර කරන මූලික අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රතිපාදන වලට වඩා ඔවුන් කෙටුම්පත් කර ඇති ත‍්‍රස්ත විරෝධී පනත මතය. සම්මත කළහොත් එය වහා අහෝසි කළ යුතුයැයි පිළිගන්නා දැනට පවතින ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතටද වඩා දරුණු පනතකි. (ඉරිදා ලක්බිම -ඔක්තෝම්බර 23 දින* එසේ වන්නේ මේ ආණ්ඩුවේ දේශපාලන නායකත්වය ඔවුන්ව ඡුන්දයෙන් පත් කළ ජනතාව නියෝජනය කිරීම වෙනුවට ඔවුන්ගේ ආර්ථික මූලෝපාය ඉදිරියට ගෙන යාමේ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් වෙනුවෙන් සැලසුම් හැදීමට බැඳී සිටීම වාගේම, තමන්ගේ පක්ෂයෙහි තබා ගන්නා අධිකාර බලය අනුවය.

මේ සියල්ලෙන් කියන්නේ කෙතරම් වැදගත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර පාර්ලිමේන්තුවෙහි සම්මත කර, ජන මත විමසුමකින්ද අනුමත කළ පමණින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මක් තහවුරු නොවන බවය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවසාන වශයෙන් තීන්දු වන්නේ ආණ්ඩු පාලනයට තෝරා පත් කෙරෙන දේශපාලන නායකත්වයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හැසිරීම අනුව බවය.

ඉතාම කෙටියෙන් කියන්නේනිම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී හුරුවක් පුහුණුවක් ලැබිය හැකි ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායක ආභාෂය නොලද දේශපාලන නායකයන් රටේ නායකයින් ලෙස පත් කර ගැනීමෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන්හි ලියා තබන මූලික අයිතීන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ පැවැත්මක් රැුක ගත නොහැක. මාධ්‍ය නිදහස ගැන මේ ආණ්ඩුව දක්වන

නුරුස්නාව එහි පිළිබිඹුවකි. එය විවේචන ඉවසීමට හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන පැවැත්මක හැදී වැඞී නොතිබීමේ අවාසනාවය.

මාධ්‍යයට එරෙහි ගෝරණාඩු, යෝජනා කෙරෙන අධීක්ෂණ හා නිරීක්ෂණ ආයතන, ජාතික ආරක්ෂාව වෙනුවෙන් යැයි කෙටුම්පත් කෙරෙන භයානක ත‍්‍රස්ත විරෝධී පනත් වැනි සියල්ල කියන්නේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවසානයේ තීන්දු කරන්නේ ව්‍යවස්ථාවේ අඩංගුව අනුව නොවේය යන්නය. එය තීන්දු කෙරෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොදන්නා දේශපාලන නායකයින්ගේ ආර්ථික මූලෝපායේ ප‍්‍රධාන පංගුකරුවන්ට අවශ්‍ය ලාභය අනුව බවය.

ලක්බිම

Read 366 times Last modified on Wednesday, 30 November 2016 01:18

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.