Wednesday, 23 November 2016 21:41

කොස්තා සිටි කාලයෙන් වැඩක් ගත්තේ නෑ - නයනජිත් 

Written by 
Rate this item
(0 votes)

තොරණ හංදියේ ඉඳල පට්ටිය හංදියට පේන දුර. නමුත් ඔය පේන දුර ඇවිදගෙන යන්න කොස්තට පැය බාගෙකට වැඩිය ගතවෙනවා. හේතුව මොකක්ද? මග දිගට කොස්තට හමුවෙන හැම කෙනෙක්ම කොස්තගේ යාළුවෙක්. "

 

"කොස්ත ඒ හැම කෙනෙක් ළඟම පුද ලබනවා කියල අපි කියන්නේ. වේල් කරත්තේ වගේ. හැම කෙනෙක් එක්කම කතා බහ කරගෙන තමයි එන්නේ." මෙසේ කියා සිටියේ ප්‍රවීන රංගන ශිල්පී ඩබ්.ජයසිරිය. 

වේදිකාවෙන් සිනමාවට අවතීර්ණ වූ විමල් කුමාර ද කොස්තා සමඟ රිදී තිරයේදී එක්වුණු ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන කියා සිටියේ, සමකාලීනයන් අතරින් 'තමන්ටම ආවේනික වූ අමුතුම ආකාරයකින්' කැපී පෙනුණු සුන්දර මිනිසෙකු සිනමාවට අහිමි වූ බවය.

හැටේ දශකයෙන් පසුව ඇති වූ විකල්ප සිනමාව විසින් ඉල්ලා සිටිනු ලැබූ චරිතාංග නළුවෙකුගේ හිඩැස පුරවමින් විමල් කුමාර ද කොස්තා සිනමාවට අවතීර්ණ වූ බව ප්‍රවීණ චිත්‍රපට විචාරක ආචාර්ය නුවන් නයනජිත් කුමාර පවසයි. 

වාචික අභිනයකින් තොර රංගනයක යෙදිය හැකි ප්‍රතිභාපූර්ණ රංගනවේදියෙකු වූ ඔහුට අභිරූපණ රඟ කලාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමේ ගෞරවය හිමි වන බව ආචාර්ය නුවන් නයනජිත් කුමාර ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් එවැනි කුසලතා පූර්ණ රංගධරයෙකුගෙන් ලාංකේය සිනමාකරුවා ප්‍රමාණවත් 'වැඩක් නොගත්' බව ඔහු තවදුරටත් පැවසීය.

බිබිසී 

මාතලන් බ්ලොග් අඩවියෙන් උපුටා ගත් කොස්තා අයියා ගැන අතීතාවර්ණයක් 

විමල් කුමාරද කොස්තා අයියත් යන්න ගියා, අපි එයාට කිව්වේ කොස්තා අයියා කියලා, කොස්තා අයියා කළාකාරයෝ වැහි වැහලා ඉන්න කැළණියේමයි. ගොඩක් කළාකාරයෝ ඉන්නේ වරාගොඩ පාරේ. ඒත් කොස්තා අයියා උන්නේ තොරණ හංදියේ. තොරණ හංදිය කියලා කිව්වට අපි පොඩි කාළේ නම් ඔතන තොරණක් තිබුනේ නෑ. ඒත් අතීතයේ නම්, වනවාසල ඉඳලා රජවාසලට යන මාර්ගයේ, රජවාසල පිහිටි පැත්තේ තොරණ තිබුනෙ මෙතන කියලා කට කතාවක් තියෙනවා.
 

අපි පොඩි කාලේ ඔතන තොරණක් නොතිබුනාට, මේ මැත කාළයේ කැළණියේ ජනතාවගේ පිනට පහළවු, දුටුගැමුණු පරපුරේ ශ්‍රේෂ්ඨ පාලකයෙක් උන ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමාගේ කාලේ, උන්නැහේ ඔතන තොරණක් ඉඳිකලා. රජ පරපුරක එකෙක් සිල්වා කෙනෙක් වෙන්නේ කොහොමද කියලා කවුරු හරි හිතුවොත් කියන්න වෙන්නේ, එහෙනම් කොස්තා කෙනෙක් කොහොමද බං හින්ගල ෆිල්ම් වල ඉන්නේ කියලා. මේවා ඉතින් කාගෙවත් වැරදි නෙමෙයි, අපේ ආච්චිලගේ වැරදි. නැත්නම් රජෙක් කවද්ද අප්පා “හූ” තියන සිල්වා කෙනෙක් වෙන්නේ.
 
කොස්තා අයියා පදිංචි වෙලා උන්නේ, ඔය තොරණ හංදියේ වනවාසල පැත්තට තියෙන පාරේ දකුණු අත පැත්තේ, පළවෙනි ගෙදර. වලව් ඉට්ටැයිල් එකේ, පරණ තාලේ පොඩි ගෙයක්, පාර අයිනටමයි තිබුනේ. අපේ තාත්ත පිචැර් පිස්සෙක් නිසා එයා බලෙන්ම වගේ කොස්තා අයියත් එක්ක සෙට් වෙන්න යන්නේ. අනික ඔය ගේ අයිති වෙලා තිබුනේ තාත්තලගේ නෑ වෙන කෙනෙකුට. අපි එතකොට බොහොම පොඩි උන්. ඒත් කර දඬු උස් මහත් උන කාලේ, අපිත් එක්ක ඉස්සෙල්ලම සෙට් උනේ කොස්තා අයියගේ මල්ලි.
 
මල්ලි වගේ නෙමෙයි කොස්තා අයියා. ගමේ ඔක්කෝම එක්ක හොඳයි. ඔය පැත්තෙම හිටියා තව දෙකයි පනහේ නළුවෙකුත්, අම්මද බොල, ඌ හිතාගෙන උන්නේ ඌ ගාමිණිලා විජේලා වගේ පොරක් කියලා. ගියේ ගව් ගානක් උඩින්. ඌව ඉතින් කවුරුත් පයිසෙකට මායිම් කලේ නෑ. ඒත් කොස්තා අයියා කාගෙහ් හිතවතා. ඕන එකෙක් එක්ක කතා බහ කරනවා. ඕන එකෙක් එක්ක සෙට් වෙනවා. පොර ඒ කාළේ ගාමිණිලා, විජේලා, ජෝලා වගේම ජනප්‍රියයි.
 
මාතලනුත් තුන් හතර පාරක් කොස්තා අයියා එක්ක සෙට් වෙලා තියෙනවා. ඒ පොඩ්ඩෙ අයියට පින් සිද්ධ වෙන්න. පොඩ්ඩේ තමයි තොරණ හංදියේ චංඩියා. තව අයියලා සෙට් එකක් උන්නා වනවාසල පැත්තේ. උන් නම් පොඩ්ඩෙ අයියා ගනන් ගත්තේ නෑ. අපිට පොඩ්ඩෙ අයියා සෙට් වෙන්නේ, ක්‍රිකට් නිසා. එයාලා එල්ලේ ගහලා ඉවර වෙනකන් ඉඳලා තමයි අපි ක්‍රිකට් ගහන්නේ. අනිත් උන් අපිට චෑන්ස් එකක් නොදුන්නත් පොඩ්ඩෙ අයියා තමයි කියන්නේ, ඕක නවත්තලා ඔය පොඩි උන්ට ඉඩ දියහල්ලා කියලා. එහෙම නැත්නම් පිට්ටනියේ කෙලවර පැත්තට යනවා අයියලා සෙට් එක. අපි ක්‍රිකට් ගැහුවේ වෙදමුල්ල ඉස්කෝල ග්‍රවුන්ඩ් එකේ.
 
මලකට, බෝතලේකට සෙට් වෙන කොට පොඩ්ඩේ අයියත් අපිත් එක්ක සෙට් උනා. ඒ චැන්ස් එකෙන් තමයි කොස්තා අයියා එක්ක සෙට් වෙන්න ලැබුනේ. මොනවද ඉතින් තනිකර බ්ලොටින්ග් පේපර් එකක්. මම හිතන්නේ කළාකාරයන්ට වගේම. කළාකාරයන්ගේ අක්මාවන් වලටත් සරස්වති දේවියගේ බැල්ම ආරස්සාව තියෙනවා. එකම රස සාගරයක්. කොච්චර ජනප්‍රිය පොරක් උනත්, අවුරුදු උත්සවයක එහෙම පොඩි අභීරූපන කෑල්ලක් කරන්න කිව්වම කවදාවත් බෑ කියලා නෑ. ඒත් අපි ඒවා දැක්කේ පොඩි කාළේ. අපිත් එක්ක සෙට් වෙන්න ගත්ත කාලේම වගේ කොස්තා අයියලා ඒ ගෙදරින් යන්න ගියා.
 
කොස්තා අයියා සම්බන්ධ, මට හොඳට මතක සිද්දි දෙකක් තියෙනවා. එකක් තමයි අපි පොඩිම කාළේ අවුරුදු උත්සවේක කොස්තා අයියා කරපු අභීරූපන රංගණය. එකක් මෝටර් සයිකලේ යන එක. අනික තමයි කවදාවත් අමතක නොවෙන්නේ, ඒ ගෑණු කෙනෙක් බාත් රූම් එකේ නාන හැටි. එදා එතන උන්න ඔක්කොමගේ ඉළ ඇදුනා ඒකට. සමහර මහ උන්ට වගේම, පොඩි උනටත් කර කියා ගන්න බැරි උනේ, උන් පවුල් පිටින් ඇවිත් උන්න නිසා. ඒත් ඉතින් පොඩි කාළේ ඉඳන් මගේ ගමන් බිමන් තනියම. අපේ ගෙදරින් ඕවට ගියේ මම ඉතරයි. ඒ කාළේ මිනිස්සු එහෙම ඇඹරුනාට, දැන් කාළේ ටැලිවිසොන් එකේ පාර්ලිමෙන්තුවේ කියන කරන ඒවා බැලුවම්, කොස්තා අයියාලා ජෝකර්ලද කියලා හිතෙනවා.
 
පස්සෙ කාළෙක “නන්දන වින්දන” එකෙත් කොස්තා අයියගේ අභිරූපණ රංගන පෙන්නුවා, ඔය සරුංගෝලයක් යවන එක එහෙම. එයාගේ ඒ හිනාව පට්ට අව්‍යාජ එකක්. ඒක එන්නේ බොක්කෙන්මයි. එයාගේ නළුකම ගැන නම් කතා කරන්න දෙයක් නෑ. මට නම් ඔහු ජෝ අබේවික්‍රම මට්ටමේම නළුවෙක්. බඹරු ඇවිත්, අහස් ගව්ව වගේ ඒවල චරිතත්, ඇර සොයිසා එකේ චරිතයත් ගත්තම ඒ බව මොනවට පැහැදිලි වෙනවා. ඒ වගේම රූපවාහිනියේ ටෙලියක කළ, ගොළු චරිතයත් උපරිමයෙන්ම තිබුනා. කොහොම හරි ඔහුට ඔහුගේ නියම ටැලන්ට් එක පෙන්වන්න චරිතයක් ලැබුනේ නෑ කියන එකයි මගේ මතය.
 
අනෙක් සිද්දිය කාළෙත් මම බොහෝම පොඩියි. ඒ කාළේ හාල් පොලු කාළේ. ඒ කියන්නේ මෑත කාළේ බෝම්බ අරගෙන ගියොත් ඇල්ලුවා වගේ, චෙක් පොයින්ට් තිබුනේ හාල් අරගෙන ගියොත් අල්ලන්න. මඟුල් ගෙවල් වලත් කන්න බොන්න දෙන්න බෑ ඒ කාළේ. එහම කාළයක් තමයි සම හරක් අදත් හොඳයි කියන්නේ.

 

ඔය කාළේ පොලෝසියේ උන් අඳින්නේ කොට කලසන්. දාන්නේ කයි බෝයි හැට් එක වගේ තොප්පියක්. ඔය කොට කලිසම වෙනුවට දිග කලිසම ඇන්දුවේ. හික්කඩුව පැත්තේ සුද්දෝ පොලිස් කාරයන්ට ගල කපන්න ගිය නිසාය කියලා සම හරක් කොල්ලෝ කියනවා. තොරණ හංදියෙත් වැඩි සෙනඟක් නෑ. ගමේ කඩ මංඩිය වගේ. කොහොම හරි, අම්මයි මමයි කොහේ හරි යන්න, බස් ඉස්ටෑන්ඩ් එකේ හිටගෙන උන්නා. ඒ කාළේ බස් ඉස්ටෑන්ඩ් එක තිබුනේ, අද ඔය මහජන පොත්හල තියෙන තැන. ඒ කාළේත් ඔය පොත් කඩේ තිබුනා. ඔය මහජන පොත් හල අයිති එකාගේ පුතා ගැන ෆිල්ම් එකකුත් හැදුනා. අර හමුදා සෙබලියක් මරලා, වත්තේ වලදාපු කේස් එක ගැන. සංගීතා තමයි සෙබලියට උන්නේ. කමල් තමයි කොල්ලට උන්නේ. සෝ එක සෙව්වන්දි.  ඒ වගේම, ප්‍රාක්‍රම රේඩියෝ කියලා ලවුස්කීපර් කඩේකුත තිබුනා.
 
අපිත් එක්කම බස් ඉස්ටෑන්ඩ් එකේ පොලොස් මාමලා දෙන්නෙකුත් උන්නා. ඒ අතරේ කොකිස් වත්ත පැත්තේ ඉඳලා පොඩ්ඩෙ අයියා යකා වගේ දුවගෙන ආවා. පොඩ්ඩේ අයියා, සවුත් ඉන්ඩියන් නළුවා වගේ, සුදු සරම, සුදු ෂර්ට් අඳින, හයේ හතරේ පොර. පොලිස් කාර්යෝ දෙන්නම් දුවන්න පටන් ගත්තා. එකෙක් අල්ල ගත්තා, අනිකා දිගටම දිව්වා. අනේ අර අල්ල ගත්ත එකාට දැන් පොඩ්ඩේ අයියා එකසිය ගානට නෙලනවා. එකෙක් එන්නේ නෑ බේරන්න. අරු, ගහන්න එපා කියලා වඳිනවා. පොඩ්ඩේ අරූගේ කලිසම ගලවන්න ගේමක් දෙනවා. ඔය අස්සේ තමයි ෂර්ට් එකක්වත් නැතිව කොස්තා අයියා පාරත් පැනලා මේ පැත්තට ඇවිත් බේරුවේ. කොස්තා අයියා අරූගේ ඇඳුම් එහෙම හරි බරි ගස්සලා, තොප්පියත් දාල කොස්තාපල් උන්නැහේ බස් එකක නග්ගලා යැව්වා. අරූට නෙලලා තියෙන්නේ පරණ කෝන්තරයකට. මම හිතන්නේ එදා තමයි කොස්තා අයියා චන්ඩියගේ පාට් එකත් කරපු එකම දවස.
 
අර කිව්වා වගේ, කොස්තා අයියා අපේ කර දඬු උස් මහත් වෙද්දිම එහෙන් යන්න ගියා. ඊට පස්සෙ කොස්තා අයියා දෙසරයක් ඉතර හම්බ උනා. පළමුවෙනි පාර හම්බ වෙන කොට නම් ආර්ථික අතින් නන්න පෝල් වෙලා උන්නේ. ඒත් කවදාවත් කා ළඟවත් අඬාගෙන වැටුන පොරක් නෙමෙයි. සුනිල් මාධවට වගේම, කොස්තා අයියටත් ඩ්‍රින්ක් එක දාන්න රටේ ඕනම තැනක යාලුවෝ උන්නා. ඒ, එයාල ඔළුව ඉඳිමුන නැති, මිනිස්සු එක්ක උන්න කළාකාරයෝ හේතුවෙන්. දෙවනි පාර හම්බ වෙන කොට නම්, කොස්තා අයියා බොහොම ලස්සනට උන්නා. මුණ පුරා රැවුලත් එක්ක මට මතක් උනේ අපේ ඉස්කෝලේ උන්න කඩලේ. ඒ මඟුල් ගෙදරකදි, එදත් පරණ සීන් කතා කර කර හොඳ ආතල් එකක් ගත්තා. ඒත් කෝටා අඩු බවකුත් තේරුනා.
 
අවා වගේම කවදා හරි යන්න එපාය. ඉතින් කොස්තා අයියත් යන්න ගියා. පොඩ්ඩෙ අයියාත් 88-89 කාලේ ජෙප්පො විසින් නිවන් පුරේ යැව්වා. අපිත් තොරණ හංදිය දාලා යන්න ගියා. අද තොරණ හංදිය දිවිය ලෝකය වගේ තිබුනත්, හදිසියකට එතනට ගියත්, මට මහා පාලුවක් දැනෙන්නේ. ඒ නොස්ටැල්ජියාව නිසාම වෙන්න ඇති.
 
සුබ ගමන් කොස්තා අයියා..
 
ආයෙත් කොහේ හරි ආතල් ප්ලේස් එකක මධු විතකුයි, ගෝලිප් එකකුයි එක්ක සෙට් වෙමු.. කන පැලෙන්න හිනා වෙමු.
 
අදහස් හා සියලු හිමිකම් බ්ලොග්කරු සතුය
http://maathalan.blogspot.co.uk/2016/11/tribute-to-wimal-kumara-de-costa.html
Read 383 times Last modified on Wednesday, 23 November 2016 21:51

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.