Friday, 18 November 2016 00:15

උන්ට හපන් මුන්

Written by 
Rate this item
(0 votes)

මෛත්‍රීපාල රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කල් ක්‍රියාව මේ වන විට ජනතාව අභිමුවෙහි යහපාලන නැමැති රෙදි කඩ ඉවත් වෙමින් නිරුවත පෙනෙන්නට පටන් ගෙන ඇත. ඒ යහපාලනය නැමැති  සංකල්පයට මුවා වී මේ ආණ්ඩුවෙ ඇමතිවරුන්ද ගසා කන්නන් සොරුන් බවට පත්වීම හේතුවෙනි . 

 

 කෘෂිකර්ම අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ආදියෙන් කෙරෙන ගැහිලි මේ වන විට ද එළියට පැමිණ තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා බත්තරමුල්ලෙන් ගෙන තිබෙන ගොඩනැඟිල්ල රජයේ තක්සේරුකරුට අනුව රුපියල් මිලියන 13.5ක් වන විට එය කුලියට ගෙන තිබෙන්නේ රුපියල් මිලියන 210කටය. අත්තිකාරම රුපියල් මිලියන 424කි. මීට අමතරව විවිධ නිවාස ව්‍යාපෘති රජයේ ගොඩනැඟිලි ඉදිකිරීම් ආදිය මෙන් ම මෙගා පොලිස් ක‍්‍රියාකාරකම කිරීමට සම්බන්ධ ව්‍යාපෘතිවලින් මහා මංකොල්ලයන් සිදු කෙරෙමින් තිබෙන ආකාරය හෙළි වෙමින් තිබේ.

"අල්ලස් කොමිසම පරීක්ෂණ ගණනාවක් කරගෙන ගියා. රාජපක්ෂ කල්ලියේ අය කොමිසමට යනකොට මාධ්‍ය දන්නවා. ආණ්ඩුවේ අය යන කොට දන්නේ නෑ. රාජිත ගියා. දුමින්ද ගියා. ප‍්‍රියංකර ගියා. ෆවුසි ගියා. පළමු වතාවට බලයේ ඉන්න ආණ්ඩුවේ අය අල්ලස් කොමිසමට කැඳෙව්වා. පාලනයේ ඉන්න ඇමති නෙනෙකුට නඩුවක් දැම්මා. ඒ ෆවුසි. ෆවුසිට නඩු දානකොට රාජිතට උණ ගැනුණා. ඒ නිසා මෛත‍්‍රීපාල ජනාදිපතිවරයා ප‍්‍රකාශයක් කරලා ආයතනවලට පහර දුන්නා. මොකටද? පරීක්ෂණ නතර කරන්න. ඩිලාන්ලට, සුසිල්ලට, අනුර ප‍්‍රියදර්ශනට චෝදනා තිබෙනවා නම් බේරා ගන්න ඕනෑ." පවතින තත්ත්වය පිළිබඳව ජ.වි.පෙ. නායකයා පැහැදිලි කර තිබුණේ එසේයි.

ෆවුසි මේ ආණ්ඩුවේ යහපාලන පරීක්ෂාවේ තීරණාත්මක සාධකයක් වී තිබුණේ ය. ජනාධිපතිගේ වචනවලින්ම එය එළියට පැන තිබුණේය. "ෆවුසි ඇමතිතුමාට නඩු දානවා නම් මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන් සියලූ දෙනාටම නඩු දාන්න  ඕනේ." යනුවෙනි. පවතින තත්ත්වයේ බරපතලකම එයින් පැහැදිලි වේ. මහජන දේපොළ වංචා කළ තෝරුන්ට මෝරුන්ට විරුද්ධව ක‍්‍රියාකරන බවට දස අතේ දිවුරා බලයට පැමිණි පසු හාල්මැස්සෙකුට හෝ (ජනපති කියන ආකාරයට) විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කිරීමට යාමේ දී අදාළ රාජ්‍ය ආයතන නම් කරමින් තර්ජනය කරන්නේ නම්, තෝරුන් මෝරුන් පිළිබඳව කවර කතා ද? මහජන ධනය කොල්ලකනලද පිරිස්වලට විරුද්ධව ලොකු පොඩි භේදයකින් තොරව නීතිය ක‍්‍රියාත්මක නොකරන්නේ කෙසේ දැයි ගෙවී ගිය මාස 22 ඇතුළත දී මෛත‍්‍රී ඔප්පු කර තිබෙන්නේය.

මහජන දේපොළ හා ධනය කොල්ලකෑමෙන් තවමත් තෝරුන් මෝරුන් වී සිටින රාජපක්ෂලාට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ සිතීමටවත් දෙයක් නැති බව මෙයින් පැහැදිලි වේ.

අදාළ පරීක්ෂණ පවත්වන ආයතනවලට යන එන ගමන් මාධ්‍ය ඉදිරියේ වීරයන් වී ප‍්‍රකාශ දෙන හොරු තක්කඩින්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක වන්නේ කොතරම් දුරට දැයි මේ තක්කඩි ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටිති. එසේ වුවත්, රාජපක්ෂ කල්ලිය මහජන ධනය කොල්ලකා තිබෙන ප‍්‍රමාණය සම්පිණ්ඩනය කර වගුවේ දක්වා ඇත. මෙතරම් ධනයක් කොල්ලකා සිටිනවුන් රකින්නේ කෙසේ දැයි ජ.වි.පෙ. නායකයා හෙළි කරමින් රාජපක්ෂ කල්ලියේ දූෂිතයන්ගෙන් කොටසක් රනිල් වික‍්‍රමසිංහ විසින් ආරක්ෂා කරන්නේ යැයි විවෘතව චෝදනා කරයි.

සමස්තයක් වශයෙන් ගත් විට පසුගිය ජනතා ද්‍රෝහී හොර තක්කඩින් සියලූ දෙනා ආරක්ෂා වී සිටින්නේ මෙසේයි. එම දූෂිත ජනතා විරෝධීන්ට රැකවරණය දෙන අතර, හවුල් ආණ්ඩුවේ ඉහළ සිට පහළටම අවස්ථාව සලසා දී තිබෙන්නේ ය. "කලින් රාජපක්ෂලා දූෂිතයෝ. මේ ආණ්ඩුව ආරක්‍ෂකයෝ. දැන් මේ ආණ්ඩුව දූෂිතයෝ සහ ආරක්ෂකයෝ දෙකම එකට කරගෙන යනවා." පවතින යථාර්ථය ජ.වි.පෙ. නායකයාගේ වචනවලින් සම්පිණ්ඩනය කර තිබෙන්නේය. ඔහු එසේ ප‍්‍රකාශ කළ ද, පාලකයන් බොහෝ විට ප‍්‍රකාශ කරන්නේ තෝරුන්ට මොරුන්ට දඬුවම් කිරීම සඳහා පවතින නීතිය ප‍්‍රමාණවත් නොවන බවයි. එම ප‍්‍රකාශ සත්‍යයක් ද? එසේත් නැත්නම් හොරුන් ආරක්ෂා කිරීමට යොදාගෙන තිබෙන උපක‍්‍රම නිසා කරන ප‍්‍රකාශයක් ද? යන ගැටලුව මතු වේ.

නීතියට තඩිබෑම

"සමහරු කියනවා අණපනත් මඳි, නීති මඳි කියලා. ඒක බොරු. පොදු දේපළ පනත, මුදල් විශුද්ධිකරණ පනත තියෙනවා. රුපියල් 25,000.00කට වැඩියෙන් හොරකම් කළොත්, ඇප නැහැ. මේ කියලා තිබුණ හොරකම්වල හැටියට ගෝඨාභයට, නාමල්ට, බැසිල්ට, යෝෂිතලාට ආත්ම ගණනාවකට ඇප නැහැ. ඒ තරම් බලවත් පනත් තියෙනවා. මුදල් විශුද්ධිකරණ පනත 2007 සම්මත් කළා. මේ පනත අනුව සෑම පුරවැසියෙක්ම හම්බ කර ගත් විදිහ පැහැදිලි කළ යුතුයි. ඔප්පු කරන්න බැරි නම් දේපොළ රජයට පවරා ගන්න පුළුවන්. අපරාධ පනත තිබෙනවා. ඒ හරහාත් පරීක්ෂණ කරන්න පුළුවන් ඒ නිසා නීතිවල ප‍්‍රශ්නයක් නැහැ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නීත්‍යනුකූල බව අධිකරණය තීන්දු කළා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම තියෙනවා. ඒක මහ බැංකුවේ මූල්‍ය අපරාධ ගැන පරීක්ෂණ කරන්න ආයතන තිබෙනවා.

‘දූෂිතයෝ සහ ආරක්ෂකයෝ’ සම්මන්ත‍්‍රණයේ දී ජ.වි.පෙ. නායක අනුර දිසානායක ඉතා නිරවුල්ව පැහැදිලි කර තිබේ. නීතියේ කිසිදු අඩුවක් නොමැති බව පැහැදිලි ය. "දැන් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කියනවා, හරි අමාරුයි මේවා හොයන්න කියලා. සමහර ඒවා සීෂෙල්ස්වල. සමහර ඒවා ඩුබායිවල හංගලාලු. ඩුබායි නෙවෙයි හම්බන්තොට පලයල්ලා. ගල්කිස්සෙත් පලයල්ලා. ගම්පහ පලයල්ලා. මේ රටේ මහජන ධනය හොරකම් කළ විදිහ ඔප්පු තිරප්පු සහිතව අපි ඉදිරිපත් කරලා තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහ මේවා සඟවන්නේ නැද් ද? දූෂිතයන් රකින පෙරමුණේ රාල රනිල් වික‍්‍රමසිංහයි." යනුවෙන් ඔහු පැහැදිලි කර තිබේ. 

බලය දූෂණයට හේතු වේ. පූර්ණ බලය සම්පූර්ණ දූෂණයට හේතු වේ. යනුවෙන් ඇක්ටන් ස්වාමිවරයාගේ ප‍්‍රකාශය උපුටා දක්වමින් පවතින කොල්ලකාරී විවෘත ආර්ථිකයට ම`ග හෙළි කළ පාලනය වසර හතළිහකට ආසන්න කාලයක් පුරා මේ තරම් ශක්තිමත් වී ඇත්නම් එය පරාජය කරන්නේ කෙසේ් දැයි ප‍්‍රශ්නයක් පවතී. මුලදී සඳහන් කළ ආකාරයේ ඉදිරිපෙළ ආරක්ෂක වළල්ලක් තිබේ නම්, පවතින තත්ත්වය වඩාත් බරපතල බවට හැඟී යා හැකි ය. එසේ නම්, පිළිතුර කුමක් ද? මේ දූෂිතයෝ සහ  ආරක්ෂකයෝ පරාජය කරන ආකාරය ද ජ.වි.පෙ. නයකයා පැහැදිලි කර තිබේ. "මේ දූෂිත ආරක්ෂක වළල්ල පොඩි පට්ටම් කිරීම සඳහා ප‍්‍රබලම මහජන ව්‍යාපාරය ගොඩනගනවා. දූෂණයට එරෙහිව පමණක් නොව මේ රට නව මාවතකට යොමු කරන බලවේගයක් ගොඩනඟනවා. ඒ මහජන බලවේගය ගොඩනඟලා මේ සටන ජයග‍්‍රහණයෙන් අවසන් කරනවා.

 

lanka

 

 

Read 374 times Last modified on Friday, 18 November 2016 00:28

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.