Wednesday, 02 November 2016 00:29

ජොකා පිටින් ඉන්නකොට නෙවැ මුගෙ ලස්සන - උපේක්ෂා නුවන්ශ්‍රීනි 

Written by 
Rate this item
(0 votes)

ජොකා පිටින් ඉන්නකොට නෙවැ මුගෙ ලස්සන Dasun Pathirana !!!

 ජොකත් නැති වුනානම් තවත් මරු...!! Jehan Appuhami .. !! මේ දෙන්න මැද රෙදි ඇදන් හිටපු උඹ පට්ට !!! 

Yashoda Rasanduni

විසාකේස චන්ද්‍රෙස්කරම් සිනමා ගමනය ....< !!!

( ලංකාවේ) පු# අමාරුකාරයන්ට ජීවිතේ කියාදෙන ෆැන්ජිපැනි හෙවත් සය පෙති කුසුම..!!!

 

...........

‘ආදර ගංගාවේ උත්පත්ති ස්ථානය වන්නේ ලිංගිකය හෙවත් අනුරාගයයි. නමුත් සියළු දෙනාම හැසිරෙන්නේ එය තමාගේ සතුරෙක්ව සලකන බවක් පෙන්වමිනි. සෑම සංස්කෘතියක් ම , සෑම ආගමක් ම , සෑම ගුරුවරයෙක් ම මෙන්ම ජීවිතාවබෝධය සොයන සෑම අයෙකුමත් මේ ගංගෝප්පත්ති ස්ථානයට පහර දෙනු ලබයි.ලිංගිකය පාපයක් යයි ඔවුහු කෑමොර දෙති.නමුත් අප වටහා නොගත් දෙයක් වෙයි. එනම් ආදරයේ අභ්‍යන්තර කවුළුව වෙතට අපව කැඳවාගෙන යන්නේ ලිංගික ශක්තිය බව....

-ඕෂෝ -

විසාකේස චන්ද්‍රෙස්කරම්ගේ ‘ෆැන්ජි පැනි හෙවත් සය පෙති කුසුම සිනමාපටය විසින් අවසානයේ මනුෂ්‍යයා ඔසවා තබන ලක්ෂයට මම බොහෝ සේ පෙම් කරමි. ලිංගිකත්වය යන අතිශය පෞද්ගලික කාරණය තුළ මනුෂ්‍යයාගේ හැසීරීම එකිනාකාගෙන් විපර්යස්ථය. පස් පෙති මල් පිපෙන සුන්දර අරලියා ගස්වල සුවඳින් ද පැහැයෙන් ද කිසිදු වෙනසක් නැති . සයපෙති මලක්ද ඉඳහිට පිපෙන්නට පුළුවන. වෙනස යනු සෞන්දර්යයයේ පදනමයි. වෙනස යන කාරණය විනාශ කරන්නේ සෞන්දර්යය නොහඳුනන කුහකයෝය. ආදරය යනු විශ්වීය කතිකාවකි. එය කුමන අයුරකින් කොටු කරන්නදැයි නොදත්තෙමි. ආදරය යනු අතිශය මානවීය පෞද්ගලික සංසිද්ධියකි. එය ගෝත්‍රික සංස්කෘති වෙස්මුහුණු පළදා තොවිල් නටා විසඳිය යුතු අවනඩුවක් වන්නේ කාගේ වරදින්ද? මෙම සිනමාපටයේ මම දකින සුවිශේෂී ම කාරණය වන්නේ සියල්ල සමතලා කොට අවසානයේ ඉස්මතුවන මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රබල කතිකාවතක් තිබීමයි.

රෝගී හදවතකින් යුක්ත සම්ප්‍රදායික ලාංකීය පෙම්වතියගේ සංකේතයක් බඳු වූ අපල වලට පිළියම් ලෙස විවාහයේ සරණ පතන සරසි නම් තරුණියත් , සිරුරේ බස සහ හද බස අතර අතරමං වූ නලින් සහ චමත් නමැති තරුණයන් දෙදෙනාත් පසුබිම් වූ ආදර අන්දරයකි. සරසි යනු කේන්දරය අතේ තබාගෙන දෛවය විසදන්නට හදන මවකගේ සම්ප්‍රදායික දියණියකි. සරසි කැමති චමත් නම් වූ තරුණයාටය. චමත් තම සිරුරේ භාෂාව හඳුනා ගැනීමේ පළමු ව්‍යායමය වන්නේ සරසිය. ඇය ඔහුට පෙම් කරයි. නමුත් ඔහු තමාවම පිරික්සමින් ආගන්තුක ස්වභාවයකින් පසුවෙයි. නලින් නම් ආගන්තුකයා ගමට පැමිණෙන්නේ මේ අතරවාරයේය. නලින් නම් ආගන්තුකයා චමත් ගේ සහ සරසිගේ ජීවිත ආක්‍රමණය කරන අන්දම පෙන්වන්නේ ඉතා සියුම්වය. දිනක් සරසි කියුටෙක්ස් බෝතලයක් හංගාගෙන වේගයෙන් රබර් වත්තක් මැදින් දිවයයි.චමත් ද ඈ පසුපසින් ලුහුබදියි. මගදී ඇය හෙම්බත්වෙයි. නමුත් හාදුවකින් විරාමය ගන්නා ඇය යළි නැගිට දිවයයි. ඔවුන්ගේ ජීවන සංග්‍රාමය මැදට 

ගමට යන පාර සොයමින් එන අමුත්තා හෙවත් නලින් පැමිණෙයි. ජේදන රූප සහිත උක්ත දර්ශනය සමස්ත සිනමාපටයෙහි ම සියුම් තැන් යා කරන ජේදන ලක්ෂයක් වැන්න. නලින්ගේ පැමිණිමෙන් පසු චමත් තමාගේ ශරීර භාෂාව කෙබඳදැයි හඳුනා ගනි. ඔහු පිය කරන්නේ මලෙන් රොන් ගන්නට නොවෙහි.මලෙහි සිනිදු පෙති අසල ගැවසෙන බඹරන්ගෙන් සියුමැලිම බඹරාට සිය හදවත පුදන්නටය. ඒ ඔහුගේ ජීව ලෝකයයි.පඩිවරුන් උත්පත්තිය් දී 

සදුන්හර මිටින් ගෙන එති. එපරිදිම අතැමෙකු සිය ජෙව ලෝකය පිළිබද විවිධතා උපතින්ම රැගෙන එති. ඔවුහු පැවැත්ම පිළිබද අරගලයේදී විපරීතයන් වී අසරණයන් බවට පැමිණෙන්නේ අනෙකා තුළින් තමාව දකින්නට කැමති සංස්කෘතික විපරීතභාවය නිසාය.චමත් විසින් සරසිට ආදරය නොකලායයි කියන්නට බැරිය. එය ද අපූර්ව ප්‍රේමයකි. නමුත් චමත් වෙනස් මලකි. ඔහු පැහැයෙන් ද සුවඳින්ද බැලූ බැල්මට වෙනසක් නොපෙනෙන හැඩයෙන් සියුම් වෙනසක් ඇති සයපෙති මලකි. එහෙත් ඇය සරසි කෙරේ ඇත්තේ මානවීය බැඳීමකි. නලින් සමග ජීවීය ආදරයෙන් බැදෙන චමත් මිතුරිය කෙරෙහි ඇති දයාබරත්වය තුළින් ආත්මීය ගැඹුරක් අපේක්ෂා කරයි.සංස්කෘතික වියමනක් සහිත සිය හිසෙහි පළදින්නට ඇය පතන පස්පෙති කුසුම වන්නට ඔහුට කවර කලෙකවත් නොහැකිය. ඒ සඳහා සිය ජීවිතයේ පෙත්තක් ඉරා දමන්නට ඔහුට කවර කලෙකවත් නොහැකිය. ස්වභාවයෙන්ම මලක් කැමති ස්වකීය 

පිපුණ ස්වරූපයට උචිත ගහක් ලැබෙනවාටය.

ශරීර භාෂාව ඉදිරියේ හද බස ගොළුව යද්දී චමත් විසින් සරසිගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කරයි. ඒ රහස ඇයට පැවසීමට ඔහුට වුවමනා මුත් සුදුසු කල් එළඹ නැති බැවින් ඔහු නිහඩව නික්ම යයි. චමත් හදා දුන් වෙසක් කූඩු සියල්ලට ගිණි තියන සරසි සිය ජීවිතයේ එක්තරා පරිච්චේදයක් ඒ සමග දවා හළුකරයි.ආදරයට ආමිස පූජාව පමණක් නොසෑහේ. පතිපත්ති පූජාව ආදරයේ දී අතිශය වැදගත් සාධකයටකි. සරසිට ඒ විඥානය තිබුනාදැයි නොදනිමි. නමුත් ඈ පහන් කූඩු සියල්ල ගිණි තබන්නේ එබැවිනි. ස්ත්‍රී පුරුෂ ආදරයට මෙන්ම ඕනෑම අන්දමේ බැදීමකට හෝ ප්‍රේමයකට හරස් කපන සාධකය වන්නේ ආර්ථික සාධකයයි. මිනිහකුගේ ජීවත ලාලසාව පමණක් නොව පේමයේ හැඩය පවා ආර්ථිකමය ජීවන විලාසය විසින් තීරණය කරනු ලබයි.නලින්ගේ පැවැත්ම පිළිබඳ සාධකය සරසිගේ අම්මා විසින් පිරිනමන කඩකාමරය බවට පත්වෙද්දි ඔහුගේ සිහින ක්ෂණිකව පරිවර්තනය වෙයි. ඔහු තම ප්‍රකෘතිය මරා දමා ක්ෂනිකව සංස්කෘතියට අනුගතවෙයි.නලින් සරසිව විවාහ කරගන්නේ ඩාවින්ගේ නියමය හදිසියේ සිහිපත් වූවකු මෙන් වෙනස් වීමකින් පැවැත්ම සොයා යාමේ මාර්ගයක් වශයෙනි.

නලින්ගේ වෙන් වීමත් සමග ආදරය අහිමි වීමේ වේදනාව දරගත නොහැකි වූ චමත් සිය දිවි හානි කරගන්නට තැත් දරයි. ඔහුගේ ව්‍යාධිය හටගන්නේ සම්ප්‍රදාය නමැති රෝගවාහකයන් හේතු කොටගෙනය. සම්ප්‍රදායම සන්නද්ධ වී එම රෝගය සුවකරන්නට ඉදිරිපත් වීම ද එක්තරා සමාජ විහිලුවකි. මේ සමාජීය තොවිලයේ ආතුර වේසයෙන් තවදුරටත් නැටවෙන්නට චමත් අකමැතිය. මෙතෙක් නැටුූ හැම තොවිලයක්ම එළිපිට නැටූ ඔහු එදා දුටු ගැමුණු රජු නිදා සිටි ඉරියව්වෙන්ම තව තවත් ඇඳෙහි ගුලිවන්නේ මේ වෙස් මුහුණු පැළදි යක්ෂයන්ගෙන් තවදුරටත් ගැලවෙන්නටය. තමා එළිපිට නටන්නට කැමති නැට්ටුවෙක් බැවින් ඔහු මේ වෙස් පෙරළියට අකමැතිය.තම පුතු වැඩිමල් සොයුරාගෙන් පහර ලබන අවස්ථාවේ චමත්ගේ මව විසින් පවසන්නේ මෙබන්දකි.

‘ මේ හොරෙක්වත් ත්‍රස්තවාදියෙක්වත් නෙමේ..උඹෙ මල්ලි.. පුතේ උඹ කැමති විදිහකට උඹ ජීවත් වෙයන්.. මැරෙන එක ගැන හිතන්නවත් එපා...!!

අවසානයේ චමත් සමලිංගිකයන්ගේ සමාජයක ස්වකීය කුසලතාවයන් රුචිකත්වයන් සමග සුන්දර ජීවතයක් ආරම්භ කරයි. මේ කාලයේ නලීන්ට ස්වකීය ප්‍රකෘතිය සංස්කෘතික බැම්ම බිඳ දමා යළි නැගී සිටින බව අවබෝධ වෙයි. අවසානයේ තමා තුළම අතරමං වන ඔහු සාංකාව නිසා වෙනතක බැඳේ. සරසි සහ දරුවා ඔහුට අහිමි වෙයි. චමත්ගේ චරිතයට දසුන් පතිරණ උපරිම සාධාරණයක් ඉටු කරයි.සංකීර්ණ අවස්ථා ඔහු පහසුවෙන් ගහණය කරගනී.ඔහුගේ මුහුණ නේක වර්ණ තැවරුණ සිත්තමක් පරිදිය. ඒ එක එක පැහැයෙහි අරුත් කියවා ගැනීමට හැකිවන අන්දමට ඔහු සිත්තමේ හැඩය රාමුවෙන් රාමුව වෙනස් කරයි.

ජෙහාන් අප්පුහාමි සතුව ඇත්තේ විශිෂ්ටතම රංග පෞර්ෂයකි. ඔහු නිදහස් අවකාශයේ පාවෙන සැහැල්ලු පිහාටුවක් බදුය. හදවතේ සියුම් තැනක පැමිණ කිසි බරක් ඉතිරි නොකර නතර වෙයි. ඒ රංගනය නම් විශ්ම සහගතය. යසෝදා රසදුනී වැලපිලි කාර සිංහල නාටක අම්මණ්ඩිලාට අළුත් පාඩමක් කියා දෙයි. ඇය සිංහල සිනමාව පතන කාන්තා මුහුණුවර සහ රංගන ලාලිත්‍යයයි. ඇයද මද නලක් පරිදි පෙක්ෂකයාගේ හදවතේ ගැඹුරුම අහුමුලු වල පැරණි දුහුවිලි පිසලමින් හමා යයි..ආත්මය පතුලට කාවදින ශාන්ත පීරිස් ගේ සංගීතය ද භාවනාවක් බඳුය. කිසිදු හිරිකිතයක් අවුලක් අමුත්තක් නොදැනී මනුෂ්‍යයන්ට මනුෂත්ය ගැටලුවක් නොවිය යුතු බවට ඉගි කරන ආත්මීය සංයමයක් සංගීතය තුළ ආඨ්‍ය වෙයි. සිතුම් සමරජීවගේ සංස්කරණය ගැනත් නොකියාම බැරිය. එය සියුම් සැතක් මෙනි. ජාන විකෘතියෙන් හැඩය වෙනස් වූ මලෙක සුවඳ වඩාත් හොඳින් විහිදෙන්නේ එබැවිනි.

සිනමා පටය අවසන් වන්නේ සරසි ගිලන් ව රෝහල් ගතව සිටිනා තවත් එක් වෙසක් දවසකය. චමත් ඇගේ ගිලන් ඇඳ පාමුල සිට වෙසක් පහනක් සකසා එය ඇගේ ඉහ ඉද්දරින් එලලයි. සිය දිවි නසා ගන්නට උත්සහ කොට සුවපත් වූ අවස්ථාවේ දී චමත්ට ගමෙන් පිටමංවන්නට උපදෙස් ගමේ ආගමික සංස්ථාවේ ලොකු තැන හෙවත් නායක හාමුදුරුවෝ අතක බඳින පිරිත් නූලට වඩා ඇයට සතුටක් ගෙන එන්නේ චමත් ගේ අව්‍යාජ සෙනෙහසයි. ආදරය අපට වඩාත්ම හොදින් දැනෙන්නේ ජීවිතය අපෙන් ගිලිහෙන්නට හදන අවස්ථාවලදීය. නලින් විසින් සරසිව බලන්නට පැමිණෙන්නේ මෙවිටමය. ඇය ඔවුන් දෙදෙනාවම මනාව වටහාගෙන ජීවිතය දකින්නේ දැන්ය. ‘‘අපි ගොඩක් දිග වන්දනා ගමනක් ගිහින් මගදි නතර වෙලා දැන් හතිදානවා කියල මට හිතෙනවා .. ඇය හෙමින් මුමුණයි. සිරීපාදේ යන සමනළුන් සිරීපාදයයි කියා අතරමග ගොඩැලිවල කෙතෙක් නම් දණ නමා වැඳ වැටී හාමතේ මියැදෙන්නට ඇත්ද? ජීවිතයේ අරුත අපට හමුවන්නේ දිගු දුරක් ගොස් හති වැටෙන අතරමගකදීය. විමුක්තිය යනු සංනිදර්ශනාත්මකව දර්ශනයෙන් හෝ සංස්කෘතික ඉිහාසය තුළින් හෝ මුලුමනින්ම හැදෑරිය හැකි දෙයක් නොවේ.ජීවත් වීමෙන් තොරව ජීිවිතය හැදෑරිම නිෂ්පලය.

අවසානයේ චමත් සහ නලින් දෙදෙනා ම සරසි වෙනුවෙන් සැකසූ පහන් කූඩු පේළිය රෝහල් කොරිඩෝවේ එල්ලා එක්වරම ස්වීචයක් ඔබා විදුලි බල්බ දල්වති. විදුළිය ඇණ හිටීමක් අනාගතයේ සිදු වුවවහොත් වෙසක් පහන් රාතියේ දී අන්ධකාරයට හුරුවනු ඇති. නමුත් ජීවිතය නිසි පරිදි අවබෝධ නොවූ ප්‍රාථමික අවධියේ දැල් වී තිබූ ඉටිපහන් මෙන් , ජීවත් වීමේ තාක්ෂණයට ආලෝකය සැපයූ අවබෝධය නම් වූ විදුලි බල්බය විසින් මේ පහන් කුඩු යළිත් කිසිදා ගිණි තබන්නේ නැත..විදුලි බල්බය, ඉටිපහන මෙන්ම පහන් කූඩුව යන තිත්වයම මිනිසාගේම නිෂ්පාදනයකි. එමෙන්ම සරසි නලින් සහ චමත් ද මිනිසාගේම නිස්පාදයන්ය..භෞතිකය මිනිසාගේ සෘජු නිස්පාදනයක් වන අතර මනුෂ්‍යයා මනුෂ්‍ය සහ සංස්කෘතික යන සම්මිශනයේම නිෂිපාදයනයක් වෙයි. නමුත් වඩාත් දරුණුම ඛේචවාචකය වන්නේ මනුෂ්‍ය නිපදවීම් විසින් මනුෂ්‍යයාම දවාලන තත්වයකට පත්වී තිබීමයි.සැබැවින්ම ජීවිතය යනු අවබෝධයයි. සෑම මනුෂ්‍යයකුටම ජීවත් වීමට සහ ආදරය කිරීමට අයිතියක් ඇත. විෂම ලිංගිකයන්ට පමණක් නොව සමලිංගිකන්ටද ප්‍රේමය පිළිබඳ අයිතියක් තිබිය යුතුය. එය ඔවුන්ගේ ස්වභාවික ජීවිතයයි.නමුත් මිනිසා සිය වියරුව සඟවාගෙන ආරෝපිතයක හැසිරෙනතාක් කල් සිය වනචාරී සෙලුව සගවාගෙන අනෙකාගේ සෙනෙහසට ගල් ගසති. ආදරය පිළිබඳ දර්ශනයෙහි කිසිදු දාර්ශනිකයකු සීමා මායිම් සළකුණු කර තිබුණේ නැත. බුදුන්ගේ මෙන්ම මෙතෙක් පහළ වූ සෑම දාර්ශනිකයකුගේ ම චින්තනයන් පරිපාලනය කළේ ඒ ඒ වකවානුවල පාලන තන්තයට අනුගත වූ වංචාකාරයන් මූහයක් විසිනි. ඔවුහු මානව වටිනාකමක් ඇති සියළු න්‍යායන් සහ දර්ශනයන් ස්වකීය අවශ්‍යතා අනුව කපා කොටා මනුෂ්‍යත්වය සහමුලින්ම ඉවත් කොට දේශපාලනික සහ සංස්කෘතික විරූපතාවන් සහිත ව ඒ සංකල්ප සමාජ පරිපාලනයට භාවිත කළහ.එසේ විකෘති නොවී ශේෂ වූ නයායන් සහ දර්ශනයන් මල මුහුද මෙන් ගැඹුරු හදවත්වල නිදන් ගත වී සදා නිසලව පැවතියාහ.ප්‍රේමය පිළිබඳ ඕෂෝ ගේ විග්‍රහය මෙබඳුය.

‘ බීජ වපුරන්න.පැලයක් හට ගනීවි.වර්ෂ ගණනක් ගතවේවි.ගසක් නැගී සිට අතු රිකිලි විහිදුවාවි අහස දෙසට.ඊලඟට ගනීවි.එවිටයි ඔබ දැන ගන්නේ ඔබ පැල කළ බීජය තිත්ත ද ඇඹුල් ද යන වග.වර්තමාන මිනිසා තමයි වසර දස දහසකට කලින් එම සංස්කෘතියේ සහ ආගම්වල බීජයන් වපුරා හැදුනු ගසේ හටගත් පැසුණු ඵල , එම ඵල තිත්තයි.එය ගැටුම් වලින් පිරි දුක්ඛයක්....එහෙම වුණත් ඔය බීජ ගැන පශස්ති ගයමින් ඒවායෙන් ආදරය බලාපොරොත්තු වූයේ අපයි.එය සිදු විය නොහැක්කක්.මම නැවතත් කියා සිටිනවා ආදරය උපදින්න ඇති, මොනම හෝ හැකියාවක් තිබුණා නම් එය මරා දැමුවේ ආගම මගින්.එම හැකියාව විෂගත කළේ ආගමයි.මිනිසාට වඩා ආදරය දකින්නට ඇත්තේ කුරුල්ලන් සිවුපාවුන් ගස් වැල් ..මොකද ඔවුන්ට ආගමක් හෝ සංස්කෘතියක් නැති නිසා.ආදරය වඩාත් දකින්නට තිබෙන්නේ අශිෂ්ඨ මිනිසා අතර පසුගාමී වනගත මිනිසුන් අතරයි.ඊනියා පගතිශීලී සංස්කෘතිය සහ සභ්‍යත්වය ඇති වත්මන් මිනිසාට වඩා ඉහත කී වනචාරී මිනිසා වෙත ආදරය දක්නට තිබෙනවා.මතක තබා ගන්න ආදිවාසී ජනයා අතර ශිෂ්ඨාචාරය , සංස්කෘතිය හෝ ආගමේ සංවර්ධනයක් නැති බව.... " ( සෙනෙවිරත්න , ජෝ, ලිංගිකය VS පබුද්ධ , පි.අ. 17 )

කිසිදාක පරිණාමය නොවන සත්ත්ව කොට්ඨාශයක් පරිදි සංස්කෘතික හැව කරපින්නාගෙන , දහම්පාසල් පලිහට ද මුවා වී අවිද්‍යාවේ සලුවෙන් ජීව විද්‍යාත්මක ලෝකය වසාගෙන ජාන විකෘති ගත සංකල්ප වපුරන වනචාරීන් විසින් පළමුකොටම කළ යුත්තේ කණ්ණාඩියක් ඉදිරිපිට සෙළුවෙන් සිටගැනීමය. ඉන්පසු .තම ලිංගයත් , හදවතත් ඒවරම පිරිමැදීමට උත්සහ ගැනීමය. තමාගේ ශරීර බස සහ හදබස හදුනන්නාට අනෙකාගේ සදාචාරය පිළිබඳ කිසි කලෙක ගැටලුවක් හටගන්නේ නැත.අනෙකාගේ සිරියහනට කඩා වැදීමේ ගෝත්‍රික සිතිවිල්ල පාලනය කරගත හැක්කේ තමාටමය. ඒ අවිනීතකම පැන නැගෙන්නේ තමා තුළම නම් එහි ප්‍රතිවිරෝධය ගොඩනගා ගත යුත්තේ ද තමා තුළමය. ස්වභාධර්මය විසින් හැම විටම ඒකාකාරීත්වයට විපර්යස්ථතාව නම් ගුණාංගය ද මුහු කරයි. ඒ විශ්ව සෞන්දර්ය පිණිසය. එයද පැවැත්ම පිළිබඳ අරගලයේම අඛණ්ඩ ක්‍රියාදාමයකි. ඒකාකාරීත්වය තුළ පැවැත්මක් නැත. පරිනාමය,විපරිණාමය , විපරීතය සහ ස්වභාවිකය යනුවෙන් කිසිවක් කිසි දා බෙදා වෙන් කළ නොහැක. මන්ද ඒ සියල්ල එකම ධර්මතාවක් තුළ සංකලනය වී තිබෙන බැවිනි. විපරීතය සහ සවබාවිකය යන්නෙහි සැබෑ අරුත වටහා ගත හැක්කේ තමා තුළට නිරාවරණය වූ හෘදසංවාදයකට එළඹිමට තරම් මිනිසාගේ මනස දියුණු වූ දිනකය. එවන් දිනයක හැම දෙනාම නිදහසේ ආදරය කරනු ඇත. ලෝකය ද වඩාත් සුන්දර වනු ඇත.

Read 371 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.